බණ්ඩාරවෙල දෙමළ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පවත්වාගෙන ගිය පුනරුත්ථාපන කඳවුරේ ඇති වී තිබෙන සිරකරුවන් ඝාතනයෙන් රටටත් ලෝකයටත් ලබාදෙන චිත්රය ඉතාමත් සාහසික ය. තමන්ගේ අත්අඩංගුවේ සිටින පිරිසක් ආරක්ෂෂා කර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. කවර හේතුවක් නිසා හෝ එවැනි පිරිසක් සමූහ ඝාතනයට ලක් කිරීම ම්ලේච්ඡ තත්ත්වයකට යාමට සමාන ය. එවැනි නින්දා සහගත සිද්ධීන් දෙකක් 83 දි වැලිකඩ බන්ධනාගාරයේ ද සිදුවිය. ඉන්පසු ඒ හා සමාන සිද්ධියක් නැවත ඇති වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අත්අඩංගුවේ සිටින සිරකරුවන්ගේ ආරක්ෂෂාව පිළිබඳ ප්රශ්නයේ ඇති වැදගත්කම ආණ්ඩුව බැරෑරුම් ලෙස සලකා නැති බව ය. මෙවැනි සිද්ධියක් බටහිර රටක වී නම් බලයේ සිටින සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවනු නොඅනුමාන ය.
එහෙත් අප රටේ තත්ත්වය ඊට වෙනස් ය. කොතරම් බරපතල වැරදි සිදුවුවත් ඊට වගකිවයුතු අය සිය තනතුරු අත්හරින සම්ප්රදායක් අපේ රටේ නොපවතී. ප්රභාකරන්ගේ සාහසිකකම් ගැන කථාකරමින් ඊට නොදෙවෙනි තරමක සාහසිකකම්වල යෙදෙන්නේ නම් සාහසිකත්වයේ විෂම චක්රය විසින් නැවත වරක් මුළු රට වෙලාගන්නා දිනය බොහෝ ඈත විය නොහැකි ය. මේ සමස්ත සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂෂණයක් පවත්වා ඊට වගකිවයුතු සියලු දෙනා නොපමාව නීතිය ඉදිරියට ගෙන ඒම ආණ්ඩුවේ වගකීමකි.