පාර්ලිමේන්තුවේ ගෞරවය ස්ථාපිත කිරිමෙහිලා නව කථානායකවරයා ඉදිරියේ ඇති අභියෝග

October 29, 2000
Publication:
Anura Bandaranaike, an opposition member, has been elected Speaker with government support as Parliament declines. Ivan urges him to have ballot rigging at the last election investigated by a select committee or commission and the guilty expelled, to champion an Indian-style election commission, and to introduce a code of conduct for members. He should enforce the assets and liabilities law and make declarations cheaply available, open Parliament and its committees to electronic media, and bring funds such as the President's Fund and Samurdhi under the Auditor General.

විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයකු වන අනුර බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයේ ද සහාය ඇතිව පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට තේරිපත්වන්නේ පාර්ලිමේන්තුව නමැති එම දේශපාලන ආයතනය ශීඝ්‍ර පරිහානියකට යමින් තිබෙන අවස්ථාවකය. පාර්ලිමේන්තුවට ආවේණක ගෞරවයේ යම් පිරිහීමක් ඇතිවී ඇත්නම් එය වළකා නැවත ඊට ආවේණක ගෞරවය ලබාදිමේ ප්‍රධාන වගකීම දැන් පැවරි ඇත්තේ නව කථානායකවරයාටය. නව කථානායකවරයාගේ සාර්ථක, අසාර්ථකභාවය උරගා බලන ප්‍රධාන උරගල ලෙස ක්‍රියාකරනු ඇත්තේ ද එයයි.

පාර්ලිමේන්තුව මහජන ඡන්දයෙන් තේරි පත්වන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ප්‍රධානම දේශපාලන ආයතනයයි. එහෙත් පාර්ලිමේන්තුවට තේරි පත්වන මන්ත්‍රීවරුන්ගෙන් කිසියම් පිරිසක් පිරිසිදු මහජන ඡන්දයකින් වෙනුවට බලහත්කාරි ඡන්ද මංකොල්ල ක්‍රමයක් මගින් තේරි පත්වූ අය වේ නම් එවැනි කොල්ලකරුවන්ගෙන් සමන්විත ආයතනයක් උත්තරිතර හෝ ගරු කටයුතු විය නොහැකිය.

පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසාලීමට හේතුවන එවැනි අය පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීමට හේතුවන ක්‍රමයක් ඇති කරගැනීම ඉතා අවශ්‍ය වන්නා සේ ම මින් ඉදිරියට එවැනි කොල්ලකරුවන්ට පාර්ලිමේන්තුවට තේරි පත්වීමට ඉඩක් නොලැබෙන තත්ත්වයක් සහතික කිරීමට ද කථානායකවරයා වෙත පැවරෙන ප්‍රමුඛ වගකීමකි. පාර්ලිමේන්තුව ඉතා හොඳින් හැසිරවීමෙන් පමණක් පාර්ලිමේන්තුවේ නැතිවී තිබෙන ගෞරවය ඇති කළ නොහැකිය. එය ඇති කළ හැකිවනු ඇත්තේ පාර්ලිමේන්තුවේ ගෞරවය කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇති ඉහත කී මූලික ගැටලුවට සුදුසු පිළියමක් සොයාගැනීමට නව කථානායකවරයා සමත් වේ නම් පමණය.

ඒ සඳහා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි සිදුවී ඇති බරපතල ඡන්ද දූෂණ හා ඊට වගකිවයුතු පුද්ගලයන් කව්ද යන්න සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවකින් හෝ පාර්ලිමේන්තුවෙන් පිටස්තර මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පුද්ගල පිරිසකගෙන් සමන්විත කොමිසන් සභාවක් ඇති කළ හැකිය. එම පරික්ෂණයෙන් වරදකරුවන් වන සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පළවා හැරිය හැකිය.

ඒ සමග නැවත මින්මතු පැවැත්වෙන කිසිම මැතිවරණයකදි පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළසීමට හේතුවන එවැනි වැරදි ඇති නොවීම පිණිස ඉන්දියාවේ පවතින ස්වාධීන මැතිවරණ කොමිසමට සමාන පුළුල් බලතල ඇති මැතිවරණ කොමිසමක් නීතිගත කරගැනීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුව වෙත අවධාරණය කරමින් කථානායකවරයාට එවැනි මැතිවරණ කොමිසමක් ඇතිකරගැනීමේ ක්‍රියාවලියේ පෙර ගමන්කරුවකු බවට පත්විය හැකිය.

පිරිසිදු ලෙස මහජන ඡන්දයෙන් තේරි පත්වන මහජන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පවා ඔවුන් මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තැනකට ගෙන ඒමේ අවශ්‍යතාවක් ද පවතී. එම ප්‍රශ්නය ද පාර්ලිමේන්තුවේ ගෞරවයට අදාළ මූලික ගැටලුවකි. ඒ සඳහා එය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක වන මහජන මන්ත්‍රීවරුන්ගේ යුතුකම් හා වගකීම් විස්තර කෙරෙන ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගත හැකිය. ඊට පටහැනිව වැරදි කරන අයට එරෙහිව පැමිණිලිඉදිරිපත් කළ හැකි ඒ පැමිණිලිවිභාග කොට වරදකරුවන්ට දඬුවම් පමුණුිවන යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුවට ඇතිකර ගත හැකිය.

පාර්ලිමේන්තුවට තේරි පත්වන මහජන නියෝජිතයන්ගේ පාරදෘශ්‍යභාවය සහතික කිරීම ද ඉතා වැදගත්ය. පාර්ලිමේන්තුවට තේරි පත්වන මන්ත්‍රීවරුන් දිවුරුම් දිමට ප්‍රථම හෝ දිවුරුම් දුන් වහාම මැතිවරණ කොමසාරිස්වරයාට ද ඉන්පසු හැම වසරකම ජූලි 31 වැනිදාට ප්‍රථම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ද තමන්ගේ ද තම අඹුදරුවන්ගේ ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට නීතියක් ඇතත්, එම නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් නොපවතී. වත්කම් හා බැරකම් ප්‍රකාශවලින් වැළකී සිටීම හෝ එම ප්‍රකාශවලට සත්‍ය කරුණු හෙළිදරව් නොකිරීම, ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් බරපතල වරදක් ලෙස සැළකෙතත්, මැතිවරණ කොමසාරිස්වරයා හෝ පාර්ලිමේන්තු ලේකම්වරයා වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකරන මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට පැමිණිලිකරන පිළිවෙතක් ද අනුගමනය නොකරයි. අනෙක් අතට වත්කම් හා බැරකම් නීතිය අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිමට බැඳී සිටින පුද්ගලයකු කරන වත්කම් හා බැරකම් ප්‍රකාශන පිටපත් පහසු මිලකට එය ලබාගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම පුරවැසියෙකුට ලබාදිමට බලධාරින් නීතියෙන් බැඳී සිටියත්, එම නීතිය ද ක්‍රියාත්මක වන තත්ත්වයක් නොපවතී. නව කථානායකවරයාට මේ තත්ත්වයෙහි මූලික වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රියාකළ හැකිය. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඒ වර්ෂ සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගන්නා ලෙසත්, වර්තමාන පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීම සඳහා ක්‍රියාකරන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට නියෝග කළහැකි අතර, මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට ඉල්ලුම් කරන ඕනෑම පුරවැසියකුට ඡායා පිටපත් ලබාගැනීම සඳහා යන මිලට සමාන මිලක් අය කොට එම වත්කම් හා බැරකම් ලබාදිමට අවශ්‍ය පහසුකම් ඇති කරන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට නියෝග කළ හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායක සභාවේ සියලු කටයුතු මහජනතාවට විවෘත විය යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුව මුළුමණින් ජනමාධ්‍යවලට විවෘත විය යුතුය. අද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එක්තරා ප්‍රමාණයකට හෝ විවෘත තත්ත්වයක් පවතින්නේ මුද්‍රිත ජනමාධ්‍යවලට පමණය. එහිදී ද කාරක සභා මට්ටමෙන් කෙරෙන සාකච්ඡා මුද්‍රිත ජනමාධ්‍යවලට පවා අවිවෘතය. පාර්ලිමේන්තුවේ කටයුතු මුද්‍රිත ජනමාධ්‍යවලට පමණක් සීමා නොකොට, ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලට ද විවෘත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියක් වන අතර, ඒ සමග වෙනත් රටවල මෙන් රාජ්‍ය ආරක්ෂාවට අදාළ කාරක සභා රැස්වීම් හැර ජන ජීවිතයට රාජ්‍ය පාලනයට අදාළ වැදගත් කරුණු සාකච්ඡාවට ලක් කෙරෙන කාරක සභා මට්ටමේ සාකච්ඡාවල දොරටු ද සියලු ජනමාධ්‍යවලට විවෘත කළ හැකිය.

රජයේ විගණකාධිපතිවරයා රජයට සම්බන්ධ හැම ආයතනයකම ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ගිණුම් වාර්තාවක් වාර්ෂිකව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, දැන් කලක පටන් සියලුම රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා වෙනුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඇතැම් රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා පමණය. විශේෂයෙන්ම ජනාධිපති අරමුදල වැනි අරමුදල් විගණනය කෙරෙන්නේ නැති තරම්ය. විගණකාධිපතිවරයා හෝ පාලනයෙන් පිටස්තර රජයට සම්බන්ධ කිසිම අරමුදලක් තිබිය නොහැකි වුවත් සමෘද්ධි ආරක්ෂක අරමුදල් වැනි අතිවිශාල අරමුදල් පවා විගණකාධිපතිවරයාගේ පාලනයෙන් පරිබාහිරව පවතී. රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට විකුණන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන්නේ ද පාර්ලිමේන්තුවේ නිසි අධීක්ෂණයකින් තොරවය. මේ තත්ත්වය වහා වෙනස් කොට හැම රාජ්‍ය ආයතනයකට ම ක්‍රියාකාරිත්වය අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයකට ගැනීමද නව කථානායකවරයා වෙත පැවරෙන වගකීමකි. නීතියෙන් නියම කර ඇති පරීදි හැම රාජ්‍ය ආයතනයකම විගණන වාර්තාව විගණකාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරවා ගැනීම අවශ්‍ය සේ ම නැවත එම වාර්තාවල පිටපත් මහජනයා අතට පත් කිරීමට කාර්යක්ෂම ක්‍රමයක් ඇති කිරීම ද අත්‍යවශ්‍යය.

නව කථානායකවරයාට මේ මූලික කරුණු කිහිපය සම්පූර්ණ කිරිමෙන් පමණක් වුවත්, බිඳ වැටෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කෙරෙහි පුනර්ජීවයක් ඇති කළ හැකි අතර, ඒ මගින් පාර්ලිමේන්තුව නැවත මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආයතනයක් බවට පත් කළ හැකිය.

නව කථානායකවරයාට ඒ කාර්ය භාරය සම්පූර්ණ කිරීමට හැකි වේ නම්, ශ්‍රී ලංකාවේ බිඳ වැටෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත් ප්‍රධාන පුද්ගලයකු ලෙස අනුර බණ්ඩාරනායක යන නාමය ඉතිහාසයට එකතු වනු නොඅනුමානය.