රනිල් ද? මහින්ද ද?

August 28, 2005
Publication:
Leftward forces gather around Mahinda Rajapaksa and rightward ones around Ranil Wickremesinghe; Mahinda is new, Ranil old. The editorial argues that a candidate must lead his own movement, so either Chandrika must hand Mahinda the power willingly or he must take it without splitting the party.

රටේ ඊළග රාජ්‍ය නායකයා විය යුත්තේ කව්ද? රනිල් වික්‍රමසිංහ ද නැතිනම් මහින්ද රාජපක්ෂද? බහුතර මහජනයා ඒ දෙදෙනා අතරින් තෝරා ගනු ඇත්තේ කාවද? වමට බර බලවේග මහින්ද රාජපක්ෂ වටාත් දකුණට බර බලවේග රනිල් වික්‍රමසිංහ වටාත් පෙළ ගැසෙමින් සිටින බවක් පෙනේ. එහෙත් අද වම හා දකුණ අතර කැපී පෙනෙන වෙනසක් නැත. වම හා දකුණ යන දෙකටම ගමන් යන්නට සිදුවී තිබෙන්නේ එකම මගකය.

මහින්ද අලුත්ය. රනිල් පරණය. මහින්ද අලුත් නිසාම යූඑන්පී විරෝධී බලවේගයන් අතර යම් ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. රනිල් සිය බලවේගයන් අතර ආශ්වාදජනක නැතත්, ඔහුට එම බලවේගයන් අතර තිබෙන පදනම ශක්තිමත්ය. තාමත් මහින්ද ගැන සුළු ජාතිකයන් අතර ඇත්තේ විචිකිච්ඡාවකි. එහෙත් රනිල්ට ඔවුන් අතර විශ්වාසයක් පවතී. රනිල් එජාප ජනාධිපති අපේක්ෂකයා වනවාට අතිරේකව එම පක්ෂයේ නායකයා ද වේ. එහෙත් මහින්ද ශ්‍රීලනිපයේ අපේක්ෂකයා වුවත්, එම පක්ෂයේ නායකයා නොවේ. රනිල්ට පක්ෂ නායකයා වශයෙන් පක්ෂය වෙනුවෙන් තීන්දු ගැනීමේ බලය ඇතත්, මහින්දට පක්ෂය වෙනුවෙන් තීන්දු ගැනීමේ බලය නැත. මෙම තරගයේදි මහින්දට තිබෙන ලොකුම අවාසිය වනු ඇත්තේ ද එයයි.

සාමාන්‍ය මහජනයා වාචික පොරොන්දු වලින් තෘප්තිමත් කළහැකි වුවත්, පක්ෂ හා සංවිධාන වාචිකව දෙන පොරොන්දු වලින් පමණක් තෘප්තිමත් කළ නොහැකිය. ඔවුන්ට ලිඛිත පොරොන්දු අවශ්‍යය. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලනිපය සමග සන්ධානයක් ඇති කරගැනීමේදි ද, පසුගිය මැතිවරණයේදි මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමග පෙරමුණක් ඇතිකර ගැනිමේදි ද ලිඛිත අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබුවේය. එවැනි අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරීමේ බලය පක්ෂ නායකයා වශයෙන් රනිල්ට ඇතත්, මහින්ද පක්ෂ නායකයා නොවන නිසාම එවැනි අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීමේ බලයක් මහින්දට නැත. එම තත්ත්වය මහින්ද ජනාධිපති අරගලයේදි මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය.

රාජ්‍ය නායකත්වයට තරග කරන පුද්ගලයෙකු අවශ්‍යයෙන්ම ඔහු නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ නායකයා විය යුතුය. රාජ්‍ය නායකත්වය සඳහා කරන තරගයේදි අවශ්‍ය තීන්දු ගැනීමේ බලය ඔහුට තිබිය යුතුය. මහින්ද ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වුවත් එම පක්ෂයේ තීන්දු ගැනීමේ බලය ඇත්තේ චන්ද්‍රිකා අතේය. ඒ නිසාම සහයෝගිතා ගිවිසුම් ඇතිකර ගැනීමේදි පක්ෂයේ නිල නායිකාව අනුමත කරන බලවේගයක් සමග මිස තමන් කැමති බලවේගයක් සමග සහයෝගිතා ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාවක් මහින්දට නැත. මහින්දගේ එක් කකුලක් නිදහස්ය. අනෙක් කකුල බැඳි ලණුව ඇත්තේ චන්ද්‍රිකා අතේය. මහින්දට නිදහසේ දිවීමට අවශ්‍ය නම් කකුල බැඳි ලණුව ලිහා ගත යුතුය.

ජේ.ආර්.ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස අතර ද භේද තිබුණේය. එහෙත් ජේ.ආර්. ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රේමදාසට දෙන විට පක්ෂ නායකත්වය ද ප්‍රේමදාසට දුන්නේය. ප්‍රේමදාස තරග බිමට ආවේ පක්ෂයේ සුක්කානම පාලනය කිරීමේ පූර්ණ බලය තමන් අත තබාගෙනය. එහෙත් මහින්දට ජනාධිපතිවරණ තරගයේ රියදුරු අසුනේ වාඩිවීමට ඉඩ ලැබී ඇතත්, සුක්කානම මෙහෙය වීමේ බලය ලැබී නැත. ඒ බලය තාමත් තිබෙන්නේ චන්ද්‍රිකා අතේය. පූර්ණ ආත්ම විශ්වාසයකින් යුතුව තරග බිමට අවතීර්ණ වීමට අවශ්‍ය වටපිටාවක් මහින්දට සහතික කරදිමට පක්ෂය සමත් වී නැත. මෙම ජනාධිපතිවරණයේදි මහින්දට බලවත් තරගකරුවකු වීමට හැකිවනු ඇත්තේ පක්ෂ නායකයා ලෙස තීන්දු ගැනීමේ බලය තමන් අතට ගැනීමට හැකිවේ නම් පමණය.

එක්කෝ චන්ද්‍රිකා එම බලය සිය කැමැත්තෙන් මහින්දට දිය යුතුය. නැතිනම් පක්ෂය තුළ බෙදිමක් ඇති නොවන ආකාරයට ඒ බලය උදුරා ගැනීමට මහින්ද සමත් විය යුතුය.