අරාජිකත්වයේ අභියෝගය

June 23, 2013
Publication:
Ivan reads the weeks since Vesak as signs of a country drifting into anarchy: rotten institutions are collapsing with nothing to replace them. A monk's staged self-immolation, sold to television by a journalist as an exclusive; a Deputy Inspector General, Vass Gunawardena, exposed as a kidnapper and contract killer; the fusion of politicians and the criminals who guarded them during the insurgencies; and a push to scrap the Thirteenth Amendment unilaterally. He traces Indo-Lankan hostility to the UNP's 1977 insults to Indira Gandhi and warns that breaking the Accord would complete the slide.

වෙසක් පොහෝ දිනයේ සිට මේ දක්වා ගතවී තිබෙන කෙටි කාලය තුළ සමාජ-දේශපාලන වැදගත්කමක් ඇති සිදුවීම් ගණනාවක්ම සිදුවූ අතර එය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසින් ශ්‍රී ලංකාව රැගෙන යමින් තිබෙන දිසාම හොඳින් පෙන්නුම් කරන සිදුවීම් ලෙස සැලකිය හැකිය. මගේ මතය අනුව උතුරේ බෙදුම්වාදී යුද්ධය අවසන් කෙරෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය තිබුණේ ගැඹුරු ප්‍රතිසංවිධානයකින් තොරව තවදුරටත් ඉදිරියට යා නොහැකි තරමට කුණුවූ තත්ත්වයකය. යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය රටේ පැවති එම අශෝභන තත්ත්වය නිවැරදි කරගැනීමට ඉතිහාසය විසින් ශ්‍රී ලංකා සමාජයට දෙන ලද ඓතිහාසික අවස්ථාවක් විය.

එහෙත් ඒ ලැබුණු ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව පාලක පක්ෂයට, විරුද්ධ පක්ෂයට හෝ සමාජයට නොතිබීම නිසා ලැබුණු එම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට සමාජය අසමත් විය. එහිදී ඒ සියලුදෙනා හැඟීම්බරව ක්‍රියාකළා මිස දුර නොදැක්කේය. දේශපාලනයට ප්‍රඥාව නොතිබුණේය. ආගම්වලටද ප්‍රඥාව නොතිබුණේය. කලාවට හා සාහිත්‍යයට ද ප්‍රඥාව නොතිබුණේය. එක්කෝ ඔවුහු ලැබූ ජයග්‍රහණය ගැන උදම් ඇනුවේය. නැතිනම් ලැබූ පරාජය ගැන හඬා වැළපුණේය.

අර්බුදයේ ස්වභාවය වෙනස්වීම

එම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වීමත් සමග ශ්‍රී ලංකාව වෙලාගෙන තිබුණු අර්බුදය අලුත් ස්වරූපයකට මාරුවීයැ”යි කිව හැකිය. එය අභ්‍යන්තරික වශයෙන් මජර ගලන තරමට කුණුවී තිබුණු එහෙත් බාහිර වශයෙන් ගාම්භීර පෙනුමකින් යුතු ආයතන ක්‍රම සමාජ සහභාගිත්වයකින් හෝ අනුමැතියකින් තොරව කඩා බිඳ දමන අර්බුදයක් බවට පරිවර්තනය වීයැ”යි කිව හැකිය. සමාජය විසින් දැනුවත්ව නිසි අවබෝධයකින් යුතුව සිදුකළ යුතුව තිබුණ කාර්යයක් සම්පූර්ණ නොකිරීම නිසා එය ඉතිහාසය විසින් සිත්පිත් නැතිව කරන දෙයක් බවට හැරී ඇතැ”යි කිව හැකිය. ඉතිහාසය විසින් කුණුවූ ආයතන ක්‍රම බිඳ දමමින් තිබෙන්නේ විකල්ප ආයතන ක්‍රම ඇති කිරීමකින් තොරවය. දේශපාලන නායකයන් සමග පක්ෂවලට තිබෙන පිළිගැනීම අවලංගු කරමින් තිබෙන්නේද විකල්ප දේශපාලන නායකයන් හෝ දේශපාලන පක්ෂ ඇති කිරීමකින් තොරවය. පැරණි ක්‍රමය තුළ සමාජය එකට බැඳ තබා තිබූ බැමි කපා හරිමින් තිබෙන්නේ අලුත් ආකාරයක ඒකාග්‍රතාවක් ඇති කරන නව බැමි ඇති කිරීමෙන් තොරවය. ඒ තත්ත්වය තුළ ඇතිවිය හැක්කේ අරාජික තත්ත්වයකි. ආණ්ඩුව විසින් ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා කරන දේවලින් සිදුවෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ ආධිපත්‍යය දුර්වල කොට ඇතිවන්නට යන අරාජික තත්ත්වය ශක්තිමත් කිරීමය. විරුද්ධ පක්ෂ විසින් ආණ්ඩුව දුර්වල කිරීම සඳහා කරන දේවලින් සිදුවෙමින් තිබෙන්නේද ආණ්ඩුව දුර්වල කොට විරුද්ධ පක්ෂ ශක්තිමත් කිරීම නොව ඇතිවන්නට යන ආජිකත්වය ශක්තිමත් කිරීමය. අන්තවාදී සංවිධාන ආගමේ හෝ ජාතියේ චිරස්තිථිය පිණිසයැ”යි කියමින් කරන විකාරසහගත දේවල්වලින් සිදුවෙමින් තිබෙන්නේද එම ආගම් හෝ ජාතීන් ශක්තිමත් කිරීම නොව ඒවාහි පැවැත්ම දුර්වල කරමින් ඇතිවන්නට යන අරාජික තත්ත්වය වර්ධනය කිරීමය. අවසානයේ සාම්ප්‍රදායික දේශපාලනය, ආගම, කලාව හා සාහිත්‍යයද දැන හෝ නොදැන කරමින් සිටින්නේ අරාජිකත්වය පෝෂණ කරමින් රට පූර්ණ අරාජික තත්ත්වයකට යන ගමන ශක්තිමත් කිරීමය.

හිමිනමක් දිවි නසාගැනීමේ සිද්ධිය

වෙසක් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ගව ඝාතනය තහනම් කරන ලෙසත්, සර්ව ආගමික පූට්ටු ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා දළාදා මාලිගාව ඉදිරිපිට ගිනි තබාගෙන දිවි නසා ගත්තේය. එය දෘෂ්ටිමය වශයෙන් සමාන අදහස් දරන පුංචි කණ්ඩායමකගේ අනුග්‍රහය හා එකඟත්වය ඇතිව කරන ලද ප්‍රදර්ශනාත්මක දිවි නසා ගැනීමක් ලෙස සැලකිය හැකිය. සමාජය කෙරෙහි ගැඹුරු බලපෑමක් කිරීමට නම් දිවිනසා ගැනීමේ අවශ්‍යතාව සලකා මෙම පුංචි කණ්ඩායම් එකතු වූ බව පෙනෙන්නට තිබෙන අතර එම පරමාර්ථය වෙනුවෙන් භික්ෂූන්වහන්සේ දිවි නසා ගැනීමට තීරණය කළ විට එම කණ්ඩායමේ ඉතිරි පිරිස එම ක්‍රියාවට පූර්ණ අනුග්‍රහය ලබාදෙන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකර තිබෙන බව පෙනේ. මෙම පුංචි කණ්ඩායමට ජනමාධ්‍යවේදියකුද අයත් විය. ඔහු එහිදී රඟපා තිබෙන භූමිකාව සංකේතාත්මක වැදගත්කමකින් යුතුය. ලංකාවේ ජනමාධ්‍ය ආයතන ක්‍රමය තුළ රජ කරන ආත්මාර්ථකාමයේ තරම හා ජනමාධ්‍ය ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම ඔහු එහි රඟපා තිබෙන භූමිකාව මගින් හොඳින් පෙන්නුම් කරයි.

මෙම සිද්ධිය වෙනත් කිසිම ජනමාධ්‍යවේදියකුට ආවරණය කරන්නට ඉඩ නොදී ආවරණය කිරීමේ ඒකාධිකාරී අයිතිය තමන් වෙත තබා ගනිමින් තමන්ට උපරිම ප්‍රසිද්ධියක් ලබාගන්නා අතර උපරිම මිලක් ලබාගැනීම ඔහුගේ අරමුණවීයැ”යි කිව හැකිය. වෙනත් කිසිවකුට ආ නොහැකි කිසියම් තැනක භික්ෂූන්වහන්සේ නමක් ගිනි තබාගන්නා බවත් ඒ අවස්ථාවේ ඡායාරූප ගැනීමේ අයිතිය තමන්ට පමණක් ලැබී ඇති බවත් ප්‍රකාශ කරමින් ඔහු ජනමාධ්‍ය ආයතන සමග ඒ ගැන ගනුදෙනු කරන තැනකට ගියේය. ඒ අනුව සියලුම හෝ බොහොමයක් ජනමාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ වෙන්නට යන සිදුවීම කල්තියා දැන ගත්තේය. ඒ සියලුදෙනා සිදුවිය යුතු මහා දෙයක් ලෙස සැලකුවා මිස එය වැළකිය යුතු දෙයක් ලෙස නොසැලකීය. භික්ෂූන්වහන්සේ ගිනි තබාගන්නා අවස්ථාවේ ගන්නා රූප රාමු තව ආයතනයට පමණක් දී ඉන්පසු ඇතිවන දේවල රූපරාමු පමණක් අනෙක් ආයතනවලට නිකුත් කිරීමට එක් ජනමාධ්‍ය ආයතනයක් මෙම ජනමාධ්‍යවේදියා කැමති කරවා ගත්තේය. ඒ සඳහා ඔහුට ලොකු මිලක් ලැබෙන්නට ඇතැ”යි සිතිය හැකිය. අවසානයේ ඔවුන් අපේක්ෂා කළ ඒ මහා සිද්ධිය වාර්තා කිරීමේදී ගිනි තබාගන්නා අවස්ථාව දැක්වෙන රූප රාමු හිමි කරගෙන සිටි ආයතනය එම සිද්ධියට විශාල වැදගත්කමක් ලැබෙන ලෙස හා නරඹන්නන් තුළ ආවේගාත්මක හැඟීම් ඇති කිරීමට හේතුවන ආකාරයට, වචන හා රූප රාමු යොදා ගනිමින් සිද්ධිය විකාශනය කළේය. බාහිර පෙනුමෙන් එම ආයතනය උත්සාහ කළේ මහජනයා හඬවන්නට වුවද ආයතනය සිටියේ දුකෙන් නොව හොඳම රූප රාමු විකාශය කිරීමේ හැකියාව තමන්ට පමණක් ලැබීම ගැන ඇති කරගත් මහත් ආස්වාදයකිනි. බලවත් රජයකට පමණක් නොව ජනමාධ්‍යවල උනන්දුවට හේතුවන සමහර දේවල් සතු පුද්ගලයකුට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නැටවීමට තිබෙන හැකියාවේ තරම ඒ සිද්ධිය විසින් මනා ලෙස පෙන්නුම් කළේය.

දැන හෝ නොදැන රටේ ජනමාධ්‍ය ශ්‍රී ලංකා සමාජය පූර්ණ අරාජිකත්වයකට තල්ලු කිරීමට හේතුවන මානසික වටාපිටාවක් ඇති කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින්නේයැ”යි කිව හැකිය. ජනතාව නවීන දැනුමෙන් හා පවතින යථාර්ථයෙන් ඉවත් කොට මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඇස් අන්ධ කරගත් ජනතාවක් බවට පත්කරමින් සිටින්නේය. සමාජ වටිනාකම් දියකිරීමෙහිලා හා සමාජ ඒකාග්‍රතාවේ බැමි කඩා බිඳ දැමීමෙහිලා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරමින් තිබෙන්නේයැ”යි ද කිව හැකිය. එහෙත් අරාජික තත්ත්වයක් ඇති වුවහොත් වැඩියෙන්ම බැට කන්නට සිදුවනු ඇත්තේ ජනමාධ්‍ය ආයතනවලටය.

මිනීමරු කොල්ලකාර ඩීඅයිජී

සහකාර පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනගේ කතා වස්තුවද රටේ ආයතන ක්‍රමය පමණක් නොව එහි මුදුනත කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. කප්පම්කරුවන් කොල්ලකරුවන් හා කුලියට මිනී මරන්නන් මර්දනය කිරීමේ හා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමේ වගකීම පැවරී තිබෙන්නේ පොලිසියටය. පොලිසිය ඒ වෙනුවට ඒ සියලු වැරදි කරන එනම් කප්පම් ලබාගන්නා, කොල්ලකන හා කුලියට මිනී මරන ආයතනයක් බවට පත්වී තිබෙන බව ඉන් පෙනී යයි. සහකාර පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන එකවිට උසස් පොලිස් නිලධාරියකුගේද, කුලියට මිනීමරන මිනීමරුවකු, කප්පම්කරුවකු හා කොල්ලකරුවකුගේ භූමිකාව රඟපෑවේය. ඔහුගේ මිනීමරු කොල්ලකාරී ක්‍රියාකලාපය විමර්ශනයට හේතුවී තිබෙන සිද්ධියෙන් ආරම්භ වූවක් ලෙස සැලකිය නොහැකිය. එය බොහෝ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ක්‍රියාදාමයක් විය යුතුය. ඔහු මෙම පැහැර ගැනීම සඳහා තමන් යටතේ සේවය කළ පොලිස් නිලධාරීන් යොදා ගන්නවාට අමතරව පොලිසියේ ගිනි අවි දෙකක් හා පොලිස් මෝටර් රථයක්ද යොදාගෙන තිබේ. ඉන් පෙනෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ මර්දනය සඳහා ලැබී තිබුණු නිල බලය පමණක් නොව සම්පත්ද අපරාධ කිරීම සඳහා යොදාගෙන තිබෙන බවය. පැහැරගනු ලැබූ ව්‍යාපාරිකයා මරා දැමීමට පෙර සිය නිවසට ගෙන්වා ගැනීම මගින්ද පෙන්නුම් කර තිබෙන්නේ මෙවැනි බිහිසුණු අපරාධවල යෙදීමට ඔහු තුළ බියක් සේ ම සැකයක්ද නොතිබුණු බවය. අනෙක් අතට ඉන් පෙනෙන්නේ ඔහු කරන අපරාධ ඔහුගේ පවුලේ අයටද රහසක් නොවූ බවය. ඔහු මේ සිද්ධියට ඔහු කොටුනොවන්නට සමහරවිට ඔහු ඊළඟ පොලිස්පතිවරයා වන්නටද ඉඩ තිබුණේය. එසේ වී නම් මුළු පොලිස් දෙපාර්තමේන්තුම බිහිසුණු මිනීමරුවකු, කප්පම්කරුවකු හා මිනිසුන් පැහැරගෙන යන්නෙකු මෙහෙයවන ආයතනයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම හා පරිමාව ඉන් හොඳින් පෙන්නුම් කරයි.

නීතිය පසිඳලන ආයතන ක්‍රමයේ පවතින තත්ත්වයද ඊට වෙනස් නැත. නීතිය පසිඳලන ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම හා ප්‍රමාණය අගවිනිසුරු සරත් නන්ද සිල්වා සිය අවලස්සන භාවිතයෙන් හොඳින් පෙන්නුම් කළේය. ඔහුගෙන් පසු එළැඹෙන යුගයද එම ආයතන ක්‍රමය තවදුරටත් පරිහානිය කරා ගිය මිස ප්‍රගතිය කරා ගියේ නැත. මෙම ආයතන ක්‍රම දෙකේ එකතුව රට ගැන ලබාදෙන චිත්‍රය ඉතාමත්ම අයහපත්ය. එයින් පෙනෙන්නේ ආයතනක්‍රම නියෝජනය කරන පිරමීඩවල කුණුවී තිබෙන්නේ පහළ කොටස පමණක් නොවන බවය. මුදුනත දක්වාම ඒවා ඔජර ගලන තරමට කුණුවී තිබෙන බවය.

එකම පුද්ගලයකු තුළ එකකට එකක් පටහැනි පුද්ගලයන් දෙදෙනකු සිටීමේ විකාරරූපී ලක්ෂණය සහකාර පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනට පමණක් සීමාවූ ලක්ෂණයක් ලෙස සැලකීම වැරදිය. ඔහු එකවිට අපරාධ මර්දකයෙකුද දරුණු අපරාධකරුවකුද විය. එය ලොකු ප්‍රතිරූප තිබෙන බොහෝ පුද්ගලයන්ට ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබේයැ”යි කිව හැකිය. එය අපේ රටේ දේශපාලනය, ආගම ද කලාව හා සාහිත්‍යයද විද්‍යාව හා තාක්ෂණයද කර්මාන්තකරණය හා වෙළෙඳාම යන හැම අංශයකම පාහේ දක්නට ලැබෙන මේ වනවිට ඉතාමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

දේශපාලකයා හා අපරධකාරයා දෙමුහුන් වීම

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයෙන් ආරම්භ වී ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් වන තෙක්ම රටේ දේශපාලනඥයන්ට ආරක්ෂාව පිළිබඳ ඇත්ත බරපතළ ප්‍රශ්නයක් තිබුණි. ඒ තත්ත්වය යටතේ දේශපාලනඥයන් ගණයට වැටෙන සියලුදෙනාට ප්‍රමාණවත් තරමින් නිල ආරක්ෂකයන් ලබාදීමේ හැකියාවක් කවර ආණ්ඩුවකටවත් නොතිබුණි. ඒ සඳහා දිය හැකිව තිබූ ප්‍රායෝගික සරල විසඳුම වූයේ අතිරේක ආරක්ෂාව ලබාගැනීම සඳහා තමන්ගේම පුද්ගලික ආරක්ෂක කණ්ඩායම් ඇතිකර ගැනීමේ අයිතිය දේශපාලනඥයන්ට ලබාදීමය. දේශපාලනඥයන්ගේ එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම පිණිස ඉදිරිපත් වූයේ ගුණගරුක පුරවැසියන් නොව අපරාධකරුවන්ය. එම අධියරයේදී දේශපාලනඥයන්ට ආරක්ෂාව ලබාදීමේ නිර්භීතභාවය තිබුණේද ඔවුන්ට පමණය. එහෙත් ඔවුහු දේශපාලනඥයන්ට ආරක්ෂාව ලබාදීම වෙනුවෙන් තමන්ට හුරු පුරුදු අපරාධකාරී ජීවිතය අත්හරිනු ලැබුවේ නැත. ඒ වෙනුවට සිදුවූයේ දේශපාලනඥයන්ට රැකවරණය ලබාදෙන අතර දේශපාලන සම්බන්ධය ආවරණයක් කරගනිමින් වඩා ප්‍රබල ලෙස අපරාධවල නිරතවීමය. මෙම අනතුරුදායක කාලපරිච්ඡේදයේදී දේශපාලනඥයන් ආරක්ෂා කළේ ඔවුන්ට හිතවත් මහජනයා නොවන නිසා දේශපාලනඥයන්ද මහජනයා කෙරෙහි ඇති බැඳීමට වැඩි බැඳීමක් තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙම අපරාධකරුවන් කෙරෙහි ඇතිකර ගත්තේය. අවසාන විග්‍රහයේදී යුද්ධය අවසන් වන අවස්ථාව වනවිට දේශපාලනඥයා හා අපරාධකරුවා එකිනෙකා මත යැපෙන වෙන් කොට හඳුනාගැනීමට බැරි තරම් සමාන පෙනුමෙකින් යුතු දෙමුහුන් වූ මනුෂ්‍ය ප්‍රපංච දෙකක් බවට පත්ව තිබුණි. ත්‍රස්තවාදය පරාජය කෙරුණුද, ඒ සමග හෝ ඉන්පසුව ත්‍රස්තවාදය රජ කළ වටාපිටාවක් තුළ ගොඩනැගුණු දේශපාලනඥයා හා අපරාධකාරයා අතර අන්තර් සම්බන්ධය බිඳ වැටීමක් හෝ බිඳ දැමීමක් සිදු නොවීය.

එම නිසා එම විශේෂ සමාජ කණ්ඩායම දේශපාලනඥයා කෙරෙහි පමණක් නොව, ආගම කෙරෙහිද, ජනමාධ්‍ය හා කලාව කෙරෙහිද ප්‍රබල ලෙස බලපාන සමාජ කණ්ඩායමක් බවට පත්වූයේය. ඔවුන් සමාජ, ආර්ථිකය හා දේශපාලන ක්‍රමය තුළ හිමි කරගෙන තිබෙන අතිවිශාල ශක්තියද රටේ අරාජිකවාදී නැඹුරුව ශක්තිමත් කිරීමට හේතුවී තිබේ.

දහතුනේ අවුල

13 වැනි සංශෝධනයෙහි එහි ඇති හොඳ නරක කුමක් වුවද එය සැලකිය යුත්තේ ලංකාවේ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ අරමුණින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ද්විපාක්ෂික ගිවිසුම නිසා ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි.

මා හිතන අන්දමටද ඒ නිසා ඇතිවූ ක්‍රමය තුළ අවුල් තිබෙන්නේය. එහෙත් එහි තිබෙන අවුල් ලිහා ගන්නට යන්නේ ඒකපාක්ෂික හා හිතුවක්කාරී ආකාරයකට නම් ඒ සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් සමාජ, දේශපාලන ක්‍රමය තුළ අරාජිකත්වයක් කරා තිබෙන නැඹුරුව ශක්තිමත් කිරීමට හා වේගවත් කිරීමට හේතුවනු ඇත්තේය. එය වෙනස් කරනවා නම් වෙනස් කළයුත්තේ දෙමළ ජනතාවගේ සේ ම ඉන්දියාවේද එකඟත්වය ඇතිවය. දෙමළ ජනතාවට දීමට ද්විපාක්ෂිකව ඇතිකර ගන්නා ලද දෙයක් දෙමළ ජනතාවගේ හා ඉන්දියාවේ එකඟතාවකින් තොරව ඒකපාක්ෂිකව අවලංගු කිරීමට දරන උත්සාහයක් බිහිසුණු අවුල් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. ඒ නිසා තමන්ට දෙන ලද දෙයක් තමන්ගේ අනුමැතිය නැතිව තමන්ගෙන් උදුරා ගත්තායි කියන බලවත් හැඟීමක් දෙමළ ජනතාව අතර ඇතිවේ. එය රටේ ජනවාර්ගික අර්බුදය සමනය කරනවා වෙනුවට උග්‍ර කරයි. අනෙක් අතට ඉන්දියාව සමග ද්විපාක්ෂික වශයෙන් ඇති කරගත් එකඟතාවක් ඒකපාක්ෂිකව අවලංගු කිරීම ඉන්දියාව හා ලංකාව අතර ඇති අන්තර් සම්බන්ධයේ මහා අවුලක් ඇති කිරීමට හේතුවේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා වනවා පමණක් නොව කලාපීය බලවතාද තත්වාකාර ලෝක බලවතකුද වේ. එවැනි රටක් සමග ඇති කරගත් ද්විපාක්ෂික ගිවිසුමකට අදාළ දේවල් ඒකපාක්ෂිකව අවලංගු කරන පිළිවෙතක් ශිෂ්ටසම්පන්න නොවනවා පමණක් නොව මහා අවුල් ඇති කිරීමටද හේතුවිය හැකිය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති අන්තර් සම්බන්ධය අවුල්සහගත තත්ත්වයකට පත්වූයේ 1977න් පසුවය. ඊට පෙර දෙරට අතර පැවති අන්තර් සම්බන්ධය ඉතා මිත්‍රශීලී විය. කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ දෙරට අතර ප්‍රශ්නයක් තිබුණු අතර ඉන්දියාව ඊට අයිතිවාසිකම් කියන තැනකට නොගොස් ඒ අයිතිය අපට ලබා දුන්නේය. ලංකාවේ සිටින ඉන්දියානු වතු කම්කරුවන් පිළිබඳවද දෙරට අතර ප්‍රශ්නයක් තිබුණි. එහිදීද ලංකාවට වැඩි වාසිසහගත තත්ත්වයක් ලබාදෙන ආකාරයට ඉන්දියාව එම ප්‍රශ්නය විසඳා දුන්නේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහා අවුල් ඇතිවීම ආරම්භවන්නේ 1977න් පසුවය. එජාප 1977 මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ තුළ බණ්ඩාරනායක මැතිනියගේ පාලනය විවේචනය කිරීමේදී ඉන්දිරා ගාන්ධිගේ පාලනයද ඊට ඈඳාගනිමින් ඉන්දිරා ගාන්ධි ඉලක්ක කොට ඇයට පහරදෙන පිළිවෙතක් අනුගමනය කළාය. එජාප නායකයා වේදිකාවේ සිටියදීම රණසිංහ ප්‍රේමදාස ඉන්දිරා ගාන්ධි සමාන කළේ වැස්සියකටය. ඇගේ පුතා සමාන කළේ වසු පැටවකුටය. මෙම අමනෝඥ ප්‍රකාශය කරන අවස්ථාවේදී බලයෙන් පහව සිටි ඉන්දිරා ගාන්ධි නැවත බලයට පත්වීමට තිබෙන හැකියාවවත් සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත. එම තත්ත්වය එජාප පාලනය කෙරෙහි කෝපයෙන් හා වෛරයෙන් බලපාන තත්ත්වයක් ඉන්දිරා ගාන්ධි තුළ ඇති කළේය. ඒ තත්ත්වය ඉදිරියේ ඉන්දිරා ගාන්ධි නැවත බලයට පත්වූ පසු ඉන්දියාව සමග සහයෝගයෙන් හා අවබෝධයෙන් වැඩ කරන තැනකට නොගොස් ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන තැනකට තල්ලුවීමට ජයවර්ධන ආණ්ඩුවට සිදුවී තිබුණේය. ඒ කාලයේ ඇමරිකාව හා ඉන්දියාව අතර පැවතියේද මිතුරු සම්බන්ධයක් නොව සතුරු සම්බන්ධයකි. ලංකාව පවත්වාගෙන ගිය දැඩි ඇමරිකන් හිතවාදී ඉන්දීය විරෝධී පිළිවෙත ලංකාව පිළිබඳව කෝපයෙන් බලන තැනකට ඉන්දියාව තල්ලු කළේය. ඒ තත්ත්වය ඉදිරියේ 83 කළු ජූලියෙන් පසුව උතුරේ සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය හා පුහුණුව ලබාදෙන ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කළේය. වඩමරච්චි මෙහෙයුමේදී ඒ මෙහෙයුම ඉදිරියට ගෙනයෑම ඉන්දියාව වැළකීය. ඉන්දියාව ලංකාවේ ගුවන් සීමා ආක්‍රමණය කරමින් යාපනයට බලහත්කාරයෙන් සහනාධාර හෙළන ලද අවස්ථාවේදී ඒ ක්‍රියාව හෙළා දකින්නට කිසිවකු නොසිටියේය. මේ අර්බුදයේදී ඇමරිකාවට කළහැකි දෙයක් නැති බව තේරුම් ගත් විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ යටහපත් පහත්ව ක්‍රියාකරන තත්ත්වයකට ඇද වැටුණේය.

එහෙත් ඉන්දිරා ගාන්ධිගේ මරණයෙන් පසු ඒ තැන හිමි කරගත් රජිව් ගාන්ධි ලංකාව සම්බන්ධයෙන් එතෙක් ඔහුගේ මව පවත්වාගෙන ගිය ප්‍රතිපත්තියේ මූලික වෙනසක් ඇති කරන ලදි. එල්ටීටීඊයට ආයුධ බිම තබා පළාත් සභා ක්‍රමයට එකතුවන ලෙස බලකර සිටියාය. ඊට එකතු නොවූ විට එල්ටීටීඊය මර්දනය කිරීමට ඉන්දියානු හමුදා යෙදවීය. ජේආර්ගෙන් පසු බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස ඉන්දියානු හමුදා ඉවත් නොකරන්නට ප්‍රභාකරන් පරාජයවීමට ඉඩ තිබුණේ ඉන්දියානු හමුදා අතිනි. ආරක්ෂක හමුදාවන්ට ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමට හැකිවූයේද උතුරු නැගෙනහිර ගැටුම් බලාගන්නට ඉන්දියානු හමුදාවක් ලංකාවේ සිටීම නිසාය.

එම මහා අවුලේදී ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය සේ ම ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියද වැරදිය. ඒ වෙනුවෙන් රටවල් දෙකටම ලොකු වන්දියක් ගෙවන්නට සිදුවූයේය. අවසාන විග්‍රහයේදී ප්‍රභාකරන්ගේ එල්ටීටීඊය පරාජය කිරීමට හැකිවූයේද ඉන්දියාව ඊට අවහිර නොකොට ඊට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. යුද්ධයෙන් පසු 13 සමග ඊට වැඩි දෙයක් දෙමළ ජනතාවට දෙන බවට පුන පුනා ඉන්දියාවට සහතික වූයේද අපිය. එසේ තිබියදී තිබෙන 13වත් නොදී එය ඒකපාක්ෂිකව අවලංගු කරන්නට දරන උත්සාහයක් ඉන්දු ලංකා සම්බන්ධතා මහා අවුලක් බවට පත්කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

මෙම ප්‍රශ්නය රටේ ඇති කරන්න යන ව්‍යාකූලත්වය රට අරාජික තත්ත්වයක් කරා වන නැඹුරුව පරිපූර්ණ කිරීමට හේතුවිය හැකිය.