රාවයට වසර 15යි

November 4, 2001
Publication:
Marking fifteen years, the piece traces Ravaya from a monthly magazine under J.R. Jayewardene to a broadsheet weekly. It says the paper helped bring Chandrika Kumaratunga to power but then opposed her government, which subjected it to bomb attacks and record criminal defamation cases. It pledges the same scrutiny of a coming UNP government and continued pursuit of Chief Justice Sarath N. Silva, and recalls how Jayewardene and Premadasa responded to its criticism.

නොවැම්බර්වලට “රාවය”ට වසර පහළොවකි. එය නව ආකාරයක නිර්භීත ජනමාධ්‍ය සම්ප්‍රදායක් ඇති කිරීම අරමුණු කොටගෙන එම සම්ප්‍රදාය අඛණ්ඩ ලෙස අද දක්වා පවත්වාගෙන යාමට සමත් වූ ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකිය.

එය මාසික වාරික ප්‍රකාශනයක් ලෙස කරළියට ආවේ ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේය. ඉන්පසු අඛණ්ඩව එය වසර පහක කාලයක් මාසික වාරික සගරාවක් ලෙස පළවූ අතර, ඉන්පසු ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ සති අන්ත පුවත්පතක් බවට හරවනු ලැබීය. ප්‍රේමදාස පාලන යුගයේ එය පැවතියේ සති අන්ත පුවතක් පතක් වශයෙනි. එය බ්‍රෝඩ් ෂීට් ප්‍රමාණයේ සති අන්ත පුවත් පතක් බවට පත් කෙරුණේ චන්ද්‍රිකා පාලන යුගයේය.

එය රටේ එම පහළොස් අවුරුදු කාලය තුළ ඇතිවූ හැම අර්බුදයක් විසින් ම උරගා බැලීමකට ලක් කෙරුණු ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකිය. එය තමන්ට පෙනෙන ඇත්ත, ඒ ඇත්ත ප්‍රකාශ කිරීම නිසා තමන්ට විඳින්නට සිදුවිය හැකි ප්‍රතිවිපාකවල හොඳ නරක නොසලකා නිර්භීත ලෙස ප්‍රකාශ කළ පුවත් පතක් ලෙස ද සැලකිය හැකිය. විවේචනය හා ඇත්ත ප්‍රකාශ කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදක් ලෙස සැලකුණු බිහිසුණු යුගයේදි ද (89-91) එය තමන්ට පෙනෙන ඇත්ත නිර්භීත ලෙස ප්‍රකාශ කළේය.

එය වර්ග භේදවාදය, කුල භේදවාදය හා ආගම් භේදවාදය ඉක්මවා පෙනී සිටි ඒ සියලු සමාජ කණ්ඩායම්වල සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පුවත් පතක් ලෙස ද සැලකිය හැකිය. එය හැමදාමත් විරුද්ධ පක්ෂවල පැසසුමට හේතුවූ ආණ්ඩු කරවන පාලක කණ්ඩායම්වල ක්‍රෝධයට හේතුවූ පුවත් පතක් ලෙස ද සැලකිය හැකිය.

එය යූඑන්පී පාලන යුගයේදි පාලකයින් සැලකුවේ ශ්‍රීලනිප අතකොලුවක් ලෙසය. දැන් චන්ද්‍රිකා පාලන යුගයේදි ඔවුන්ට එය පෙනෙන්නේ ද යූඑන්පී අතකොලුවක් ලෙසය. එහෙත් එය කවදාවත් ශ්‍රීලනිපයේ හෝ යූඑන්පීයේ දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටි පුවත් පතක් නොවීය. එයට තමන්ගේම වන මහජන යහපත මූලික කරගත් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණ.

“රාවය” විසින් කරන ලද අරගලවලින් තාවකාලිකව දේශපාලන වාසි ලද අය සිටියේය. එහෙත් “රාවය” තමන් කරන අරගල කරන ලද්දේ ඒ කිසිවකුට දේශපාලන වාසි ලබාදිම සඳහා නොව, සමාජ ඉදිරි ගමනට දායකවෙමින් වඩා යහපත් සමාජයක් ඇති කරගැනීම සඳහා සමාජයේ දැනුවත්භාවය වැඩි දියුණු කිරිමේ අරමුණින් යුතුවය.

94දි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කොට චන්ද්‍රිකා පාලනයක් ඇති කිරීම සඳහා එය ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේය. එයින් අපේක්ෂිත කිසිවක් සිදුවී නැතත්, “රාවය” ඒ ගැන කණගාටුවන්නේ නැත. එදා පැවති තත්ත්වය යටතේ එජාප පාලනයේ අඛණ්ඩතාව කැඩිය යුතුව තිබුණ. චන්ද්‍රිකා පාලනයෙන් ඵලදායී කිසිවක් මහජනතාවට නොලැබුණ ද, එජාප පාලනයේ අඛණ්ඩතාව නොකැඩුවේ නම්, ඒ පාලනය මගින් එතෙක් කරන ලද සියලු වැරදි ශක්තිමත්ව තහවුරු වන්නට ඉඩ තිබුණ.

එජාප පාලනය පරාජය කොට පොදු පෙරමුණු පාලනයක් ඇති කිරීම සඳහා “රාවය” පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළත් එය පොදු පෙරමුණු ආණ්ඩුවට බැලමෙහෙවර කරන කොටස්කරුවෙකු බවට පත්වෙමින් වරප්‍රසාද ලබන තත්ත්වයකට පත් නොවුයේය. ඒ වෙනුවට පොදු පෙරමුණු ආණ්ඩුව ප්‍රකාශිත අරමුණු වලට පටහැනිව වැරදි මගක ගමන් ගන්නා විට ඒ වැරදි මගට එරෙහිව පෙරමුණ ගෙන සටන් කරන තත්ත්වයකින් ක්‍රියා කළේය. පොදු පෙරමුණු ආණ්ඩුවේ දේශපාලන අත්තිවාරම් කඩා බිඳ වැටීමට “රාවයේ” ක්‍රියාකාරිත්වය ද හේතුවිය. එයින් එජාපයට දේශපාලන වාසියක් ද ලැබුණේය. එහෙත් “රාවය”, ඉදිරියේ බලයට එන්නට නියමිත එජාප ආණ්ඩුව පුම්බන ගෝලයකු වෙමින් එම ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබන තත්ත්වයකට යන්නේ නැත. ඔවුන් ද ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදි අරමුණුවලින් පිටස්තරව යන්නේ නම්, ඊට එරෙහිව ද නිර්භීතව සටන් කරන තත්ත්වයකට “රාවය” යොමුවනු ඇත්තේය.

ගතවූ වසර පහළොව තුළ “රාවය” බලයේ සිටි සෑම ආණ්ඩුවකම දූෂිත හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව නිර්භීතව සටන් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද “රාවය” රාජ්‍ය බලය යොදා වඩාත්ම පීඩාවට ලක් කළ යුගය ලෙස සැලකිය හැක්කේ චන්ද්‍රිකා යුගය බව කිව යුතුය. හැම ආණ්ඩුවක් ම “රාවය” කෙරෙන් ප්‍රකාශ වූ දැඩි විවේචනාත්මක ප්‍රතිපත්තිය නිසා “රාවය”ට පීඩා කරන තත්ත්වයක් තිබුණේය. විටෙක පොලිසිය ද, තවත් විටෙක ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ කම්කරු දෙපාර්තමේන්තුව කඩා පැන්නේ ය. සාධාරණ හේතු නැතිව නඩු පැවරුවේය. එහෙත් ඉතාමත් බිහිසුණුයි කියන එජාප යුගයේ පවා “රාවය”ට මරණ තර්ජන තිබුණේ නැත. මරණ තර්ජන පමණක් නොව මරණ ප්‍රයත්නයන් ද අත්දකින්නට ලැබුණේ චන්ද්‍රිකා පාලන යුගයේ දි බව ද ප්‍රකාශ කළ යුතු ය. “රාවය” කාර්යාලයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ඒ සඳහා දැක්විය හැකි එක් නිදර්ශනයක් පමණ. එජාප යුගයේ දි “රාවය”ට එරෙහිව සාධාරණ හේතු නැතිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරුවේ ය. උසාවිවලට හිරකොට තැබීම එහි අරමුණ විය. එහෙත් රාවයට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ වාර්තාගත නඩු ප්‍රමාණයක් පවරනු ලැබූ යුගය ද චන්ද්‍රිකා යුගය වන බව කිව යුතු ය.

ඒ සියලු හේතු තිබිය දි චන්ද්‍රිකා පාලනය ගැන දැඩි විවේචනයක් මිස වෛරයක් නැති බව ද කිව යුතු ය. මේ මොහොතේ චන්ද්‍රිකා පාලනයේ පරාජයක් ඇතිවනවා දකින්නට රාවය කැමති ය. එහෙත් ඒ පරාජයෙන් පසු නීති විරෝධී ආකාරයකින් ඒ පාලනයට සම්බන්ධ කිසිවකු හිංසාවට හෝ පීඩාවට ලක්වනවා දකින්නට “රාවය” කැමති නැත. එවැනි තත්ත්වයක් ඇති වේ නම් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ද “රාවය” පසුබට නොවන්නේ ය. එහෙත් බලයට පත්වන ආණ්ඩුවක් පොදු පෙරමුණු පාලනය යටතේ සිදු වූ මහා පරිමාණයේ දූෂණවලට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් “රාවය” එවැනි ප්‍රතිපත්තියකට පක්ෂෂ වනවා මිස විපක්ෂෂ නොවන බව ද කිව යුතු ය. දූෂණ චෝදනා ලබා සිටි ජයලලිතා, මැතිවරණයෙන් අති විශාල ජයග්‍රහණයක් ලබාගනිමින් තමිල්නාඩුවේ මහ ඇමති බවට පත්වීමට හැකි වුවත් තවත් කෙටි කාලයක් තුළ ඇයට මහ ඇමතිකම අතහැර බන්ධනාගාර ගත වීමට සිදු විය. අප රටට අවශ්‍ය වී ඇත්තේ ද එවැනි සම්ප්‍රදායකි.

“රාවය” හැමදාමත් බලවතුන්ට එරෙහිව මිස දුබලයන්ට එරෙහිව පෑන හැසිර නොවී ය. ඒ දුබලයින් වැරදි නොකරන නිසා හෝ වැරදි කරන්නේ බලවතුන් පමණක් නිසා නොවේ. නැතිනම් වරක් එස්.බී. ප්‍රකාශ කළ පරිදි ලස්සන, උගත් හෝ බලවත් අය සමග ඇති ඊර්ෂ්‍යාව මුල් කරගත් මානසික රෝගයක් නිසා නොවේ. දුබලයන් වැරදි නොකරන තත්ත්වයක තබාගැනීම ද ඉතා වැදගත් ය. එහෙත් සමාජ ප්‍රතිශෝධනයේ දි වඩා වැදගත් වන්නේ පිරමීඩයේ මුදුනත පිරිසිදු කිරීම ය. සමාජයේ බලවත් තනතුරු දරන්නන් විසින් කෝටි ගණනින් කරන දූෂණ නොසලකා පුංචි මිනිසුන් රුපියල් සිය ගණනින් කරන දූෂණ ගැන කථා කිරීම කුහකකමකි.

එජාප පාලන යුගයේ දි “රාවය” මහා පරිමාණයෙන් කෙරෙන දූෂණයන්ට අදාළ හෙළිදරව් කිරිම් හා ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන හඬගෑම්වලට සීමා විය. එහෙත් ඉන් පසු යුගය “රාවය” ඒ සීමා ඉක්මවා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ආයතන ගොඩනගන ක්‍රියාවලියක් දක්වා ඉදිරියට ගමන් කළේ ය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් සාමාන්‍ය කතාබහකට පමණක් සීමා වී තිබූ අවස්ථාවක එම අදහස් කෙටුම්පතක් බවට හරවමින් එය ප්‍රායෝගික කිරීම සඳහා “රාවය” කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේ ය. මහජන මුදල් සමග ක්‍රියා කරන අයගේ පාරදෘෂ්‍යභාවය සහතික කිරීම සඳහා වත්කම් බැරකම් නීතිය බලාත්මක කිරීම සඳහා ද “රාවය” අනවරත අරගලයක යෙදුණේ ය. වත්කම් බැරකම් නීතිය යටතේ මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂෂකයන්ගේ හා දේශපාලන පක්ෂෂවල නිලධාරි මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම සඳහා ක්‍රියා කරන ලෙසත් එසේ නොවෙතොත් මැන්ඩාමුස් ආඥාවක් ලබාගැනීම සඳහා ක්‍රියා කරන බවට මැතිවරණ කොමසාරිස්වරයා වෙත “රාවය” කරන ලද දැනුම් දිම පිළිගනිමින් මැතිවරණ කොමසාරිස්වරයා එම නීතිය බලාත්මක කිරීමට තීරණය කර ඇත්තේ ද “රාවය”ට 15 වසරක් සපිරෙන අවස්ථාවේ දි ය. එය “රාවය” ට ලැබුණු උපන්දින තෑග්ගක් ලෙස සලකා “රාවය” ට ප්‍රීතිවිය හැකි ය.

“රාවය” සමාජ යහපත සඳහා කරන විවිධ අරගල අතරින් අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව කරන ලද අරගලය වඩාත්ම දුෂ්කර, සංකීර්ණ, දිග්ගැසුණු හා කීර්තිමත්ම අරගලය ලෙස සැලකිය හැකි ය. එය රට තුළ විශාල දේශපාලන අර්බුදයක් ඇති කිරීමට හේතු වූ ආරම්භක හේතුව විය. සරත් එන්. සිල්වා තවමත් එම තනතුරේ රැඳී සිටියත් ආණ්ඩු පෙරළියක් නොවැළැක්විය හැකි බව තේරුම් ගැනීමෙන් පසු විරුද්ධ පක්ෂෂ සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තත්ත්වයකට පත්ව සිටියත් ඒ මහතා එම ගරු කටයුතු තනතුරෙන් ඉවත් කෙරෙන තෙක් ඒ අරගලය ඉදිරියට ගෙනයාමට ද “රාවය” බලාපොරොත්තු වේ. එය “රාවය” ට සරත් එන්. සිල්වා මහතා සමග තිබෙන පුද්ගලික තරහක් නිසා නොව යහපත් සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන් සියල්ලටම ප්‍රථම ස්වාධීනව ක්‍රියා කරන ගරු කටයුතු අධිකරණයක් දිනාගැනීම අත්‍යවශ්‍ය නිසා ය.

සිරිතක් වශයෙන් බලයට පත්වන හැම පාලක කණ්ඩායමක් කෙරෙහිම “රාවය” විවේචනාත්මක ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නේ ඔවුන් කෙරෙහි ඇති වෛර සහගත ආකල්පය නිසා නොවන බව කිව යුතු ය. විවේචනය යහපත් ආණ්ඩුකරණයක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. ජනමාධ්‍යවලින් එල්ල වන විවේචනයන්ට ඉවසීමෙන් ඇහුම්කන් දි වැරදි ඇති අවස්ථාවල දි ඒ වැරදි නිවැරදි කර ගැනීමේ හැකියාවක් පාලක පක්ෂෂවලට තිබිය යුතු ය. තමන්ට එල්ල වන විවේචනයන්ට ඉවසීමේ ගුණය යම් ප්‍රමාණයකට ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි පාලකයන් තුළ පවා තිබුණත් ඒ ගුණය අඩුවෙන්ම පෙන්නුම් කළ නායිකාව ලෙස සැලකිය හැක්කේ ද චන්ද්‍රිකා ය.

රටේ විශාල වශයෙන් ලේ වැගිරෙමින් තිබූ අවස්ථාවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන “රාවය” කතුවරයා තමන් වෙත කැඳවා සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවක පෑනේ නිදහස සීමා කරන්නට සිදුවන බවත් “රාවය” තවදුරටත් පළකිරීම අවශ්‍ය නම් එහි පළ කෙරෙන කාලිංගගේ දේශපාලන විග්‍රහය පළ කිරිමෙන් වැළකිය යුතු බවත් නියෝගකර සිටියේ ය. පාලකයන් හා පාලිතයන් තුවක්කුවෙන් ගනුදෙනු කරන අශෝභන තත්ත්වයක් රට තුළ ඇති වී ඇත්තේ ප්‍රමාණවත් ලෙස පෑනෙන් කෙරෙන සංවාද නැති නිසා බවත් ඒ නිසා පෑනෙන් කරන සංවාදයට අවහිර නොකරන ලෙස රාවය කතුවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි විට එම මතය නිහඬව පිළිගැනීමට තරම් ඔහු නිහතමානී විය.

ප්‍රේමදාස පාලන යුගයේ දි තමන්ට එරෙහිව එල්ල කෙරෙන කර්කශක විවේචන නොසලකා ඔහු උනන්දුවෙන් “රාවය” කියවූවා පමණක් නොව එහි ඇතුළත් විවේචනවලට ද ප්‍රතිචාර දැක්වීය. වරදක් නිවැරදි කර ගැනීමට අවශ්‍ය නම් එය “රාවයේ” පළ කරවා ගත යුතුය කියන මතයක් එකල රටේ තිබුණ. ඊට හේතුව “රාවයේ” පළවන පුවත්වලට ආණ්ඩුවෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබීම ය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද “රාවය”ට ගරහමින් හෝ නොකඩවා “රාවය” කියවූ බව අපි දනිමු. ජනාධිපතිනියට “රාවය” යවන පත්තර තට්ටුවට “රාවය” ලැබීම ප්‍රමාද වූ විට එහි හිමිනරු තමන්ට ජනාධිපතිනියගෙන් දොස් අහන්නට සිදුවන බව කියමින් මැසිවිලි නගන්නේ ය. ජනාධිපතිනිය “රාවය” කියවුවත් එහි එන සාධාරණ විවේචනයන්ට සංවේදි වීමේ හැකියාවක් ඇයට නොතිබුණ.

“රාවය” බලයට එන ඕනෑම ආණ්ඩුවක් පෙරළීමේ දූෂිත අරමුණ ඇතිව ක්‍රියා කරන විශේෂ ව්‍යාපාරයක් ලෙස ද නොසැලකිය යුතු ය. “රාවයේ” අරමුණ ඉතාමත් අහිංසක ය. යහපත් ආණ්ඩුකරණයක් තුළ යහපත් රටක් ඇතිකරගැනීම සියලු දෙනාට ගෞරවරයෙන් ජීවත් විය හැකි රටක් ඇතිකරගැනීම රාවයේ අපේක්ෂෂාවයි. “රාවය” ට බලයට පත්වන පාලක කණ්ඩායම්වල වෛරයට හේතුවෙමින් ගැටුම් ඇතිකරගන්නට සිදු වී ඇත්තේ ද ඒ අහිංසක අපේක්ෂෂාව වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකිරීම නිසා ය.

15 වසරක් තිස්සේ “රාවය” ට නන් ආකාරයෙන් උදව් කළ පාඨක පිරිස ඇතුළු සියලු දෙනාට “රාවයේ” ගෞරවයත් ස්තුතියත් හිමිවිය යුතු ය. එසේ ම “රාවයෙන්” කිසිවෙකුට හෝ දැන හෝ නොදැන වරදක් සිදු වී ඇත් නම් මේ විශේෂ අවස්ථාවේ දි අපි ඔවුන් ගෙන් සමාව ඉල්ලමු.