ජනාධිපති අපේක්ෂකයන්ගේ වගකීම

August 28, 2005
Publication:
The presidential race has begun, but on trivia rather than the country's main problems. Taking public transport and another pressing issue as examples of about a dozen, the editorial says voters should demand to know what solutions the candidates offer.

ජනාධිපතිවරණ තරගය දැනටමත් ආරම්භ වී ඇති බවක්, පෙනෙන්නට ඇතත්, අනන් මනන් ප්‍රශ්න මිස රට මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡාවට ලක්වෙන තත්ත්වයක් ගොඩ නැගී නැත. ජනාධිපති යනු රටේ රාජ්‍ය නායකයා ය. රාජ්‍ය නායකත්වයට තරග කරන අය රට මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට තමන්ට ඇති විසඳුම් මහජනයාට විස්තර කළ යුතු ය. රටට අවශ්‍ය වී ඇත්තේ රටේ ප්‍රශ්න විසඳිය හැකි රාජ්‍ය නායකයෙකි. රාජ්‍ය නායකත්වයට තරග කරන්නන් රටේ ප්‍රශ්න පිළිබඳව හා ඒවා විසඳලීමට තමන්ට තිබෙන දැක්ම මේ ජනාධිපතිවරණයේ දී හෙළි කළ යුතු ය.

පොදු මගී ප්‍රවාහනයට ආවේණික අපිළිවෙළ, අකාර්යක්ෂමතාව හා පීඩාකාරී බව රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගත හැකි ය. එම ප්‍රශ්නය රටේ ජනතාව කෙරෙහි පමණක් නොව, රටේ සංවර්ධනය කෙරෙහි ද බලපායි. දේශපාලකයින්ට නම් තමන්ගේ ගමන් බිමන් යෑමට මහජන වියදමින් අධිසුඛෝපභෝගී යාන වාහන ලැබී තිබේ. එහෙත් මහජනතාවගෙන් වැඩි කොටසක් සිය ගමන් බිමන් යන්නේ බස්රථවලින් හෝ දුම්රියෙනි. බස් සේවාවන් සේ ම දුම්රිය සේවාව තිබෙන්නේ ද අවුල් ජාලාවක ය. රටේ පවතින පොදු මගී සේවාව මහජනයාගේ ආත්ම ගෞරවය කෙළෙසන ප්‍රධාන මාර්ගයක් ලෙස සැලකිය හැකි ය. මහජනයා පීඩාවට ලක් කිරීමට හේතු නොවන ඔවුන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන කාර්යක්ෂම හා නවීන පොදු මගී සේවාවක් ඇති කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය රටේ අතිවිශාල බහුතර ජනතාවකට බලපාන මූලික ප්‍රශ්නයක් වන අතර, ඒ ප්‍රශ්නයට තමන්ට තිබෙන විසඳුම් මොනවා ද යන්න පැහැදිලි කිරීම රාජ්‍ය නායකත්වයට තරග කරන ජනාධිපති අපේක්ෂකයන්ගේ වගකීමකි.

රටේ පාසල් ක්‍රමය හා අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ද අවුලෙන් අවුලට ගිය තත්ත්වයක ය. එහිදිත් රටේ දේශපාලකයින්ට තම දරුවන් සඳහා කොළඹ පාසලක් තෝරා ගැනීමේ වරප්‍රසාදය ලැබී ඇතත්, සාමාන්‍ය මහජනයාට සිය ආත්ම ගෞරවයට සරිලන සුදුසු පාසලක් සඳහා වන අයිතිය තහවුරු කරගැනීම සඳහා තෝරාගත් පාසලේ වැට අද්දරට ගොස් දරුවන් වැදියයුතු තත්ත්වයක් ගොඩනැගී තිබේ. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ ප්‍රශ්නය දෙමාපියන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන බලධාරීන් අතර ගැටුම් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී තිබෙන අතර, පළමු ශ්‍රේණියට ඇතුළත් වන හැම ළමයෙකුට ම ඔවුන්ගේ ආත්ම ගෞරවයට හේතුවන පාසලක් සහතික කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුම් පෙන්වා දිම රාජ්‍ය නායකත්වයට තරග කරන අපේක්ෂකයන්ගේ වගකීමකි.

මෙය රට මුහුණ දී තිබෙන දැවෙන ප්‍රශ්න අතරින් මහජනයාට බලපාන ගැටලු දෙකක් පමණ ය. ප්‍රමුඛතාව අනුව තවත් එවැනි ගැටලු 10 ක් පමණ හඳුනාගත හැකි ය. ඒ සමග දේශපාලන ආයතන ක්‍රමයේ ශීඝ්‍ර ගරා වැටීමක් දැකිය හැකි ය. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා ජනමාධ්‍ය යන හැම ආයතන ක්‍රමයක් ම තිබෙන්නේ දූෂණයෙන් කුණුවූ තත්ත්වයක ය. දේශපාලකයන් වැඩි පිරිසකට රට ගැන හැගීමක් ඇත්තේ ම නැති තරම් ය. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී ඇති බව පෙනෙන්නේ අයථා ලෙස මුදල් හරිහම්බ කරගැනීම කෙරෙහි ය. පාර්ලිමේන්තුවේ ද ඵලදායකත්වයේ හා කාර්යක්ෂමතාවයේ ශීඝ්‍ර පරිහානියක් දැකිය හැකි ය. පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට යන මහජන වියදම අතිවිශාල ය. එහෙත් පාර්ලිමේන්තුවේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අවශ්‍ය තරම් අවධානයක් යොමුවී නැත.

රටේ යුක්තිය පසිඳලන ආයතනය වන අධිකරණය තිබෙන්නේ ද ශිෂ්ටසම්පන්න හෝ මහජනයාගේ ගෞරවයට හේතුවන තත්ත්වයක නො වේ. අගවිනිසුරුවරයාට එරෙහිව බරපතළ චෝදනා ඇතුළත් දෝෂාභියෝග දෙකක් ද පාර්ලිමේන්තු යෝජනාවක් ද ඉදිරිපත් වී ඇතත්, එම චෝදනාවල ඇත්ත නැත්ත අද දක්වා විමසා බලා නැත. අඩුම තරමින් අගවිනිසුරුවරයාවත් තමන්ට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා විභාග කොට බලා තමන්ගේ නම නිර්දෝෂී කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර නැත. රටේ සමස්ත ආයතන ක්‍රමය ම ශිෂ්ටසම්පන්න නොවන තත්ත්වයකට ඇද වැටී ඇතත්, එම ප්‍රශ්න තමන් විසඳන්නට යන්නේ කෙසේ ද යන්න තවමත් ජනාධිපති අපේක්ෂකයන් රටට විස්තර කර නැත.

රටේ තිබෙන දැවෙන ප්‍රශ්නවලට ජනාධිපති අපේක්ෂකයන් දෙන්නට බලාපොරොත්තු වන විසඳුම් මොනවාද යන්න මහජනයා ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරන තැනකට යා යුතු ය. රට අඩියක් හෝ ඉදිරියට ගත හැකි වනු ඇත්තේ එවැනි දේශපාලන සංවාදයකට රට යොමු කළ හැකි වේ නම් පමණ ය.