මහින්ද රනිල් පොරය

January 13, 2008
Publication:
In this political system the ruler and the leader of the opposition can survive only by destabilising each other, Ivan writes, and the system has decayed far enough that each attempt weakens both. He reads Ranil Wickremesinghe waiting to be chosen as the next saviour and Mahinda Rajapaksa waiting on the war, and says both are prisoners of the same corrupt arrangement.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය අනුව පාලකයාට හා ප්‍රතිපක්ෂ නායකයාට සිය පැවැත්ම රැකගැනීමට සිදුවී තිබෙන්නේ එකිනෙකා අස්ථාවර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමෙනි. එම ක්‍රියාවේදී වැඩි වාසිය ලැබී ඇත්තේ පාලකයාට වුවත්, කලාතුරකින් හෝ පාලකයා අස්ථාවර කිරීමේ හැකියාව ප්‍රතිපක්ෂ නායකයාට ලැබෙන අවස්ථා ද පවතී. එහෙත් පවතින දේශපාලන ක්‍රමය ගරා වැටී තිබෙන ප්‍රමාණය අනුව පාලකයා විසින් ප්‍රතිපක්ෂ නායකයා අස්ථාවර කිරීමට දරන උත්සාහයක් ප්‍රතිපක්ෂ නායකයා බෙලහීන කිරීමට හේතුවීමෙන් නොනැවතී පාලකයා ද පෙරළා බෙලහීන කිරීමට හේතුවනවා සේ ම පාලකයා අස්ථාවර කිරීමට ප්‍රතිපක්ෂ නායකයා දරන උත්සාහයත්, පාලකයා බෙලහීන කිරීමට හේතුවනවාට අතිරේකව ප්‍රතිපක්ෂ නායකයා බෙලහීන කිරීමට ද හේතු වේ. රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්ෂ මහතා සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට අවශ්‍ය වූයේ ආණ්ඩුව සමඟ අන්‍යෙන්‍ය අවබෝධයකින් වැඩ කිරීමට තිබුණු අවංක වුවමනාව නිසා නොව, තම පක්ෂයෙන් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතුවීම වළකා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙනි.

අනෙක් අතට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇති කරගත් අවබෝධතා ගිවිසුම නොසලකා එජාපයෙන් මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එකතු කරගන්නේ ඇති කරගත් අවබෝධතා ගිවිසුම පිළිබඳ විශ්වාසයක් නොතිබුණු නිසාය. ජනතා විමුක්ති පෙරමුණ මත අනවශ්‍ය ලෙස යැපෙන තත්ත්වයෙන් අත් මිදීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූ අතර, එජාපයෙන් මුළුමණින්ම යැපෙන තත්ත්වයකට පත්වීමට ද කැමති නොවීය. ජවිපෙ අතහැර එක්සත් ජාතික පක්ෂය මත මුළුමණින් රඳා පවතින තත්ත්වයකට ගියහොත් එම පක්ෂයට තමන් කැමති මොහොතක ආණ්ඩුව අස්ථාවර කිරීමේ බලය ලැබෙන නිසා එජාප මත රඳා පවතින ක්‍රමයකට වඩා එජාපයෙන් මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීම මගින් ජවිපෙට එල්ල වී තිබෙන අභියෝගය ජයගැනීමට ජනාධිපතිවරයා කල්පනා කළේය. එම ප්‍රතිපත්තිය එජාප බෙලහීන කිරීමට හේතු වුවත්, ආණ්ඩුව ද දුර්වල කිරීමට මිස, ශක්තිමත් කිරීමට හේතුවූයේ නැත.

කේක් ගෙඩියෙන් වැදගත් කොටසක් එජාපයෙන් ආ කණ්ඩායමට බෙදා දෙන්නට වීම නිසා එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කලකිරීමට හේතුවිය. ආණ්ඩු පක්ෂය තුළ සුළු වශයෙන් හෝ නායයෑමක් ඇති කිරීමට ද එය හේතුවිය. අතිවිශාල කැබිනට් මණ්ඩලයක් ඇති කරන්නට සිදුවීම නිසා දේශපාලන තන්ත්‍රය නඩත්තු කිරීමට යන වියදම විශාල ලෙස ඉහළ ගියේය. කැබිනට් මණ්ඩලයේ අතිවිශාලත්වය ආණ්ඩුව කෙරෙහි පැවති මහජන විශ්වාසය දුර්වල කිරීමට හේතු විය. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන්ට ද ඔවුන්ගේ හැකියාවන්ට ගැලපෙන තත්ත්වයක් ලබාගැනීමට හැකි නොවීය. ඔවුන්ට නැවත එජාපයට යෑමේ හැකියාවක් නැතත්, ඔවුන් ද ඉන්නේ අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් යන දෙකම නැතිවූ තත්ත්වයකය. ඔවුන්ගේ පැමිණීමෙන් පසුත් දැන් නැවත ආණ්ඩුව වැටී සිටින්නේ ජේවීපීය මත යැපිය යුතු තත්ත්වයකටය. ආණ්ඩුව පෙරළා දමන්නට දරන උත්සාහය තුළ රනිල්ට සිදුවූයේ ද ඒ දේමය.

මංගල – ශ්‍රීපති හා චන්ද්‍රිකාගේ ආධාර ඇතිව ආණ්ඩුවෙන් සැලකිය යුතු පිරිසක් විරුද්ධ පක්ෂයට එකතු කරගැනීමට හැකිවීම මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ අතිවිශාල අර්බුදයකට තල්ලු කිරීමට හැකිවනු ඇතැයි රනිල්ගේ විශ්වාසය වී තිබුණි. ඒ නිසා මංගලට හා ශ්‍රීපතිට අතිවිශාල වැදගත්කමක් ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ මගින් පක්ෂය තුළ අනවශ්‍ය අභ්‍යන්තර අතෘප්තියක් ඇතිකර ගත්තේය. අයවැයේදී ආණ්ඩු පෙරළීමක් ගැන වහසි බස් කතා කරන්නට ගොස් පස්ස බිම ඇණ ගත්තේය. පාක්ෂිකයන් තුළ ඉක්මණින් බලය අල්ලා ගැනීමක් පිළිබඳ අනවශ්‍ය බලාපොරොත්තු ඇති කොට ඔවුන්ට තිබුණු විශ්වාසය ද හීන කරගත්තේය. මෙම නායකයන් දෙපළම ක්‍රීඩා කරමින් සිටින්නේ තමන් ද විනාශයට පත්වෙමින් මුළු රට ද විනාශයට ලක්වන ආකාරයටය. තමන් දූෂිත හා දුෂ්ට දේශපාලන ක්‍රමයක සිරකරුවන් බවට පත්ව සිටින බව තේරුම් ගැනීමට මේ නායක දෙපළ සමත් වී නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකරමින් සිටින්නේ මෙම දේශපාලන ක්‍රමය තුළ වෙනත් ඕනෑම නායකයකු විසින් ක්‍රියා කරන ආකාරයටය. මහින්ද වෙනුවට රනිල් බලයේ සිටියේ නම් ඔහු ක්‍රියාකරනු ඇත්තේ ද මීට සමාන ආකාරයටය. අනෙක් අතට රනිල් වෙනුවට මහින්ද විරුද්ධ පක්ෂ නායකයාව සිටියේ නම්, ඔහු ක්‍රියා කරනු ඇත්තේ ද දැන් රනිල් ක්‍රියාකරමින් සිටින ආකාරයටය. එහිදී ක්‍රියා කරන ශෛලියේ වෙනස්කම් තිබිය හැකි වුවත්, වඩා වෙනස්වනු ඇත්තේ ප්‍රමාණාත්මක වශයෙන් මිස, ගුණාත්මක වශයෙන් නොවේ. මේ නායක දෙපළම සිටින්නේ අර්බුදයකය. එහෙත් ඔවුන් දෙපළම ලස්සන හීන දකිනවා මිස තමන් මුහුණ දී තිබෙන අර්බුදයේ ඇත්ත යථාර්ථය තේරුම් ගැනීමට සමත් වී නැත. ප්‍රභාකරන් පරාජය කොට ලබන යුදමය ජයග්‍රහණයක් මගින් හිමිකර ගන්නා සුභ අනාගතයක් ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහින දකී.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ පාලනය තුළ රට අන්ත අගාධයකට තල්ලු වී යන තත්ත්වයක් තුළ මහජනයා තමන් ඊළඟ ගැලවුම්කාරයා ලෙස තෝරාගනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා සිහින දකී. යුදමය තලයේ ප්‍රභාකරන්ට තිබූ අතිවිශාල ආධිපත්‍යය විශාල ප්‍රමාණයකට හීන කිරීමට මහින්ද රාජපක්ෂ පාලනය සමත් වී තිබෙන බව සැබෑවකි. එහෙත් ඒ නිසා ඉතා ඉක්මණින් ප්‍රභාකරන් මුළුමණින් පරාජය කරන්නට හැකිවනු ඇතැයි කිව නොහැකිය. කොයි මොහොතක හෝ ප්‍රමාණයෙන් විශාල විනාශයක් ඇති කිරීමට ප්‍රභාකරන් සමත් වෙතොත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කෝපයෙන් ප්‍රතික්‍රියා කරන තැනකට යනු ඇත්තේ ද වර්තමානයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද්ධ වැඩපිළිවෙළ ගැන ආශ්වාදයෙන් කතා කරන මහජනතාවමය. යුද්ධයකින් ලබන අවසාන ජයග්‍රහණයක් පවා පාලකයාගේ පැවැත්ම හැමවිටම දීර්ඝ කරන්නේ නැත. දෙවන ලෝක යුද්ධයේදී වින්සන්ට් චර්චිල් ඉංග්‍රීසි ජනතාවගේ ආශ්වාදයට හා ගෞරවයට හේතු වුවත්, යුද්ධයේ අවසානයත් සමග දැන් අපට චර්චිල් තවදුරටත් අවශ්‍ය නැතැයි සිතන තැනකට ඉංග්‍රීසි ජනතාව පැමිණියේය.

යුද්ධය අවසන් කොට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී චර්චිල් පරාජය වී ඇට්ලි ජයගත්තේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ දකිමින් සිටින සිහිනය ද විකාරයකි. ප්‍රභාකරන් එල්ල කරන විනාශකාරී ප්‍රහාරයකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම විනාශ වී ප්‍රභාකරන් ශක්තිමත් වන්නේ නම්, ඒ තත්ත්වය ඊළඟට බලයට එන පාලකයා කෙරෙහි ද විනාශකාරී ලෙස බලපායි. ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයක් හෝ විදේශ හමුදා එවන තත්ත්වයක් විනාශකාරී ලෙස බලපාන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පමණක් නොව මුළු රටටමය. එවැනි තත්ත්වයක් ඊළඟට බලයට එන පාලකයා කෙරෙහි ද විනාශකාරී ලෙස බලපායි. මට ඉඩ නොලැබිණි නම් මුළු රටම වුවත් විනාශවූවාට කමක් නැතැයි සිතන ප්‍රතිපත්තියක් පොදු යහපතට හේතුවන්නේ නැත. මේ නායක දෙපළගේ හා රටේ ද ගැලවීම ඇත්තේ ගරා හැලෙමින් පවතින දේශපාලන ක්‍රමයේ සිරකරුවන් ලෙස ක්‍රියාකරන තත්ත්වයෙන් අත්මිදී දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න තැනකට ගැනීමට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් සඳහා එකඟතාවකින් ක්‍රියා කරන අතර, ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමට මුල පිරීමෙනි.

මෙම දේශපාලන ක්‍රමය අන්ත දූෂිතය. මේ ක්‍රමය ඇතිවීමෙන් පසු කිසිම නායකයකු පිරිසිදු පාලනයක් පවත්වාගෙන ගියේ නැත. හැම නායකයෙක්ම සිය දේශපාලන සහචරයන් සමග එකට එකතු වී රටේ පොදු වස්තුව කොල්ලකෑහ. ඒ සියලු දෙනා විසින් කොල්ලකෑ ධනය මහා භාණ්ඩාගාරයට ගියේ නම් අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, මගී ප්‍රවාහනය වැනි මහජන සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට හා නවීන කිරීමට අවශ්‍ය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නට ඉඩ තිබුණේ නැත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ඇති ඉඩම්වලින් දේශපාලකයන් හා ඔවුන්ගේ හෙංචයියලා නාමික මිලකට අත්පත් කරගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයක් ලෙස සලකා ඒ ඉඩම් විවෘත වෙළඳපොළේ පර්චසයක් රුපියල් දස දහස බැගින් විකුණුවේ නම්, භාණ්ඩාගාරයට ලැබෙන ආදායම කෝටි 16,000කි. මත්පැන් බලපත්‍ර නාමික මිලකට හෙංචයියලාට දෙන ක්‍රමයක් වෙනුවට විවෘත වෙළඳපොළේ තරගකාරී මිලකට විකුණන ප්‍රතිපත්තියක් මගින් හැම පස්වසරකට වරක්ම ඉපයිය හැකි ආදායම මිලියන 2000කට වැඩිය.

මාර්ග බලපත්‍ර හා ගුවන් විදුලි විකාශන බලපත්‍ර හෙංචයියන්ට නාමික මිලකට දෙන ප්‍රතිපත්තියක් වෙනුවට තරගකාරී මිලකට විකුණන ප්‍රතිපත්තියක් මගින් අතිවිශාල ආදායමක් ඉපයිය හැකිය. ආණ්ඩුවේ ව්‍යාපාරික ආයතන නාමික මිලකට හෙංචයියන්ට විකුණන ප්‍රතිපත්තියක් වෙනුවට විවෘත වෙළෙඳපොළේ තරගකාරී මිලකට විකුණන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම්, මෙතෙක් විකුණන ලද ආයතනවලින් උපයන ලද ආදායම මේ රට නවීන රටක් බවට පත්කරන්නට ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. මේ රට සංවර්ධනය කිරීමට හා නවීන කිරීමට අවශ්‍ය තරම් මුදල් නැතැයි කියන කතාව විකාරයකි. හැම ආණ්ඩු පාලනයක් තුළම සිදුවන පොදු වස්තු කොල්ලයේ ප්‍රමාණය දෙස බලන විට රට මේ මට්ටමෙන් හෝ ඉතිරිවී තිබීම රටේ වාසනාවක් ලෙස සැලකිය හැකිය. නායක දෙපළ ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා පොදු එකඟතාවකට එමින් අන් පක්ෂවල ද සහාය ලබාගනිමින් යහපත් පිරිසිදු, කාර්යක්ෂම හා භේදයකින් තොරව පුරවැසියන් ආදරයෙන් රැකබලා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් සහතික කරන දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමට සමත් වේ නම්, නායකයන් දෙපළගේම පැවැත්ම ශක්තිමත් වනු ඇතිවා සේ ම, ඔවුන් මහජනයාගේ ගෞරවයට ද හේතුවනු ඇත්තේය.

එසේ නොවී මේ දූෂිත දේශපාලන ක්‍රමයේ සිරකරුවන් ලෙස ක්‍රියා කරයි නම්, මේ ක්‍රමය තුළ බලයට පැමිණි අන් සියලු නායකයන්ට සේ ම මේ නායක දෙපළට ද ඉතිහායේ කුණු බක්කියට වැටෙන්නට සිදුවනු නොඅනුමානය.

දූෂණය ජයගැනීම