පොදු පෙරමුණු ආණ්ඩුව සමග ජනතා විමුක්ති පෙරමුණ ඇති කරගෙන තිබෙන පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ පොදු පෙරමුණු ආණ්ඩුවට තීරණාත්මක සේ ම ප්රධාන විපක්ෂය ලෙස ක්රියා කරන එජාපයට ද තීරණාත්මකය. අනෙක් අතට ඒ සියලු දෙනාටත් වඩා එම පරිවාස ආණ්ඩුව බිහිකළ අම්මා ලෙස සැලකිය හැකි ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මකය. එය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පරිණතභාවය, ස්ථිර ප්රතිපත්ති මත පිහිටා ක්රියාකිරිමේ හැකියාව හා අවංකභාවය තීරණාත්මක ලෙස උරගා බැලෙන උරගලක් ලෙස ක්රියාකරනු නොඅනුමානය.
ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණු ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩුවක් සඳහා ඇති කරගෙන තිබෙන ගිවිසුමට ඇතුළත් කොන්දේසියත්, ආණ්ඩුව සමග සාකච්ඡාවට යාමට පෙර පරිවාස ආණ්ඩුවක් සඳහා ප්රසිද්ධ කළ වැඩපිළිවෙළට ඇතුළත් කොන්දේසියත් අතර බරපතල වෙනස්කම් පවතී. එහෙත් ඒ වෙනස්කම් වෙනම සලකා බැලීමට ඉඩ තබා ඇති කරගෙන තිබෙන ගිවිසුමට ඇතුළත් කොන්දේසි සලකා බැලීම වැදගත්ය.
ජනමත විචාරණය අහෝසි කිරීම හා 7 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවීම යන කොන්දේසි දෙක ආණ්ඩුව සම්පූර්ණ කිරීම තමන් ජනතාව වෙත ලබා දෙන ලද අතිවිශාල ජයග්රහණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පෙන්නුම් කරමින් සිටියත්, එය ජනතාව වෙනුවෙන් ලබාදෙන ලද වැදගත් ජයග්රහණයක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුව ජනමත විචාරණය හකුළා ගත්තේ ඒ ගිවිසුම නිසා ජනමත විචාරණ වැඩපිළිවෙළට එරෙහිව රට තුළ ගොඩ නැගුණු බලවත් මහජන විරෝධය නිසාය. එය අහෝසි නොකොට කල් දමනු ලැබුවේ ජනමත විචාරණය හකුලා ගැනීමට සිදුවීමෙන් සිදුවූ ලජ්ජාව යම් පමණකට හෝ අඩුකර ගැනීමේ පියවරක් වශයෙනි.
පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම සිදුවූයේ ද පාර්ලිමේන්තු සැසි වාරය කල් දෑමූ වහාම හා ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙළ නිසා නම් එය වැදගත් ජයග්රහණයක් ලෙස සලකන්නට පුළුවන්කමක් තිබුණත්, පරිවාස වැඩපිළිවෙළ නිසා සිදුවූයේ 7 වැනිදාට විවෘත කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව එක දිනකින් පමණක් ඉදිරියට ගෙන 6 වැනිදා විවෘත කිරීමය. 7 වැනිදා අසුබ දිනයක් ලෙස නක්ෂත්රකරුවන් ප්රකාශ කර තිබුණු තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව 6 වැනිදා විවෘත කරගැනීමේ වුවමනාවක් පරිවාස වැඩපිළිවෙළක් නැතිව වුව ද ආණ්ඩුවට තිබුණා විය හැකිය.
ජනතා විමුක්ති පෙරමුණේ අමන්දානන්දයට හේතුවී ඇති ඊළග කොන්දේසිය වනුයේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු ගණන 20 දක්වා අඩු කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන කොන්දේසියයි. එය මහජනයාගේ සංතෝෂයට හේතුවිය හැකි පියවරක් වුවත්, එම කොන්දේසිය හරි තක්සේරුවකින් තොරව ඵලදායී ආකාරයකින් ඉදිරිපත් නොකිරීම නිසා එමගින් ද වැදගත් ඵලයක් ලැබිය හැකි ද යන ප්රශ්නයක් පවතී.
සිය ඇමති මණ්ඩලය 20 දක්වා අඩු කරන බවට පොදු පෙරමුණ 94 මැතිවරණයේ දි සිය ප්රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට සහතිකයක් දි තිබුණේය. ජනතා විමුක්ති පෙරමුණ බැලු බැල්මට කරන්නේ පොදු පෙරමුණ දි තිබුණු එම පොරොන්දුව ආණ්ඩුව ලවා ක්රියාවට නැංවීමය. එහෙත් එහිදී පවා ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ ජනතාවට පොරොන්දු වූයේ කුමක්ද යන්න හරීයාකාරව සලකා බලා ඇති බවක් පෙනෙන්නට නැත.
පොදු පෙරමුණ මැතිවරණ ප්රකාශනයේ ඒ ගැන වන සඳහන මෙසේය.
“පාලක පක්ෂයේ දේශපාලකයන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට මහජන මුදල් සම්භාරයක් අපරාධකාරි ලෙස යොදා ගැනීම නිසා යූඑන්පී ආණ්ඩුව දක්වා ඇති වගකීම් විරහිත හා අශිෂ්ට වාර්තාව ලෝකයේ වෙන කිසිම රටක දක්නට නොලැබෙන්නකි. ඇමතිවරු 91 දෙනාට පඩි සහ දිමනා ගෙවීමට පමණක් වාර්ෂිකව රුපියල් දශ ලක්ෂ දෙදහසට අධික මුදලක් වැය කරයි.”
“පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසිදෙනෙකුට වඩා ඇමතිවරුන් පත් නොකරන බවට අපි ජනතාවට ප්රතඥා දෙමු. ඒ මගින් ඉතිරිකරන සම්පත් මහජන ප්රතිපාදනය සඳහා යොදවනු ඇත.” ඇත්ත වශයෙන් විජේතුංග ආණ්ඩුවේ කැබිනට්ටුවේ හෝ ප්රේමදාස ආණ්ඩුවේ කැබිනට්ටුවේ ඇමතිවරුන් 91 දෙනෙකු නොසිටියේය. විජේතුංග ආණ්ඩුවේ 1993 අගෝස්තු කැබිනට්ටුවේ සිටි ඇමතිවරුන් සංඛ්යාව ජනාධිපති සමග 25කි. ප්රේමදාස ආණ්ඩුවේ 1991 වසරේ කැබිනට්ටුවේ සිටි ඇමතිවරුන් සංඛ්යාව ජනාධිපති සමග 22කි.
පොදු පෙරමුණ සිය මැතිවරණ ප්රකාශනයෙන් යූඑන්පී ආණ්ඩුවේ ඇමතිවරුන් 91ක් සිටින බව කියන විට එසේ කීවේ කැබිනට් ඇමතිවරුන් පමණක් නොව, නියෝජ්ය ඇමතිවරුන් හා ව්යාපෘති ඇමතිවරුන් යන සියලු දෙනා සලකාය. පෙරමුණේ පොරොන්දුව අනුව 20 සංඛ්යාව අදාළ වන්නේ කැබිනට් මණ්ඩලය සඳහා පමණක් නොව, නියෝජ්ය ඇමතිවරුන් ඇතුළු සියලු ඇමතිවරුන් සඳහාය. ඇමතිවරුන් හා නියෝජ්ය ඇමතිවරුන් යන සියලු දෙනාගේ සංඛ්යාව 20ක් විය යුතු බව ඉන් අදහස් වේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සිය පරිවාස වැඩපිළිවෙළ මගින් පොදු පෙරමුණ පොරොන්දු වූ ප්රමාණය මෙන් දෙගුණයක් තරම් පිරිසකට තනතුරු දැරිමට වරප්රසාද ලබාදි ඇති බව පෙනී යයි.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ 20 සංඛ්යාවට ජනාධිපති ඇතුළත් නොවන බව ප්රකාශ වූයේ ද පසු අවස්ථාවකදිය. ජනාධිපති, කැබිනට් මණ්ඩලයේ ප්රධානියාය. ඊට අතිරේකව ජනාධිපති, ජනාධිපති ධුරය දරනවාට අතිරේක වශයෙන් ඇමති ධුර කිහිපයක් ද හොබවයි. ඒ අර්ථයෙන් 20 සංඛ්යාව ගණන් ගන්නවා නම්, ගණන් ගත යුතුව තිබුණේ ජනාධිපතිනිය ද ඇතුළත් වන ආකාරයටය.
ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙළ තුළ කැබිනට් මණ්ඩලයේ ප්රමාණය සඳහා කොන්දේසි ඇතත්, ගුණය සඳහා කොන්දේසි ඇතුළත් කර නැත. එය සැලකිය යුත්තේ අමතක වීමක් ලෙස ද, නැතිනම් ගුණය නොසලකා තමන් කැමති පිරිසක් කැබිනට්ටුවට ගැනීමට ජනාධිපතිනියට ඉඩදිය යුතු යැයි සැලකූ නිසාද යන්න පැහැදිලි නැත.
ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණේ මැතිවරණ පොරොන්දුව මත නොඑල්ලී රටට අවශ්ය අමාත්යංශ මොනවාද, රාජ්ය ආයතන ඒවා අතර බෙදා දිය යුත්තේ කෙසේද යන්න ගැන විද්යාත්මක තක්සේරුවක යෙදි, එය ජාතික ප්රතිපත්තියක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමින් අමාත්ය මණ්ඩලයේ සංඛ්යාව එසේ ගොඩනගන අමාත්යංශ සංඛ්යාවට ඇතුළත් විය යුතු බවට කොන්දේසියක් පැනවී නම්, එය රටට වැඩදායී ක්රියාවක් වන්නට ඉඩ තිබුණි. වර්තමානයේ රාජ්ය නායිකාවට ඇමති මණ්ඩලයේ ගණන විශාල කරගැනීමට අවශ්ය වූ විට, අමාත්යංශ සංඛ්යාව ද තමන්ට හිතෙන ආකාරයට වෙනස් කරයි. අනෙක් අතට වර්තමානයේ අමාත්යංශ බෙදා වෙන් කර තිබෙන ආකාරයේ හෝ ඒවාට ප්රමුඛතාව ලබාදි ඇති ආකාරය රටේ තිබෙන වුවමනාවන් සමග මනා ගැලපීමක් නොපවතී. කැබිනට් මණ්ඩලයේ සංඛ්යාව කොපමණ ද යන්න තීරණය විය යුත්තේ ඊට අනුකූලවය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එවැනි ජාතික ප්රතිපත්තියකට යනවා වෙනුවට පොදු පෙරමුණේ පොරොන්දුව මතුපිටින් පමණක් සලකා එය කොන්දේසියක් බවට පත්කර ගත්තේය.
සමස්ත පරිවාස වැඩපිළිවෙළ තුළ තිබෙන ඉතාමත්ම වැදගත් ,රටේ යහපත කෙරෙහි බලපෑමක් ඇති කිරීමට හේතුවන සාධකය වනුයේ 17 වැනි ව්යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමග ඇති කරගෙන තිබෙන එකගතාව ලෙස සැලකිය හැකිය. එකගතා ගිවිසුමේ 5 වැනි වගන්තිය අනුව ව්යවස්ථාදායක මණ්ඩලය, ස්වාධීන රාජ්ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හා ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ඇතුළත් 17 වැනි ව්යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 වැනි දින හෝ ඊට පෙර දිනකදි සම්මත කරගත යුතුය. ව්යවස්ථාදායක මණ්ඩලය ඔක්තෝබර් 5 වැනි දිනට පෙර ස්ථාපිත කළ යුතුය. එහෙත් මේ එකගතා ගිවිසුම තුළ 17 වැනි ව්යවස්ථා සංශෝධනය පිළිබඳව සැකයට හේතුවන විසකුරු සඳහනක් ද ඇතුළත්ය. එනම් එම ව්යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 වැනි දින හෝ ඊට පෙර දිනක සම්මත කර ගැනෙන්නේ දෙපාර්ශ්වයම එකගවන සංශෝධනයකට යටත්ව බව ද එහි සඳහන් වේ. එහෙත් ඇති කරන්නට යන සංශෝධන මොනවාද යන්න තවමත් ප්රකාශ කර නැත.
17 වැනි ව්යවස්ථා සංශෝධනයට ඇතුළත් ව්යවස්ථාදායක මණ්ඩලය හා ස්වාධීන කොමිෂන් සභා හතර පිළිබඳ යෝජනාව දේශපාලන පක්ෂවලින් ගලා ආ යෝජනාවක් නොව, ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතනවල සිදුවී ඇති දේශපාලනකරණය අවසන් කොට නැවත ඒවා ස්වාධීන තත්ත්වයකට ගැනීමට උනන්දුවක් දක්වන සිවිල් ව්යාපාරවල පුද්ගලයින්ගේ අදහසකි. ඒ අදහස එජාප හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ද පොදුවේ පිළිගත්තේය. පසුව විද්වතුන්ගේ සංගමය ඒ අදහස කෙටුම්පතක් බවට පත් කළ අතර, පසුව එජාපය සකස් කළ කෙටුම්පත සකස් කෙරුණේ එම කෙටුම්පත අනුසාරයෙනි. දැන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත්තේ ද එම දෙවැනි කෙටුම්පතය.
ව්යවස්ථාදායක මණ්ඩලයක් ඇති කොට ගොඩ නගන ස්වාධීන කොමිෂන් සභා හතරේ හා එම ව්යවස්ථාදායක මණ්ඩලය යටතට පත්වෙන අනෙක් ආයතනවල සාමාජිකයන් තෝරා පත් කිරිමේ බලය එම ව්යවස්ථාදායක මණ්ඩලයට ලැබිය යුතු යැයි කියන අදහස ඉදිරිපත් වූයේ ප්රමුඛ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට රාජ්ය නායකයා ලැබී තිබෙන අභිමත බලය වැරදි ලෙස පාවිච්චි කරන තත්ත්වයක් යටතේ ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතන විධායකයේ පටු දේශපාලන වුවමනාවන් මත ක්රියා කරන අතකොලු බවට පත්වී තිබුණු නිසාය. ව්යවස්ථාදායක මණ්ඩලයක් යෝජනා කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් යෝජනා කිරීමක් මගින් අපේක්ෂා කළ අරමුණු සපුරා ගැන්මට හැකිවන ආකාරයට එම ආයතන ක්රමය ලබාදිමට ජනතා විමුක්ති පෙරමුණ සමත් වේ නම්, එය ජනතා විමුක්ති පෙරමුණේ ගෞරවයට හා කීර්තියට හේතු වනු ඇතත්, පරිවාස වැඩපිළිවෙළින් රටට ලැබෙන්නට යන්නේ ඒ අරමුණුවලට වෙනස් විධායකයට පහසුවෙන් නැටවිය හැකි රූකඩ ව්යවස්ථාදායක මණ්ඩලයක් නම්, ස්වාධීන කොමිෂන් සභාවලින් අපේක්ෂා කරන, අරමුණු මුළුමණින් බිඳ වැටෙනු ඇති අතර, එය එසේ වේ නම්, ඒ නිසා ඇතිවන අගෞරවයේ හා අපකීර්තියේ ප්රධාන කොටස්කරුවකු බවට පත්වීමට ද ජනතා විමුක්ති පෙරමුණට සිදුවනු ඇත්තේය.
ව්යවස්ථාදායක මණ්ඩලය සමන්විත වන්නේ කාගෙන්ද යන ප්රශ්නය ඉතා වැදගත්ය. එය තමන්ට පාලනය කළ හැකි තැනක තබා ගැනීමට ජනාධිපතිනියට අවශ්ය වී තිබෙන අතර, ඒ අරමුණ ජයගැනීම සඳහා අගමැති නියෝජිතයන් තිදෙනෙක් ද, විපක්ෂ නායකයා නියෝජිතයන් තිදෙනෙක් ද නම් කරන විට, තමන්ටත් එක නියෝජිතයකු නම් කිරිමේ අවශ්යතාව වෙනුවෙන් යෝජනාවක් ජවිපෙරමුණ වෙත ඉදිරිපත් කර තිබෙන අතර, එහි ඇති විසකුරු බව සලකා ඊට තමන්ගේ මුළු ශක්තිය යොදා එරෙහි වන ප්රතිපත්තියක් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ප්රකාශ වූ බවක් ද පෙනෙන්නට නැත.
ඊට අතිරේකව ව්යවස්ථාදායක මණ්ඩලය පත් කිරීමත් සමග ඒ යටතට වැටෙන ආයතනවල ප්රධානීන් හා සාමාජිකයන් තවදුරටත් එම තනතුරුවල තබාගත යුතුද නැද්ද යන ප්රශ්නය සලකා බැලීමේ අයිතිය ව්යවස්ථාදායක සභාවට ලැබිය යුතුව තිබෙන බව ප්රකාශ කරමින් විද්වතුන්ගේ සංගමය ඒ සඳහා සංශෝධනයක් ඉදිරිපත් කර ඇතත්, පොදු පෙරමුණු ආණ්ඩුව එම සංශෝධනයට එරෙහි වන අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණ එම සංශෝධනයට ලැබෙන වැදගත්කම තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් හඬ නගන ප්රතිපත්තියක් අනුගමනය කළ බවක් ද පෙනෙන්නට නැත.
දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙළ යටතේ රටට ලැබෙන්නට යන්නේ රට ඉල්ලා සිටි ආකාරයේ ව්යවස්ථාදායක සභාවක් හෝ ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් වෙනුවට පොදු පෙරමුණු ආණ්ඩුවේ දේශපාලන අභිලාෂයන්ට ගැලපෙන ලෙස විකෘති කරන ලද ව්යවස්ථාදායක සභාවක් හා කොමිෂන් සභා ක්රමයකි. එවැනි වැඩපිළිවෙළකට ජනතා විමුක්ති පෙරමුණේ අනුමැතිය ලැබෙතොත් විකෘති නොකරන ලද ව්යවස්ථාදායක සභාවක් හා ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් දිනාගැනීමට තිබුණු අවස්ථාව රටට අහිමි කිරිමේ පාපයට ප්රධාන වගකිවයුත්තා වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණය.