උතුරුමැද පළාතේ යුද්ධ කාලයේ මායිම් ගම්මාන ලෙස හැඳින්වුණු ප්රදේශවල පැතිර පවතින වකුගඩු රෝගය හා ඒ නිසා ඒ ප්රදේශවල මිනිසුන්ට විඳින්නට සිදුවී තිබෙන දුක් වේදනා පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබෙන කතා මහත් සංවේගයක් ඇති කරනවා පමණක් නොව අප ජීවත් වන රට හා සමාජය ගැනද අප තුළ මහත් කලකිරීමක් ඇති කරයි. එම රෝගයෙන් එහි වෙසෙන මිනිසුන් නොකඩවා මියයමින් සිටී. ජීවතුන් අතර සිටින රෝගීන්ටද ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ ඉතාමත් අසරණ ආකාරයකටය. ඒ ගම්වල ලොකු පොඩි සියලුදෙනාටම ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ මරණය සමගය.
මෙවැනි තත්ත්වයක් රටක ඇතිවිට රටේ පළමු අවධානය යොමුවිය යුත්තේ ඒ කෙරෙහිය. එහෙත් ඔවුන්ගේ ප්රශ්නයට ප්රමාණවත් අවධානයක් යොමුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. අඩුම වශයෙන් දඩාවතේ යන බල්ලන්ට හා මරන්න ගෙනයන හරකුන්ට ලැබී තිබෙන වැදගත්කමවත් මේ අහිංසක මිනිසුන්ට ලැබී නැත. අපට තිබෙන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුක්රමයක් හා සමාජ ක්රමයකි.
ඔවුන් වෙනුවෙන් වෙන මොනවා කරන්න බැරි වුවද අඩුම වශයෙන් බර ලෝහ පෙරණයක් මගින් පෙරන ලද වතුර ඔවුන්ට ලබාදීමේ යුතුකමක් ආණ්ඩුවට තිබෙන්නේය. භූගත ජලය බීමෙන් වැළකී සිටින ලෙස වෛද්යවරුන් ඔවුන්ට කියන්නේ නම් හා එම අවශ්යතාව සම්පූර්ණ කරගැනීමේ හැකියාවක් එම ජනතාවට නැතිනම් ඔවුන්ගේ එම අවශ්යතාව ආණ්ඩුව විසින් සම්පූර්ණ කරදිය යුතුය. රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැදගත්ය. මෙවැනි මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්රියාකිරීම ඊටත් වඩා වැදගත්ය. මෙය භූගත ජලය නිසා ඇතිවී තිබෙන ප්රශ්නයක් නම් ඔවුන්ට භූගත ජලය පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුය. එම අහිංසක මිනිසුන් කියන ආකාරයට මේ ප්රශ්නය නිසාම පදවියට වතුර දෙන්න ආණ්ඩුව කෝටි තුනහමාරක වියදමින් ජල ටැංකියක් ඉදිකර තිබේ. ඒ ටැංකියට ජලය ලබාගන්නට යන්නේද දැවැන්ත නළ ළිඳකිනි. අවසානයේ ඔවුන්ට විශාල ටැංකියක් ඉදිකොට ලබාදෙන්නයන්නේද වෛද්යවරුන් බොන්න එපායැ”යි කියන භූගත ජලයය.
මෙම ප්රශ්නයට ඉක්මන් විසඳුමක් නැත්නම් කළයුතුව තිබෙන්නේ මෙම ප්රශ්නගත ප්රදේශවලින් එහි ජීවත් වන මිනිසුන් ඉවත් කිරීමය. ඔවුන්ට සුදුසු ප්රදේශවලින් විකල්ප ඉඩම් දී ජීවිතය අලුතෙන් ගොඩනගා ගැනීමට අවශ්ය පහසුකම් ලබාදීමය.
එම මිනිසුන් මුහුණ දී තිබෙන මානුෂික අර්බුදය පිළිබඳව ආණ්ඩුව පමණක් නොව සමාජ අවධානයද යොමුවිය යුතුය. අපි ඔවුන්ට මැරෙන්නට ඉඩදී බලා සිටිමු නම් අප අයත්වන්නේ මනුෂ්ය සමාජයකට නොව තිරිසන් සමාජයකටය.