නීතිය ද? කැලේ නීතිය ද?

October 29, 2026
Publication:
A Supreme Court noise-control order, a monk remanded under it, and monks protesting inside the court itself have become a chain of incidents. Ivan grants that noise control is arguable and that whether such an order binds the whole country is arguable too — and says the real problem is a crisis in the institutions that dispense justice, with the most complaints about abuse of power coming from the Supreme Court.

ශබ්ද පාලනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන නියෝගය, ඒ ආශ්‍රයෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් රිමාන්ඩ් කිරීමේ සිද්ධිය හා ඊට එරෙහිව භික්ෂූන්වහන්සේලා පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පළ කළ සංකේතාත්මක විරෝධය පෑමේ සිද්ධිය දේශපාලන තලයේ උණුසුම් කතාබහට හේතුවී තිබෙන සිද්ධි දාමයක් බවට පත්වී තිබේ.

අපට ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයේ ශබ්ද පාලනයක් අවශ්‍ය ද නැද්ද යන්න විවාදාත්මක මාතෘකාවකි. විධිමත් නීතියක් නැති අවස්ථාවක ගැටුමකට අදාළ නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගය මුළු රටටම අදාළද යන ප්‍රශ්නය ද විවාදයට හේතුවන මාතෘකාවකි. ආගමික සිරිත් හා නීති මගින් පාලනය කළයුතුද යන්න ද විවාදාත්මකය.

එහෙත් රටේ යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේ අර්බුදයක් ඇති බවට නම් විවාදයක් තිබිය නොහැකිය. බෞද්ධ හිමිනමක් රිමාන්ඩ්භාරයට පත්කිරීමේ සිද්ධියට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ බෞද්ධ භික්ෂූන්වහන්සේලා විරෝධය පළ කළ ආකාරය අනුමත කළ නොහැකි වුවත්, ඒ විරෝධය හේතුවක් කරගනිමින් ඇප ලබාගැනීම සඳහා රිමාන්ඩ් භාරයේ සිටි හිමිනම වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම සලකා බැලීම ප්‍රතික්ෂේප කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ගන්නා ලද හරි තීරණයක් ලෙස ද සැලකිය නොහැකිය.

භික්ෂූන්වහන්සේලා හෝ මහජනයා ආවේගාත්මකව ක්‍රියා කළ හැකිය. එහෙත් විනිශ්චය අසුනේ සිටින විනිසුරුවරයෙකු ආවේගාත්මකව තීන්දු දෙන තැනකට නොයා යුතුය. මෝසම විභාගයට නොගැනීමෙන් රිමාන්ඩ් භාරයේ සිටි භික්ෂූන්වහන්සේට අයුක්තියක් හා අසාධාරණයක් විය. ඒ නිසා දින කිහිපයක් හෝ වැඩියෙන් රිමාන්ඩ් භාරයේ ඉන්නට එම හිමිනමට සිදුවිය. ඉතාමත් සාධාරණ හේතුවක් නැතිව ආගමික පූජකයකු රිමාන්ඩ්භාරයට පත් කිරීම හෝ සිරදඬුවම් පැමිණවීම අයුක්තිසහගතය.

විනිශ්චය කිරීමේ හා දඬුවම් දීමේ බලය ඇති අය තමන්ට තිබෙන ඒ බලයට නීතියට පටහැනිව පාවිච්චි කිරීම බලවත් වරදකි. එහෙත් ශ්‍රී ලංකාවේ අධිකරණය ඊට තිබෙන අතිවිශාල බලය නීතියට පටහැනිව පාවිච්චි කළ අවස්ථා කලාතුරකින් නොව නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය රටේ තිබෙන ඉහළම අධිකරණයයි. පහළ අධිකරණයකදී සිදුවන අයුක්තියකදී ඒ වරද නිවැරදි කරගැනීම සඳහා ඉහළ අධිකරණයට අභියාචනා කිරීමේ හැකියාවක් ඇතත්, ශ්‍රේෂ්ඨාධිකරණය කරන වරදකදී ඒ වරද නිවැරදි කරන්නට යන්නට මේ රටේ අන් තැනක් නැත. එහෙත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ගැන වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේද ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.

ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ හරි වරද කුමක් වුවත්, අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අගවිනිසුරු වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ අවස්ථාවක එම පෙත්සම අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් මගින් විභාගයට ගෙන අධිකරණයට අපහාස කළේය යන පදනම මත ඔහුට සිරදඬුවමක් පැමිණවීම නීතියට හා යුක්තියට අනුකූල වීයැ”යි කිව නොහැකිය.

අපි ඒ මොහොතේදීත් හඬ නගා ඊට විරෝධය පළ කළෙමු. එම නඩු තීන්දුව අභියෝගයට ලක්කරමින් ටෝනි ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියට ගියේය. එම පැමිණිල්ල විභාග කළේ ලෝකයේ විවිධ රටවල නෛතික තලයේ කැපී පෙනෙන තත්ත්වයක හිමිකරගත් 14 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් මගිනි. පරීක්ෂණ මණ්ඩලයේ ඒකමතික තීරණය වූයේ ටෝනි සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව නීතියට පටහැනි බවය. ඉන්පසු එස්.බී. දිසානායකගේ අපහාස නඩුව සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව ද ඊට සමානය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දු අතරට අලුතෙන්ම එකතු වී තිබෙන තීන්දුව වී ඇත්තේ හිටපු දිසා විනිසුරු පාලිත බණ්ඩාරනායකට අදාළව දී තිබෙන තීන්දුවය. මෙම විනිසුරුවරයා අධිකරණ සේවයෙන් ඉවත් කිරීම සඳහා අනුගමනය කර තිබෙන පිළිවෙත නීතියට පටහැනි බව ජිනීවාහි මානව හිමිකම් කමිටුවේ ඒකමතික තීරණය වී තිබේ. ජිනීවාහි මානව හිමිකම් කමිටුව මෙතෙක් ප්‍රකාශයට පත්කර තිබෙන සියලු තීරණ ශ්‍රී ලංකා රජයට හෝ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව දෙන ලද තීන්දුවලට වඩා අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව දෙන ලද තීන්දු ලෙස සැලකිය හැකිය.

ඔහුට එරෙහිව අවස්ථා දෙකකදී දෝෂාභියෝග දෙකකට ඉදිරිපත් විය. එහෙත් ඊට ඇතුළත් චෝදනා පරීක්ෂාවට ලක්කිරීමක් සිදුනොවීය. දැන් ඒ මහතාට එරෙහිව තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටින්නේ භික්ෂූන්වහන්සේලාය. දැන්වත් අතීතයේ එල්ලවුණු චෝදනා සේම වර්තමානයේ එල්ලවෙමින් තිබෙන චෝදනා ද පරීක්ෂා කරන තැනකට යා යුතුය.