රටේ සමස්ත දේශපාලන ක්රමයම තිබෙන්නේ කුණුවී මජර ගලන තැනකය. අණ්ඩ දමා ප්‍රතිසංස්කරණය කළ නොහැකි තැනකය. එවැනි ඓතිහාසික අවස්ථාවකදී ක්‍රමය වෙනස් කිරීමට විප්ලවයක් අවශ්‍ය වේ. එහෙත් එවැනි විප්ලවයක් සඳහා සුදුසු සමාජ වටපිටාවක් රටේ නොපවතී. එවැනි විප්ලවයකට නායකත්වය දිය හැකි දේශපාලන සංවිධානයක් ද රටේ නොපවතී. එවැනි වටපිටාවකදී ඊළඟට විය හැකි දේ වනුයේ පහළින් කෙරෙන විප්ලවයක් වෙනුවට ඉහළින් කෙරෙන විප්ලවයක් සිදුවීමය. පාලිතයන් කරන විප්ලවයක් වෙනුවට පාලකයා නරක විප්ලවයකට රට යොමු කිරීමය.
එවැනි විපර්යාසයකට අවශ්‍ය නායකත්වය දීමේ හැකියාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබේද?
එවැනි විපර්යායක් සඳහා පැහැදිලි දැක්මක් තිබීම අවශ්‍ය වන්නා සේ ම භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ ඒ අරමුණ වෙනුවෙන් ඒකරාශි කරගනිමින් ඔවුන් සාර්ථක ලෙස මෙහෙයවීමේ හැකියාව නැතිනම් ඒ සියලු දෙනාට නායකත්වය දීමේ හැකියාව පාලකයාට තිබිය යුතුය.
නිරන්තරයෙන්ම ලේ වැගිරෙන ප්රශ්නය බවට පත්ව තිබෙන ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතුය. එහෙත් ඒ ප්රශ්නය විසඳා ගැනීමෙන් පමණක් සියල්ල වෙනස් වන්නේ නැත.
ශ්‍රී ලංකා රාජ්‍යය අසාර්ථක වී ඇත්තේ වාර්ගික ආවේග කළමනාකරණයේදී පමණක් නොවේ. පොදුවේ රටට බලපාන අන් ප්‍රශ්න කළමනාකරණයේදී ද ශ්‍රී ලංකාව සිටින්නේ අසාර්ථක තත්ත්වයකය. රාජ්‍යය තිබෙන්නේ සිය පුරවැසියන් ආදරයෙන් රැකබලා ගන්නා තැනක නොව ලැබෙන හැම අවස්ථාවකදීම ඔවුන් පීඩාවට පත් කරන තැනකය. රටේ බදු අය කරන ක්‍රමය අසාර්ථකය. පීඩාකාරිය. මහජනයාගෙන් අයකර ගන්නා බදු මුදල්වල ප්‍රමාණයේ වටිනාකමට සරිලන සේවාවක් රාජ්‍යයෙන් සිදු නොවේ.
මහජනයාගේ ආත්ම ගෞරවයට හේතුවන පොදු ප්‍රවාහන සේවාවක් සහතික කිරීමට රට සමත් වී නැත. අධ්‍යාපන ක්‍රමය සේ ම පාසල් ක්‍රමය පවත්නේ ද අවුල් ජාලාවකය. කලකට ඉහතදී දියුණුම තත්ත්වයක පැවති මහජන සෞඛ්‍ය සේවාව පවතින්නේ ද පරිහානියට ගිය තත්ත්වයකය. රටේ උසාවි ක්‍රමය පවතින්නේ ද මහජනයාට යුක්තිය ඉටු කිරීමට නොව, ඔවුන් පීඩාවට පත් කිරීම සඳහාය. පගාවක් නැතිව කිසිම දෙයක් කිසිම තැනකින් කරගත නොහැකි තරමට අල්ලස හා දූෂණය රටේ රජ කරයි.
රටේ පවතින දේශපාලන පක්ෂ ක්‍රමය සේ ම, නියෝජිත ප්රජාතන්ත්රවාදී ක්‍රමය ද මහජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවී නැත. දේශපාලන පක්ෂ ක්රමයේ ඉලක්කය වී ඇත්තේ රටේ බලය අල්ලා ගනිමින් පාක්ෂිකයින්ට යමක් දී රටේ වස්තුව කොල්ලකෑමය.
සුද්දා අත තිබූ පාලන බලය අප ලබාගන්නා අවස්ථාව වන විට අපේ රට බොහෝ අංශවලදී කලාපයේ වෙනත් රටවලට වඩා දියුණු තත්ත්වයක තිබුණි.
කලාපයේ රටවල් අතරින් හොඳම මාර්ග පද්ධතියක් තිබුණේ අපටය. කාර්යක්ෂ්ම දුම්රිය සේවයක් ද කොළඹ නගරයට ට්‍රොලි බස් හා ට්රූම් කාර් සේවාවක් ද තිබුණි. හොඳ අධ්‍යාපන ක්‍රමයක් සේ ම හොඳ පාසල් ක්‍රමයක් ද රටේ තිබුණි. ලෝකයාගේ ගෞරවයට හේතුවූ සිවිල් සේවයක් ද මහජනයාට යුක්තිය ඉටු කිරීමේ හැකියාවක් ඇති මහජනයාගේ ගෞරවයට හේතුවූ අධිකරණ ක්‍රමයක් ද අපට තිබුණි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ද හොඳින් ක්‍රියාත්මක තත්ත්වයක තිබුණි. ඒක පුද්ගල ආදායමේදී අප දෙවැනි වූයේ ජපානයට පමණය. එහිදී ද ජපානය හා අප අතර තිබූ පරතරය විශාල නොවීය. සාක්ෂරතාවයේදී ද නැවත අප දෙවැනි වූයේ ජපානයට පමණය.
එහෙත් නිදහස ලබාගෙන දශක පහකට පසුව රටක් වශයෙන් අප සිටින්නේ කොතැනද? ජපානය හා ශ්‍රී ලංකාව අතර තිබෙන පරතරය කොතරම් විශාලද? අපට වඩා නොදියුණු තත්ත්වයක තිබූ සමහර රටවල් අප පසු කොට බොහෝ දියුණු තත්ත්වයක් දිනාගෙන සිටී. අපට සුද්දන්ගෙන් ලැබුණු දුම්රිය සේවය එක අඩියක්වත් ඉදිරියට ගෙනයෑමට අපි අසමත්ව සිටිමු. නූතන ලෝකය දැන් කල්පනා කරන්නේ මුළු ලෝකයම එකට යා කළ දුම්රිය සේවයක් ගැනය. එහෙත් දුම්රිය විෂයේදී පමණක් නොව අන් හැම විෂයකදීම අප ඉන්නේ ඉතාමත් නොදියුණු හා පසුගාමී තත්ත්වයකය.
එම අසාර්ථකත්වයට වගකිවයුත්තේ කව්ද? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, ජනමාධ්‍ය හා පුරවැසියන් යනු හැම අංශයක්ම වගකිව යුතුය.
රටක් වශයෙන් අප නිදහස ලබාගත්තේ එක ලේ බිඳකුදු නොසෙල්වාය. එහෙත් රටක් වශයෙන් දැන් අප සිටින්නේ කෙළවරක් නැති තරමට ලේ හලන රටක තත්ත්වයකය.
මෙම අවලස්සන චිත්රයේ යහපත් වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ අපේ අසාර්ථකභාවය පිළිගනිමින් එම අසාර්ථකභාවයට බලපා තිබෙන ඇත්ත හේතු හඳුනා ගනිමින් සාර්ථක රටක් ගොඩනගා ගැනීමට අවශ්‍ය සුදුසු දේශපාලන ක්‍රමයක් අලුතෙන් ඇති කරගැනීමෙනි. පක්ෂ අතර සාකච්ඡා කළ යුත්තේ ඒ ගැනය.