එකක් කඩතොලු වසා ගන්නට ගොස් දෙකක් කඩතොලු හදා ගැනීම

February 9, 2014
Publication:
Ahead of the March 2014 Human Rights Council session, where the High Commissioner was to report on Sri Lanka, Ivan warns that the government is making things worse by putting the President himself at the head of the Geneva fight. He compares the two JVP risings and the LTTE war, three youth rebellions crushed by force, and argues that after defeating the LTTE Mahinda Rajapaksa had a rare chance to heal the nation and win international respect, but instead undermined the rule of law and turned manageable problems into international crises.

ස්මෝල්, මැතිවරණ කොමසාරිස් හා පළාත් සභා ඡන්ද යන තේමාව යටතේ පසුගිය කලාපයට ලියන ලද ලිපිය මා අවසන් කර තිබුණේ රටට ශාපයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් එජාපය පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවට ප්‍රකාශ කර තිබියදී හා සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරන තැනකට පත්ව සිටියදීත් ඒ සියලුදෙනාට දේශපාලන වශයෙන් ප්‍රබල බලවේගයක් ලෙස මතුවීමට නොහැකිවී තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නය ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන බවය. එහෙත් ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සලයේ මාර්තු සැසිය ශ්‍රී ලංකාව කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන සංසිද්ධියක් බවට පත්ව තිබීම හේතු කොටගෙන පළමුව කී දෙය ගැන කතා කිරීම පසුවට තබා ජිනීවා සමුළුවේ අවධානයට හේතුවී තිබෙන ප්‍රශ්නවල වටාපිටාව ගැන පළමුවෙන් කතා කිරීම වඩා උචිතය.

ජිනීවාහි මානව හිමිකම් සැසිය

මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු සැසියේදී කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අතිරේකව ඇමරිකාව එම සැසියට ලංකාව සඳහා තවත් යෝජනාවක් ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර තිබේ. ඇමරිකාව ඉදිරිපත් කරන්නට යන අලුත් යෝජනාවට ඇතුළත් කාරණා මොනවාද යනු පැහැදිලි නැතත් ලංකාව පිළිබඳව ඇමරිකාව මෑත කාලයේදී කරන ලද විවිධ නිල ප්‍රකාශයන්ගෙන් පෙනීයන්නේ දැන් ඔවුන්ගේ උනන්දුවට වඩාත්ම හේතුවී තිබෙන්නේ යුද්ධයේ අවසාන අධියරයේ සිදුවේයැ”යටි කියන දේවලටත් වඩා යුද්ධයෙන් පසුව ඇතිවී තිබෙන දේවල් වන බවය. නීතියේ ආධිපත්‍යයේ ඇතිවී තිබෙන මහා බිඳ වැටීම, ප්‍රතිසන්ධානයන් හා ප්‍රතිසංවිධානයන් ඇති නොවීම, අන්තවාදී ආගමික බලවේගයන්ගේ වර්ධනය යන කාරණා ඒ අතර ප්‍රධාන වන බවද පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ක්‍රියාවට නගන්නට යන උපාය මාර්ගික වැඩපිළිවෙළ පරාජය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රති උපායමාර්ගික වැඩපිළිවෙළක් දියත් කර තිබුණු බවක්ද පෙනෙන්නට තිබුණි. විදේශ ඇමතිවරයා පමණක් නොව ජනාධිපතිවරයාද අසාමාන්‍ය ආකාරයට විවිධ රටවලට යමින් ඒ රටවල රාජ්‍ය නායකයන් හමුවී ඔවුන් සමග මිත්‍රකම් වර්ධනය කරගැනීමේ බලවත් උත්සාහයක නිරත වූ බවක් පෙනෙන්නට තිබුණි. සමහර රාජ්‍යවල පක්ෂපාතීත්වය හිමිකර ගැනීම සඳහා ලංකාවේ වියදමින් ඒ රටවල තෝරාගත් සංවර්ධන ව්‍යාපාරවලට මුදලින් ආධාර කරන පිළිවෙතක්ද අනුගමනය කළේය. එය මීට පෙර කවර ආණ්ඩුවක් විසින්වත් අනුගමනය නොකළ අලුත් පිළිවෙතක් ලෙස සැලකිය හැකිය. ඇත්තටම ශ්‍රී ලංකාව සිටින්නේ වෙනත් රටවලට ආර්ථික ආධාර දියහැකි සමෘද්ධිමත් තත්ත්වයක නොව ගිනි පොලියට ලබාගන්නා විදේශ වාණිජ ණය වන ඉතාමත් අමාරුවෙන් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන දුෂ්කර තත්ත්වයකය. එවැනි තත්ත්වයක සිටියදීත් ශ්‍රී ලංකාව මහා ධානපති වේශයක් ආරූඪ කරගන්නා ලද්දේ ඒ මගින් හෝ ඇමරිකන් වැඩපිළිවෙළ පරාජය කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ අරමුණිනි. පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වෙනුවෙන්ද ශ්‍රී ලංකාව දැවැන්ත ධනස්කන්ධයක් වැය කළේය. ඒ මගින් බලාපොරොත්තු වූයේද ජාත්‍යන්තර සහාය තරකර ගැනීමය. එහෙත් ඒ කිසිවක් නිසා චිත්‍රයේ යහපත් වෙනසක් ඇතිකර ගැනීමට හැකිවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

රටේ ජනාධිපතිවරයා මේ තත්ත්වය විග්‍රහ කරමින් තිබෙනුයේ ශ්‍රී ලංකාව යටත් කරගැනීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් දියත් කර තිබෙන කුමන්ත්‍රණයක් ලෙසය. නව ආණ්ඩුව පෙරළා දැමීම සඳහා වන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇමරිකන් තානාපති කාර්යාලය විසින් දියත් කර තිබෙන බවට පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද බව සතිඅන්ත සමහර පුවත්පත් වාර්තා කර තිබුණි. ඊට පෙරද ජනාධිපති විසින් ජනතාව අමතා කතා කළ උත්සව ගණනාවකදීද ජනාධිපතිවරයා විසින් ඒ සමාන අදහසක් ප්‍රකාශ කර තිබුණි. මීට පෙර පෘතුගීසීන්, ලන්දේසීන් හා බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්නා ලද බවත්, නිදහස ලබාගැනීමෙන් පසු තිස් අවුරුදු කාලයක් තිස්සේ පැවති විනාශකාරී ත්‍රස්තවාදයකින් රට මුදාගැනීමෙන් පසු එම බටහිර බලවේගයන් ලංකාව යටත් කරගැනීම සඳහා වන උත්සාහයක නිරත වී සිටින බවත් එහෙත් එම උත්සාහය සාර්ථක කරගැනීමට තමන් ඔවුන්ට ඉඩ නොදෙන බවත් ඒ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා හෝ ක්‍රියාකරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.

මෙවර ජිනීවා සටනට නායකත්වය දීම සඳහා තෝරාගෙන ඇත්තේ විදේශ ඇමති හෝ මානව හිමිකම් ඇමති නොව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය. ඔහු විදේශ ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ යුද්ධ කාලයේ සිදුවූ දේවල් දැන්ම සොයන තැනකට ගියහොත් රටේ ඇතිවිය හැක්කේ මහා විනාශයක් බවය. ඇමති විමල් වීරවංශ ඒ තත්ත්වයට වඩා හැඟීම්බර ආකාරයකින් විග්‍රහ කර තිබුණේ එසේ වුවහොත් ආරක්ෂක හමුදා වීදි බසින තත්ත්වයක් ඇතිවී මහා විනාශයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවය.

උතුරු පළාත් සභාව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සම්මත කරගෙන තිබෙන යෝජනාවද මෙම උද්වේගකර වටාපිටාව උත්සන්න කිරීමට හේතුවී තිබෙන අතිරේක සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. ඒ ගැන දයාන් ජයතිලක කියා තිබෙන්නේ ඒ මගින් දෙමළ සන්ධානය 13 අහෝසි නොකොට පළාත් සභා ඡන්දයක් ලබා දුන් ජනාධිපතිවරයාට විශාල අසාධාරණයක් කර තිබෙන බවය. ඒ මගින් දෙමළ සන්ධානය සංහිඳියාවකට තිබෙන ඉඩ ප්‍රස්ථා අවුල් කර තිබෙන බවය.

සිදුවිය හැකි දේවල් අපට හරියාකාරව තේරුම්ගත හැකිවනු ඇත්තේ මෙතෙක් සිදුවී තිබෙන දේවල් හරි ආකාරයට තේරුම් ගැනීමෙනි.

සිංහල දෙමළ තරුණ කැරලි

මා දකින ආකාරයට බිහිසුණු ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වූ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම නිවැරදිය. ඒ හැර රජයට තෝරාගැනීමට වෙනත් ප්‍රායෝගික විකල්පයක් නොතිබුණි. ශ්‍රී ලංකාණ්ඩුව විසින් සිය ආරක්ෂක බලය යොදා පරාජය කරන ලැබූ එකම ප්‍රචණ්ඩ ව්‍යාපාරය එල්ටීටීඊය පමණක් නොවේ. ඊට පෙර අවස්ථා දෙකකදී සිංහල ජේවීපියේ ප්‍රචණ්ඩ කැරලි දෙකක්ද රජය ආරක්ෂක බලය යොදා පරාජය කරන ලදි.

මෙම සිංහල-දෙමළ තරුණ කැරලි තුන කෙරෙහි බලපෑ සමාජ-ආර්ථික හේතු තිබුණි. මෙම සිංහල දෙමළ තරුණයන් යක්ෂාවේශ වී ක්‍රියාකරන තත්ත්වයකට තල්ලු කිරීමට බලපෑ සාධාරණ දුක්ගැනවිලි ඔවුන්ට තිබුණි. එසේ තිබියදීත් ප්‍රචණ්ඩ කැරැල්ලක් ඇතිවූ විට පළමුව රජය විසින් එය පරාජය කරනවා විනා පළමුව ඔවුන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදෙන තැනකට යන්නේ නැත. ඒ ප්‍රචණ්ඩ කැරැල්ලක් ඇතිවී තිබෙන අවස්ථාවකදී එය මර්දනය නොකොට දුක්ගැනවිලි ගැන සොයා බලන තැනකට යන පිළිවෙතක් අනුගමනය කරන්නට ගියහොත් ඒ අවකාශය තුළ ප්‍රචණ්ඩ කැරැල්ල වර්ධනය වී වඩි විශාල විනාශයක් ඇතිවීමටද පුළුවන්කම තිබෙන නිසාය. කැරැල්ලක් මර්දනය කරන රජයක් ප්‍රඥාවන්ත රජයක් වේ නම් කැරැල්ල මර්දනය කිරීමෙන් පසු එම කැරැල්ල කෙරෙහි බලපෑ සමාජ, ආර්ථික හේතු සාධක සොයා බලන තැනකට යන්නේය. නැවත එවැනි කැරැල්ලක් ඇතිවීමට ඉඩ නොතබනු පිණිස සොයාගත් හේතූන්ට පිළියම් යොදන තැනකට යන්නේය.

ඇතිවන ඕනෑම ප්‍රචණ්ඩ කැරැල්ලක් පරාජය කළහැක්කේ එම කැරැල්ල විසින් මුදාහරින ප්‍රචණ්ඩ බලය ඉක්මවා ගිය ප්‍රචණ්ඩ බලයක් මුදාහැරීමෙන් පමණය. එවැනි විශේෂ වටාපිටාවක මානව හිමිකම් උල්ලංඝනයවීම නොවැළැක්විය හැකිය.

ජෙවීපීයේ දෙවැනි කැරැල්ල ඔවුන්ගේ 71 කැරැල්ලට වඩා කුරිරු වූවා සේ ම මුදාහරින ලද ප්‍රචණ්ඩ බලයේ පරිමාවද 71 කැරැල්ලේදී මුදාහරින ලද ප්‍රචණ්ඩ බලයට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය මර්දනය කෙරුණු ආකාරයද ඉතාමත් කුරිරු හා ප්‍රචණ්ඩ විය. විජේවීර ඇතුළු එම කැරැල්ලේ නායකයන් බොහෝදෙනකු මරා දමන ලද්දේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ප්‍රධාන නායකයන් අතුරින් දිවි බේරාගත හැකිවූයේ සෝමවංශ අමරසිංහට පමණය.

ජේවීපී කැරලි දෙකම ඇතිවූයේ සාපේක්ෂ වශයෙන් මීට වඩා අඩුවෙන් නවීන වූ ලෝකයක් තිබෙන අවස්ථාවකදීය. අනෙක් අතට ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට බලවත් සිංහල ඩයස්පෝරාවක් නොතිබුණේය. ඒ නිසා එම කැරලි දෙක මර්දනය කිරීමේදී ඇතිවූ මානව හිමිකම් උල්ලංඝනයන් ඉතා සුළු ප්‍රමාණයකට මිස බලවත් ලෙස ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කිරීමකට ලක් නොවීය. එහෙත් එල්ටීටීඊය පරාජය කරනු ලැබුවේ ගෝලීයකරණය හොඳින් තහවුරු වී තිබූ යුගයකදීය. අනෙක් අතට ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට බලවත් දෙමළ ඩයස්පෝරාවක් සිටියේය. එල්ටීටීඊයේ මර්දනයට විශේෂ ස්වභාවයක් දෙන තුන්වැනි ලක්ෂණයක්ද තිබුණේය. ජේවීපී කැරලි දෙකේදීම සිංහල තරුණයන් මරණයට පත්වූයේ සිංහල හමුදාවක් අතිනි. එහෙත් ඊට වෙනස්ව එල්ටීටීඊය මර්දනයේදී දෙමළ තරුණයන් මියගියේ දෙමළ හමුදාවක් අතින් නොව සිංහල හමුදාවක් අතිනි.

ජේවීපී දෙවැනි කැරැල්ලේ සේ ම එල්ටීටීඊ කැරැල්ලේ පරාජයන් කෙරෙහි බලපෑ පොදු සාධක දෙකක් මෙසේය. ඔවුන් සටන් කළ රජයන් හොඳ දේශපාලන සදාචාරයක් නියෝජනය කළ රජයන් නොවූවද මෙම සංවිධාන දෙකෙන් ප්‍රකාශ වූ දේශපාලන සදාචාරය ඇතැම් අංගවලදී එම රජයන් නියෝජනය කළ නොදියුණු දේශපාලන සදාචාරයටත් වඩා නොදියුණුවීයැ”යි කිව හැකිය. මෙම දෙපක්ෂයම මිනිසුන් මරා දමන ලද්දේ ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. ජනතාව අතර ඔවුන් කෙරෙහි බියක් මිස ගෞරවයක් නොතිබුණි. ඔවුන් ප්‍රධාන කොට විශ්වාසය තබා තිබුණේ මහජනයා කෙරෙහි නොව ඔවුන්ගේ අත්වල තිබුණු ආයුධ කෙරෙහිය. මෙම ව්‍යාපාර දෙකේම පරාජයන් කෙරෙහි එය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ඊළඟ වැදගත්ම කාරණය මෙම ව්‍යාපාර දෙකම තමන් අත තිබෙන ආයුධ බිම තැබිය යුතු විශේෂ අවස්ථාව දැන නොසිටීමය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමට ජවිපෙට දෙන ලද අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට එය සමත් වී නම් විජේවීර ඇතුළු එම ව්‍යාපාරයේ බොහෝ නායකයන්ගේ ජීවිත ආරක්ෂාවන්නට ඉඩ තිබුණා සේ ම අවසානයේ විශාල මනුෂ්‍ය ඝාතනයක් ඇතිවීම වළකා ගනිමින් නැවත දේශපාලන තලයේ ප්‍රබල තත්ත්වයක් හිමිකර ගැනීමටද ඔවුන්ට පුළුවන්වන්නට ඉඩ තිබුණේය. එසේම එල්ටීටීඊයටද ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේදී හෝ ඉන්පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලයේදී සටන් විරාම ගිවිසුමක් ඇති කරගත් අවස්ථාවේදී ආයුධ බිම තබා ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමට සමත් වී නම් ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ නායකයන්ගේ ජීවිතද ආරක්ෂා කරගනිමින් දේශපාලන තලයේද ප්‍රබල තත්ත්වයක් ඔවුන්ටද හිමිකර ගන්නට ඉඩ තිබුණේය.

පළමු ජේවීපී කැරැල්ල සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින්ද දෙවැනි ජේවීපී කැරැල්ල රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව විසින්ද පරාජය කරන ලදි. ජේවීපී ත්‍රස්තවාදය පරාජය කරනු ලැබුවද එල්ටීටීඊ ත්‍රස්තවාදය ඉතිරි වී තිබීම නිසා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ගෞරවය තමන් වෙත හිමිකර ගැනීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා සමත් වූයේ නැත. තවත් කලකට පසු එල්ටීටීඊයේ පැවැත්ම ක්‍රියාකාරීත්වය මුළුමනින් තොර කිරීමට සමත්වීම මගින් ඒ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් වෙත හිමි කරගත්තේය.

මහින්දගේ භූමිකාව

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු සිංහල මහජනතාව අතර ආරක්ෂක හමුදා රට ගලවාගත් වීරයන් ලෙස සලකන තත්ත්වයක් ඇති වුවද ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු සිංහල ජනයා ආරක්ෂක හමුදා ඒ හා සමාන තත්ත්වයකින් සැලකුවේ නැත. ජේවීපී කැරැල්ල මර්දනය කිරීම මහජනයා අනුමත කළද එය මර්දනය කෙරුණු ගොරහැඬි ස්වරූපය ගැන ආරක්ෂක හමුදා පිළිබඳව සිංහල මහජනයාට බලවත් විවේචනයක් තිබුණි. එම කැරැල්ල පරාජය කෙරුණු වහාම වාගේ ප්‍රේමදාස ජනාධිපතිවරයා රට පුරා ඉදිකර තිබූ තාවකාලික හමුදා කඳවුරු වසා දමා ආරක්ෂක හමුදා නැවත බැරැක්කවලට යවන ප්‍රතිපත්තියක් අනුගමනය කළේද සිංහල මහජනතාව අතර ආරක්ෂක හමුදාවන් පිළිබඳව ගොඩනැගී තිබූ එම අප්‍රසාදය හේතු කොටගෙනය.

එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ ජනතාව අතරද ආරක්ෂක හමුදා පිළිබඳ බලවත් අප්‍රසාදයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය. එහිදී විය යුතුව තිබුණේ ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු ප්‍රේමදාස ජනාධිපතිවරයා ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් උතුරේද ක්‍රියාත්මක කිරීමය. ඒ වෙනුවට එහි සිදුවූයේ එහි අනෙක් පැත්තය. එල්ටීටීඊ කැරැල්ල පරාජය කළ ආරක්ෂක හමුදාවන්ටම එහි එදිනෙදා කටයුතු පවත්වාගෙනයෑමට භාරදීමය. එය රාජපක්ෂ ආණ්ඩුව විසින් දැන හෝ නොදැන කරන ලද බලවත් වරදක් ලෙස සැලකිය හැකිය.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු එම ජයග්‍රහණය සමරන්නට තිබුණේ දෙමළ ජනතාවගේ හදවත්වල තිබූ තුවාල තවදුරටත් පාරන ආකාරයට නොව ඒ තුවාල සුවපත් කෙරෙන ආකාරයකටය. උතුරේ දෙමළ තරුණ කැරැල්ල පමණක් නොව දකුණේ සිංහල තරුණ කැරැල්ලද පරාජය කිරීමට හැකිවීම ගැන එක් අතකින් ජාතිය සතුටු විය යුතුව තිබුණේය. එහෙත් සිංහල හෝ දෙමළ තරුණ කැරලිකරුවන් මේ රට ආක්‍රමණය කළ විදේශික තරුණ පිරිසක් නොවීය. ඔවුන් ක්‍රියාකළ ආකාරය නිවැරදි නැතත් ඔවුන් සියලුදෙනා යක්ෂාවේෂවී ක්‍රියාකරන තත්ත්වයකට තල්ලු කිරීමට බලපෑ සමාජ ආර්ථික හා දේශපාලන හේතු තිබුණි. අවසාන විග්‍රහයේදී දීර්ඝ කාලයක් තිසසේ පැවති ප්‍රචණ්ඩ අරගල නිසා මරණයට පත්වූයේ ජාතියේ හොඳම තරුණ සාරය ලෙස සැලකිය හැකි සිංහල දෙමළ තරුණයන්ය. සියල්ල අවසානයේදී ඔවුන් ගැන රටක් වශයෙන් අපි ශෝකවිය යුතුව තිබුණේය.

එහෙත් අවාසනාවකට සිදුවූයේ ජයග්‍රහණය ගැන උදන් ඇනීම පමණය. අහිමි වූ අපේම තරුණ ජීවිත ගැන කනගාටුව පළකිරීමක් සිදු නොවීය.

ඒ මගින් ප්‍රතිසන්ධානයකට මාරුවීමට අවශ්‍ය කරන මූලික කොන්දේසියක් සම්පූර්ණ කිරීමට අප අසමත් විය. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හා ශීලාචාරකම අපගේ ජාතික නායකයන්ට සේ ම අපටද නොතිබුණේය.

දේශීය වශයෙන් සියලුදෙනාගේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මහත් ගෞරවයට හේතුවන නායකයකු බවට පත්වීමට වෙනත් කවර නායකයකුටවත් නොලැබුණු තරමේ අවකාශයක් ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබුණේය. එහෙත් ඔහුගේ සේ ම ජාතියේද අවාසනාවකට තමන්ට ලැබුණු එම සුවිශේෂ අවකාශය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඔහු අසමත් විය. එල්ටීටීඊය පරාජය කිරීමෙන් හිමිකරගත් වීරත්වය පහසුවෙන් වාෂ්ප නොවන වීරත්වයක් බවට පත්කර ගැනීමට ඔහු අසමත් විය. ඔහුට ලෙහෙසියෙන්ම නූතන ධර්මාශෝක කෙනකුවීමේ අවස්ථාව තිබුණි. එහෙත් ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේය. ඔහු තමන් හිමිකරගත් ජයග්‍රහණයේදී උද්දච්ච නොවී නිහතමානීවෙමින් ප්‍රඥාවන්ත ලෙස ක්‍රියාකිරීමට සමත් වී නම් කැබලි වී තිබූ ජාතිය ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ඒකාග්‍ර කරන්නට පුළුවන් වන්නට ඉඩ තිබුණා සේ ම ඔජර ගලන තරමට කුණුවී තිබුණු සමාජ දේශපාලන ක්‍රමය සුවපත් කොට සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන නීතියේ ආධිපත්‍යය හා මහජනයාගේ පරමාධිපත්‍යය බලය රජකරන අභිනව ශ්‍රී ලංකා රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරන්නට සමත්වන්නට ඉඩ තිබුණි.

එහෙත් ඒ වෙනුවට ඔහු අතින් සිදුවූයේ ජාතිය ඒකාග්‍ර කළ නීතියේ ආධිපත්‍යය රජකරන සියලුදෙනාගේ විහ්වාසයට හා ගෞරවයට හේතුවන නව දේශයකට ජනතාව රැගෙන යනවා වෙනුවට ඔවුන් එතෙක් ජීවත් වූ දූෂණයෙන් හා අගතියෙන් කුණුවී දුගඳ හමන පරණ කුණුවළටම ජනතාව තල්ලු කිරීමය.

ආණ්ඩුවේ ආරක්ෂක හමුදා විසින් එල්ටීටීඊය පරාජය කරන අවස්ථාව වන විට දීර්ඝ කාලයක් තිස්සේ එක දිගට පැවති ප්‍රචණ්ඩ වටාපිටාව තුළ සමාජ ක්‍රමය සේ ම දූෂිත දේශපාලන ක්‍රමයද තිබුණේ මජර ගලන තරමට කුණුවූ තත්ත්වයකය. සමාජය, සාමාන්‍ය නොවන රෝගී මනස් ඇති සමාජයක් බවට පත්ව තිබුණේය. වර්ගය, ආගම්, කුල හා පන්ති අතර සම්බන්ධතා හොඳටම විකෘති වී තිබුණි. මනුෂ්‍ය සාරධර්මවල මහා සෝදාපාළුවක් ඇතිව තිබුණේය. දෙවිවරුන් අරක්ගෙන සිටි ශුද්ධ වූ ස්ථානවලින් ඒ දෙවිවරුන් පලා ගොස් ඒතැන් දේව වෙස්ගත් යක්ෂයන් අරක්ගෙන සිටියේය. නීතියේ ආධිපත්‍යය බිඳවැටී අල්ලස් හා දූෂණයද, අපරාධකරණය හා සමාජ පාදඩකරණයද මුළු මහත් සමාජයම වෙලාගත් බිහිසුණු පිළිකාවක් බවට පත්ව තිබුණේය.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව කළයුතුව තිබුණේ එම චිත්‍රයේ යහපත් හා ගැඹුරු වෙනසක් ඇතිකිරීමය. ඒ වෙනුවට සිදුවූයේ සියලු දහජරා දේවල් එසේම තිබියදීම ඒ මත කාපට් මහාමාර්ග, ගුවන් තොටුපොළවල්, වරායවල් හා ක්‍රීඩගාර ඉදිකිරීමය.

ජාත්‍යන්තර තලයේ ලොකු ප්‍රශ්න බවට හරවාගෙන තිබෙන්නේ පහසුවෙන් විසඳාගත හැකි තත්ත්වයක තිබූ ප්‍රශ්නය. අන්තර් වාර්ගික හා ආගමික සම්බන්ධතා ඉතිහාසයේ මීට පෙර නොවූ තරම් නරකම තත්ත්වයකට පත්ව ඇතැ”යි කිව හැකිය. මෙවැනි යුද්ධයක් අවසානයේ කරුණු විමසීමක් හා ප්‍රශ්න කිරීමක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය. යුද්ධය අවසන්වීමෙන් පසුව අප කළ යුතුව තිබුණේ කරුණු විමසන බලවත් රටවල් සමග රණ්ඩු කරන තැනකට යෑම නොව ඉවසීමෙන් කරුණු පහදා දෙන තැනකට යෑමය. බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වී ඇති සිද්ධීන් පිළිබඳව අපක්ෂපාතව කරුණු සොයා බලන තැනකට යෑමය. යුද්ධයෙන් පසු දෙමළ ජනතාවට හිමි අනාගතය පිළිබඳවද ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකය. තම දරුවන් තෝරාගත් මාර්ගයේ හරි වරද කුමක් වුවත් අහිමි වූ දරුවන් ගැන හඬා වැළපෙන්නට සේම ඔවුන් සමරන්නටද ඔවුන්ගේ දෙමාපියන්ට අයිතියක් තිබෙන්නේය. ජේවීපී දෙවැනි කැරැල්ලේ මියගිය තරුණයන් සැමරීම වැළකීමක් සිදු නොවීය. ඒ අයිතිය උතුරේ ජනතාවටද තිබිය යුතුය. යුද්ධයෙන් පසු යුද්ධ කළ හමුදා බැරැක්කවලට යැවිය යුතුව තිබුණේය. උතුරේ දෙමළ ජනතාවට නැවත සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙනයෑමට ඉඩදිය යුතුව තිබුණේය. ආරක්ෂක හමුදාවන්ට හමුදා කඳවුරු අවට ඉඩම් මහා පරිමාණයෙන් පවරා ගැනීමට සිදුවී තිබුණේ එල්ටීටීඊයේ කාලතුවක්කු ප්‍රහාරයන්ට ලක් නොවන දුරක ඒ හමුදා කඳවුරු පවත්වාගැනීම අවශ්‍ය වූ නිසාය. දැන් කාලතුවක්කුවලින් පහර දෙන තර්ජනයක් නැති නිසා හමුදාවට පවරාගන්නා ලද සියලු මහජන ඉඩම් ඒවායේ හිමිකරුවන් අතට පත් කළ යුතුව තිබුණේය. යුද්ධයෙන් බොහෝ දේවල් ලබාදී ඇතත් ඔවුන්ට ලැබිය යුතුව තිබෙන මූලික දේ ලෙස සැලකිය හැකි මනුෂ්‍ය ගෞරවය තාමත් ඔවුන්ට ලබාදී නැත.

ජාත්‍යන්තර වශයෙන් අපට තිබෙන පිළිගැනීමට මීට පෙර කවදාවත් නොතිබූ තරමේ අවලස්සන තත්ත්වයකට පත්ව තිබෙන්නේයැ”යි ද කිව හැකිය. දැන් ත්‍රස්තවාදී ව්‍යාපාර විසින් කරනු ලබන මනුෂ්‍ය ඝාතන හා බිහිසුණු අපරාධවලින් රට නිදහස වී ඇතත්, අපරාධකරුවන් විසින් කරන මනුෂ්‍ය ඝාතනවලින් හා බිහිසුණු අපරාධවලින් රට ගැලලී යන තත්ත්වයකට රට පත්ව ඇතැ”යි ද කිව හැකිය. දැන් රටේ ස්ථාපිතවෙමින් තිබෙනුයේ රුපියල් දහපහළොස් දහසක අවශ්‍යතාවකටත් මිනිසුන් මරණ බිහිසුණු තත්ත්වයකි. ගිනි පොලියට ණයට ගෙන යටිතල පහසුකම් විෂයෙහි කෙරෙන සංවර්ධන කටයුතුවල වෙනදා නැති මහා දියුණුවක් පෙනෙන්නට ඇතත්, ජාතීන්ගේ අධ්‍යාත්මය තිබෙන්නේ හොඳටම කුණුවී දුගඳ හමන තත්ත්වයකය. මෙම අශෝභන තත්ත්වය නිවැරදි කරගැනීම අපේ වගකීමකි.