මෛත්‍රීපාලගේ භූමිකාව

November 30, 2014
Publication:
Using a chess metaphor, Ivan describes Maithripala Sirisena's defection from the government to become the common opposition candidate as a move the Rajapaksa camp never expected. He assesses the MPs who crossed with him and the split in the SLFP, the roles of Chandrika Kumaratunga and Ranil Wickremesinghe in the anti-Mahinda alliance, and the JVP's stance. He urges the challengers to avoid lies and communal appeals, credits Mahinda Rajapaksa with defeating Prabhakaran, but argues that his rule has done great harm, including its pro-China policy.

චෙස් ක්‍රීඩාවේ විවිධ ඇදීම් තිබෙන අතර ප්‍රති පිල කෙරෙහි විනාශකාරී ප්‍රතිඵල ඇති කරමින් ප්‍රති පිල “චෙක්මේට්” කිරීමක් දක්වා දුරදිග ගෙනයන පසුබිමක් ඇති කරන ඇදීමක් සැලකෙන්නේ විශිෂ්ට ඇදීමක් ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ගැනීමද ඒ ගණයට වැටෙන විශිෂ්ට ඇදීමක් ලෙස සැලකිය හැකය.

එය රාජපක්ෂ ජනාධිපති හෝ ඔහුගේ පිල අපේක්ෂා නොකළ ඒ සියලුදෙනා තුෂ්ණිම්භූත තත්ත්වයකට පත් කොට ආත්ම විශ්වාසය විනාශ කිරීමට හේතුවූ ඇදීමක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුව සියලු පූර්ව සැලසුම් සකස් කරගෙන තිබුණේ රනිල් වෙනුවෙනි. ඒත් නැතිනම් කරු වෙනුවෙනි. මෛත්‍රීපාල කෙනකු ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ නොසිටියේය. මෛත්‍රීපාල කරළියට ගැනීමත් සමග තමන්ගේ සියලු පරණ සැලසුම් අත්හැර ජාතික තලය මොහොතකට අමතක කොට ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ අවුල්සහගතභාවය නිරාකරණය කරගැනීම සඳහා පූර්ණ අවධානය පක්ෂය වෙත යොමු කරන්නට සිදුවිය. ඒ නිසා මෛත්‍රී ආගමනයෙන් සිදුවූ හානිය අවම කිරීම සඳහා මෛත්‍රී ද්‍රෝහියකු හා පාවාදෙන්නකු ලෙස බෞතිස්ම කෙරෙන හදිසි මෙහෙයුමක් ශ්‍රීලනිපය තුළ දියත් කරන්නට ආණ්ඩුවට සිදුවිය.

පිල් මාරුවේ යථාර්ථය

මෛත්‍රීපාල සමග විරුද්ධ පක්ෂයට එකතු වූ මන්ත්‍රී පිරිස ප්‍රකාශ වී තිබුණු තරම්ම විශාල නොවීය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාධරයන් අතර ඇතිවූ පැලීමද විශාල නොවීය. පැමිණි මන්ත්‍රී පිරිස අපේක්ෂා කළ තරම්ම විශාල වී නම් ඒ නිසා ඇතිවන පැලීම පිරිපහදු කිරීමට බැරිතරම් විශාල වන්නට ඉඩ තිබුණි. පිල් මාරුවකට අර අඳිමින් සිටි හෝ අතෘප්තියෙන් සිටින මන්ත්‍රීවරුන් කවුරුන්දැයි ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදරයන් හොඳින් දැන සිටියේය. ඒ නිසා ගිය සුළු පිරිස අතහැර යන්නට බලාගෙන සිටින පිරිසට විවිධ දොළ පිදේනි දෙමින් හෝ වෙනත් ආකාරවලින් ඔවුන් තාවකාලික වශයෙන් හෝ නොයන පිරිසක් බවට පත්කර ගැනීමේ ඉඩ ජනාධිපතිවරයාට හා ඔහුගේ සහෝදරයන්ට ලැබුණේය. ආණ්ඩුවට එකතු වන අයට ලොකු මිලක් ලැබී තිබෙනවා සේ ම ආණ්ඩුවෙන් යන්න හදන අයගේ ගමන වැළකීමේදීද එවැනි අයටද ලොකු මිලක් ලැබී තිබෙන්නේය. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් අඩුවක් නැතිව ආණ්ඩුවට තිබෙන බවද පෙනෙන්නට තිබේ. දුමින්ද දිසානායක නැවත එකතු කරගැනීම සඳහා ඔහුට ලැබී තිබෙන මිල මිලියන 250ක් බව කියනු ලැබේ. වෙන්දේසියේ විකිණෙන්නට කැමති මන්ත්‍රීවරුන්ට හිතාගන්නවත් බැරි තරම් අතිවිශාල මිලක් ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෛත්‍රීපාල ඇදීමෙන් ශ්‍රීලනිපය තුළ ඇති කරන ලද පැලීම විශාල නැතත් ඒ ඇදීමෙන් ජනාධිපතිවරයාගේ සටනට සිදුවී තිබෙන හානිය අතිවිශාලය. ශ්‍රීලනිපයේ ක්‍රියාධරයන් අතර මෛත්‍රී ද්‍රෝහියකු හා පාවාදෙන්නකු ලෙස අභිෂේක කරවීමේ කාරිය කිසියම් විශාල ප්‍රමණයකට සාර්ථක කරගැනීමට ආණ්ඩුව සමත් වී ඇතත් ඇතිවන්නට නියමිත මහා පරාජය වළකා ගන්නට ඒ මගින් හැකිවන්නේ නැත. මෛත්‍රීගේ ආගමනය සිදුවන අවස්ථාව වනවිට ආණ්ඩුවේ අශීලාචාර ක්‍රියාකාරකම් නිසා මහින්දට ඡන්දය දුන් ජනතාව අතරින්ද කිසියම් පිරිසක් ආණ්ඩු විරෝධී පිලට තල්ලු කරමින් ආණ්ඩු විරෝධී පිල ලොකු මහත් කොට තිබුණේය. මෛත්‍රීගේ ආගමනය ඒ සියලුදෙනා කුල්මත් කිරීමෙන් නොනැවතී පාවෙන ඡන්දදායකයන්ගේ පංගුවද මහින්ද විරෝධී පිලට එකතු කළේය.

චන්ද්‍රිකා හා රනිල්

මෛත්‍රී මෙම සටනට පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට එන්නේ චන්ද්‍රිකා නැමති අශ්වයාගේ පිටේ නැඟීය. මීට පෙරද ඇය මහින්ද විරෝධී අරගලයේ කිසියම් කොණක සිටියද එම අරගලයේ වැදගත් හා ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ මෛත්‍රීගේ ආගමනයත් සමගය. එහිදී චන්ද්‍රිකා අපේක්ෂා කළ තරමේ විශාල මන්ත්‍රී පිරිසක් රැගෙන ඒමට සමත් වී නම් මෙම සටනේ රනිල්ට තිබෙන තත්ත්වය අබිබවා යන ප්‍රබල තත්ත්වයක් ඇයට හිමිවන්නට ඉඩ තිබුණි. මෛත්‍රීගේ ඇදීම චන්ද්‍රිකාගේය. එහෙත් එය රනිල්ගේද අනුමැතිය ඇතිව අදින ලද ඇදීමක් විය. ගෙන එන ලද මන්ත්‍රීන් සංඛ්‍යාවේ ප්‍රශ්නයක් තිබුණද ඒ මගින් චන්ද්‍රිකාද මෙම අරගලය මෙහෙයවන ප්‍රධාන නායකයන් දෙදෙනාගෙන් කෙනකු බවට පත්ව සිටින්නේය.

මීට පෙරද චෙස් ලෑල්ලේ මහින්ද විරෝධී පිල වෙනුවෙන් ඉත්තන් අදින විවිධ අය සිටියේය. ඔවුන්ගේ සමහර ඇදීම් වර්ණවත් ලෙස සැලකිය හැකිවා සේ ම ඒ නිසා එම පිලේ ඉත්තන්ගේ සංයෝජනය තිබුණේ අවිධිමත් තත්ත්වයකය. එහෙත් විවිධ පුද්ගලයන් අත තිබූ එම වගකීම රනිල් හා චන්ද්‍රිකා අතට ගනිමින් ඒ දෙදෙනා විසින් අදින ලද මෛත්‍රී ඇදීම ප්‍රති පිල (මහින්දගේ පිල) ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට පත් කොට මහින්ද විරෝධී පිලේ ඉත්තන්ගේ සංයෝජනය ඉතා ශක්තිමත් හා ප්‍රබල තත්ත්වයකට පත් කළේය.

චන්ද්‍රිකා මහින්ද විරෝධී සටනේ බලවත් චරිතයක් බවට පත්වීමෙන් මෙම සටනට සිදුවන අවාසි තිබෙනවා සේ ම ඒවා පරයා යන වාසිද තිබෙන්නේය. ඇයද ධුර කාල දෙකකට ආසන්න කාලයක් ජනාධිපති ධුරයේ සිටි පළපුරුදු දේශපාලන නායිකාවකි. ඇගේ පාලනය මහින්දගේ පාලනය තරම්ම ශීලාචාර නැතත් එය හොඳ ශීලාචාර පාලනයක් ලෙසද සැලකිය නොහැකිය. රටට රජුන් තනන එක් ප්‍රධාන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇගේ පවුලේ බූදලයක් වී තිබුණේය. මහින්ද එම බූදලය උදුරා ගනිමින් එය රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත්කර ගත්තේය. නැවත එම බූදලය තමන් වෙත ලබා ගනිමින් සෝනියා ගාන්ධි රඟපෑ භූමිකාවට සමාන භූමිකාවක් රඟපෑම ඇගේ දේශපාලන අභිලාෂය වී තිබෙන බව පෙනේ. දේශපාලන අරගලයකදී ඇගේ චරිතය සමහර අංශවලදී රනිල්ට වඩා ප්‍රබලය. තවත් සමහර අවස්ථාවලදී රනිල් ඇයට වඩා ප්‍රබලය. රනිල් චන්ද්‍රිකා සංයෝජනය මහින්දට එරෙහිව එල්ල වන අභියෝගය තියුණු කර තිබෙන්නේයැ”යි කිව හැකිය. රනිල් අතින් මහින්ද පරාජය වී නම් රනිල් තමාට පලා යන්නට මාර්ගයක් ලබාදෙන බව මහින්ද දන්නේය. එහෙත් චන්ද්‍රිකා මෙම අරගලය තුළ බලවත් භූමිකාවක් රඟපාන තත්ත්වයක් තුළ තමාට පලායන මාර්ගයක් හිමි නොවන බව මහින්ද දන්නේය. ඒ තත්ත්වය මෙම අරගලය ප්‍රචණ්ඩ මාවතට තල්ලු කිරීමේ අවදානමක්ද පවතී.

ජේවීපී භූමිකාව

මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා සංයෝජනය ඉතා බලවත් වුවත් මෙම සංයෝජනයට ඉතා වැදගත් තවත් අංග එකතු කරමින් එම සංයෝජනය ඉතා ප්‍රබල කළ හැකිය. වටාපිටාව ගොඩනැගීම සඳහා සෝභිත හිමි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඉන්පසු හෙළ උරුමය ඉටු කරන ලද කාර්යභාරයද දැවැන්තය. බිත්තරයේ කට්ට බින්දේ ඔවුන්ය. සරත් ෆොන්සේකාගේ ව්‍යාපාරයටද වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඒ සියලුදෙනා මෙම සංයෝජනයේ වැදගත් කොටස්කරුවන් බවට පත්කරගත යුතුය. ඊට අතිරේකව දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, කඳුරට දෙමළ ජනයා නියෝජනය කරන පක්ෂද වැදගත් කොටස්කරුවන් බවට පත්කර ගත යුතුය. විපක්ෂ සන්ධානය වර්ණවත් හා ජවසම්පන්න ව්‍යාපාරයක් බවට පත්වනු ඇත්තේ එවිටය.

ජේවීපීය මෙම සටනේ අනියම් තැනක සිටිනවා වෙනුවට මෙම එකමුතුවේ ඍජු කොටස්කරුවකු බවට පත් කරගත හැකි නම් එකතුවට ලැබෙන වර්ණවත්භාවය උපරිම තත්ත්වයකට පත්වන්නේය.

දරන දේශපාලන අදහස්වල හරි වරද කුමක් වුවත් අපිරිසිදුකම පිළිබඳ සාධකයේදී එය අඩුවෙන්ම අපිරිසිදුවී තිබෙන ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. ප්‍රතිපත්තිමය රාමුවකට අනුව දේශපාලනයේ යෙදෙන එකම පිරිසද ඔවුන් ලෙස සැලකිය හැකිය. අන් සියල්ලට පෙර ශීලාචාර ආණ්ඩුක්‍රමයක් සමග ශීලාචාර ආයතන ක්‍රමයක් ඇති කරගනිමින් රට ශීලාචාර තැනකට ගෙනා යුතුය. ආණ්ඩු පෙරළියක මූලික අරමුණ වියයුත්තේ එයයි. ඒ සඳහා ඇති කළයුතු ප්‍රතිසංස්කරණවල භාරකරයා ලෙස ක්‍රියා කළ හැකි හොඳම පිරිස වනුයේ ඔවුන්ය. ලාභ ප්‍රයෝජන නොසලකා ප්‍රතිපත්තිමය රාමුවක ඉඳිමින් ඊට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමේ වැඩිම හැකියාව ඇත්තේ ඔවුන්ටය. එහෙත් ඒ දේ ඔවුන්ට කළ හැකිවනු ඇත්තේ ප්‍රධාන ධාරාවට පිටස්තරව ඉඳිමින් අනියම් ලෙස උදව් කිරීමෙන් නොරව එම ධාරාවේ කොටස්කරුවකු බවට පත්වීමෙනි.

රැකිය යුතු ගුණධර්ම

මෙම අරගලයේ පෙනෙන්නට තිබෙන තවත් ලක්ෂණයක් වනුයේ මෛත්‍රී ජනාධිපති අපේක්ෂකාය වුවත් ඒ සටන කරගෙන යෑම සඳහා තමන්ගේම වන දේශපාලන යාන්ත්‍රණයක් ඔහුට නොතිබීමය. ඔහු ප්‍රයෝජනයට ගත යුතුව තිබෙනුයේ ප්‍රධාන කොට එජාපයේ යාන්ත්‍රණය හා අනෙක් කුඩා පක්ෂවල යාන්ත්‍රණයන්ය. එම යාන්ත්‍රණයන්ගේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමකින් කාර්යක්ෂම තත්ත්වයකට ගත හැකිවනු ඇත්තේ එජාපයේ සේ ම අනෙක් පක්ෂවලද උපරිම විශ්වාසයට හේතුවන ලෙස ක්‍රියාකිරීමට සමත් වේ නම් පමණය. වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ තමන්ට හොඳින් හුරුපුරුදු පක්ෂය සමග නොව වෙනත් පක්ෂ සමග වන නිසා ඒ සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියකිරීමද අවශ්‍ය වන්නේය.

මේ ක්‍රීඩාවේදී ජනාධිපති අපේක්ෂකයා තේරුම් ගත යුතු වැදගත්ම කොන්දේසියක් වනුයේ මේ මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් කිසියම් පිරිසකගේ සහාය මිස බහුතර පිරිසකගේ සහාය ලබාගත නොහැකි බවය. ඒ සමගම මහින්ද පරාජය කිරීමට දැනට සිටින පිරිස වුවත් ප්‍රමාණවත් බවය. ශ්‍රීලනිපයේ සහාය ලබාගැනීම සඳහා දැනට සිටින පිරිස පරදුවට තබන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ යුතු බවය. අලුත් පිරිස් දිනාගැනීම ඉතා වැදගත් වුවද එසේ කළ යුතුව තිබෙන්නේ දැනට සිටින පිරිස්වල ඒකාග්‍රතාව හා උද්යෝගය ආරක්ෂා කරගනිමින්ය. ජනාධිපති අපේක්ෂකයා පමණක් නොව ඔහු වෙනුවෙන් කතා කරන්නන්ද කිසිම ජනවර්ගයකට හෝ ආගමකට හිත් වේදනා ඇති කරන කිසිවක් කතා නොකළ යුතුය. එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, හෙළ උරුම හා සුළු ජාතීන් නියෝජනය කරන කිසිදු පක්ෂයකට හිත් වේදනා ඇති කරන කිසිවක්ද කතා නොකළ යුතුය. ඔවුන් කරන සියලු කතා මහින්දට, මහින්දගේ පවුල් පාලනයට, ඒ නිසා රටේ ඇතිවී තිබෙන අවලස්සන දේවලට හා ශීලාචාර රටක් ඇති කර ගැනීම සඳහා ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණවලට සීමා කළ යුතුය. මහින්ද හා මහින්දගේ පවුල් පාලනය ගැනද සාධාරණ විවේචනයක් මිස වෛරය කුළුගන්වන කතාවලින් වැළකිය යුතුය. සමස්ත දේශපාලන ව්‍යාපෘතිය වෛරයෙන් හා ද්වේශයෙන් තොරවිය යුතු අතර ඒ බව පෙනෙන්නටද තිබිය යුතුය.

ජනතාව කුල්මත් කිරීමට හේතුවන බොරුකීමෙන් වැළකී සිටිය යුතුය. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන බොරු බලාපොරොත්තු ඇති නොකළ යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට අවශ්‍ය තරමේ ජන පදනමක් තමන්ට ඇති බව තේරුම් ගනිමින් එම ජනපදනම හා එම ජනපදනමේ උද්යෝගය ආරක්ෂා කරගනිමින් තවදුරටත් එම ජනපදනම ශක්තිමත් කරගැනීමට හේතුවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ යුතුය. ප්‍රධාන අවධානය යොමුවිය යුත්තේ ජනතාව වෙත මිස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත නොවේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙක් අලුතෙන් එකතුවේ නම් එය සැලකිය යුත්තේ වැඩසටහනට ලැබෙන බෝනස් එකක් වශයෙන් පමණය.

මහජනයා අතර සියුම් ලෙස පැළපැදියම් වී ඇති භීතියක්ද පවතී. රාජපක්ෂ පාලනයට කැමති නැතත් භීතිය නිසා පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරන සමාජ තීරුවක්ද රටේ සිටින්නේය. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ නැත. එහෙත් ඇත්තටම ඔවුහු ආණ්ඩුවට පක්ෂපාතද නැත. ආණ්ඩුවට තිබෙන ජන පදනම ගොඩනැගී තිබෙන්නේ ශක්තිමත් අත්තිවාරම් මත නොව දුර්වල අත්තිවාරමක් මතය. මහින්දට පක්ෂපාත ජනතාවගෙන් වැඩි පිරිසකගේ පක්ෂපාතීභාවයට බලපා තිබෙන්නේ නායකයා කෙරෙහි ඇති කරගත් ගෞරවය නොව මේ දක්වා ලබාගෙන ඇති හා තවදුරටත් ලබාගැනීමට අපේක්ෂා කරන වාසි හා ඵල ප්‍රයෝජන සලකාය. ගෞරවය නිසා ඇති කර ගන්නා පක්ෂපාතීත්වය අචලය. ස්ථිරසාරය. වෙනස් කිරීමට අමාරුය. ඵල ප්‍රයෝජන නිසා ඇතිකර ගන්නා පක්ෂ පාතීත්වය ස්ථිර සාර නැත. පරාජය පැහැදිලිව පෙනෙන විට ඔවුහු පක්ෂපාතීත්වයද අත්හරිති.

මහින්දගේ භූමිකාව

මහින්ද රාජපක්ෂ විවේචනය කිරීමේදී ඔහු වැදගත් කිසිවක් නොකළ දූෂිතයකු පාලකයකු ලෙස පමණක් සලකා පහර ගසන ප්‍රතිපත්තියක් ජනතාවගේ පිළිගැනීමට හේතුවන්නේ නැත. ඓතිහාසික අර්ථයෙන් ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළ ජන නායකයෙකි. දීර්ඝ කාලයක් ජනතාව භීතියෙන් සසල කිරීමට හේතුවී තිබූ ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. අතිවිශාල දූෂණයක් තිබියදීත් රටේ යටිතල පහසුකම් නවීන කොට බාහිර ආටෝපයෙන් හෝ රටට නවීන පෙනුමක් ඔහු ලබා දුන්නේය. එවැනි වැදගත් කාර්යභාරයක් ඔහු අතින් සිදුවී තිබියදීත් ඔහු පරාජය කිරීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ ඓතිහාසික අර්ථයෙන් ඔහු රටේ ඉදිරි ගමනට බාධා කරන ලොකු විලංගුවක් බවට පත්ව තිබෙන නිසාය.

ඔහු අවසාන විග්‍රහයේදී ප්‍රභාකරන් පරාජය කළේ ප්‍රඥාවන්ත රාජ්‍යතාන්ත්‍රිකයකු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කරන ආකාරයට නොව ගණන්කාරයකු තවත් ගණන්කාරයකු පරාජය කරන ආකාරයටය. එම ප්‍රවේශය ලොකු ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවීමෙන් නොනැවතී අභ්‍යන්තර ප්‍රශ්න අවුල් කළේය. තමන් පරාජය කළේ විදේශීය ආක්‍රමණික හමුදාවක් නොව ත්‍රස්තවාදී මාවතට යොමුවූ දේශීය තරුණ පිරිසක් බව සලකා ඊට බලපෑ හේතු සොයා බලන තැනකට යෑමේ අවශ්‍යතාව ඔහු පැහැර හැරියේය. ඔහු එසේ කළේ එවැනි මාවතක් තෝරාගත් සිංහල තරුණ පිරිසක් දකුණේද සිටි බවද අමතක කරමිනි. එම ප්‍රශ්නය දෙස ප්‍රඥාවන්ත ලෙස බලන්නට සමත් වී නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබුණු බහුවිධ අර්බුදයේ එක් වැදගත් පැතිකඩක් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි.

ප්‍රභාකරන් පරාජය කරන අවස්ථාව වනවිට සමස්ත ආණ්ඩුක්‍රමය සේ ම ඒ යටතේ තිබෙන සමස්ත ආයතන ක්‍රමයද නැවත ප්‍රයෝජනයට ගැනීමට බැරි තරමට විකෘති වී හා කුණුවී තිබුණි. ආණ්ඩුක්‍රමයේ සේ ම ආයතන ක්‍රමයේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමටද ඔහු සමත් විය. රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරන ප්‍රතිසංස්කරණවලට යනවා වෙනුවට ඔහු කළේ ප්‍රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් මේ රට තමන් කැමති තාක් පාලනය කිරීමේ අයිතිය තමන්ට ඇතැ”යි කල්පනා කරමින් ගණන්කාරයකුගේ ස්වරූපයෙන් රට ප්‍රජාතන්ත්‍ර විරෝධී දරදඬු පාලනයකට නතු කිරීමය. ඒ මගින් නීතියට ගරු නොකරන සිරිත් විරිත් හෝ සම්ප්‍රදායන්ට ගරු නොකරන දූෂිත හා දූෂණයට අනුබල දෙන පවුල් පාලනයකට බර තැබූ හිතුවක්කාරි පාලකයකු ලෙස ක්‍රියා කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම්වල කැපී පෙනෙන සංවර්ධනයක් ඇති වුවද එම වැඩසටහන තුළද බරපතළ දෝෂ පවතී. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි සමහර ව්‍යාපෘති අතිවිශාල ධනයක් වැය කොට පුරාජේරුවට හදන ලද නාස්තිකාර ව්‍යාපෘති වේයැ”යි කිව හැකිය. සියලුම චීන ව්‍යාපෘති ඉදිකර තිබෙනුයේ ටෙන්ඩර් පටිපාටියකින් තොරවය. ඒවාහි නිෂ්පාදන වියදම අසාමාන්‍ය තරම් ඉහළ මට්ටමක පවතී. චීනයෙන් අරමුදල් ලබාගෙන ඇත්තේ ඉහළ පොලියකටය. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට අසමත්වීම නිසා ඒ සියලු ව්‍යාපෘති තිබෙන්නේ ලස්සන එහෙත් ආර්ථික වශයෙන් ඵලදායී නොවන තත්ත්වයකය. මෙම සමස්ත සංවර්ධන වැඩපිළිවෙළට අයථා ලෙස ධනය උපයා ගන්නා ප්‍රධාන මාර්ගයක් බවට පත්කරගෙන ඇත්තේයැ”යි කිව හැකිය. අනෙක් අතට චීන ණය රට පහසුවෙන් ගැළවිය නොහැකි ණය උගුලකට හසුකර තිබෙන්නේයැ”යිද කිව හැකිය.

චීන ගැති ප්‍රතිපත්තිය තිබෙන ජාත්‍යන්තර ප්‍රශ්න උග්‍ර කොට රට ජාත්‍යන්තර වශයෙන් කොන් කරනු ලැබූ තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව රටට ජාත්‍යන්තර වශයෙන් තහංචි පනවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. ජාත්‍යන්තර වශයෙන් තහංචි පනවන තත්ත්වයක් ඇති වුවහොත් රට අන්ත කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.

ඓතිහාසික අවශ්‍යතාව

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා මෙම ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ඓතිහාසික අවශ්‍යතාවක් වී ඇතැ”යි කිව හැකිය. ඒ අන් කිසි දෙයක් නිසා නොව ශීලාචාර ආණ්ඩුක්‍රමයක් හා නිදහස් හා ශීලාචාර සමාජ දේශපාලන සමාජ වටාපිටාවක් ඇතිකර ගැනීම සඳහා එය නැතුවම බැරි ඓතිහාසික කොන්දේසියක් බවට පත්ව තිබෙන නිසාය. මෛත්‍රීපාල සිරිසේන එම ඓතිහාසික අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින දූතයා ලෙස සැලකිය හැකිය.