ජනාධිපතිවරණයේ උරගා බැලීම්

December 7, 2014
Publication:
Ivan names the institutions the January 2015 election will test. The judiciary has already bent, approving a third term. The state media have been turned into campaign tools, with attacks on Maithripala Sirisena's rallies such as at Polonnaruwa. The Commissioner of Elections faces abuses such as in the Polpithigama division, while the Presidential Elections Act of 1981 clearly defines bribery. Finally he warns about any role for the security forces in the campaign.

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු සම්පූර්ණ කිරීමට අසමත් වූ ඓතිහාසික අවශ්‍යතා මුල් කොටගෙන ඇතිවී වර්ධනයවෙමින් තිබූ සමාජ දේශපාලන අර්බුදය පුපුරන්නට නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයක වේශයෙනි. එහිදී දේශපාලන ක්‍රමය පමණක් නොව සමස්ත ආයතන ක්‍රමයද තීරණාත්මක උරගා බැලීමකට ලක්වීමට නියමිතය.

අධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණයේ ගරා හැලීම කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ පෙනෙන්නට තිබුණු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හොඳ නරක කුමක් වුවද 18 පිළිබඳව ජනාධිපතිවරයාට දෙන ලද උපදේශාත්මක මතය ශ්‍රේෂ්ඨාධිකරණයට කිසියම් හෝ පිළිගැනීමක් ඉතිරි වී තිබුණේ නම් ඒ සියල්ල අහිමි කිරීමට හේතුවීයැ”යි කිව හැකිය. ඒ මතය ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එකට එකතු වී (විදේශගතවී සිටි එක් විනිසුරුවරයෙක් හැර) ඒකමතිකව දෙන ලද මතයක් බව කියනු ලැබේ. 18 වැනි සංශෝධනයට පක්ෂව තීන්දුව දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පස්දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසිනි. ඒ සඳහා වන උපදේශන මතය පළකිරීම සඳහා පස්දෙනකුගෙන් සමන්විත හෝ හත්දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් කැඳවීමේ හැකියාව තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් කැඳවීමේ තේරුම 18ට දාළ කිසිදු නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීම බව පැහැදිලිය. නාමයෝජනාවලදී තමන් 18 මුල් කොටගෙන මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තරකරුවකු කරමින් නඩු පවරන බව හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වා සේම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කර තිබුණි. උපදේශනාත්මක මතය ලබාගැනීමේ අරමුණ ඒ තත්ත්වය වැළකීම බව ඉතා පැහැදිලිය.

ජනාධිපතිට තුන්වැනි වරටත් තරග කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව ඇමති නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එම තීරණය ඇතුළත් ලියවිල්ල සභාගත කරන ලෙස පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂය ඉල්ලා සිටියද අද දක්වා එය සභාගත කර නැත. එය තාමත් අභිරහසක තත්ත්වයක පවතී. ඊට අදාළ සියලු ව්‍යාකූලතා තිබියදී එම අවසාන රංගනය ශ්‍රේෂ්ඨාධිකරණයට කිසියම් පිළිගැනීමක් ඉතුරු වී තිබුණේ නම් ඒ සියල්ල මුළුමනින් අහිමි කිරීමට හේතුවීයැ”යි කිව හැකිය. දැන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඒ ආශ්‍රයෙන් ඇතිවන ආරාවුල් විසඳීමට අධිකරණයක් නැතිවය. ඒ මගින් ජනාධිපතිවරණයේදී තමන් කැමති නීතියට පටහැනි ඕනෑම ක්‍රියාවක් කිරීමේ අයිතිය තමන් වෙත හිමිකර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇතැ”යි කිව හැකිය.

ජනමාධ්‍ය

රටේ ජනමාධ්‍ය මෙම අර්බුදයේදී තීරණාත්මක උරගා බැලීමකට ලක්වීමට නියමිත තවත් වැදගත් ආයතන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මැතිවරණයකදී ජනමාධ්‍ය මධ්‍යස්ථ භූමිකාවක් රඟපෑ යුතුය. ජනාධිපතිවරණයකදී තරගය පැවැත්වෙන්නේ පක්ෂ දෙකක් අතර නම් දෙපක්ෂයේම දේවල් සාධාරණව හා සමබරව වාර්තා කළ යුතු අතර අදහස් පළකිරීම්වලදීද ලබාදෙන ඉඩකඩේදීද සාධාරණ බවක් සේ සමබරතාවක් තබාගත යුතුය. කිසියම් ජනමාධ්‍යයකට අවශ්‍ය නම් කිසියම් අපේක්ෂකයකුගේ පැත්ත ගෙන එම අපේක්ෂකයාට ආධාර කිරීමේ අයිතියක්ද තිබෙන්නේය. එහෙත් එසේ කරනවා නම් එසේ කළයුත්තේ විවෘතවය. තම නාලිකාව හෝ පුවත්පත අසවල් ජනාධිපති අපේක්ෂකයාට උදව් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය. එවිට අසන්නන් හෝ කියවන්නන් එම නාලිකාව හෝ පුවත්පත පළකරන දේවල් දෙස බලන්නේ එම නාලිකාව හෝ පුවත්පත අසවල් අපේක්ෂකයාට උදව් කරන බව දැනගෙනය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලය ආරම්භ කරන අවස්ථාව වනවිටත් රටේ ජනමාධ්‍ය ඍජු ලෙස හා අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් හිමිකරගෙන තිබුණේය. ඒ නිසා සිදුවන දේවල ඇත්ත තොරතුරු දැනගැනීමේ හැකියාවක් මහජනයාට නොතිබුණේය.

ඍජු ලෙස හා බිහිසුණු ලෙස ජනමාධ්‍යවල අන්තර්ගතය පාලනය කෙරෙන තත්ත්වයක් කරළියට එන්නේ මෙම ජනාධිපතිවරණ සටන ආරම්භවීමත් සමගය. ඊට පෙරද ඇඟිලි ගැසීම් තිබුණද වඩාත්ම සිදුවූයේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ සතුටට හේතුවන ආකාරයේ වාර්තාකරණයක් ක්‍රියාත්මකවීමය. අවුල්සහගත තත්ත්වයක් ඇතිවීම ආරම්භවන්නේ අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රහාරාත්මක ආගමනයත් සමගය. ඒ හිමියන්ගේ ප්‍රාහාරාත්මක කතා ආණ්ඩුවට පක්ෂපාත පුද්ගලික නාලිකා පවා පළ කළේය. ඒ මගින් මහජනයා කෙරෙහි ඇතිවූ බලපෑමද දැවැන්තය. ආණ්ඩුව ජනමාධ්‍යවලට ඍජු ලෙස නියෝග දෙන තත්ත්වයක් ඇතිවූයේ අතුරලියේ රතන හිමියන්ගේ කතා රූපවාහිනී නාලිකා මගින් අසන්නට ලැබීමෙන් ඇතිවූ හානිය තේරුම් ගැනීමත් සමගය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන පිළිගැනීම සඳහා පසුගිය ඉරිදා පොළොන්නරුවේ පැවති රැස්වීමේදී රැස්වීමේ කතා කරන අයගේ මුහුණු පෙන්විය හැකි වුවත් රැස්වීමට එන සෙනඟ හොඳින් පෙනෙන්නට සැලැස්වීමෙන් වළකින ලෙස සියලු විද්‍යුත් නාලිකාවලට නියෝග කරන ලදි. ඒ නියෝගය විද්‍යුත් නාලිකා අකුරටම පිළිපැදි බවක්ද පෙනෙන්නට තිබුණි. පොළොන්නරුවේ රැස්වීම වාර්තා කරන ලදමුත් රැස්වීමට පැමිණි මහ සෙනඟ නොපෙන්වීමට ඒ සියලුදෙනා වගබලා ගත්තේය.

මෛත්‍රීගේ පොළොන්නරුව රැස්වීමට පැමිණි සෙනඟේ සංඛ්‍යාව අවම වශයෙන් විසි දහසක් පමණ විය හැකිය. එය අසාමාන්‍ය තරමේ විශාල රැස්වීමක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන රැස්වීමකට සහභාගි වන ජනයාගේ ප්‍රමාණය හය දහසකට වැඩි නැත. ඒ සියලුදොන සාමාන්‍ය ජනයා නොවන අතර හැමවිටම තුන් හාරදහසක් තරම් පිරිසක් සමන්විත වන්නේ නිලධාරීන්ගෙන්, ආරක්ෂකයන්ගෙන් හා බුද්ධි අංශයේ සාමාජිකයන්ගෙනි. එවැනි සංදර්ශන මහජනයා රැවටීමකට ලක් කරනවා පමණක් නොව එහිදී මහජනයා අමතන දේශපාලන නායකයන්ද රැවටීමකට ලක් කරයි. ඊට වෙනස්ව මෛත්‍රීගේ පොළොන්නරු රැස්වීමට සහභාගි වූ සියලුදොන අව්‍යාජ වශයෙන්ම මහජනයාය.

රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වෙත එල්ල වී තිබෙන පීඩනය සමහර නාලිකාවල හිමිකරුන්ගේ හා ඒවාහි වැඩ කරන ජනමාධ්‍යවේදීන්ගේ බලවත් විරෝධයට හේතුවී ඇතත් ආණ්ඩුවේ නියෝග නොසලකා ක්‍රියාකරන තත්ත්වයකට තවමත් ඒ එකුදු ආයතනයක්වත් තල්ලු වී නැත. මේ ආයතනවල හිමිකරුවන් ආණ්ඩුව සමග පවත්වාගෙන යන ව්‍යාපාරික සම්බන්ධතා අනුව බලන විට ඔවුන්ට තමන් මෙතෙක් ගිය මගේම යනවා හැර අලුත් මාවතකට මාරුවීමේ ඇත්ත හැකියාවක් නැත. ඒ නිසා විරුද්ධ පක්ෂ ව්‍යාපාරයට මෙම ජනාධිපතිවරණයට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ ජනමාධ්‍යවල ප්‍රමාණවත් තරමේ ආවරණයක් නැතුවය. ආණ්ඩුවෙන් එල්ල වන බලපෑම් නිසා විරුද්ධ පක්ෂයේ අවාසියට හේතුවන ව්‍යාජ දේවල් පළකරන තත්ත්වයන් පවා ඇතිවිය හැකිය. ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය පෙන්නුම් කරන මෙම හැසිරීම ජනතාවගේ බලවත් විවේචනයට හා විරෝධයට හේතුවිය හැකි අතර අවසාන විග්‍රහයේදී ජනමාධ්‍යවලට තිබෙන මහජන විශ්වාසය මුළුමනින් අහිමි කරන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

මැතිවරණ කොමසාරිස්

මෙම ජනාධිපතිවරණයේදී තීරණාත්මක උරගා බැලීමකට ලක්වන තවත් ආයතන ක්‍රමයක් වනු ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා හා මැතිවරණ දෙපාර්තමේන්තුවයි. මැතිවරණ කොමසාරිස්වරයාට අනුව කොමසාරිස්වරයාගේ බලඅධිකාරිය ක්‍රියාත්මකවීම ආරම්භවන්නේ නාමයෝජනා භාරගැනීමත් සමගය. ඒ අර්ථකථනය නිවැරදිවන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග නොකොට වෙනත් අපේක්ෂකයන් තරග කරන ජනපතිවරණයකදී පමණය. මෙම ජනාධිපතිවරණය කැඳවා තිබෙන්නේද ජනාධිපතිවරයාට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීම සඳහාය. ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය තීන්දු කළේද ජනාධිපතිවරයාය. අයවැය ඉදිරියට ගත්තේද ඒ සඳහාය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වන්නට කලින් ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේ විරුද්ධ පක්ෂය තවමත් තමන්ගේ පොදු අපේක්ෂකයා කවුදැ”යි තීන්දු කර නැතත් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සියයට 50කින් අවසන් කර ඇති බවය. ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් ලවා ගෙන්වා ගන්නා පන්දහසේ කණ්ඩායම්වලට ආහාර දී අරලියගහ මන්දිරයේදී රැස්වීම් පවත්වන ලද්දේද ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක වැඩපිළිවෙළේ කොටසක් වශයෙනි. ඡන්දය ලබාගැනීම සඳහා විශේෂ ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඔවුන්ට මහජන වියදමින් සහන දුන්නේය. ඉන් පරිබාහිරව තෝරාගත් විශේෂ ජන කණ්ඩායම්වලට සහන දුන්නේය. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ වැටුප් තෙගුණ කරන ලද අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභාපතිවරුන් සියලුදෙනාට මෝටර් සයිකල්ද ලබා දුන්නේය. සමෘද්ධි පවුල් ලක්ෂ 15කට පසුගිය දෙසතියේදී එක පවුලකට රුපියල් 2500 බැගින් වන ආපසු අය නොකරන විශේෂ දීමනාවක් ලබා දුන්නේය. ඊළඟ මාසයේදීද එම පවුල්වලට තවත් රුපියල් 7500ක දීමනාවක් ලබාදීමටද නියමිතය. ඒ සඳහා පමණක් වැය වන මුදල රුපියල් මිලියන පහළොස් දහසකි. මීට අතිරේකව දිවි නැගුම ව්‍යාපෘතියට සම්බන්ධ පවුල්වල ආපසු ගෙවන රුපියල් 50,000ක ණය මුදලක් ලබාදීමට කටයුතු යොදා තිබෙන අතර මෙම වැඩපිළිවෙළ සමෘද්ධි බැංකු මුළුමනින් බංකොළොත් කිරීමට හේතුවනු ඇති බව සමහර සමෘද්ධි නිලධාරීන්ගේම මතය වී තිබේ.

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් බිත්තර වී වෙනුවෙන් ගොවීන්ට නිකුත් කර තිබෙන චෙක්පත් සංඛ්‍යාව දහතුන් දාහක් වන අතර ඒ වෙනුවෙන් යන වියදම රුපියල් ලක්ෂ 567කි. රජයේ වෛද්‍යවරුන් සඳහාද රුපියල් 95,000ක විශේෂ දීමනාවක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සියල්ල සැලකිය හැක්කේ ඡන්ද ලබාගැනීම සඳහා රජයේ වියදමෙන් දෙනු ලබන අල්ලස් වශයෙනි.

ලංකාවේ මැතිවරණ නීති ඉතාමත් හොඳ හා පරිපූර්ණ තත්ත්වයක නැතත් තිබෙන දුර්වල නීති යටතේ පවා ආණ්ඩුව කරමින් තිබෙන ක්‍රියා නීතියට පටහැනි නීති විරෝධී ක්‍රියා ලෙස සැලකිය හැකිය. එහෙත් ආණ්ඩුව ඒවා කරන්නේ හොර රහසේ නොව ප්‍රසිද්ධියේය. මැතිවරණ කොමසාරිස්වරයා අඩුම තරමින් මේ ගණයේ ක්‍රියා මැතිවරණ නීතිවලට පටහැනි වන නිසා ඒවා සිදුකිරීමෙන් වළකන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා තබා මැතිවරණ නීතියට පටහැනි එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින තත්ත්වයකටත් යන්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. මහා පරිමාණයෙන් සිදුවන මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට ඉඩ හැර මැතිවරණ කොමසාරිස්වරයා විදේශගතවී සිටීම තනතුරේ ගෞරවයට හේතුවන්නේ නැත.

මැතිවරණ නීති

1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 80 වැනි වගන්තිය යටතේ අල්ලස් ගණයට වැටෙන වැරදි මෙසේය.

ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඡන්ද හිමියකු පෙළඹවීම සඳහා තමා විසින්ම හෝ තමා වෙනුවෙන් යම් තැනැත්තකු මගින් යම් ඡන්ද හිමියෙකුට හෝ ඡන්ද හිමියකු සඳහා නැතහොත් යම් ඡන්ද හිමියකු වෙනුවෙන් යම් තැනැත්තකුට හෝ යම් තැනැත්තු සඳහා හෝ වෙනත් යම් තැනැත්තකුට හෝ යම් තැනැත්තකු සඳහා

(අ) කෙළින්ම හෝ අන් අයුරකින් යම් මුදලක් හෝ වටිනා ප්‍රතිෂ්ඨාවක් දෙන, ණයට දෙන නැතහොත් ණයට දීමට එකඟ වන, හෝ දීමට ඉදිරිපත් වන, පොරොන්දුවන නැතහොත් ලබාදීමට හෝ ලබාදීම පිණිස උත්සාහ කිරීමට පොරොන්දු වන

(ආ) කෙළින්ම හෝ අන් අයුරකින් යම් නිලයක් තනතුරක් හෝ සේවා නියුක්තියක් දෙන හෝ ලබාදෙන නැතහොත් දීමට හෝ ලබාදීමට එකඟ වන, ඉදිරිපත් වන හෝ පොරොන්දු වන හෝ ලබාදීමට හෝ ලබාදීම පිණිස උත්සාහ කිරීමට පොරොන්දු වන

(ඇ) ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු තෝරාපත් කරගැනීම සඳහා යම් ඡන්ද හිමියකුගේ ඡන්දය ලබාදීම සිදුකිරීමට හෝ සිදුකිරීමෙහිලා උත්සාහ කිරීමට යම් තැනැත්තකු පෙළඹවීම සඳහා තමා විසින් හෝ තමා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු මගින් හෝ ඒ තැනැත්තාට හෝ ඒ තැනැත්තා සඳහා කෙළින්ම හෝ අන් අයුරකින් ඉහත කී පරිදි එවැනි යම් තෑග්ගක්, ණයක්, යෝජනාවක්, පොරොන්දුවක් හෝ ගිවිසුමක් දෙන

(ඈ) එවැනි යම් තෑග්ගක්, ණයක්, යෝජනාවක්, පොරොන්දුවක්, ලබාදීමක් හෝ නැතහොත් එවැනි තෑග්ගක, ණයක, යෝජනාවක, පොරොන්දුවක, ලබාදීමක ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයකු ලෙස යම් තැනැත්තකු තෝරා පත්කර ගැනීම හෝ මේ පනත යටතේ මැතිවරණයකදී යම් ඡන්ද හිමියකුගේ ඡන්දය ලබාදීම සිදුකරන හෝ සිදුකිරීමෙහි යෙදෙන හෝ සිදුකිරීමෙහිලා පොරොන්දු වන නැතහොත් උත්සාහ කරන සෑම තැනැත්තකුම

(ඉ) ජනාධිපතිවරණයකදී අල්ලස් වශයෙන් යම් මුදලක් හෝ එහි යම් කොටසක් වියදම් කළ යුතුය යන චේතනාවෙන් වෙනත් යම් තැනැත්තකුට හෝ වෙනත් යම් තැනැත්තකුගේ ප්‍රයෝජනය පිණිස ඒ මුදල හෝ එහි යම් කොටස කලින් දෙන, ගෙවන හෝ ගෙවීමට සලස්වන නැතහොත් ඒ මැතිවරණයේදී අල්ලස් වශයෙන් වියදම් කරන ලද යම් මුදලක් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් නිදහස් කිරීම හෝ ආපසු ගෙවීම සඳහා දැන දැනම යම් තැනැත්තකුට යම් මුදලක් ගෙවන හෝ ගෙවීමට සලස්වන සෑම තැනැත්තකුම

අල්ලස් වරදට වරදකරුවකු ලෙස සැලකිය යුතුය.

මෙම ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ පනතින්ම අල්ලස් වැරදි ලෙස අර්ථකථනය කර ඇති වැරදි සිදුවෙමින් තිබෙන්නේ සුළු පරිමාණයෙන් හොර රහසේ නොව ප්‍රසිද්ධියේ මහා පරිමාණයෙනි. එම නීතියට පටහැනි ප්‍රසිද්ධියේ සිදුවන අල්ලස් වැරදිවලට එරෙහිව අඩුම වශයෙන් ඒවා බරපතළ දඬුවම් ලැබිය හැකි අල්ලස් වැරදි ලෙස ප්‍රකාශ කරන තැනකටවත් යන්නට මැතිවරණ කොමසාරිස්වරයා සූදානම් බවක්වත් පෙනෙන්නට නැත. මේ සියලු ක්‍රියා මෙම ජනාධිපතිවරණයේ තිබිය යුතු නිදහස් හා සාධාරණ බව මහා පරිමාණයෙන් කෙළෙසන ක්‍රියා ලෙස සැලකිය හැකි අතර ඕනෑම මැතිවරණක තිබිය යුතු නිදහස් හා සාධාරණ බව ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ජනාධිපතිවරණයකට තරග කරන ජනාධිපතිවරයකු නීතිය නොසලකා ක්‍රියාකරන අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයාට නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම පහසු නැතත් ජනාධිපතිවරයාගෙන් එල්ල වන බලපෑම් නොසලකා ඉතාමත් අධිෂ්ඨානශීලී ලෙසත් නිර්භීත ලෙසත් තම යුතුකම් හා වගකීම් ඉටුකළ මැතිවරණ කොමසාරිස්වරු අතීතයේදී සිටියේය. ඒ අධිෂ්ඨානය හා නිර්භීතභාවය හැම මැතිවරණ කොමසාරිස්වරයකුටම තිබිය යුතුය. නැතිනම් මැතිවරණ කොමසාරිස්වරයා තමන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන දුෂ්කරතා හා ඒවා ජයගැනීමට තිබෙන නොහැකියාව මහජනයාට පැහැදිලි කරදී සිය තනතුරෙන් ඉවත් විය යුතුය.

කරුණාතිලක හා තවත් අයකු එරෙහිව දයානන්ද දිසානායක, මැතිවරණ කොමසාරිස් හා තවත් අය නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය සහතික කර ඇති නිසා මැතිවරණවලදී හැම අංශයකදීම නිර්භයව මැතිවරණ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර අවශ්‍යවන්නේ නම් අධිකරණ කටයුත්තක යෙදී අධිකරණ නියෝග ලබාගත යුතු බවය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා මෙම ජනාධිපතිවරණයේදී රජ කරමින් තිබෙන අශීලාචාර තත්ත්වයට එරෙහිව බලවත් ලෙස නීතිය ක්‍රියාත්මක කරවීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. එම තත්ත්වය මැතිවරණ කොමසාරිස්වරයා හා මැතිවරණ දෙපාර්තමේන්තුව කෙරෙහි තිබිය යුතු මහජන විශ්වාසය මුළුමනින් පළුදු කරන තත්ත්වයක් ඇතිවිය හැකිය.

ආරක්ෂක හමුදා

මෙම ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරග කරන්නේ රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, රටේ ප්‍රධාන විධායකයා වශයෙන් පමණක් නොව ත්‍රිවිධ හමුදාවන්ට අණදෙන සේනාධි නායකයාද වශයෙනි. එහෙත් මැතිවරණ සම්ප්‍රදායන් අනුව ඔහු ජනාධිපතිවරණයක් ප්‍රකාශ කළ මොහොතේ සිට තිබෙන සියලු බලතල තාවකාලික ලෙස අත්හරිනු ලැබූ සාමාන්‍ය පුද්ගලයකුගේ තත්ත්වයට පත්විය යුතුය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ජනාධිපතිවරණයට තරග කරන්නේ තමන් සතු ඒ සියලු බලතල තාවකාලිකව අත්හල පුද්ගලයකු ලෙස නොව ඒ සියලු බලතල අතැ”තිව සිටින බලවත් පුද්ගලයකු ලෙසය. මැතිවරණවලදී ආරක්ෂක හමුදා මහජනයාට නිදහසේ තම පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන්නට ඉඩදී ලෙස කිසිදු පැත්තක් නොගෙන නිෂ්ක්‍රිය තත්ත්වයක සිටිය යුතුය. ජනාධිපතිවරයා නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවට අණදෙන සේනාධි නායකයා වුවද ජනාධිපතිවරණයකට තරග කරන අවස්ථාවකදී ඔහු සතු එම බලය තාවකාලික ලෙස ඔහුට අහිමි විය යුතුය. ඔහු ජනාධිපතිවරණයක් පැවැත්වෙන අතරමැදි කාලයේ මැතිවරණයට බලපාන ආකාරයේ අණදීම් ඔහු නොකළ යුතු අතර ආරක්ෂක හමුදාව නීතියට පටහැනි අණදීම් සිදුවන අවස්ථාවලදී එම අණ නොපිළිපැදිය යුතුය. ආරක්ෂක හමුදාවල වගකීමවන්නේ රාජ්‍යයට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩ හෝ යුදමය තර්ජනවලදී රාජ්‍යයේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීමය. ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණවලදී කිසියම් පක්ෂයක් වෙනුවෙන් මැදිහත්වීමේ අයිතියක් ආරක්ෂක හමුදාවන්ට නැත. නූතන ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් එවැනි වරදක් ආරක්ෂක හමුදා විසින් සිදුකර නැති බවද කිව යුතුය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රභාකරන්ට බිය නොවූවා සේ නීති කැඩීමට හා සම්ප්‍රදායන් කැඩීමටද බිය නැත. ඔහු ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපතිවරයකු නොකළ යුතු හැම දෙයක්ම කරමින් සිටින්නේයැ”යි කිව හැකිය. ඒ අනුව ඔහු අන් ජනාධිපතිවරුන්ට වෙනස්ව මැතිවරණ කටයුතු සඳහා නීතියට හා සම්ප්‍රදායන්ට පටහැනිව ආරක්ෂක හමුදා සේ ම ආරක්ෂක හමුදාවන්ට අයත් දේපළ හා සම්පත් යොදා ගැනීමේ අනතුරක් පවතී. ඒ අනුව මෙම ජනාධිපතිවරණය රටේ ආරක්ෂක හමුදාවන්ද තීරණාත්මක උරගා බැලීමකට ලක් කෙරෙන අවස්ථාවක් බවට පත්විය හැකිය. ආරක්ෂක හමුදා මැතිවරණයකදී පවත්වාගෙන යායුතු අපක්ෂපාතීත්වය ආරක්ෂා කර නොගෙන නීතියට හා සම්ප්‍රදායන්ට පටහැනිව මැතිවරණ කටයුතුවලට අත පොවන තැනකට ගියහොත් ප්‍රභාකරන් පරාජය කිරීමෙන් හිමි කරගත් මහජන විශ්වාසය මුළුමනින් අහිමි කරගන්නා තත්ත්වයක් ඇතිවීමද නොවැළැක්විය හැකිය.