ශ්රීලනිපයේ සිය 54 වන සංවත්සරය පැවැත්වූයේ ද, එක්සත් ජාතික පක්ෂය සිය 59 වැනි සංවත්සරය සැමරුවේ ද එකම දිනකය.
මෙම පක්ෂ දෙක රටේ දේශපාලන ක්රමය තුළ පවත්නා ප්රධාන බල උල්පත් දෙක ලෙස සැලකිය හැකි අතර, නිදහසින් පසු මෙතෙක් බලයට පත් සියලු රාජ්ය නායකයින් බිහිවී ඇත්තේ මෙම පක්ෂ දෙක හරහාය. මෙම පක්ෂ දෙක අතර සිදුවන බල මාරුව රෝහණ විජේවීර විස්තර කර ඇත්තේ තට්ටු මාරු ක්රමයක් ලෙසය. එක් වසර කිහිපයක් බෝතලේ වලව්වටත්, ඉන්පසු තවත් වසර කිහිපයක් හොරගොල්ලේ වලව්වටත් මාරුවන ක්රමයක් ලෙසය. දැන් විජේවීරගේ පක්ෂය ද එම තට්ටු මාරු ක්රමයේම කොටස්කරුවන් පරිසක් බවට පත්ව සිටිනවා දැකිය හැකිය.
එක්සත් ජාතික පක්ෂය සමීප ඥාති සම්බන්ධකම් ඇති බලවත් පවුල් කණ්ඩාමක පාලනය යටතේත්, ශ්රීලනිප එක් පවුලක පාලනය යටතේත් ක්රියාත්මක වන පක්ෂ දෙකක් ලෙස සැලකිය හැකිය. එක්සත් ජාතික පක්ෂය අතීතයේ සැලකුණේ මාමා-බෑණා පක්ෂය වශයෙනි. ශ්රීලනිපය සැලකුණේ බණ්ඩාරනායක-රත්වත්ත පවුලේ පක්ෂයක් ලෙසය. එක්සත් ජාතික පක්ෂය බිහිකළ රාජ්ය නායකයින් අතරින් එම පක්ෂයට සම්බන්ධ ප්රධාන පවුල් කණ්ඩායමෙන් පිටස්තරව බලයට පැමිණි එකම පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ රණසිංහ ප්රේමදාස මහතා පමණය. (ඩී.බී. විජෙතුංග මහතා ද එම පවුල් කණ්ඩායමෙන් පිටස්තරයෙකු වුවත්, ඔහු අහම්බෙන් බලයට පැමිණි ඉතාමත් කෙටි කාලයක් පමණක් පාලන බලයේ සිටි පුද්ගලයෙකු වන නිසා ඔහු මෙම ගණන් බැලීම එකතු කරගැනීමට අවශ්ය නැත.) ඩී.ඇස්. සේනානායකගේ සිට වර්තමාන එජාප නායකයා ලෙස ක්රියා කරන රනිල් වික්රමසිංහ මහතා දක්වා වන, අනෙකුත් එජාප නායකයින් සියලු දෙනා එකම පවුල් කණ්ඩායමකට අයත් අයවී යැයි කිව හැකිය. ශ්රීලනිපයේ ද බණ්ඩාරනායකගේ සිට ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය දක්වා බලයට පැමිණි සියලු ශ්රීලනිප නායකයන් එකම පවුලකට අයත් පියා, මව හා දුව ලෙස සැලකිය හැකිය. එහෙත් මෙවර ශ්රීලනිප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන මහින්ද රාජපක්ෂ එම තත්ත්වය දිනාගත් පළමු පිටස්තරයා ලෙස සැලකිය හැකි අතර, ඔහු මෙම ජනාධිපතිවරණය ජයගැනීමට සමත් වුවහොත් ශ්රීලනිපයේ එතෙක් පැවති පවුල් ආධිපත්යය බිඳ වැටී එම පක්ෂය ද වෙනස් ගමන් මගක ගමන් ගනු ඇතැයි සිතිය හැකිය. එහෙත් අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් නැවත පක්ෂය මෙහෙයවීමේ බලය විශ්රාම යන ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියට හිමිවී එම පක්ෂය යළි එම පවුලේ ආධිපත්යය යටතේ ගමන් ගන්නා පක්ෂයක් බවට පත්වනු ඇතැයි සිතිය හැකිය.
දශක 05 කට වැඩි කාලයක් ගතවී ඇතත්, රටේ ප්රධාන දේශපාලන බල උල්පත් දෙක ලෙස සැලකිය හැකි මේ පක්ෂ දෙක අවශ්ය තරමින් නවීන වී නැති බව ද කිව යුතුය. මේ පක්ෂ දෙක තුළම අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නොපවතී. පක්ෂ නායකයා තීරණය කිරීමේ හෝ පක්ෂයේ ප්රතිපත්ති තීරණය කිරීමේ බලය පක්ෂ සාමාජිකයන්ට ලැබී නැත. තීන්දු ගැනීමේ ක්රියාවලියට නියෝජිතයින් සම්බන්ධ කරගන්නේ තමන් ප්රජාතන්ත්රවාදි බව පෙන්නුම් කිරීමට පමණය. මැතිවරණ කොට්ඨාස වලට තරග කරන අපේක්ෂකයන් තීන්දු කරන්නේ ද එම කොට්ඨාසවල පාක්ෂිකයන් නොව කොළඹ සිටින පක්ෂ නායකයන්ය.
මෙම ප්රධාන පක්ෂ දෙකම ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන විශේෂයක් ලෙස ක්රියා කරයි. එසේ ඒකාධිපති නායකයින් ලෙස පුරුදු පුහුණු කෙරුණු නායකයා හෝ නායිකාව රාජ්ය නායකයා බවට පත්වූ විට රට එම නායකයාගෙන් හෝ නායිකාවගෙන් ප්රජාතන්ත්රවාදි නිදහස ඉල්ලා සිටීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැකිය. මෙම පක්ෂ දෙකේම පක්ෂ ව්යවස්ථා ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු ව්යවස්ථා ලෙස සැලකිය හැකි අතර, පක්ෂ දෙකේ එම ඒකාධිපති ගති ලක්ෂණ රටේ දේශපාලනය කෙරෙහි සේ ම රාජ්ය පාලනය කෙරෙහි ද බලපා තිබේ.
මෙම පක්ෂ දෙකේ ම සාමාජිකයින් අතර උගත් පුද්ගලයින් ඇතත්, මෙම පක්ෂ අභ්යන්තර ප්රජාතන්ත්රවාදි නිදහස සහිත පක්ෂ බවට පරිවර්තනය කරගැනීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. මෙම පක්ෂ දෙක රටට කිසිම සේවයක් කර නැතැයි කිව නොහැකිය. විවිධ මට්ටමෙන් විවිධ සේවාවන් කර තිබෙනවා විය හැකිය. එහෙත් මෙම පක්ෂ දෙකේ පසුගාමී බව මුළු රාජ්ය ක්රමයම කෙරෙහි බලපා තිබේ. මෙම පක්ෂ දෙක තුළ පමණක් නො ව රටේ තිබෙන වෙනත් පක්ෂවල ද අභ්යන්තර ප්රජාතන්ත්රවාදි නිදහසක් නොපවතී. පක්ෂ නායකයන් ප්රජාතන්ත්රවාදිව තෝරාපත් කරගන්නා ක්රමයක් නොපවතී. එම පක්ෂවලට ලැබෙන මුදල්වල විනිවිද භාවයක් නොපවතී. දක්ෂතා ඇති පුද්ගලයන් විෂයයන් අනුව බෙදා ඔවුන් පුරුදු පුහුණු කරන ක්රමයක් නොපවතී. නිලතල වලට පත්වන්නේ දක්ෂතා ඇති පුද්ගලයන් නොව පක්ෂ නායකයාට හෝ නායිකාවට පක්ෂපාත පුද්ගලයින්ය. මේ හැම පක්ෂයක් තුළම අකාර්යක්ෂ්මතාව හා දූෂණය රජ කරයි. මේ තත්ත්වය රටේ සමස්ත දේශපාලනය කෙරෙහි පමණක් නොව රාජ්ය පාලනය කෙරෙහි ද බලපා තිබේ. රටේ යහපත් වෙනසක් ඇතිවන්නට නම් මේ පක්ෂ ද වෙනස් විය යුතුය.