එජාපයේ නායකත්ව අර්බුදය ආශ්‍රයෙන් එම පක්ෂය ගැන පමණක් නොව, ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන සංස්කෘතිය පිළිබඳව ද බොහෝ දේවල් උගත හැකිය. පක්ෂ නායකයා ඉවත් කිරීම ඉතාමත් දුෂ්කරය. පක්ෂ නායකයා ඉවත් කිරීමට පාක්ෂිකයන්ට අවශ්‍ය වූ විට ඒ සඳහා යොදාගත හැකි සරල හා පැහැදිලි ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් නැත. මතභේද ඇති විට පක්ෂ අභ්‍යන්තර අරගලයක නිරත වන කණ්ඩායමක් ඒ සඳහා ක්‍රියාකළ යුතු ආකාරය ගැනද පක්ෂ ව්‍යවස්ථාවේ විස්තර කර නැත. මෙය එජාපයට පමණක් ආවේණික විශේෂ ලක්ෂණයක් නොව පොදුවේ රටේ සියලු දේශපාලන පක්ෂවලට ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මේ අර්ථයෙන් ලංකාවේ තිබෙන දේශපාලන පක්ෂ බාහිර පෙනුමෙන් ප්‍රජාතන්ත්‍රවාදී වුවද අභ්‍යන්තර හරයෙන් විශාල ප්‍රමාණයකට ඒකාධිපතිවේයැ”යි කිව හැකිය.
රටේ පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි පක්ෂ ක්‍රමයද නැවත එම පක්ෂ ක්‍රමය දේශපාලන ක්‍රමය කෙරෙහි ද අන්‍යොන්‍ය වශයෙන් බලපා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ බහු පක්ෂ ක්‍රමය වැදගත් භූමිකාවක් රඟපායි. රටට දේශපාලන නායකයන් තනන, ඔවුන් පුරුදු පුහුණු කරන ආයතන ලෙස ක්‍රියාකරන්නේ පක්ෂ ක්‍රමයයි. එහෙත් අපේ රටේ තිබෙන පක්ෂ ක්‍රමය තනනු ලබන්නේද පුරුදු පුහුණු කරනු ලබන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් නොව ඒකාධිපති පන්නයේ නායකයන්ය. රටේ පවතින ආණ්ඩු ක්‍රමයේ ස්වභාවය හා පක්ෂ ක්‍රමයේ ස්වභාවය බොහෝ දුරට එක සමානය.
මේ දෙකේම ප්‍රධාන නායකයා ඉතා බලවත්ය. ප්‍රධාන නායකයා ඉවත් කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයකි. රාජ්‍ය නායකයා සේ ම පක්ෂ නායකයන්ද පහකිරීමකට ලක්වීමෙන් වැළකී සිටීමට විශේෂ බලතල ලබාදී තිබේ. පවුල් කණ්ඩායම් හා පක්ෂ අතරද අන්තර් සම්බන්ධයක් පවතී. එජාපයට අයිතිය ඇති පවුල් කණ්ඩායමක් සිටිනවා සේ ම 2005 වසර වන තෙක් ශ්‍රීලනිපයට අයිතිය ඇති පවුල් කණ්ඩායමක් ද සිටියේය. එතෙක් බණ්ඩාරනායක රත්වත්ත පවුල් කණ්ඩායමට අයත්ව තිබූ ශ්‍රීලනිපය 2005දී රාජපක්ෂ පවුලට අයත් පක්ෂයක් බවට පත්වූයේය.
එජාපයේ අයිතිය නොවෙනස්ව පැවතුණි. ඒ පක්ෂයේ අයිතිය ඇත්තේ සේනානායකවරුන්, ජයවර්ධනවරුන් හා විජේවර්ධනවරුන්ගෙන් සමන්විත බලවත් පවුල් කණ්ඩායමකටය. පක්ෂ නායකයා වෙනස් කිරීම ඉතා දුෂ්කර කිරීමට බලපා තිබෙන වැදගත් අතිරේක සාධකයක් ලෙස පක්ෂවලට ඇති පවුල් බලය ද බලපායි. ප්‍රධාන පක්ෂ දෙකේ අයිතිය හිමි කරගෙන තිබූ පවුල් කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට ආණ්ඩු බලය දරන පක්ෂ දෙකක හිමිකරුවන් වීම මගින් එම පවුල් කණ්ඩායම් දෙක ඒ මගින් විශාල නම්බුවක්, බලයක් හා මහන්තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. ඒ සමග ඒ මගින් එම පවුල් කණ්ඩායම් දෙක හිමිකරගත් ආර්ථික වරප්‍රසාදවල ප්‍රමාණයද දැවැන්තය.
ශ්‍රීලනිපයට තිබුණු පවුලේ හිමිකම තමන්ට අහිමි වනු ඇතැ”යි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය කවදාවත් නොසිතන්නට ඇති බවට සැකයක් නැත. එහෙත් ප්‍රාතිහාර්යයක් බඳු දෙයක් මගින් එම තත්ත්වය වෙනස් විය. එම තත්ත්වය එජාපයට හිමිවනවා දකින්නට එජාපයට හිමිකම් කියන පවුල් කණ්ඩායම කැමති වනු ඇතැ”යි සිතිය නොහැකිය.
එජාප නායකත්වය එම පවුල් කණ්ඩායමෙන් පිටස්තර පුද්ගලයකු අතට පත්වූයේ එක් අවස්ථාවකදී පමණය. එයද කැමැත්තෙන් සිදුවූ දෙයක් නොවීය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස පක්ෂයේ දෙවැනියා බවට පත්කර ගන්්නේ තමාගෙන් පසුව පක්ෂයේ උරුමය ඔහු අතට පත්කිරීමේ අදහසින් නොව පක්ෂයට හා ආණ්ඩුවට පොදුජන පෙනුමක් ලබාදීමේදී ප්‍රේමදාසට ලැබෙන සංකේතාත්මක වැදගත්කම සලකාය. එහෙත් ජනාධිපතිවරයා තමන්ට සැලකුවේ දෙවැනියකුට සලකන ආකාරයට නොව පියන් කෙනකුට සලකන ආකාරයට බව පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කීය. ජනාධිපති ජයවර්ධනගේ දෙවැනි ධුර කාලය අවසන්වෙමින් තිබෙන විට ජනාධිපතිවරයා තුන්වැනි ධුර කාලයක් ගැන ද සිහින මැව්වේය. පවුලේ උරුමය මුළුමනින් පිටස්තරයකු අතට පත්වනවා දකින්නට ජේ.ආර්. ජයවර්ධන ද කැමති නොවීය. මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් කර තිබෙන ආකාරයට තුන්වැනි ධුර කාලයකට අයිතිය ලබාදෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ද ජනාධිපතිවරයා සකස් කරවා ගෙන තිබුණේය. ඔහු තවදුරටත් තනතුරේ සිටිය යුතුයි කියා හඬ නගන පිරිසක් ද පක්ෂයේ සිටියේය. එහෙත් ජේවීපී ප්‍රචණ්ඩ කැරැල්ල හා අගමැති රණසිංහ ප්‍රේමදාස අතර සම්බන්ධයක් ඇතැ”යි කියන විශ්වාසයක් ද ජනාධිපතිවරයා තුළ තිබුණි. ඔහු විශ්‍රාම නොගෙන තවදුරටත් ධුරයේ රැඳී සිටිය යුතුයැ”යි කියන පක්ෂයේ බලවත් පුද්ගලයන් දෙදෙනකු මරා දැමුණු විට ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවදුරටත් බලයේ රැඳී සිටීමේ අදහස ජේ.ආර්. අත්හැරියේය. තවදුරටත් රැඳී සිටීමේ අදහස වෙනස් කරගැනීමට ජනාධිපතිවරයා කෙරෙහි රන්ජන් විජේරත්න ද බලපෑවේය. තුන්වැනි වරටත් තරග කිරීමේ අදහස අත්හළවිට ජනාධිපතිවරයා රන්ජන් විජේරත්න සිය නිවසේ කාමරයකට ගෙන ගොස් ලොකු අල්මාරියක් හැර එම අල්මාරියේ පිළිවෙළකට තැන්පත් කර තිබූ මුදල් පෙන්වා එහි ඇති මුදල් ප්‍රේමදාසට දෙන ලෙස රංජන් විජේරත්නගෙන් ඉල්ලා සිටි බව මම අසා ඇත්තෙමි. එහි තිබුණේයැ”යි කියන මුදල් ප්‍රමාණය කොතරම්ද යන්න මට දැන් මතක නැත. එය රුපියල් කෝටි කිහිපයක් විය යුතුය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පවා පක්ෂ අරමුදල් ඒ වෙනුවෙන් පවත්වාගෙන යන බැංකු ගිණුමක නොව පෞද්ගලිකව තමන් ළඟ තබාගෙන තිබී ඇති බව ඉන් පෙනීයයි. ඉන් පෙනීයන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කාලයේ පවා පක්ෂ අරමුදල් පාරදෘශ්‍ය තත්ත්වයක තිබී නැති බවය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අගමැති රණසිංහ ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ කැමැත්තෙන් නොව, එය වැළකීමට ක්‍රමයක් නොතිබුණු නිසාය. ඔහු ජනාධිපති ධුරය ජයගැනීමට සමත්වීම නිසා පක්ෂයේ අයිතියද එම පක්ෂයේ අයිතිය හිමි කරගෙන සිටි පවුල් කණ්ඩායමෙන් ඉවත් වී පිටස්තරයකු වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අතට පත්විය. එහෙත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නායකත්වය භාරගැනීමට කැමති නොවූ පිරිසක් පක්ෂය අභ්‍යන්තරයේ සිටියේය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග ව්‍යාපාරය හා එජාප අයිතිව සිටි පවුල් කණ්ඩායම අතර ද ශක්තිමත් සම්බන්ධයක් තිබුණි. දෝෂාභියෝග ව්‍යාපාරය ව්‍යර්ථ කිරීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා සමත් වුවත් ඔහුට බොහෝ කල් ජීවතුන් අතර සිිටින්නට හැකිවූයේ නැත. ඔහුගේ ඝාතනය ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සමග එල්ටීටීඊ ගිණුමට එකතු වුවත් ඒ ඝාතන දෙකම හරියට සුලමුල හෙළි නොවූ අභිරහස් ඝාතන දෙකක් ලෙස සැලකිය හැකිය.
ප්‍රේමදාසගේ ඇවෑමෙන් පසු යළි එක්සත් ජාතික පක්ෂයේ අයිතිය රනිල් වික්‍රමසිංහ හරහා එම පක්ෂයේ පැරණි අයිතිකාර පවුල් කණ්ඩායමට හිමිවිය. ඒ තත්ත්වය හිමිකර ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වූයේ 77 ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වූ අවස්ථාවේදී පක්ෂ නායක පෝලිමේ වැදගත් ස්ථානයක සිය බෑනා රඳවා තැබූ නිසාය. චන්ද්‍රිකා කුමාරතුංග අතින් සිදුවූ වැරැද්ද රනිල් වික්‍රමසිංහ අතින් සිදුවනු ඇතැ”යි සිතිය නොහැකිය. අනෙක් අතට ජේ.ආර්. ජයවර්ධන රටේ ජනාධිපති ධුරයට පත්වූයේ වයස අවුරුදු 71දීය. රනිල් වික්‍රමසිංහගේ මාමා ද බොහෝ කලක් කට්ට කාගෙන අල්ලාගෙන සිටියේය. අවසානයේදී ලිස්සන ගහේ ඉහළට නැගීමට ඔහු සමත් විය. මාමාට ඒ තත්ත්වය කරා ළඟාවීමට හැකිවූයේ අවුරුදු 71දී නම් වැදගත් වන්නේ කෙසේ හෝ අල්ලාගෙන සිටීම පමණක් බවත්, ඒ දේ සාර්ථක ලෙස කරගැනීමට හැකි වුවහොත් ලිස්සන ගහේ ඉහළට නැගීමේ හැකියාව තමන්ටද කවදා හෝ ලැබෙනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ සිතන්නේ නම් එය කිසිසේත්ම අස්වාභාවික නැත.
එහෙත් රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ට වෙනස් වන කරුණක් ද ඇති බව කිව යුතුය. ජේ.ආර්. ජයවර්ධන ද ජනප්‍රිය නායකයෙක් නොවීය. එහෙත් ඔහු ඉතාමත්ම ක්‍රියාකාරී හා කාර්යක්ෂම නායකයකු වීයැ”යි කිව හැකිය. විශේෂයෙන්ම ඩඩ්ලිගෙන් පසු පක්ෂ නායකත්වය තමන් අතට ලැබුණු පසු ඔහු එම පක්ෂයට එතෙක් තිබූ කොළඹ හතේ පෙනුම නැති කළේය. පක්ෂයට පොදු ජන පෙනුමක් ලබා දුන්නේය. පක්ෂයේ ගොවිගම පෙනුමද කිසියම් විශාල ප්‍රමාණයකට වෙනස් කළේය. පක්ෂයේ මුදුනත නාකි වුවත් කඳට තරුණ පෙනුමක් ලබා දුන්නේය. පක්ෂ එදා පැවති ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකාරී ලෙස සටන් කරන පක්ෂයක් බවට පත් කළේය. ඔහු ඔහුගේ ආණ්ඩු විරෝධී සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වන ලද්දේ එජාපයේ බලකොටුවල නොව ශ්‍රීලනිප බලකොටුවලය. මාමා හා බෑනා අතර පෙනෙන්නට තිබෙන ලොකුම වෙනස ලෙස සැලකිය හැක්කේ එයයි.
දූෂිතයන්, දූෂණ විරෝධී සටනේ වීරයන් කිරීම
පසුගිය අඟහරුවාදා පුස්තකාල සේවා හා ප්‍රවර්ධන මණ්ඩල ශාලාවේදී ජනතා විමුක්ති පෙරමුණේ “දූෂණ විරෝධී හඬ” වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වුණි. වෙබ් අඩවිය විවෘත කර තිබෙන්නේ ගෞරවයට හේතුවන හිටපු රාජ්‍ය නිලධාරියකු වන විශ්‍රාම ගිය විගණකාධිපතිවරයකු වූ එස්. මායාදුන්නේ මහත විසිනි. හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයකු හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රධානියකු වන එම්.ඩී. හැරල්ඩ්, සිමොග් සංවිධානයේ පුරෝගාමී නායකයකු වන එල්මෝ පෙරේරා, ශ්‍රී ලංකාවේ පෞද්ගලිකකරණයේදී සිදුවී ඇති දූෂණ ගැන ලියන ලද පොත් හතරක් මේ මෑතකදී ඇමරිකාවේදී පළ කළ නිහාල් ශ්‍රී අමරසේකර යන මහතුන් ද මෙම අවස්ථාවට සහභාගි වූ බව අසන්නට ලැබුණි. උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. හිටපු අගවිනිසුරුවරයා රටේ වර්තමානයේ සිදුවන දූෂණ ගැන සැර කතාවක් කළ බවද අසන්නට ලැබුණි. හිටපු අගවිනිසුරුවරයා සිය කතාව කරන අතරතුරදී දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් දෙදෙනකු මේ සභාවේ සිටින බව කියමින් ඉන් එක් අයකු මායාදුන්නේ මහතා වන විට අනෙක් පුද්ගලයා තමා බව ප්‍රකාශ කළ බවද අසන්නට ලැබුණි. එය හිටපු විගණකාධිපතිවරයාට ලැබුණු හොඳ සහතිකයක් ලෙස සැලකිය නොහැකිය.
හිටපු අගවිනිසුරුවරයා රටේ සිදුවන දූෂණ පිළිබඳව ආණ්ඩුව විවේචනය කරමින් කරන ලද සැර කතාව ගැන මට ප්‍රශ්නයක් නැත. දූෂණය ඉහළ මට්ටමක පවත්නා බව හා එම තත්ත්වය මර්දනය කිරීමේලා ආණ්ඩුවට උනන්දුවක් නැතිකම පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මෙය මේ ආණ්ඩුවට පමණක් නොව, 77ට පසුව බලයට පැමිණි හැම ආණ්ඩුවකටම ආවේණික පොදු ලක්ෂණයක් විය. එය රටේ පවතින දේශපාලන ක්‍රමය හා බැඳුණු විසම තත්ත්වයක් ලෙස ද සැලකිය හැකිය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය ගොඩනගා ඇත්තේ පාලක පක්ෂයට රට පාලනය කිරීමේ බලයට අතිරේකව අයථා ලෙස වස්තුව උපයාගැනීමේ අයිතිය හා බලය ද ලැබෙන ආකාරයටය. දූෂණ ගැන කතා කිරීම හා වාර්තා කිරීම වැදගත් වුවත් ඒ මගින් පමණක් දූෂණය පාලනය කළ නොහැකිය. ඊට හේතුව පාලක පක්ෂයට සම්බන්ධ පුද්ගලයන් විසින් කරනු ලබන දූෂණවලදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම මෙම දේශපාලන ක්‍රමය විසින් වළකා තිබෙන නිසාය. දූෂණය වැළකිය යුතු නම් උත්තරයක් සොයාගත යුතුව තිබෙන්නේ එම මූලික ප්‍රශ්නයටය.
එහෙත් මා මෙහිදී සාකච්ඡාවට ලක්කරන්නට යන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන දූෂණය ගැන නොව දූෂණයට එරෙහිව කැරෙන සටනට ආවේණික දූෂිත ස්වරූපය ගැනය.
රටක අගවිනිසුරුවරයකු හා දේශපාලකයකු එක සමාන වන්නේ නැත. දේශපාලකයාට තිබෙන ප්‍රතිරූපය බලවත් වුවත් ගරු කටයුතු නැත. ඔහු හොඳ දේ පමණක් නොව නරක දේ ද කරයි. හොඳ මිනිසුන් පමණක් නොව පාතාල ලෝකයේ මිනීමරුවන් ද ඇසුරු කරයි. ඔහු තෝරාපත් කරගන්නේ මහජනයාය. ඊළඟ මැතිවරණයේදී අවශ්‍ය නම් ඔහු පරාජය කොට ගෙදර යැවීමේ බලය ද මහජනයා සතුය.
අගවිනිසුරුවරයකුට තිබෙන ප්‍රතිරූපය ඊට බොහෝ වෙනස්ය. අගවිනිසුරුකම රටක ඉතාමත් ගරු කටයුතු තනතුරකි. ඔහු ජාතියේ යුක්තිය පසිඳලන දේවාලයේ ප්‍රධානියාය. එම තනතුරු සඳහා නිසි උගත්කමක් තිබිය යුතුවා සේ ම චරිතවත් ජීවිත පැවැත්මක් ද තිබිය යුතුය. ඔහු අපරාධ නඩුවල අභියාචනා විභාග කරන මුත් අපරාධකරුවන් ඇසුරු කරන්නේ නැත. දේශපාලකයාගේ පැවැත්ම තාවකාලික වුවත් අගවිනිසුරුගේ පැවැත්ම ස්ථිරය. එම තනතුරට පුද්ගලයන් තෝරා පත්කරන්නේ මහජනයා නොවන අතර එම තනතුර දරන්නකු තනතුරින් පහකිරීමේ බලයද මහජනයාට නැත. එම තනතුර සැලකෙනුයේ ඉතාමත් ගරු කටයුතු පූජනීය තනතුරක් ලෙසය.
ඒ ආශ්‍රයෙන් මා නගන ප්‍රශ්නය වන්නේ දූෂිත දේශපාලකයකු හා දූෂිත අගවිනිසුරුවරයකු අතරින් වඩා නරක හා භයානක කව්ද යන්නය. මාගේ මතය වන්නේ දූෂිත දේශපාලකයකුට වඩා දූෂිත අගවිනිසුරුවරයකු නරක බවය. භයානක හා නින්දාසහගත වන බවය.
දැන් මා නගන ප්‍රශ්නය වනුයේ දූෂිත ආණ්ඩුවකට එරෙහිව සටන් කරන දූෂණ විරෝධී ව්‍යාපාරයක් මුළු අධිකරණයම දූෂණයෙන් ගඳ ගැස්වූ අගවිනිසුරුවරයකු දූෂණ විරෝධී සටනේ වීරයා බවට පත් කරගත්තේ කෙසේද යන්නයි.
මෙම දූෂිත අගවිනිසුරුවරයාට එරෙහිව නැගුණු දූෂණ චෝදනා දේශීය වශයෙන් පමණක් නොව, අන්තර් ජාතික වශයෙන් ද ප්‍රකටය. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග දෙකෙන් එකකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ද අත්සන් කළෝය. එම දෝෂාභියෝගයට ඇතුළත්ව තිබුණු සියලු චෝදනා දූෂණ චෝදනාය.
රටේ දේශපාලකයන් ශ්‍රේෂ්ඨාධිකරණය සමග රහසේ ගනුදෙනු කරන්නට බයක් තිබුණු යුගයක් මේ රටේ තිබුණි. එය පාලකයන්ට හිතුවක්කාර ලෙස ක්‍රියාකරන්නට තිබුණු බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසියම් ප්‍රමාණයකට හෝ සීමාකර තිබූ යුගයක් විය. ආණ්ඩුවේ දරුණු විරුද්ධවාදියකුට වුවද මානව හිමිකම් උල්ලංඝනය කැරුණු අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සහන ලබාගත හැකි යුගයක් විය. තමන්ගේ අතට සකලවිධ රාජ්‍ය බලය ලැබෙන ආකාරයට දේශපාලන ක්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසුත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට මුළුමනින් පාලනය කළ නොහැකිව තිබූ එකම ආයතනය ලෙස සැලකිය හැක්කේද ශ්‍රේෂ්ඨාධිකරණයයි.
නීතියේ කන්‍යාව දූෂණය කිරීම
ශ්‍රේෂ්ඨාධිකරණය හිමි කරගෙන තිබූ එම තත්ත්වය ආපසු හරවනු ලැබුවේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. ශ්‍රේෂ්ඨාධිකරණය පාලක පක්ෂයට නැටවිය හැකි තැනක් බවට පත්කළේ ඔහුය. යුක්තියේ දේවාලය අයුක්තිය හා අසාධාරණය රජකරන තැනක් බවට පත්කළේ ද ඔහුය. අගවිනිසුරුකම දරන්නකුට නොගැළපෙන අශීලාචාර දිවි පැවැත්මක් පවත්වාගෙන ගිය පළමුවැන්නා ද ඔහුය. මිනීමරු පාතාල කල්ලි සමග ගනුදෙනු කරන තැනකට ගිය පළමුවැන්නාද ඔහුය. අගවිනිසුරුද වගඋත්තරකරුවකු කරමින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් තමාද ඇතුළත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන පෙත්සම්කරු සිරගෙට යැව් පළමුවැන්නාද ඔහුය.
වයඹ පළාත් සභා ඡන්දය ඡන්ද කොල්ලයක් බවට පත්වීමෙන් පසු මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා වන වැදගත් නඩු තීන්දු දෙකක් සරත් නන්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය එන්නට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී තිබුණි. එම නඩු තීන්දු දෙක හේතු කොටගෙන සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට එන්නට පෙර ඒ අතරතුර කාලයේදී පවත්වන ලද පළාත් සභා ඡන්ද බොහෝ දුරකට නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවතුණි. ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට බියවිය. මැතිවරණ කටයුතු සඳහා පොදු දේපළ පරිහරණයට ඉඩදීමට රාජ්‍ය නිලධාරීහු බියවූහ. මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග පොලීසිය අකුරටම පිළිපැද්දේය. එම තත්ත්වය ආපසු හරවනු ලැබූ පුද්ගලයාද සරත් නන්ද සිල්වාය. 99 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපතිනිය විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පිටස්තර පුද්ගලයකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කරන ලදි. ටවුන්හෝල් බෝම්බ සිද්ධියෙන් පසුව අවසාන දින දෙක සඳහා පැවති ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා පැවති තහනම නොසලකා ආණ්ඩු පක්ෂය මැතිවරණ දිනය තෙක්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණේය. ඡන්දය දිනයේදී තෝරාගත් පිරිසකට ඡන්ද පොළවල්වලට නොගොස් තමන්ගේ නිවසේ සිට ඡන්දය පාවිච්චි කිරීමේ බලය ද ලබා දුන්නේය. මේ දේවල්වලට අවශ්‍ය ශක්තිය ලබා දුන් පුද්ගලයා වන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. රාජ්‍ය මාධ්‍යවල නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව කරු ජයසූරිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කළේ ද එම පුද්ගලයාය.
අධිකරණය දේශපාලන හොරණෑවක් කිරීම
දේශපාලන වැදගත්කමක් ඇති නඩුවලදී ඒ නඩු අසන විනිශ්චයකරුවන්ට ඔහු පුද්ගලිකව කතා කළේය. එහිදී ඔහුට අවනත නොවූ විනිශ්චයකාරවරුන්ගෙන් පළිගත්තේය. බොරු චෝදනා මත එවැනි අය අධිකරණ සේවයෙන් පලවා හරින ලද අතර ඒ වෙනුවට තමන්ට හිතවත් අය අධිකරණ සේවයට බඳවා ගත්තේය. එසේ අධිකරණ සේවයෙන් පලවා හරින ලද එක පුද්ගලයකු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එස්.බී. දිසානායක අධිකරණ අපහාස නඩුවේදී ඔහු ඊට එරෙහිව නෛතික අරගලයක යෙදෙන්නට තීරණය කර තිබූ තත්ත්වය ඉදිරියේ අගවිනිසුරු ඔහුගේ නීතිඥයා තමන් වෙත කැඳවා වරද පිළිගතහොත් අත්හිටවූ සිරදඬුවමක් දෙන බවට සහතික විය. ඒ අනුව එස්.බී. දිසානායක වරද පිළිගත් විට අත්හිටවූ සිරදඬුවමක් වෙනුවට අවුරුදු දෙකක සිරදඬුවමක් ලබාදෙන ලදි.
දැන් හිටපු අගවිනිසුරුවරයා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් පිළිපැදීමේ වැදගත්කම ගැන දේශනා පවත්වන පුද්ගලයකු බවට පත්ව තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය ඉටු නොවන අවස්ථාවලදී ජිනීවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කොට සහන ලබාගැනීමට පුරවැසියන්ට තිබූ අයිතිය අහිමි කරන නඩු තීන්දුවක් දුන්නේද ඔහුය. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ කඩතුරාවට මුවාවී ඔහු එසේ කරන ලද්දේ එම මානව හිමිකම් කමිටුව විභාගයට ගෙන තිබුණු පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් ඔහුට (අගවිනිසුරුට) අදාළ පැමිණිලි වීම නිසාය. ලංකාවට ලැබුණු ජීඑස්.පී. ප්ලස් සහනය අහිමි කිරීමට බලපෑ එක ලොකු හේතුවක් වූයේද එයයි.
අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු ඊළඟට රටේ ජනාධිපතිවීමේ සිහිනයක් ඔහුට තිබුණි. ඒ සඳහා අධිකරණයේ හා රටේ වියදමෙන් ඒ සඳහා වන ව්‍යාපෘතියක් පවත්වාගෙන ගියේය. ඔහු ඒ වැඩපිළිවෙළ සඳහා අධිකරණ බලය පාවිච්චි කළේය. අධිකරණය විසින් රාජසන්තක කරන වටිනා පුරා වස්තු කෞතුකාගාරයට දෙනවා වෙනුවට ඔහුගේ සමීප හිතවතුන් සිටින පන්සල් කිහිපයකට දුන්නේය. එසේ පරිත්‍යාග කැරෙන කෞතුක වස්තූන්වල ව්‍යාජ අනුරූ තනා අව්‍යාජ කෞතුක වස්තූන් විකුණන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගිය බවද සමහරු කියති. අගවිනිසුරු තමාගේ ප්‍රධාන දේශපාලන මධ්‍යස්ථානය බවට පත් කරගෙන තිබුණේ සම්බෝධි විහාරයයි. එම විහාරයේ කුසලධම්ම හිමි අගවිනිසුරුගේ විශ්වාසවන්තම හිතවතා වූ අතර අගවිනිසුරුවරයාගේ දේශපාලන වැඩසටහන් සඳහා රහසේ කැරෙන සාකච්ඡා කැරුණේ එම විහාරයේය. රාජසන්තක කරන භාණ්ඩවලින් අගවිනිසුරුවරයා මෙම විහාරයට පරිත්‍යාග කළ වටිනා භාණ්ඩ අතර පුරා වස්තුවක් බවට දෙපාර්තමේන්තුව විසින් සහතික කොට තිබූ කිලෝ 16ක් බර දඹ රන් පිළිමයක්ද විය. වෙළෙඳපොළේ රන් මිල අනුව පමණක් එම පිළිමයේ රත්තරන් වටිනාකම රුපියල් කෝටි 50ක් විය. රටේ පවතින නීතිය අනුව අධිකරණය විසින් රාජසන්තක කරන වටිනා භාණ්ඩ ආණ්ඩුවට ලබාදෙනවා මිස තමන් කැමති කැමති අයට පරිත්‍යාග කිරීමේ අයිතියක් අධිකරණයට නැත.
බෞද්ධ ටෙලිවිෂනය
අගවිනිසුරුගේ හා කුසලධම්ම හිමියන්ගේ පුද්ගලික නමට ඇති රුපියල් ලක්ෂ 650ක් වටිනා බෞද්ධ ටෙලිවිෂන් ආයතනය ද තමන් ඉදිරියේ ඇසුණු නඩුවක පාර්ශ්වකරුවකුගෙන් ඔහුට වාසිදායක තීන්දුවක් ලබාදීම වෙනුවෙන් ලබාගන්නා ලද අල්ලසක් ලෙස සැලකිය හැකිය. ඔහුට සිය අනාගත දේශපාලන කටයුතු සඳහා ටෙලිවිෂන් ආයතනයක් අවශ්‍ය වී තිබුණි. ඔහු ඒ අරමුණ අධිකරණයෙන්ම ඉටුකර ගත්තේය.
CBN සැට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකාවේ සැටලයිට් ටෙලිිවිෂන් සේවාවන් පවත්වාගෙන ගිය ආයතනයක් විය. එම ආයතනයට රූපවාහිනී සංස්ථා පනතේ 28 වැනි වගන්තිය යටතේ මාධ්‍ය බලපත්‍රයක් තිබුණද සැටලයිට් ටෙලිවිෂන් සේවාවන් සඳහා අවශ්‍ය බලපත්‍රයක් නොතිබුණි. මෙම සමාගමේ හිමිකරු වූ මුහන්දන් කනගි එල්ටීටීඊය සමග සමීප සම්බන්ධකම් තිබුණු බවට ආරක්ෂක අමාත්‍යාංශයේ සැකයට හේතුවී තිබුණු අතර එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පසු එල්ටීටීඊ විකාශන සේවා විධිමත් කරගැනීම සඳහා මෙම ආයතනයේ හිමිකරුවා එල්ටීටීඊයට තාක්ෂණ සැලැස්මක් ලබාදී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මතය වී තිබුණි. ආරක්ෂක අමාත්‍යාංශය 2006 ජූනි 06 වැනි දින මෙම කේබල් සේවාවට සීල් තැබුවේය. ඒ සමග එම ආයතනය ආනයනය කර තිබූ උපකරණ තොගයක්ද වරායෙන් නිදහස් කිරීම අත්හිටුවා තිබුණි.
මෙම සැටලයිට් සේවාව තවදුරටත් කරගෙන යෑමට තමන්ට ඉඩ නොලැබෙන බව තේරුම් ගත් කනගි ආයතනය වෙනත් කෙනකුට විකිණීමට ක්‍රමයක් සොයමින් සිටියේය. ඔහුට ඒ සඳහා ක්‍රමය කියා දුන්නේ අගවිනිසුරුය. ඔහු තම ආයතනයට පනවා තිබූ තහනමට එරෙහිව මූලික අයිිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. (SCFR 236රැ2008) පෙත්සම විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. එම පෙත්සම් විභාගයේදී අගවිනිසුරු මෙම පුද්ගලයාට මෙම ආයතනය සුදුසු වෙනත් ගැනුම්කරුවකුට විකිණීමට අවසර දුන්නේය. ඒ සඳහා සුදුසු ගැනුම්කරුවකු සොයාගෙන ඒ විස්තර අධිකරණය වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේය. සැටලයිට් සමාගම මිලදී ගන්නට ඩයලොග් සමාගම ඉදිරිපත් විය. අගවිනිසුරු ඊට අවසරදී වරායේ තිබූ උපකරණ තොගයද නිදහස් කර දුන්නේය. සැටලයිට් සමාගම ඩයලොග් සමාගමට විකුණන ලද්දේ රුපියල් මිලියන 523.8කටය. කනගි ඒ මුදලින් රුපියල් ලක්ෂ 650ක් වියදම් කොට අගවිනිසුරුට බෞද්ධ ටෙලිවිෂනය නමින් ටෙලිවිෂන් ආයතනයක් තෑගි කළේය. නීතියක් තිබෙන රටක් නම් අගවිනිසුරු සරත් නන්ද සිල්වාට දඬුවම් කරන්නට මෙම කාරණය පමණක් වුවත් ප්‍රමාණය. එය තමන් ඉදිරියේ ඇසෙන නඩුවක පෙත්සම්කරුවකුට ඔහුගේ වාසියට හේතුවන තීන්දුවක් ලබාදී ඒ වෙනුවෙන් ලබාගත් අල්ලසක් ලෙස සැලකිය හැකිය.
අගවිනිසුරු විශ්‍රාම යන අවස්ථාවේදී මේ පුද්ගලයා අධිකරණයට කර තිබූ දැවැන්ත හානිය සලකා ඔහුගේ පාලනය යටතේ සිදුවී තිබෙන විසමාචාර හා අකටයුතුකම් ගැන සොයා බැලීමට පරීක්ෂණ කොමිසමක් හෝ පත් කරනු ඇතැ”යි බොහෝ දෙනා අපේක්ෂා කළෝය. මතභේද තිබුණද විශ්‍රාම ගිය අගවිනිසුරුවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරණ අඹ යාළුවකු වීම නිසාදෝ ඒ ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවීය. දූෂණයට එරෙහිව සටන් කරන්නන්ගේ බලාපොරොත්තුව මෙම තක්කඩි මිනිසාට ගරු කටයුතු හා සටන්කාමී පෙනුමක් ලබාදී ඊළඟ ජනාධිපතිවරණයට විරුද්ධ පක්ෂවල පොදු අපේක්ෂකයා බවට පත්කර ගැනීම නම් රටට දෙවියන්ගේම පිහිටය.