රට අල්ලස්ලන්තයක් ද?

April 15, 2001
Publication:
The Presidential Secretary called English-press reports on bribery allegations against BOI chairman Thilan Wijesinghe malicious. The editorial notes that Wijesinghe's petition names Ranjith Atukorale, introduced by Minister Mangala Samaraweera, as seeking a $5 million bribe in the names of the President, Samaraweera and Wijesinghe over a Galle flour mill, that the Bribery Commission finds the charge against Wijesinghe credible, and that the government bears responsibility.

ආයෝජන මණ්ඩලයේ සභාපති තිලාන් විජේසිංහ මහතාට එරෙහිව එල්ල වී තිබෙන අල්ලස් චෝදනා ආශ්‍රයෙන් ඉංග්‍රීසි පුවත්පත් දෙකක පළවූ වාර්තා පිළිබඳව ජනාධිපති ලේකම් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එම පුවත්පත් දෙකේම පළවූ සිරස්තල නොමග යවන සුළු ශීර්ෂ පාඨ බව හා ජනාධිපතිනියගේ කීර්තිනාමයට කැළලක් ඇති කිරිමේ ද්වේෂසහගත හැගීමෙන් කරන ලද ක්‍රියාවන් බව ය.

තිලාන් විජේසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ ජනාධිපතිනිය, ඇමති මංගල සමරවීර හෝ ජනාධිපති ලේකම් එම ව්‍යාපෘතියෙන් පගාව ඉල්ලා ඇති බවක් සඳහන් නොවන බව සත්‍යයකි. එහෙත් තිදෙනාගේ නම් සඳහන් කරමින් ඩොලර් දශ ලක්ෂ 5ක් ආයෝජකයකුගෙන් ලබාගැන්මට ආයෝජන ප්‍රවර්ධකයෙක් ලෙස ක්‍රියා කළ රංජිත් අතුකෝරල උත්සාහ දරා ඇති බව එහි සඳහන් වේ.

පළමුව මේ දෙපාර්ශ්වයම එකිනොකට එරෙහිව එල්ල කරන චෝදනාවලින් පෙනීයන්නේ ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සමග ගනුදෙනු කර තිබෙන පහත් ආකාරයේ තරමයි. අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව තිලාන් විජේසිංහට එරෙහිව එල්ල වී තිබෙන අල්ලස් චෝදනාව පිළිගත හැකි මට්ටමක පවත්නා චෝදනාවකි. තිලාන් විජේසිංහ එක් අතකින් ජනාධිපතිනියගේ හිතවතකු වන අතර, රටේ ලොකුම වැටුප ලැබූ විධායක නිලධාරියා වන්නේ ද ඔහු ය. අනෙක් අතට රංජිත් අතුකෝරල ආයෝජන ප්‍රවර්ධකයකු ලෙස තිලාන්ට සම්බන්ධ කොට දි ඇත්තේ ඇමති මංගල සමරවීර මහතා ය. තිලාන් විජේසිංහ කියන ආකාරයට ඔහු තක්කඩියකු නම් එවැනි තක්කඩියකු රජයේ කැබිනට් ඇමතිවරයෙකු විසින් ආයෝජන ප්‍රවර්ධකයකු ලෙස තිලාන් විජේසිංහට හඳුන්වාදුන්නේ ඇයි?

මේ හඳුන්වාදිම කර ඇත්තේ ද පොදු කාර්යයක් සඳහා නොව ගාල්ලේ ආරම්භ කිරීමට නියමිත පිටි කම්හල් ව්‍යාපෘතියක් සඳහා ය. අවසානයේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ එම පුද්ගලයාට සම්බන්ධ ආයෝජකයාට ය. මේ ව්‍යාපෘතියට සම්බන්ධ අය හුවමාරු කොට ගෙන ඇති ලිපි ලේඛන පරික්ෂා කිරිමේදි තමන් ඉල්ලන ඩොලර් දශ ලක්ෂ පහේ පගාව බෙදා දිය යුතු පුද්ගලයන් ලෙස ජනාධිපතිනිය, ඇමති මංගල සමරවීර හා තිලාන් විජේසිංහ යන අයගේ නම් කිසිම බියකින් තොරව සඳහන් කර ඇති බව ද දැකිය හැකි ය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් සියලු ගනුදෙනු සිදුවී තිබෙන්නේ ඉතාමත් නින්දා සහගත ආකාරයට ය. එම තත්ත්වයට ආයෝජන මණ්ඩලයේ සභාපති වශයෙන් තිලාන් විජේසිංහ පමණක් නොව ආණ්ඩුව ද වගකිව යුතු ය.