ස්වාධීන තත්ත්වයක මෙන්ම මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයක තිබිය යුතු සියලු ම ආයතන දැඩි දේශපාලනකරණයකට ගොදුරු වෙමින් ඒවා විධායකයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්රියා කරන අතකොලු තත්ත්වයකට වැටී තිබීම රට මුහුණ දි තිබෙන පරිහානය කෙරෙහි බලපා ඇති එක් ප්රධාන හේතුවකි. එය රටේ ඇතිවී තිබෙන පරීහානිය කෙරෙහි බලපා තිබෙන එකම හේතුව නොවෙතෙත්, ඒ කෙරෙහි බලපා ඇති ප්රධාන හේතු කිහිපය අතරින් එක් ප්රධාන හේතුවක් ලෙස සැලකිය හැකි ය.
17 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළ එක් අරමුණක් වූයේ මහජනයාගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවන ව්යවස්ථාදායක මණ්ඩලයක් ඇති කොට ගොඩ නගන ස්වාධීන කොමිෂන් සභා හතරේ සහ ස්වාධීන තත්ත්වයක තිබිය යුතු සෙසු ආයතනවල ප්රධානීන් හෝ සාමාජිකයන් පත් කිරිමේ බලය එම ව්යවස්ථාදායක මණ්ඩලයට පැවරිම ය. රාජ්ය නායකයාට ප්රමුඛ වැදගත්කමක් ඇති තනතුරුවලට තමන් කැමති නුසුදුසු හා අපකීර්තිමත් පුද්ගලයන් පත් කිරීමට තිබෙන ඉඩ ඇහිරිම එහි අරමුණ විය.
මේ ක්රමය ශ්රී ලංකාවේ පමණක් නොව, වෙනත් බොහෝ රටවල ද ක්රියාත්මක වේ. ඒ යටතේ පුරප්පාඩුවලදි තනතුරේ ගෞරවයට ගැලපෙන සුදුසුම පුද්ගලයා තෝරා රාජ්ය නායකයාට හෝ නායිකාවට නිර්දේශ කිරිමේ බලය ලැබෙන්නේ ව්යවස්ථාදායක සභාවට ය. ඉන්පසු රාජ්ය නායකයා එම නිර්දේශයන් මත ක්රියා කළ යුතු ය. එහෙත් මේ කාර්යය සාර්ථක ලෙස ඉටු කිරිමේ හැකියාව ව්යවස්ථාදායක සභාවට ලැබෙනු ඇත්තේ එම ව්යවස්ථාදායක මණ්ඩලය විධායකයේ අතකොලුවක් නොවන ස්වාධීන තත්ත්වයක පවතී නම් පමණ ය.
විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු කෙටුම්පත අනුව ව්යවස්ථාදායක මණ්ඩලය කථානායක, අගමැති, විපක්ෂ නායක ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුගෙන් යුතුය. ව්යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ක්රියාකරන ඉතිරිපස්දෙනා පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂවල ද අදහස් සැලකිල්ලට ගනිමින් අගමැති හා විපක්ෂ නායකයා එක්ව තෝරා ගත යුතු ය. තෝරා ගන්නා පුද්ගලයින් අවංක ස්වාධීන හා මහජනයාගේ ගෞරවයට හේතුවූ පුද්ගලයින් විය යුතුය.
එහෙත් දැන් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිව ව්යවස්ථාදායක මණ්ඩලය විධායකයට පහසුවෙන් හැසිරවිය හැකි ආයතනයක් බවට හැරවීමට හේතුවන ලෙස සංයුතියේ වෙනසක් ඇති කිරීමට තීන්දු කර තිබේ. ඒ අනුව ව්යවස්ථාදායක මණ්ඩලයට අගමැතිවරයාගේ නියෝජිතයන් තිදෙනෙකු ද, විපක්ෂ නියෝජිතයන් තිදෙනෙකු ද ඊට අතිරේක වශයෙන් ජනාධිපතිනියගේ නියෝජිතයෙකු ද යනාදි වශයෙන් හත් දෙනෙකුගෙන් සමන්විත වේ. ව්යවස්ථාදායක මණ්ඩලයේ බහුතර බලය ලැබෙන්නේ ආණ්ඩුවට ය. එය මේ තිබෙන අමනෝඥ ක්රමයට අලුත් සළු පිළි ඇන්දවීමකට වෙනස් නැත. මෙවැනි රැවටීම් රටේ ප්රශ්නවලට පිළියමක් නොවන අතර, ඒ නිසා විය හැක්කේ තිබෙන පරීහානිය වඩා උත්සන්න වීම පමණය.