චන්ද්‍රිකා පාලනයේ ඇතැම් ගති ලක්ෂණ අනාගතය

September 17, 2000
Publication:
Ivan argues that Chandrika Kumaratunga reached power by chance, as Vijaya Kumaratunga, Lalith Athulathmudali, Ranasinghe Premadasa and Gamini Dissanayake left the scene and Anura Bandaranaike quit the SLFP. Lacking experience, she sidelined seasoned figures such as Dharmasiri Senanayake and Mahinda Rajapaksa in favour of S.B. Dissanayake and Mangala Samaraweera. He lists broken promises on the executive presidency, the 'Pajero culture', duty-free vehicle permits and liquor licences for MPs, condemns her record of rigged elections, and warns that the worst of her rule may come in a second six years.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, ජේ.ආර්. ජයවර්ධන හෝ ආර්. ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් මෙන් බලය ලබාගැනීමේ අරමුණ වෙනුවෙන් විශාල උත්සාහයක යෙදෙමින් ඒ වෙනුවෙන් ම දිර්ඝ කාලයක් තිස්සේ කරන කැපකිරිම් ඔස්සේ බලයට පැමිණ නායිකාවක නොවේ. ඇය ඉතාමත් අහම්බෙන් හා වාසනා බලමහිමයෙන් බලයට පැමිණ නායිකාවකි. විජය කුමාරතුංග, ලලිත් ඇතුලත්මුදලි, ආර්. ප්‍රේමදාස හා ගාමිණී දිසානායක වැනි බලවත් දේශපාලන චරිත දේශපාලන භූමියෙන් ඉවත්වීම හා චන්ද්‍රිකා බලයට ඒම අතර දෛවෝපගත සම්බන්ධයක් පවතී. විජය කුමාරතුංග ජීවතුන් අතර සිටින විට එම ව්‍යාපාරය තුළ කැපී පෙනෙන චරිතය වූයේ විජේය. චන්ද්‍රිකා එම ව්‍යාපාරයේ කැපී පෙනෙන මහා චරිතය බවට පත්වන්නේ විජේග් මරණයත් සමගය. ඇය එම ව්‍යාපාරයේ මහා චරිතය බවට පත්වීමෙන් පසුත් ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි. ගාමිණී දිසානායක වැනි චරිත ඉදිරියේ ඇය මහා චරිතයක් නොවීය. ඇය මහා චරිතය වන්නේ ඒ සියලු දෙනා ද සමුගැනීමෙන් පසුවය. යටත් පිරිසෙයින් අනුර බණ්ඩාරනායක මහතා ඇයගේ සම්ප්‍රාප්තියත් සමග පක්ෂය අතනොහැර නොගියේ නම්, බණ්ඩාරනායක මහත්මිය රෝගතුර හා වියපත් තත්ත්වයකට පත්ව සිටීම තුළ ශ්‍රීලනිපයේ ඊළග චරිතය වන්නට ඉඩ තිබුණේ අනුරය. අනුරට පක්ෂය අතහැර යන්නට සිත්දෙන්නට ඇත්තේ ද ඇයට එම තත්ත්වයට එන්නට ඉඩ හැරිමට දෛවය නියම කර තිබුණු නිසා විය යුතුය. 94 පාර්ලිමේන්තු මැතිවරණයේ දි ඇයට තරග කරන්නට සිදුවූයේ ප්‍රේමදාස මහතා නායකත්වය දෙන එජාපයකට නම්, සමහරවිට එජාපය නැවත බලයට එන්නට පවා ඉඩ තිබුණේය. ඒ නැතත් ඇය බලයට ආවේ ලලිත් ඇතුලත්මුදලි හෝ ගාමිණී දිසානායක වැනි මහා චරිත දෙකෙන් එකක් හෝ තවදුරටත් ජීවතුන් අතර සිටියදි නම් ඇගේ පාලනය මෙතරම් කාලයක්වත් ඔරොත්තු නොදෙන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් මල්ලී අනුර බණ්ඩාරනායකට පක්ෂය අතහැර යන්නට සිත් පහළවීමේ සිට අන් මහා දේශපාලන චරිත දේශපාලන ලෝකයෙන් ඉවත්වීම දක්වා වන සිදුවීම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දේශපාලන තිරයේ කැපී පෙනෙන තත්ත්වයක් ලබාදෙමින් ඇය බලයට ගෙන ඒම පිණිසම සිදුවූ දෛවෝපගත සිද්ධීන් ලෙස සැළකිය හැකි ය.

ඒ අර්ථයෙන් ඇය ඉතාමත් වාසනාවන්ත වුවත්. ඇගේ අනාගත විනාශයට හේතුවන සමහරක් අවාසනාවන්ත ලක්ෂණ ඇගේ වාසනාව තුළම සැගවී තිබුණි. බලයට පැමිණීම අහම්බගත හා වාසනාව මත පමණක් සිදුවූ දෙයක්වීම නිසාම දේශපාලන බලය තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම, පළපුරුද්ද හා තැන්පත්කම ඇය සතු නොවූවාය. ඒ අඩුව ආරම්භයේ දි ඇගේ මවට ද, තිබුණාය. එහෙත් රාජ්‍ය පාලනයට දෑනුවත් හා පළපුරුද්දක් ඇති පුද්ගල පිරිසකගේ සහාය ඇතිව රට පාලනය කරන පිළිවෙතක් තුළ ඒ අඩුව සපුරා ගැනීමට ඈ සමත් වූවාය. දැනුම ඇති පළපුරුදු අයට ඇහුම්කන් දිමේ අපූරු ගුණයක් මව සතුව තිබුණත්, දුවගේ හැසිරිම ඊට සහමුලින් වෙනස් විය

හැමවිටමත් ඇය කෙරෙන් ප්‍රකාශ වූයේ තමන් හැමදෙයක්මත් හැමකෙනකුටමත් වඩා දන්නා බව පෙන්නුම් කරන ආකල්පයකි. ඒ නිසා දැනුම හා පළපුරුද්ද ඇති අය ඇය සමග වැඩකිරීමට කැමති නොවූ අතර, ඇය ද කැමැත්තක් දැක්වූයේ දැනුම අඩු නොපළපුරුදු අය සමග වැඩ කිරීමටය. ඇය තැන්පත්කම සැළකුවේ නියාලු කමක් ලෙසය. දඩබ්බරකම සැළකුවේ යහපත් බවේ හා නිර්භීත බවේ ලක්ෂණයක් ලෙසය. පළපුරුදු ජේ‍යෂ්ඨ අය නොසළකා එස්.බී., මංගල වැනි නොපළපුරුදු කනිෂ්ඨ අයට ඇමති මණ්ඩලයේ වැඩි බලතල ලබාදෙන පිළිවෙතක් භයානක ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බවට ධර්මසිරී සේනානායක ආරම්භයේ දි කරන ලද අනතුරු ඇගවීම නොසැළකුවා පමණක් නොව, ඒ හේතුව මතම ඔහු කොන් කරන ප්‍රතිපත්තියක් ද අනුගමනය කළාය. ධර්මසිරී සේනානායක. ලක්ෂ්මන් ජයකොඩි. මහින්ද රාජපක්ෂ වැනි පළපුරුදු තැන්පත් අය ඇය දැක්කේ ආත්ම ශක්තියක් නැති නිවට නියාලුන් පිරිසක් ලෙසය. ඒ වෙනුවට එස්.බී., මංගල වැනි අය කෙරෙන් ප්‍රකාශ වන දඩබ්බර පිළිවෙත් අගේ කරමින් ඔවුන් මත යැපෙන පිළිවෙතක් අනුගමනය කළාය. එහි තර්කානුකූල ප්‍රතිඵලය වූයේ ඇගේ රාජ්‍ය පාලනය අවුල් ජාලාවක් බවට පත්වීමය.

ඇය අතින් සිදුවූ බලවත්ම දේශපාලන අපරාධය ලෙස සැළකිය හැක්කේ ඇය බලයට පත්කිරීම කෙරෙහි බලපෑ විශේෂ සමාජණී දේශපාලන පරීසරයත්, ඒ පරීසරය තුළ මහජනයා කෙරෙන් ප්‍රකාශ වූ අහිංසක දේශපාලන අභිලාෂයනුත් නොසළකා ක්‍රියාකිරීමය. මහජනයා ඇගෙන් බොහෝ දේ අපේක්ෂා නොකළේය. අපේක්ෂා කළ එකම දේ වූයේ යහපත් හා සදාචාරාත්මක දේශපාලන පරිසරයක් ඇති කිරීම පමණය. පැරණි එජාප ආණ්ඩු පාලන කාලය තුළ රජ කළ භීෂණය සහ දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට සමස්ත දේශපාලන ක්‍රමයම පත්ව තිබුණේය. මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කොට හැම මිනිසකුටම ගෞරවයෙන් ජීවත්විය හැකි දේශපාලන වටපිටාවක් ඇති කිරීම මහජනයා ඇගෙන් අපේක්ෂා කළ වැදගත්ම කාර්ය භාරය වූයේය.

ජේ.ආර්. ජයවර්ධන මෙන් නොවණී චන්ද්‍රිකා බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාවක් ඔස්සේය. ජේ.ආර්. ජයවර්ධන ප්‍රධාන කොට කතා කළේ ආර්ථික කාරණා ගැනය. මහජනයාට අඳින්නට සිදුවී ඇති භූමිතෙල් ගඳ රෙදිපිළි ගැනය. හාල් පොලු නිසා ඇතිවී තිබෙන පීඩනය ගැනය. සතියකට දෙවරක් මඤ්ඤොක්කා කන්නට බල කරන නීති රිති ගැනය. එහෙත් චන්ද්‍රිකාගේ කතිකාව ඊට වෙනස්ය. ඇය වඩාත්ම කතා කළේ විධායක ජනාධිපති ක්‍රමයණී දේශපාලන ක්‍රමයේ ඇති කර තිබුණු විකෘතියේ තරම ගැනය. මහජනයාට ලැබිය යුතුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැනය. රටේ තිබුණු දූෂණය හා භීෂණය ගැනය.

මහජන නියෝජිතයන් ලෙස තේරි පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පිරිහී තිබෙන දේශපාලන සදාචාරය ගැන ඇය කතා කළාය. මන්ත්‍රීකම මහජනයාට සේවය කරන මාර්ගයක් වෙනුවට පහසු ධන උපයන මාර්ගයක් බවට පත්ව තිබෙන ආකාරය ගැන ඈ කතා කළාය. විධායක ජනාධිපති ක්‍රමය සේ ම පැජරෝ සංස්කෘතිය ද අහෝසි කරන බව ඇය කීවාය. රාජ්‍ය නායකයා ඇතුළු කැබිනට් ඇමතිවරුන්ගේ පාරදෘශ්‍ය භාවය සහතික කරනු පිණිස ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධ කළයුතු තත්ත්වයක් ඇති කරන බව ඈ කීවාය.

එහෙත් බලයට පත්වීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළා පමණක් නොව පැජරෝ සංස්කෘතිය ද අහෝසි නොකළාය. ඒ වෙනුවට මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහනවල එන්ජින් ධාරීතාව සඳහා පනවා තිබුණු සීමාවන් ද ඉවත් කළාය. ආණ්ඩු පක්ෂයේ නිල නොදරන මන්ත්‍රීවරුන් අමාත්‍යංශවල උපදේශකයන් ලෙස පත්කරමින් ඔවුන්ට රජයේ වියදමින් රියැදුරකු, ඉන්ධන වියදම් සමග අතිරේක වාහනයක් ද ලබාගත හැකි ක්‍රමයක් ඇති කර දුන්නාය. අලිමංකඩ කඳවුර අත්හරීන්නට සිදුවීමෙන් පසුව මහජනයා මත පටවන බදු බර ඉහළ දෑමීමෙන් නොනැවතී ආරක්ෂක අරමුදල සඳහා මසකට දින දෙකක වැටුප් පරීත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියාය. ඒ සමග පස් වසර අවසන් කළ මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන සඳහා අතිරේක බලපත්‍රයක් ලබාදෙන්නට යන බවට පුවත්පත්වල පළවීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රටේ පවතින විශේෂ යුද්ධ තත්ත්වය සළකා පස් වසර සම්පූර්ණ කළ මන්ත්‍රීවරුන්ට අතිරේක වාහනයක් සඳහා බලපත්‍ර ලබාදිමට ක්‍රියාත්මකවෙමින් තිබුණු වැඩපිළිවෙළ ජනාධිපතිනිය විසින් අහෝසි කළ බවය. එහෙත් එය මහජනයා රැවටීම පිණිස කරන ලද බොරු ප්‍රකාශයක් පමණක් වූ අතර, පස් වසර සම්පූර්ණ කළ මන්ත්‍රීවරුන්ට පමණක් නොව දිනක් හෝ දෙකක් පමණක් පාර්ලිමේන්තුවේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට පවා තීරු බදු රහිත බලපත්‍ර ලබාදෙන ප්‍රතිපත්තියක් හොර රහසේ පවත්වාගෙන ගියාය. එජාප ආණ්ඩුව සිය පාලන කාලය තුළ තමන්ගේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සරුසාර ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඔවුන් ඉඩම් හිමි පන්තියක් බවට පත් කළා සේ පොදු පෙරමුණු ආණ්ඩුව ද ඇමතිවරුන්ට මත්පැන් බලපත්‍ර 3ක් ද. මන්ත්‍රීවරුන් සඳහා මත්පැන් බලපත්‍ර එකක් ද යනාදි වශයෙන් මත්පැන් බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් මගින් ඔවුන් තැබෑරුම් හිමි පන්තියක් බවට පත් කරමින් පොදු පෙරමුණ තැබෑරුම් හිමියන්ගේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කළාය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් යටතේ රාජ්‍ය පාලිකාවක් ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී ශික්ෂණයක් තමන්ට ඇති බව ඔප්පු කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමත් වී නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයෙක් ආයුධ බලය හෝ බාහු බලය කෙරෙහි නොව, මහජනයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. මහජන ඇනවුමක් ඇතිවිට පාලනය බාරගැනීමටත්, මහජනයා ප්‍රතික්ෂේප කරන විට පාලනය අත්හැර යාමටත් අවශ්‍ය හික්මීමක් එවැන්නකු සතු විය යුතුය. එහෙත් එම ශික්ෂණය තමන් සතු බව ඔප්පු කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමත් වී නැත.

ඇය බලයට ආවේ මහජනයාගේ බලය මත පිහිටාය. එහෙත් බලයට ඒමෙන් පසු බලය රැකගැනීමට උත්සාහ කළේ මහජන බලය මත නොව, බාහු බලය මත පිහිටාය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් මහජන නියෝජිත පාලනයක් වේ නම්, මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීම රාජ්‍ය නායකයා හෝ රාජ්‍ය නායිකාව සතු වගකීමකි. එජාප ආණ්ඩුවත් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවට ජනමතවිචාරණයක් ආදේශ කරගැනීමෙන් නොනැවතී ආයුධ සන්නද්ධ කණ්ඩායම් යොදා ඡන්ද පොළවල් ආක්‍රමණය කොට බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවන ක්‍රමයක් මගින් මැතිවරණ ක්‍රියාවලිය අන්ත දූෂිත තත්ත්වයකට පත් කරන ලද බව සත්‍යයකි. එහෙත් යටත් පිරිසෙයින් ඊට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් එල්ලවෙමින් තිබූ බලපෑම් මත 1991 පළාත් පාලන මැතිවරණයේ සිට චන්ද්‍රිකා බලයට පත්කිරීමට හේතුවන 1994 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පැවති ඡන්ද නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවතුණි. මැතිවරණ ක්‍රියාවලියක් තුළ තිබිය යුතු නිදහස් හා සාධාරණ බව තහවුරු කිරීමට අවශ්‍ය කරන හැම දෙයක්මත් කරන බවට පොරොන්දු වී බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඡන්ද දූෂණයේ දි එතෙක් එජාපය තබා තිබූ සියලු වාර්තා බිඳහෙළමින් මහජන මතය අමු අමුවේ කොල්ලකන ඡන්ද ක්‍රමයක් පවත්වාගෙන ගියාය. ඒ මගින් තමන් ගමන් කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මාවතක් ඔස්සේ නොව, ඊට වෙනස් ඒකාධිපති ජුන්ටා පාලන ක්‍රමයක් කරා බව මනා ලෙස සනාථ කොට ඇත්තේය.

ඒ අර්ථයෙන් මේ මැතිවරණය චන්ද්‍රිකා පාලනයට පමණක් නොව. රටේ පැවැත්මට ද වැදගත්ය. එජාප පාලන යුගයේදිත්, සියලු අමනකම් හා සාහසිකකම් සිදුවූයේ පළමු හය අවුරුද්දේ දි නොව, දෙවැනි හය අවුරුද්දේදිය. චන්ද්‍රිකා පාලනයේ කෘරත්වයේ සැබෑ හැඩතල අපට දක්නට ලැබෙනවා නම් දක්නට ලැබෙනු ඇත්තේ ද ඊළග හය අවුරුද්දේදිය. එවැන්නකට ඉඩ දෙනවාද, නැද්ද යන්න තීන්දු කළයුත්තේ සමාජයයි.