ඕනෑම ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ව්යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන අංශ අතර බලබෙදිමක් තිබිය යුතු ය. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක පැවැත්ම සඳහා එම බල මණ්ඩල අතර, සංවරණයක් හා තුලනයක් තිබිය යුතුය. එම සංවරණය හා තුලනය කෙරෙහි බලපාන්නේ ඒ එකිනෙක බල මණ්ඩල අතර, තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම පිළිබඳ අවබෝධයයි. මේ බල මණ්ඩල අතර තිබිය යුතු අන්තර් සම්බන්ධය බිඳ වැටුණු විට සමස්ත රාජ්ය ක්රමයම අවුල් ජාලාවක් බවට පත්වන්නේ ය. ඒ අවුල ලිහාගැනීමට අවශ්ය දැනුවත්භාවය සමාජයට නොවේ නම් එවැනි රාජ්යයක් අසමත් රාජ්යයක තත්ත්වයට ඇද වැටෙන්නේ ය. දැන් ශ්රී ලංකාව ඇද වැටී තිබෙන්නේ එම තැනට ය.
ශ්රී ලංකාව අසමත් රාජ්යයක තත්ත්වයකට දැනටමත් ඇද වැටී හෝ ශීඝ්රයෙන් ඇද වැටෙමින් තිබුණ ද, ශ්රී ලංකාවට අසමත් රාජ්යය යන ලේබලය අලවනවාට ශ්රී ලංකාවේ උගත්තු තරයේ ම විරුද්ධය. ඔවුන් එසේ විරුද්ධ වන්නේ ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාලනයට යටත් තත්ත්වයකට පත්වනවා දකින්නට ඔවුන් අවංකවම අකමැති නිසාය. එහෙත් අවාසනාවකට රටේ ගමන් මග නිවැරදි කිරීමට මේ උගත්තු බලවත් ලෙස මැදිහත් වන්නේ නැත. අසමත් රාජ්යයක් යන යෙදුම තුළ නූගත් බව සේ ම අශිෂ්ට බව ද අන්තර්ගතය. තමන්ගේ පාලනයක් පවත්වාගෙන යෑමට බැරි තරමට නූගත් හා අශිෂ්ට බව ද ඉන් අදහස් වේ.
අසමත් රාජ්යයක තත්ත්වයට පත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාලනයට නතු වූ රටවල් අපට වඩා නූගත් හා අශිෂ්ට විය හැකිය. අපි එම රටවලට වඩා උගත් හා ශිෂ්ටසම්පන්න විය හැකි වුවත්, සමත් රාජ්යයක් පවත්වාගෙන යාමට අවශ්ය කරන උගත්කම, ශිෂ්ටසම්පන්න බව හෝ හික්මීම අපට ඇති බව තහවුරු කිරීමට අප සමත්ව නැත.
ඕනෑම ශිෂ්ටසම්පන්න ප්රජාතන්ත්රවාදි රාජ්යයක මුඛ්ය නීතිය ලෙස සැලකෙනුයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවය. ආණ්ඩුක්රම ව්යවස්ථාවක වැරදි අඩුපාඩුකම් තිබිය හැකිය. ව්යවස්ථානුකූලව නව ව්යවස්ථාවක් ඇති කරගන්නා තෙක් හෝ තිබෙන ව්යවස්ථාව සංශෝධනය කරගන්නා තෙක් තිබෙන ව්යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම ව්යවස්ථාදායකයේ ද, විධායකයේ ද, අධිකරණයේ ද වගකීමයි.
එහෙත් ශ්රී ලංකාව උගත් හා ශිෂ්ටසම්පන්න වුවත් ව්යවස්ථාවාදයේ දී සිටින්නේ නූගත් හා අශිෂ්ට තත්ත්වයකය. ව්යවස්ථාදායකය, විධායක හා අධිකරණය ව්යවස්ථාවට ගරු කරන්නේ නැත. ව්යවස්ථාවට ගරු කිරීම දේශපාලන ක්රමයේ පැවැත්ම සඳහා අත්යවශ්ය කොන්දේසියක් වන බව ඒ කිසිම බල මණ්ඩලයක් සලකන්නේ ද නැත.
17 වැනි ව්යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන ප්රතිපාදන පිළිබඳව ව්යවස්ථාදායකය, එය නියෝජනය කරන දේශපාලන පක්ෂ, විධායකය හා අධිකරණය දක්වන නොසැලකිල්ල ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.
රට දැන් තිබෙන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන තත්ත්වයකය. එහෙත් තවමත් මැතිවරණ කොමිසමක් පිහිටුවා නැත. මැතිවරණ කොමිසම සඳහා ව්යවස්ථා සභාව නිර්දේශ කළ පුද්ගල නාමලේඛනයට ඇතුළත් එක් පුද්ගලයෙකුට ජනාධිපතිනිය විරුද්ධ වූවාය. එම පුද්ගලයාට එරෙහිව ජනාධිපතිනිය එල්ල කළ චෝදනා විභාග කොට ඔහු නිර්දෝෂී බව පෙනුණු විට ව්යවස්ථා සභාව නැවත එම ලේඛනය ජනාධිපතිනිය වෙත යොමු කළ ද ජනාධිපතිනිය ඊට අනුමැතිය දුන්නේ නැත. ඉන්පසු මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණය ඉදිරියට ගියේ ය. ඔහු හෘද රෝගියෙකි. විශ්රාම යන වයස සම්පූර්ණ කර තිබුණත්, මැතිවරණ කොමිසම නොපිහිටුවීම හේතු කොටගෙන තමාට විශ්රාම යා නොහැකි තත්ත්වයක් ඇති නිසා තමාට සාධාරණය ඉටු කර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. “කණගාටුයි. එහෙත් අපට කළ හැකි දෙයක් නැත.” යන්න අධිකරණය විසින් ඔහුට දෙන ලද පිළිතුර විය. මෙම අර්බුදය විසඳ ගැනීමට පාර්ලිමේන්තුව ද කිසිදු උනන්දුවක් නො දැක්වීය. අඩුම වශයෙන් පාර්ලිමේන්තුව එම ප්රශ්නය විවාද කරන තැනකටවත් ගියේ නැත. දැන් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමක් නැතිවය. ජනාධිපතිවරණය අතර තුර කාලයේ මැතිවරණ කොමසාරිස්වරයාට ධුරයේ කටයුතු කළ නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් ඊළගට විය හැක්කේ කුමක් ද යන්න විග්රහ කිරීමේ හැකියාව කිසිවකුටත් නැත.
එය රටේ රාජ්ය නායිකාවගේ වගකීමෙන් තොර බව පෙන්නුම් කරන එක් නිදර්ශනයක් පමණය. ඊළගට රාජ්ය නායකත්වයට පොර බදන්නන්ගේ තත්ත්වය ඊට වඩා යහපත් යැයි කිව නොහැකිය. ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් දෙදෙනා ඇතුළු පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ නායකයන්ගේ වගකීමෙන් තොර බව පෙන්නුම් කරන එක් නිදර්ශනයක් මෙසේය.
මේ වනවිට ව්යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වී මාස ගණනාවක් ම ගතවී තිබේ. ව්යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරි ඇත්තේ සුළු පක්ෂ නායකයින්ගේ ද එකගතාව ඇතිව අගමැතිවරයා හා විපක්ෂ නායකයාටය. දැන් අපේ රටේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස අනාගත රාජ්ය නායකත්වයට තරග කරන්නේ ඒ දෙදෙනාය.
ව්යවස්ථා සභාව අක්රීය වීම නිසා අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවිය නොහැකි තත්ත්වයක් පවතී. ඊට අතිරේකව නොවැම්බර් වලදි පොලිස්පතිවරයා විශ්රාම යාමට නියමිතව සිටින අතර, පොලිස් කොමිසමේ හා රාජ්ය සේවා කොමිසමේ සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වීමට නියමිතය.
එහෙත් තවමත් ව්යවස්ථා සභාවක් නැත. ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා සේ ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයින්ට ද එය පිහිටුවා ගැනීමේ උනන්දුවක් ඇති බවක් ද පෙනෙන්නට නැත. ශ්රී ලංකාවේ රාජ්ය පාලනය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයේ තරම එයින් පෙන්නුම් කරයි.