මැතිවරණයක් ප්රකාශ කර තිබෙන අවස්ථාවක සමස්ත මැතිවරණ ක්රියාවලිය භාර ප්රධාන බලධාරීයා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ය. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා ඇතුළු මැතිවරණ ක්රියාවලියට සම්බන්ධ අන් සියලුදෙනා සිටිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට පහළිනි. විශේෂයෙන් ම පොලිසිය, රහස් පොලිසිය වැනි ආයතන මැතිවරණයට සම්බන්ධ හැම කරුණකදිම කොමසාරිස්වරයාගේ අණ පිළිපදින තත්ත්වයක සිටිය යුතු ය. එහෙත් දැන් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ඊට මුළුමණින් වෙනස් ය.
ඉතාමත් රහසිගත ආකාරයකට ආණ්ඩුවේ මුද්රණාලයේ පෝලින් කාඩ්පත් මුද්රණය කෙරෙමින් තිබෙන අවස්ථාවක ආණ්ඩුවේ මුද්රණාලයෙන් පිටස්තරව ද ඒ හා සමාන පෝලින් කාඩ්පත් නිෂ්පාදනය වීමේ සිද්ධියකට අදාළ කරුණු සහිත පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී ඒ ගැන කරුණු පරික්ෂා කිරිමේ දි එම පැමිණිල්ල සත්යයක් බව ඔප්පු විය. පැමිණිලිකරු මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදි ඇති පෝලින් කාඩ්පත් ආණ්ඩුවේ මුද්රණාලයේ මුද්රණය කෙරුණු පෝලින් කාඩ්පත් නොවෙතත්, ඒවා ආණ්ඩුවේ මුද්රණාලයේ මුද්රණය වෙමින් තිබෙන පෝලින් කාඩ්පත්වලට මුළුමණින් සමාන බව ආණ්ඩුවේ මුද්රණාලයේ ප්රධානියා ද පිළිගත්තේ ය. ඒ තත්ත්වය ඉදිරියේ සැබෑ පෝලින් කාඩ්පත් හා ඒ හා සමාන ආකාරයකින් මුද්රණය වී ඇති පෝලින් කාඩ්පත් හඳුනාගැනීම පිණිස මැතිවරණ කොමසාරිස්වරයා රහසිගත ස්ටිකර් තොගයක් මුද්රණය කෙරෙව්වේ ය.
ආණ්ඩුව රහස් පොලිසිය යොදා මේ ස්ටිකර් තොගය අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි මුද්රණ කාර්යයක් ආණ්ඩුවේ මුද්රණාලය ලවා නොකරවා පුද්ගලික ආයතනයකින් කළේ ඇයිද යන බොරු ප්රශ්නයක් මතුකරමින් මැතිවරණ කොමසාරිස්වරයා එම ධුරයෙන් පළවා හැරිම පිණිස උපරීම ශක්තිය යොදා ක්රියාකරන තැනකට තල්ලුවී සිටින්නේ ය.
මැතිවරණය දූෂණයෙන් තොර නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි. ආණ්ඩුවේ මුද්රණාලයේ ඉතාමත් රහසිගත ආකාරයකින් මුද්රණයවෙමින් තිබූ පෝලින් කාඩ්පත්වල අනුපිටපත් පිටතට ගොස් තිබුණේ නම්, ආරක්ෂිත ස්ටිකරයක් මුද්රණය කරවා ගැනීම වැනි කාරණයකදි රජයේ මුද්රණාලය කෙරෙහි විශ්වාසය තැබීමේ හැකියාවක් මැතිවරණ කොමසාරිස්වරයාට නොතිබුණේ ය. එම තත්ත්වය ඉදිරියේ තමන්ට විශ්වාසදායක ආයතනයක් ලවා එවැනි කාර්යයක් කරවා ගැනීමේ අයිතිය මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණේ ය. මැතිවරණ කොමසාරිස්වරයා ඒ සඳහා ගනු ලැබූ තීන්දුව නිවැරදි ය.
මේ සමස්ත ක්රියාවලියේ දි ආණ්ඩුව කෙරෙන් ප්රකාශවෙමින් තිබෙන හැසිරිම ඉතාමත් නින්දාසහගත හා ප්රජාතන්ත්ර විරෝධී බව කිව යුතු ය. ස්ටිකර් තොගය අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඇත්තට ම වැරදිමකින් නම්, ආණ්ඩුව කළයුතුව තිබුණේ දැන හෝ නොදැන මැතිවරණ කොමසාරිස්වරයා ගනිමින් තිබු ආරක්ෂක පියවරකට ඇගිලි ගැසීම ගැන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සමාව ගැනීම ය. දැන් ඒ වෙනුවට ආණ්ඩුව කරමින් සිටිනුයේ මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කිරීම ය.
මෙය ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී නිදහසට අදාළ කේන්ද්රීය ප්රශ්නයකි. මේ අවස්ථාවේදි ප්රජාතන්ත්රවාදී නිදහස අගය කරන සියලු පුරවැසියන් හා පුරවැසි සංවිධාන මැතිවරණ කොමසාරිස්වරයා කොන්දේසි විරහිතව ආරක්ෂා කළ යුතුය. සංවිධානාත්මකව හා ඉතා සියුම් ආකාරයකින් තක්කඩිකම් කරන්නට ඉඩ නොහැරිම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි. සමහරවිට ආරක්ෂිත ස්ටිකර් පෝලින් කාඩ්පත් සඳහා පමණක් නොව, ඡන්ද පත්රිකා සඳහා ද අවශ්ය වනු ඇත. ඒ සඳහා අවශ්ය කරන ඕනෑම ආරක්ෂිත පියවරක් ගැනීමේ අයිතිය මැතිවරණ කොමසාරිස්වරයා සතුවිය යුතු ය.
මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව ආණ්ඩුව කෙරෙන් ප්රකාශවෙමින් තිබෙන කඩි කුලප්පුව තේරුම් ගැනීම පහසු ය. නිදහස් හා සාධාරණ මැතිවරණ සම්ප්රදායකට ආණ්ඩුව සූදානම් නැත. ආණ්ඩුවට අවශ්ය වී ඇත්තේ තමන්ට කැමති ප්රතිඵලයක් ලබාගත හැකි ක්රමයකි. එහෙත් එවැන්නකට ඉඩ නොතැබීම මහජනයාගේ වගකීමකි. අවසාන විග්රහයේ දි ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී නිදහස තීන්දු කරන ප්රධාන සාධකය වනු ඇත්තේ ද එයම ය.