ජනතාවට පොත පෙරළීම

August 7, 2005
Publication:
Chandrika Kumaratunga has had her biography written by a well-known biographer, with the publisher's US$40,000 fee paid by the Ports Authority under Mangala Samaraweera and launches planned from Oslo to Berlin at public expense. Ivan traces the practice to J.R. Jayewardene, then turns to a heartless Parliament and the coming Supreme Court interpretation, noting that everyone has suffered at the Chief Justice's hands except the President.

අවසානයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ප්‍රකට චරිත කතා රචකයකු ලවා සිය චරිත කතාව ලියවා ගත්තාය. ප්‍රකාශකයාට ගෙවන ලද මිල රුපියල් ලක්ෂ 40කි. එම ලක්ෂ 40 ගෙව්වේ ද ජනාධිපතිනියගේ බූදලයෙන් නොව මහජන මුදලිනි. ප්‍රකාශකයාගේ මිල වූ ඇමරිකන් ඩොලර් 40,000 මිල ගෙවන ලද්දේ ඇමති මංගල සමරවීර යටතේ පවත්නා වරාය අධිකාරියයි.

පොත ප්‍රකාශයට පත් කිරීමේ උළෙල 29 වැනිදා කොළඹදි පවත්වන ලද අතර, ඒ වෙනුවෙන් තවත් එවැනි උත්සව ගණනාවක් ඔස්ලෝ නගරයේ ද, නිව්යෝක් හා වොෂින්ටන් නගරවල ද මොන්ට්‍රියාල්, පැරගුවේ හා බර්ලින් යන නගරවල ද පැවැත්වීමට නියමිතය. ඒ සියලු උත්සව වෙනුවෙන් වියදම් දරන්නට සිදුවනු ඇත්තේ ද රටේ බදු ගෙවන මහජනතාවටය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද මහජන වියදමෙන් ෆෝවාර්ඩ් රිගින්ස් හා කේ.එම්. ද සිල්වා යන මහාචාර්යවරුන් ලවා සිය චරිත කතාව ලියවා ප්‍රකාශ කරවා ගත්තේය. එය ජේ.ආර්. ජයවර්ධනගේ චරිත කතාව වනවාට අතිරේකව රටේ නූතන දේශපාලන ඉතිහාස කතාව ලෙස සැලකිය හැකි හොඳ පොත් පෙළක් ලෙස ද සැලකිය හැකිය.

ඩී.ඇස්. සේනානායකගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග දක්වා වන මෙතෙක් බලයට පැමිණි රාජ්‍ය නායකයන් ගැන චරිත කතා ලියැවී ඇතත්, මෙම එකම නායකයකු අතින්වත් වැදගත් කොට සැලකිය හැකි එකම පොතක්වත් ලියැවී නැත. එහෙත් ඉන්දියාවේ ගාන්ධිගේ සිට වර්තමාන අගමැති මන්මෝහන් සිං දක්වා වන සියලු දේශපාලන නායකයන් අඩුම වශයෙන් විෂය වැදගත්කමක් ඇති එක පොතක් හෝ ලියා තිබේ. ඉන් පෙන්නුම් කෙරෙන්නේ ඉන්දියාවට බහුශ්‍රැත නායකයන් ලැබෙන විට ලංකාවට ලැබී ඇත්තේ කිසිම ගැඹුරක් නැති පුස්සන් බවය. ඔවුන් සියලු දෙනා අතින් අඩු වැඩි වශයෙන් සිදුවී ඇත්තේ රට නගා සිටුවනවාට වඩා රට විනාශ කිරීමය. අවසානයේ එවැනි නායකයන් විශ්‍රාම යෑමෙන් පසු ඔවුන් මැරෙන තෙක් නඩත්තු කිරීමේ වගකීම ද මහජනතාව මත පැටවී තිබෙන අතර, ඔවුන්ගේ චරිත කතා සඳහා වියදම් දරන්නට සිදුවී තිබෙන්නේ ඊට අතිරේකවය.

හිතක් පපුවක් නැති පාර්ලිමේන්තුව

මේවන විට සුනාමි විපත රටට පමණක් නොව පාර්ලිමේන්තුවට ද මතක නැත. එක දිනක මේ රටේ හතළිස් දහසක් දෙනා මියගිය බව හා දශලක්ෂයකට උන්හිටි තැන් අහිමිවූ බව ඒ සියලු දෙනාට අමතකය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරුබදු රහිත වාහනවලට පොරකමින් සිටින්නේ ඒ නිසා විය හැකිය.

පැවති ක්‍රමය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තීරුබදු රහිත වාහනයක් ලැබෙන්නේ වසර 05කට වරකි. එහෙත් අවුරුදු 05 සීමාව නොසලකා සියලු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබාදිමට පසුගිය ජූනිවලදි කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඊට භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබීමෙන් පසු දැන් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව වාහන නිකුත් කෙරෙමින් පවතී.

කතානායක විජමු ලොකු බණ්ඩාර මහතා ලබාගෙන ඇත්තේ අලුත්ම අලුත් මසිඩීස් බෙන්ස් රථයකි. මිල ලක්ෂ 140කි. ආණ්ඩු පක්ෂ සංවිධායක ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා හා විරුද්ධ පක්ෂ සංවිධායක මහින්ද සමරසිංහ යන මහතුන් Nissan ක්ෂැසෙරදි වර්ගයේ වාහන ලබාගෙන ඇත. මහජන මන්ත්‍රීවරුන් 225 දෙනාට ලබාදෙන තීරුබදු රහිත වාහන වෙනුවෙන් ලක්ෂ 6000-10,000ත් අතර වියදමක් දරන්නට සිදුවනු ඇත.

මෙම මජර ක්‍රමය ස්ථාපිත කරන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාය. එය පාර්ලිමේන්තුවට එතෙක් තිබූ උත්තරීතරභාවය තමන් විසින් උදුරා ගැනීම වෙනුවෙන් විධායක ජනාධිපතිවරයාට ගෙවන්නට සිදුවූ වන්දියක් ලෙස සැලකිය හැකිය. මහජන වියදමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබාදෙන ක්‍රමයක් ඇති එකම රට ලෙස සැලකිය හැක්කේ ද ශ්‍රී ලංකාවය. වෙනත් බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ නිදහස් ගමන් බලපත්‍ර හෝ සීමිත ඉන්ධන දිමනාවක් පමණය.

රටේ පවතින නීතිය අනුව මන්ත්‍රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත වාහන විකිණීම හෝ අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන ආයතනය නිසාදෝ එම නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වලට තම තමන්ගේ දර්ශන ඇතත්, කිසිම පක්ෂයක් (විප්ලවකාරී ජනතා විමුක්ති පෙරමුණ පවා) මෙම මජර ක්‍රමයට විරුද්ධ නැත. (විරුද්ධ නොවෙමින් හෝ මෙතෙක් මෙම වරප්‍රසාදය භුක්ති නොවිඳි මිනිසා වීමේ ගෞරවය කරු ජයසූරිය මහතාට හිමිවිය යුතුය.) අපේ රටේ දේශපාලකයන් තුළ රට පිළිබඳව ඇති කැක්කුමේ තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි.

අර්ථ නිරූපණය කුමක් විය හැකිද?

ජනාධිපතිනිය ඉල්ලා සිටින අර්ථ නිරූපණයට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්න යන පිළිතුර කුමක්ද? මැතිවරණ කොමසාරිස්වරයා සිය තීන්දුව ප්‍රකාශ කර නොතිබියදි එවැනි අර්ථ නිරූපණයක් දිමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබේද?

අගවිනිසුරුවරයා ද මෙම ආරාවුලේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. ඔහු මෙම අවුලේ නිර්මාතෘවරයා ලෙස ද සැලකිය හැකිය.

පළමු ප්‍රසිද්ධියේ කළ දිවුරුම් දිමෙන් පසුව ජනාධිපතිනිය නැවත වරක් අප්‍රසිද්ධියේ තමා ඉදිරියේ දිවුරුම් දුන්නේ යැයි කියන කතාව නිර්මාණය කළේ අගවිනිසුරුවරයාය. ජනාධිපතිනිය තමන්ගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා දරන උත්සාහය අසාර්ථක වෙමින් ඇගේ නිල කාලය වේගයෙන් අවසන් වෙමින් තිබෙන අවස්ථාවක ඇගේ කාලය දිර්ඝ කරදිම පිණිස අගවිනිසුරුවරයා මෙම කතාව නිර්මාණය කරන ලද බව පෙනේ. දෙවැනිවර දිවුරුම් දෙන ලද්දේ කවදාද ඊට සහභාගි වූ අය කව්ද යන්න තවමත් අප්‍රකාශිතය.

මෙම ආරාවුලේදි අගවිනිසුරුවරයට සුපුරුදු පරිදි ජනාධිපතිනියට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිවා සේ ම එම සුපුරුදු පිළිවෙතින් අත්මිදි එනම් අවලංගුවීමට නියමිත ජනාධිපතිනිය අතහැර ප්‍රතිපක්ෂ බලවේග සතුටු කරන පිළිවෙතක් ද අනුගමනය කළ හැකිය.

සියල්ල තීරණය වනු ඇත්තේ දේශලපාලන තත්ත්වය පිළිබඳව අගවිනිසුරු කරන කිරා බැලීම අනුවය. ජනාධිපතිනිය අවලංගුවීම වැළකිය නොහැකි බව අගවිනිසුරුවරයා දනී. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා විරෝධී බලවේග සතුටු කරන අතර, ඒ සමග එජාප සතුටු කරන පිළිවෙතක් අනුගමනය කළ හැකිය.

හැම කෙනෙක්ම අගවිනිසුරුගෙන් කෑවේය. නොකෑවේ ජනාධිපතිනිය පමණය. සමහර විට මෙය ඇගේ වාරය විය හැකිය. එහෙත් ජනාධිපතිනිය ගින්නට බිලිදෙන පිළිවෙතක් තුළ ඒ ගින්නටම අගවිනිසුරුවරයා බිලිවීමේ ඉඩක් ද පවතී.