යූඇන්පියේ ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනා

February 16, 2014
Publication:
Ivan warns that neither the government's belief in its permanence nor the opposition's hope of winning an election reckons with a third possibility: collapse into anarchy, as happened in the Tamil North. The country is in deep darkness over the rule of law, nation-building and constitutional reform. He sets out how the executive presidency distorted the state, from Jayewardene's undated resignation letters and the 1982 referendum onwards, and argues that the UNP's new constitutional proposals will not be credible until the party honestly admits its own responsibility for creating the system.

රටේ පාලකයා පාලක පක්ෂය සේම පාලක පක්ෂයට හිතවත් මහජනයාද කල්පනා කරන බව පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම ඉතා දීර්ඝකාලීන වනු ඇති බවය. ඊළඟ ජනාධිපතිවරණයෙන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පහසු ජයග්‍රහණයක් ලබාගනු ඇති බවය.

විරුද්ධ පක්ෂය සේ ම විරුද්ධ පක්ෂවලට හිතවත් මහජනයා සිතන්නේ ඊට වෙනස් ආකාරයටය. සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණ සඳහා එක පෙරමුනකට එකතු කරගත හැකි නම් හා ඒ සියලුදෙනාගේ විශ්වාසයට හේතුවන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකි නම් ස්ථිර වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය අපහසු නොවන බව ඔවුන්ගේ කල්පනාව වී තිබේ.

යන්නේ අරාජික තත්ත්වයකටද?

මේ දෙපිරිසම සිතන ආකාරයට වෙනස්ව තුන්වැනි දෙයක්ද සිදුවිය හැකිය. දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන ගරා හැලීම වේගවත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරණයකට යන්නට පවා ඉඩ නොලැබෙන ආකාරයට හා විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලටද ක්‍රමවත් ලෙස බලය ලබාගැනීමට ඉඩක් නොලැබෙන ආකාරයට ආණ්ඩුවේ කඩා බිඳ වැටීමක්ද ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයක් කිසියම් කාලයක් සඳහා රටේ අරාජික තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය.

මා මේ තත්ත්වය මීට පෙර විස්තර කර ඇතත් දෙමළ උතුරේ ඇතිවූ තත්ත්වය සිංහල දකුණේද පුනරුච්චාරණයවීමක් ලෙසය. ප්‍රභාකරන් සියලු දෙමළ නායකයන් ඝාතනය කොට තමන් දෙමළ ජනතාවට සිටින එකම නායකයා බවට පත්වූයේය. ඉන්පසු දෙමළ ජනතාවට සිටි එකම නායකයා විනාශ වූ විට දෙමළ ජනයා නායකයන් නැති අරාජක ජනතාවගේ තත්ත්වයට පත්වූයේය.

මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් මෙන් තමන්ගේ ප්‍රතිපක්ෂ නායකයන් ඝාතනය කළේ නැතත්, බලයට පත්වූයේ ඓතිහාසික වශයෙන් ඒ සියලුදෙනා අවලංගු නායකයන් බවට පත් කරමිනි. ඒ මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිංහල ජනයාට සිටින එකම අසහාය ජන නායකයා බවට පත්වූයේය. ඒ අසහායභාවය ඔහු හිමිකරගත්තේ ප්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරය පරාජය කිරීමෙනි. එහෙත් අසහාය බව ලැබීමෙන් පසු හිමිකරගත් අසහායභාවයට ගැළපෙන පැවැත්මක් හා ආණ්ඩු පාලනයක් පවත්වාගෙන යෑමට අසමත්වීම තුළ එම අසහාය නායකයාට තිබුණු පිළිගැනීම ක්‍රමයෙන් වාෂ්ප වන තත්ත්වයක් ඇතිවී තිබේ. අනෙක් අතට දේශපාලන ක්‍රමය තිබෙන්නේ ඓතිහාසික වශයෙන් ගරා හැලී කඩා හැලෙන තත්ත්වයකය. එක අතකින් ජනාධිපතිවරයා සිටින්නේ කඩාවැටීමකට ආසන්න එම ගරා හැලුණු දේශපාලන ක්‍රමය නැමති අට්ටාලයේ මුදුනේය. දේශපාලන ක්‍රමය කඩා වැටීමෙන් එහි මුදුනේ සිටින ජනාධිපතිවරයා බලවත් අනතුරකට පත්විය හැකිය. එසේම කඩා වැටෙන්නට ආසන්න තත්ත්වයකට ගරා වැටී තිබෙන දේශපාලන ක්‍රමය නමැති අට්ටාලය මත ජනාධිපතිවරයාගේ කඩා වැටීමක් ඇතිවුවහොත් එම තත්ත්වයද දේශපාලන ක්‍රමයේ ඇද වැටීම ඉක්මන් කිරීමට හේතුවිය හැකිය. ඒ මගින්ද ජනාධිපතිවරයා අනතුරකට ලක්විය හැකිය. මෙම ඓතිහාසික ප්‍රහේළිකාවට ඇතුළත් වැදගත්ම ඊළඟ ලක්ෂණය වනුයේ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ඇද වැටීමක් ඇතිවුවහොත් ඒ තැන ගැනීමට බෙදී සිටින මහජන කණ්ඩායම්වල විශ්වාසයට හේතුවන විකල්ප දේශපාලන නායකත්වයක් රටේ නැතිකමය. ඊට අතිරේකව එම විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතරද සමගියක් නොපවතී. එවැනි තත්ත්වයක් තිබියදී වියහැක්කේ එවැනි හිඩසක් ඇතිවූ විට බලය අල්ලා ගැනීම සඳහා මේ එකිනෙක කණ්ඩායම් අතර වියුරු පොරයක් ඇතිවීමය. ඒ තත්ත්වය ඇති කරනු ඇත්තේ අරාජික තත්ත්වයකි.

අප ඉන්නේ ගණ අඳුරකය

ඊළඟ බරපතළ කාරණය වනුයේ දේශපාලන ක්‍රමයේ ඇතිවන මහා බිඳ වැටීමකදී විකල්ප ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය තියුණු අවබෝධයක් ජාතිය සතු නොවීමය. ඒ සඳහා බැරෑරුම් ලෙස කරුණු හදාරණ තත්ත්වයක් කොතැනකවත් පෙනෙන්නට නැත. සමස්ත ආයතන ක්‍රමයම තිබෙන්නේ යළි පිළිසකර කළ නොහැකි තරමට හොඳටම ගරා වැටුණු තත්ත්වයකය. අධිකරණය නිදර්ශනයක් ලෙස ගත හැකිය. අධිකරණය මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන රාජ්‍ය හා පුරවැසියන් අතර ඇති ආරාවුල්වලදී සාධාරණව හා නීතියට අනුකූලව ක්‍රියාකරන මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආයතන ක්‍රමයක් බවට පත්කරන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න ගැන කවර දේශපාලන පක්ෂයක් හෝ ආයතනයක්වත් ගැඹුරින් සලකා බලන තැනකට ගොස් නැත. ඒ තත්ත්වය අන් සියලු ආයතන ක්‍රමවලටද අදාළය. දේශපාලන පක්ෂ පමණක් නොව විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේෂණ ආයතන පවා ඒවා ගැන කරුණු සොයා බලන තැනකට යොමුවී නැත.

අධිකරණයට විධායකය ඇඟිලි නොගසන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් අධිකරණයේ ඇතිවී තිබෙන මහා පරිහානිය යථා තත්ත්වයට පත් කළ නොහැකිය. පුනරුත්ථාපනය කිරීමට බැරිතරමට දූෂිත තත්ත්වයකට පත්වූ අය අධිකරණයේ සිටී නම් ඔවුන් අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතුව තිබේ. පුනරුත්ථාපනය කළයුතු තත්ත්වයක සිටින අය පුනරුත්ථාපනය කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ අධිකරණය සතු යුතුකම් හා වගකීම් නැවත කියා දිය යුතුව තිබෙන්නේය. ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙන නඩු තීන්දු නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කළ යුතුය. අධිකරණ සේවයට සුදුසු පුද්ගලයන් පමණක් බඳවා ගැනෙන ක්‍රමයක්ද ඇති කළ යුතුය. සේවයට බඳවා ගන්නා නවකයන්ට හොඳ පුහුණුවක් ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතු අතර සුදුසුකම් සම්පූර්ණ කළ හැම කෙනකුටම සාධාරණව උසස්වීම් ලබාගත හැකි ක්‍රමයක්ද ඇති කළ යුතුය. අධිකරණය සඳහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ මොනවාද යන්න හරියාකාරව තේරුම් ගත හැකිවනු ඇත්තේ මෙතෙක් සිදුවී ඇති වැරදි දෙස අවංක ලෙස ආපසු හැරී බලන තත්ත්වයකට යෑමෙන් පමණය. අනාගත වෙනස්කම් සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තරමේ පෙර සූදානමක් මොනම තැනකවත් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ජාතිය ගොඩනැගීම පිළිබඳ ප්‍රශ්නයේදීද අප ඉන්නේ ඝන අඳුරකය. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ජාතිය ගොඩනගන තැනට යනවා වෙනුවට අප කර ඇත්තේ වර්ග හා ආගම් අතර තිබුණු බෙදීම් උග්‍ර කිරීමට හේතුවන ආකාරයට ක්‍රියාකිරීමය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ප්‍රධාන ජනවර්ග හා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා මුස්ලිම් යන ආගම් අදහන්නන් පදනම් කොටගෙන එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ඇතිකරන්නේ කෙසේද යන සංකීර්ණ ප්‍රශ්නයට කිසිදු දේශපාලන ව්‍යාපාරයකට දියහැකි නිශ්චිත හරි පිළිතුරක් නැත. හරි පිළිතුරක් සොයාගැනීමට කිසිවෙක් උනන්දුවෙන් ක්‍රියාකරන බවක්ද පෙනෙන්නට නැත.

ආණ්ඩුක්‍රමයේ ඇති කළයුතු වෙනස්කම් පිළිබඳ කථිකාව තිබෙන්නේද දියුණු හා ප්‍රබල තත්ත්වයක නොව නොදියුණු හා දුබල තත්ත්වයකය. විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන ආකල්පය විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ විසින් පොදුවේ දරන මතයක් බවට පත්ව තිබීම ඒ විෂයෙහි දක්නට ලැබෙන යහපත් නැඹුරුවක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන්ම මෙම විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් පක්ෂය ලෙස සැලකිය හැකි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන හා විශාලතම දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයකට පැමිණ තිබීම ඒ නැඹුරුව ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකය ලෙස සැලකිය හැකිය. එහෙත් මේ වෙනස්වීම් කෙරෙහි බලපෑ හේතු පිළිබඳව එජාපය කර තිබෙන විග්‍රහය අවංක විග්‍රහයක් ලෙස සැලකිය නොහැකිය.

අවංකවීමේ වැදගත්කම.

මෙහි ඒ ගැන සාකච්ඡා කිරීමේ අරමුණ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන පෙළගැස්ම දුර්වල කොට එජාපයද දුර්වල කිරීමේ අරමුණින් නොවන බව පළමු කොට කිව යුතුය. රටක් වශයෙන් අප මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය අප විසින්ම හදාගන්නා ලද අර්බුදයකි. එම තත්ත්වයට වර්තමානයේ ජීවත් වන වැඩිහිටි හැම කෙනකුම වගකිව යුතුය. ජනවර්ග, ආගම්, කුල සේ ම දේශපාලන පක්ෂද වගකිව යුතුය. රටේ උගතුන් හා විද්වතුන්ද වගකිව යුතුය. මේ අර්බුදය එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඒ සියලුදෙනාගේ ඉහ වහා ගිය ආත්මාර්ථකාමයේ, නූතන අවශ්‍යතාවන්ට නොගැළපෙන දුගී චින්තනයේ හා අශීලිචාරභාවයේ සාමූහික ඵලයක් ලෙස සැලකිය හැකිය. මේ තත්ත්වය අපට ජයගත හැකිවනු ඇත්තේද ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක් ඇති කරගත හැකිවනු ඇත්තේද අප එකිනෙකා පුද්ගලයන් වශයෙන් හා කණ්ඩායම් වශයෙන් ඊට ලබාදී තිබෙන දායකත්වයේ ප්‍රමාණය හා ස්වභාවය තේරුම් ගනිමින් ඒ ගැන ඇතිකර ගන්නා අවංක පසුතැවීමකින් පමණය. මෙම මහා සමාජ දේශපාලන ප්‍රවාහය තුළ නිවැරදි අය නොසිටි තරම්යැ”යි කිව හැකිය. එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් සියලුදෙනාගේ අත්වල කැත කුණු සේ ම ලේද තැවරී ඇතැ”යිද කිව හැකිය. අපට මෙම සංකීර්ණ හා විස්තීර්ණ අර්බුදය විසඳාගත හැකිවනු ඇත්තේ අප සියලුදෙනාගේ අත්වල තැවරී ඇති කැත කුණු හා ලේ සෝදා ගැනීමෙන් හා සිදුවී තිබෙන වැරදි ගැන අවංක ලෙස කනගාටුවන තත්ත්වයකට පත්වීමෙනි.

මහා විනාශයක් කරා යන ගමනක බීජ නිදහසට පෙර සිටම තිබුණි. නිදහසට පෙර හෝ පසුව සිංහල දෙමළ, මුස්ලිම් නායකයන් කවර කෙනකුවත් ඉංග්‍රීසීන්ගෙන් ලැබී තිබුණු ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම නම් එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම අනවශ්‍යවේයැ”යි කල්පනා නොකළහ. එම පූර්ව අවශ්‍යතාව කල්තියා තේරුම් ගැනීමට අවශ්‍ය දියුණු දේශපාලන චින්තනයක් ඔවුන් කිසිවකුට නොතිබුණේය. බ්‍රිතාන්‍ය බලපෑම නිසා ඇතිවූ ධනවාදයෙන් අප නවීන වී තිබුණේ අර්ධ වශයෙන් පමණය. අපේ එක් අර්ධයක් ධනවාදී වනවිට තවත් අර්ධයක් වැඩවසම් වීයැ”යි කිව හැකිවිය. මෙම තත්ත්වය ජනවර්ග චින්තනයේ පමණක් නොව ආගමික චින්තනයේද සමස්ත ජාතියේ චින්තනයේද පැවති පටුභාවය කෙරෙහි බලපෑවේය. සුළු ජාතීන්ගේ සිත් සතන් තුළ ඇතිවිය හැකි මහා ජාතියේ ආධිපත්‍යයන් පිළිබඳව පැවති සැක සංකා දුරු කොට ඔවුන් එක්සත් ජාතියක් ලෙස ජාතියට අන්තර්ග්‍රහණය කරගැනීමට අවශ්‍ය ඔවුන්ගේ පිළිගැනීමට හේතුවන ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කිරීමේ හැකියාව සිංහල නායකයන්ට නොතිබුණා සේ ම සිංහල නායකයන්ටද එකඟවිය හැකි ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කිරීමේ හැකියාව සුළු ජාතික නායකයන්ටද නොතිබුණේය. ඒ තත්ත්වය තුළ දේවල් ඉදිරියට ගලා ගියේ වර්ගවාදී ආකාරයටය. සියලුදෙනා පොදු යහපත වෙනුවට සලකන ලද්දේ තම වර්ගයාගේ යහපත ගැනය. නැතිනම් තම ආගමේ යහපත ගැනය. සියලු වර්ගවලට ආගම්වල හා කුලවලට අයත් නායකයන් පොදු යහපත වෙනුවට තම වර්ගයට ආගමට හා කුලයට බර තබන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළ නිදහසින් පසු එළැඹෙන මුල් යුගය තුළ ජාතික රාජ්‍ය ක්‍රමය සේ ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයද විකෘතිවෙමින් තිබුණේයැ”යි කිව හැකිය.

විධායක ජනාධිපති ක්‍රමය

ජාතික රාජ්‍යයේ හා ආණ්ඩුක්‍රමයේ ඇතිවෙමින් තිබූ විකෘතීන් අංගවිකල තත්ත්වයකට පත්වන්නේ එජාපයේ එකල නායක ජේ.ආර්. ජයවර්ධන විසින් තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය වෙනුවට 1977දී විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමෙන් පසුවය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීම සඳහා තෝරාගත් ආකෘතියද සම්භාවනීය ආකෘතියක් ලෙස සැලකිය නොහැකි අතර එය සැලකිය හැක්කේ රස්තියාදුකාර ආකෘතියක් ලෙසය. ඇති කරන ලද නව ක්‍රමය යටතේ රාජ්‍ය බලයේ හා පාලනයේ ඇතිවූ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙසේය.

1. පැරණි ආණ්ඩුක්‍රමය යටතේ ජනතාව සතුව තිබූ පරමාධිපත්‍ය බලය ජනතාවට අහිමි කොට එය විධායක ජනාධිපති සතු බලයක් බවට පත්කර ගනිමින් ජනතාව විධායක ජනාධිපතිගේ ප්‍රවේණිදාස පිරිසක් බවට පත් කළේය. ඒ සමග කලින් කල ජනතාවට එපාවූ විට ආණ්ඩු වෙනස් කිරීමට ජනතාවට තිබූ බලය අහිමි කොට ආණ්ඩු වෙනස් කිරීම ඉතාමත් විශේෂ තත්ත්වයන් යටතේ ඉතාමත් කලාතුරකින් හා ඉතාමත් දුෂ්කර ලෙස සපුරාගත යුතු අහඹු දෙයක් බවට පත්විය. ඒ මගින් විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට තිබුණු සාධාරණ ඉඩ ප්‍රස්ථාද අහිමිකිරීමක්ද සිදුවිය.

2. නීතියට ඉහළින් සිටින හා නීතියට යටත් නැති අධිකරණයට, පාර්ලිමේන්තුවට හෝ ජනතාවට වගනොකියන සකලවිධ රාජ්‍ය බලය තනි පුද්ගලයකු අත කේන්ද්‍රගතවූ රාජ්‍ය නායකයකු ඇතිවිය. ඒ මගින් පාර්ලිමේන්තුවද, අධිකරණයද, පොලිසියද, විගණන දෙපාර්තමේන්තුව හා මැතිවරණ දෙපාර්තමේන්තුවද අවසාන විග්‍රහයේදී ගත් කල මුළු මහත් රාජ්‍ය සේවයද රාජ්‍ය නායකයාට යටහත් පහත්ව නගුට වනමින් ක්‍රියා කළ යුතු තත්ත්වයකට පත්වූවේය.

3. රාජ්‍ය නායකයාට හා ඔහුගේ කණ්ඩායමට නීතිය කෙරෙහි ඇතිකර ගන්නා බියකින් තොරව පොදු දේපළ හා වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය මෙම ක්‍රමය විසින් ලබාදී තිබෙන විනාශකාරීම දායාදය ලෙස සැලකිය හැකිය. එතෙක් පැවති පැරණි ක්‍රමය තුළද දූෂණය තිබුණා වුවද දේශපාලකයන්ට පොදු දේපළ හා වස්තුව කොල්ලකෑමට ඉඩක් නොතිබුණි. දේශපාලකයන් දේශපාලනය කළේ නම්බුව, කීර්තිය හෝ මතවාදී අරමුණු සඳහාය. දේශපාලනයෙන් මහා පරිමාණයෙන් වස්තුව උපයා ගැනීමට ඉඩක් නොතිබුණි. දේශපාලනයේ යෙදෙන අය ඒ නිසා බොහෝවිට දුප්පත් වූවා මිස ධනවත් වූයේ නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඒ ක්‍රමය උඩ යට පෙරලුවේය. තමාගේ කණ්ඩායමේ අයට උපරිම ලෙස පොදු වස්තුව කොල්ලකමින් මහා ධනවතුන් බවට පත්වීමට ඉඩ දුන්නේය. ජනාධිපති ජයවර්ධන බලය සඳහා මිස වස්තුව සඳහා විශාල කෑදරකමක් දක්වන ලද නායකයකු නොවූවද තම කණ්ඩායමේ අය පොදු වස්තුව කොල්ලකෑමට පොළඹවනු පිණිස ඔහුද සංකේත වැදගත්කමක් ඇති අවස්ථාවලදී පොදු වස්තුව කොල්ලකෑවේය. තමාට තිබුණු කනාටු පොල්වත්ත රජයට පවරා දී ඒ වෙනුවට රජය සතුව තිබූ හොඳම පොල්වත්තෙන් කොටසක් තමා වෙත පවරා ගත්තේය. එම පොල්වත්තේ ඉතිරි කොටස් තමන්ගේ ඉඩම් ඇමතිට, තමන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනාටද, නාමික මිලකට පවරා ගන්නට ඉඩදී ඒ සියලුදෙනා ධනවත් ඉඩම් හිමියන් බවට පත් කළේය. මේ පිළිබඳව තවත් නිදර්ශන ගණනාවක් මාගේ “චෞර රාජ්‍ය” නමැති කෘතියට ඇතුළත්ය. ඔහු සිය කණ්ඩායම් සාමාජිකයන්ට පොදු වස්තුව කොල්ල කන්නට ඉඩදී ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු තමන් වෙත තබාගනිමින් තමන්ට අකීකරු වන පුද්ගලයන් මෙල්ල කිරීම සඳහා ඒ තොරතුරු පාවිච්චි කළේය.

4. නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම ඇතිවී නව ක්‍රමය නිසා ඇතිවූ තවත් භයානක ප්‍රතිඵලයක් විය.

ජනාධිපති ජයවර්ධන තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීම ඔහුගේ කාලයේ සිදුවූ රටට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවූ වඩාත්ම විනාශකාරී ක්‍රියාදාමය ලෙස සැලකිය හැකිය.

ජනමතවිචාරණයක් නොපවත්නා 1982දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වී නම් ආණ්ඩුවට තිබූ හයෙන් පහේ බලය නැතිවී ආණ්ඩුව බහුතර බලයක් පමණක් ඇති ආණ්ඩුවක් බවට පත්වී තවදුරටත් හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට එම ආණ්ඩුවට තිබුණු හැකියාව නැතිවන්නට ඉඩ තිබුණා සේ ම පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂවලට තිබෙන නියෝජනයද විශාල වී විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වය ප්‍රබල වන්නට ඉඩ තිබුණි. ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු නියෝජිතයන් ලැබීම මගින් ජවි ලෙස නැවත සන්නද්ධ අරගල මාවතට තල්ලු නොවන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා අන්තවාදී සංවිධාන අතර තරගයක් ඇතිවීම මගින් අන්තවාදී සංවිධානවලට තිබෙන පිළිගැනීම අහිමි වන්නට හෝ ඔවුන්ටද කිසියම් ප්‍රමාණයක පාර්ලිමේන්තු නියෝජිතයන් ලැබීම මගින් ඔවුන් සන්නද්ධ අරගල මාවත අත්හරින තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. එසේවී නම් 1983 කළු ජූලියක් ඇතිවන්නට ඉඩ නොතිබුණා සේ ම දකුණේත් උතුරේත් මහා ලේ වැගිරීම් ඇතිවන්නටද ඉඩ නොතිබුණේය.

අවංකවීමට අසමත්වීම

එහෙත් වර්තමාන එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත් විය යුතු බව කියන්නේ තමන් විසින් ඇති කරන ලද එම දූෂිත ක්‍රමය හා තමන්ගේ පාලන කාලය තුළ සිදුවූ බිහිසුණු හා විනාශකාරී ක්‍රියා මුළුමනින් වසන් කරන පිළිවෙතක් ඔස්සේය.

එම පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියට ලියන ලද පූර්විකාවේ ඒ ගැන කර තිබෙන විග්‍රහය මෙසේය.

“මෙරට ආර්ථික, දේශපාලන සහ සාමාජික අරමුණු ඉලක්ක කරගනිමින් 1978 දෙවන ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලද අතර ඒ මගින් මෙරට සමාජ-ආර්ථික පරිවර්තනයක් ඇතුළු ඉලක්ක කරගත් අරමුණු බොහොමයක් සාක්ෂාත් කරගන්නා ලදි.

“එහෙත් පසුගිය වසර කිහිපය තුළදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ විධායක ජනාධිපති තනතුර විධිමත්ව හා වගකීමකින් යුතුව පවත්වාගෙන යෑම වෙනුවෙන් සැකසී තිබුණු සංවරනය හා තුලනය සඳහා වූ සියලු ප්‍රතිපාදනයන් විනාශ කර දමමින් ඒ තනතුරෙහි ගෞරවනීයභාවය සහ වැදගත්කම මුළුමනින් කෙලසා දමා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා මූලධර්මයන් පිළිබඳවද, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමකින් තොරව විධායක ජනාධිපති බලතල අයුතු ලෙස භාවිත කරමින් හා දැඩි ඥාති සංග්‍රහය සහ දූෂණය පතුරුවමින් ඒකාධිපති බලයක් ගොඩනගා ගනිමින් ජනාධිපති ධුරයෙහි පැවති ගරු ගාම්භීරත්වය හෑල්ලු කොට එය මේ වනවිට ඉතා පිළිකුල්සහගත ත්තත්වයකට පත් කොට ඇත.

“වර්තමාන රජය බලහත්කාරී ලෙස උදුරාගෙන ඇති මහජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඔවුන්ගේ ගරු ගාම්භීරත්වය නැවතත් ඔවුන් වෙත ලබාදෙමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති අතර ඒ මගින්…

එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව ලියා තිබෙන එම සංඥාපනය තිබෙන ආණ්ඩුක්‍රමයේ නියම තතු සේ ම ඊට අදාළ එක්සත් ජාතික පක්ෂයේ අපකීර්තිමත් ඉතිහාසය වසන් කරන ව්‍යාජ සංඥාපනයක් ලෙස සැලකිය හැකිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම පක්ෂයේ ජනාධිපතිවරුන්ට වඩා නරක ජනාධිපතිවරයෙකු වීයැ”යි කීවේ නම් එහි මොනයම් හෝ අර්ථයක් තිබෙන්නේයැ”යි කිව හැකිය. එහෙත් මහින්දට පෙර බලයේ සිටි සියලු ජනාධිපතිවරුන් තනතුරේ ගෞරවය ආරක්ෂා කරගනිමින් දැහැමින් රට පාලනය කළද මහින්ද බලයට පත්වීමෙන් පසු එතැන් සිට සියලු දේවල් නරක අතට හැරුණේයැ”යි කියන්නේ නම් එය සැලකිය යුත්තේ මහජනයා මුලාකරන බොරුවක් වශයෙනි.

මේ රටේ පවතින විධායක ජනාධිපතික්‍රමය එය ඇති කළ මොහොතේ සිට අද දක්වාම පැවත එන්නේ ජනතාවට ඔවුන්ගේ පරමාධිපත්‍යය අයිතිය අහිමි කළ ඔවුන් පීඩාවට පත් කෙරෙන කොල්ලකාරී ක්‍රමයක් වශයෙනි. එක්සත් ජාතික පක්ෂය පෙන්නන්නට උත්සාහ දරා ඇත්තේ තමන් ඇති කළ ක්‍රමය මහජන හිතකාමී ගරු ගාම්භීර ක්‍රමයක් වුවත් මහින්ද රාජපක්ෂ එම තනතුරට පත්වීමෙන් පසු එය අසීලාචාර හා පාදඩ ක්‍රමයක් බවට පත්කර තිබෙන බවය. එහෙත් නියම ඇත්ත ඊට වෙනස්ය. එය ආරම්භයේ සිටම අද දක්වාම පැවතියේ මහජනයා පීඩාවට පත්කරන පාලක පක්ෂයට වස්තුව කොල්ලකෑමට ඉඩදෙන රස්තියාදුකාර හා කොල්ලකාරී ක්‍රමයක් වශයෙනි. මේ ක්‍රමය යටතේ බලයට පැමිණි කිසිදු ජනාධිපතිවරයකු හොඳ හෝ යහපත් ජනාධිපතිවරයකු ලෙස සැලකිය නොහැකිය. ඒ හැම කෙනකුම මහජනතාව පීඩාවට පත් කළේය. රටේ ගෞරවය කෙළෙසුවේය. රටේ ජනතාව සමගි කරනවා වෙනුවට භේද කළේය. තමන්ට තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කළේය. විරුද්ධ පක්ෂය පීඩාවට පත් කළේය. නීතියට ගරු නොකළේය. මානව හිමිකම් උල්ලංඝනය කළේය. ඥාති සංග්‍රහයේ හා මිත්‍ර සංග්‍රහයේ යෙදුණේය. වස්තුව කොල්ලකෑවේය. ඒ අර්ථයෙන් මේ දේශපාලන ක්‍රමය යටතේ විටින් විට බලයට පත්වූ ජනාධිපතිවරුන් වෙනස් වනුයේ ප්‍රමාණයෙන් මිස ගුණයෙන් නොවේ. නීතිය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ තිබුණේ නම් මේ සියලු ජනාධිපතිවරුන්ගේ ගමන කෙළවර විය යුතුව තිබුණේ හිරගෙදරිනි.

එජාපයට වෙනස්වීමට අවශ්‍ය නම් මීට වඩා විශාල ප්‍රමාණයකට අවංකවීමේ වැදගත්කම එම පක්ෂය තේරුම් ගත යුතුය. තම පක්ෂයේ පාලන කාලයන් තුළ සිදුවූ නොහොබිනා හා අමනකම් ගැන අවංක ලෙස පසුතැවිලි වන තැනකට යායුතුය. එජාප පමණක් නොව ලොකු කුඩා හැම දේශපාලන පක්ෂයක්මත් ඓතිහාසික වශයෙන් ඉදිරියට යා නොහැකි එකතැන පල්වෙන තත්ත්වයකට පත්ව සිටින්නේ ඒ සියලු පක්ෂ අඩු වැඩි වශයෙන් කරගසාගෙන සිටින පව් කන්දරාව නිසාය. රටේ පවතින අවලස්සන තත්ත්වය ඒ සියලු පක්ෂ කර තිබෙන පව් කන්දරාවේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ සියලුදෙනාම නැවත සජීවී තත්ත්වයකට පත්විය හැක්කේ ඒ පව්වලින් අත්මිදීමෙන් පමණය. ඒ සඳහා තිබෙන එකම ක්‍රමය කර තිබෙන පව් ගැන අවංක ලෙස පසුතැවීමෙනි. එම පක්ෂවල හැකිළී තිබෙන ශරීරවලට අලුත් ලේ ගලා එනු ඇත්තේ එවිටය.