බිත්තරය සහ ගොළුබෙල්ලා

June 30, 2013
Publication:
Ivan argues that Sri Lanka is turning its back on a globalised world in which two million of its people already work abroad and foreign workers fill jobs at home. Rather than despise young people's dream of emigrating, the state should equip them with vocational training and English to go legally; the nursing schools, still teaching a 1935 syllabus in Sinhala, are his case in point. Those abroad must learn to live with other faiths and foods — the man who retches at snails peeled like eggs will not last — and Sri Lanka's image, damaged by triumphalism, follows them.

ලෝකයේ නූතන ගමන් මග නිවැරදි ලෙස තේරුම් ගනිමින්, ශීඝ්‍ර වේගයකින් එහි සිදුවෙමින් තිබෙන වෙනස්කම්වලට අනුගතවීමට හැකිවන ලෙස සමාජය සූදානම් කිරීමෙන් වැළකී සිටීම, ලෝකය ගමන් කරමින් තිබෙන පොදු ගමන් මගෙන් බැහැරව සිටින්නට උත්සාහ කිරීම හෝ ආපස්සට ගමන් කිරීමට උත්සාහ කිරීම ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ හැසිරීම විසින් පෙන්නුම් කොට තිබෙන තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

නූතන ලෝකය තවදුරටත් දේශීය වෙළෙඳපොළ සඳහා නිපදවන, දේශීය නීතිය හා ජාතික ස්වාධිපත්‍යය රජ කරන වෙන් වෙන්ව හා තනි තනිව ක්‍රියාකරන රටවල්වලින් සමන්විත ලෝකයක් ලෙස සැලකිය නොහැකිය. විදේශ වෙළෙඳපොළ සඳහා නිපදවිය යුතු, විදේශ රැකියා වෙළෙඳපොළ සඳහාත් මිනිසුන් පුහුණු කළයුතු ඒ අරමුණට ගැළපෙන අධ්‍යාපනයක් පවත්වාගෙන යායුතු දේශීය නීතියට වැඩි වැදගත්කමක් ජාත්‍යන්තර නීතියට ලබාදිය යුතු, ජාතික ස්වාධිපත්‍යය කිසියම් විශාල ප්‍රමාණයකට හකුළාගත් රටවලින් සමන්විත නවීන ලෝකයක් ලෙස සැලකිය හැකිය. ජාත්‍යන්තර වෙළෙඳ පොළවලට කරන නිපදවීම්, විදේශ රැකියා, සංක්‍රාම ආදායමට ලැබී තිබෙන විශාල වැදගත්කම, බහුජාතික සමාගම් සිය මව් රටවල පවත්වාගෙන යන කර්මාන්ත ව්‍යාපාර මගින් නිපදවනවා වෙනුවට ශ්‍රමයට අඩු මිලක් ලැබෙන රටවලට සිය කර්මාන්ත ව්‍යාපාර ගෙන ගොස් නිපදවීම, පරිගණක මෘදුකාංග ආශ්‍රිත ව්‍යාපාර බාහිර මූලාශ්‍ර වෙත පැවරීම යනාදිය නූතන ආර්ථිකයේ ප්‍රධාන ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

රැකියා වෙළෙඳපොළ

දැනටම අපේ රටේ වැඩිහිටි ජනගහනයෙන් 20 ලක්ෂයක් රැකියා කරන්නේ විදේශ රටවලය. ඔවුන්ගේ ගණන රටේ ශ්‍රම බලකායෙන් 35%ක් පමණ විය හැකිය. රට ආදායම් උපයන අන් සියලු මාර්ග අබිබවා ශ්‍රී ලංකාව විදේශ උපයන ප්‍රධාන මාර්ගය බවට පත්ව ඇත්තේ විදේශ රටවල රැකියා කරන අය රටට එවන ආදායම් ආශ්‍රයෙන් උපයන සංක්‍රාම ආදායමය. එහි වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 06කි. විදේශ රටවල රැකියා කරන්නන්ගේ සංඛ්‍යාව ඉදිරි දශක දෙක තුළ දෙගුණයකින් පමණ සමහරවිට ඊටත් වැඩි ප්‍රමාණයකින් වැඩිවිය හැකිය. ඒ සියලුදෙනාට එකවිට ලංකාවේ පුරවැසියන් ලෙස සේ ම ලෝක පුරවැසියන් ලෙස ක්‍රියාකිරීමට සිදුවන්නේය. ඔවුන් කෙරෙහි ලංකාවේ නීතිය සේ ම ඔවුන් ජීවත් වන රටවල නීතියද බලපායි. රැකියා වෙළෙඳපොළේ දක්නට තිබෙන මෙම ලක්ෂණයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ වර්ධනයද පැහැදිලිව දැකිය හැකිය. දේශීය රක්ෂා වෙළෙඳපොළේ රැකියා කරන විදේශිකයන්ගේ පංගුවද නොකඩවා ඉහළයමින් තිබෙන්නේය. වෙළෙඳ දැන්වීම් නිපදවන ලංකාවේ ප්‍රචාරක සමාගම්වල වැඩ කරන විදේශිකයන්ගේ පංගුව විශාලය. පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් හා හෙදියන් වශයෙන් වැඩ කරන විදේශිකයන්ගේ පංගුවද විශාලය. සංචාරක හෝටල් හා අවන්හල්වල කළමනාකරුවන්, අරක්කැමියන් හා සුළු සේවකයන් වශයෙන් වැඩ කරන විදේශිකයන්ගේ ප්‍රමාණයද පුංචි නැත.

මීට සති කිහිපයකට ඉහතදී රාත්‍රී ආහාර වේලක් සඳහා මගේ මිතුරකු සමග ගල්කිස්ස වැල්ලේ ඉදිකළ පොල්අතු අවන්හලකට යන්නට සිදුවිය. එහි සේවය කළ සේවකයන් වැඩි පිරිසක් පිලිපීන ජාතිකයෝ වූහ.

දැන් අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල කුඹුරු වැඩ කැරෙන කාලවලට ශ්‍රමික හිඟය පියවා ගන්නේ දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙනි. ඔවුහු කුඹුරු වැඩ කැරෙන සම්පූර්ණ කාලය මෙහි ගතකොට ආපසු දකුණු ඉන්දියාව බලා යති. දැන් ගම්වල පොල් කඩන්නන්ගේ ලොකු හිඟයක් පවතී. ඒ තත්ත්වය ජයගැනීමට අපට සිදුවනු ඇත්තේ ද විදේශ ශ්‍රමිකයන්ගෙනි. සුපර් මාර්කට්වලට අවශ්‍ය වෙළෙඳ සේවිකාවන් සඳහා ද විශාල ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතී. සමහරවිට ඒ ඉඩ පිරවෙනු ඇත්තේ ද විදේශිකයන්ගෙනි.

මගේ මතය අනුව ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය විධිමත් කොට අවශ්‍ය තරමට නවීන කිරීමට අසමත් වෙතොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපනය සඳහා ළමුන් විදේශ රටවලට යවන තත්ත්වයක් ඉක්මනින් ඇතිවිය හැකිය. තවමත් විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ අවධානය යොමුවී නැතත් වෘත්තීය අධ්‍යාපනය සඳහා ද තරුණ තරුණියන් පිටරට යවන තත්ත්වයක් ඇතිවිය හැකිය.

රට පැනීමේ සිහිනය

ප්‍රභාකරන් පරාජය කොට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කියා හැඳින්වූ පමණින් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර රජ කළ හොඳ රටකට පැනගැනීමේ සිහිනය වෙනස් වී නැත. ඒ සිහිනය වෙනුවෙන් ඔවුන් ඕනෑම අවදානමක් දරන්නට සූදානම්ය.

මා ඔවුන්ගේ සිහිනය දකින්නේ නරක සිහිනයක් ලෙස නොව හොඳ සිහිනයක් ලෙසය. ඔවුන්ගේ එම සිහිනය පවතින ලෝක යථාර්ථය සමග හොඳින් ගැළැපේ. තරුණ පරපුරේ සිහිනය එය නම් අප කළ යුතුව තිබෙන්නේ ඔවුන්ගේ එම අහිංසක සිහිනය සැබෑ කරගැනීමට හේතුවන වෘත්තීය අධ්‍යාපනයක් සමග ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් ලබාදී හොර පාරෙන් වෙනුවට නීත්‍යනුකූල මාර්ගවලින් ඔවුන්ගේ සිහිනය සැබෑ කරගැනීමට හැකි ඔවුන් කැමති රටවල්වලට යෑමට ඔවුන්ට උදව් කිරීමය.

සංක්‍රාම ආදායම ලංකාව විදේශ විනිමය උපදවන ප්‍රධාන මාර්ගය වී ඇතත්, විදේශීය රැකියා අංශය සැලසුම් කොට විධිමත්ව පවත්වාගෙන යන අංශයක් නොව අවිධිමත් ලෙස පවත්වාගෙන යන අංශයකි. ගෘහසේවය ජනප්‍රියම විදේශ රැකියාව බවට පත්ව තිබෙන්නේ ඒ නිසාය. උපයන ආදායමේ ලොකු වෙනසක් ඇතත් ඉතාලිය වැනි බටහිර රටවලට පැනයන්නන්ගෙන් වැඩි කොටසක්ද සේවය කරන්නේ ගෘහසේවකයන් ලෙසය. මිනිසුන් අවිධිමත් ලෙස විදේශ රැකියාවලට යවන ප්‍රතිපත්තියක් වෙනුවට කාර්මික තාක්ෂණික පුහුණුවක්ද භාෂා අධ්‍යාපනයක් ලබාදී රැකීරක්ෂා සඳහා විධිමත් ලෙස රට යවන ප්‍රතිපත්තියක් අපට තිබුණේ නම් ගෘහසේවකයන් ලෙස අඩු වැටුපකට කාන්තාවන් පිටරට යවන ප්‍රතිපත්තියෙන් ඉවත් වී වඩා හොඳ වැටුප්වලට පුහුණු සේවකයන් රට යවන තැනකට මාරුවන්නට ඉඩ තිබුණා සේ ම එසේ වී නම් අප උපයන සංක්‍රාම ආදායම දෙගුණ තෙගුණ කරගැනීමටද හැකිවන්නට ඉඩ තිබුණි.

ලෝකයේ ඇතිවී තිබෙන හා ඇතිවෙමින් තිබෙන මහා වෙනස්කම් ඉදිරියේ දේශීය රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ලබාදෙන අධ්‍යාපනයක් හෝ පුහුණුවක් සැලකිය හැක්කේ යල් පැනගිය ප්‍රතිපත්තියක් ලෙසය. අද අවශ්‍යව ඇත්තේ විදේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ප්‍රතිපත්තියකි. ලබාදෙන අධ්‍යාපනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිති තත්ත්වයක තිබිය යුතු අතර ලබාදෙන ජාත්‍යන්තර භාෂා අධ්‍යාපනය සේ ම, වෘත්තීය අධ්‍යාපනයද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිති තත්ත්වයක තිබිය යුතුය. හොඳ රටකට පැන ගැනීමට සිහින දකින තරුණ පරපුරට ආත්ම විශ්වාසයකින් යුතුව නීති විරෝධී සංක්‍රමණ මාර්ග මගින් වෙනුවට නීත්‍යනුකූල සංක්‍රමණ මාර්ග මගින් ඒ සිහිනය සැබෑ කරගත හැකිවනු ඇත්තේ එවිටය.

එහෙත් අප තේරුමක් නැති බොරු වාද කරමින් වටිනා කාලය විනාශ කරන රටක් බවට පත්ව තිබෙනවා මිස ලෝකයේ ඇතිවී තිබෙන හා ඇතිවෙමින් තිබෙන මහා වෙනස්කම්වලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ප්‍රමාණවත් තරමින් අවධානයක් යොමු කළ රටක් ලෙස සැලකිය නොහැකිය.

මෝඩකමේ තරම පෙන්නුම් කරන හෙද සේවය

හෙද වෘත්තිය රටේ සැලකෙන්නේ ගෞරවනීය වෘත්තියක් ලෙසය. බටහිර රටවල හෙද සේවක සේවිකාවන්ට ගෙවන වැටුප වෛද්‍යවරුවන්ට ගෙවන වැටුපට වඩා වෙනස්වන්නේ ආන්තික ප්‍රමාණයකට පමණය. වයස් ගතවූවන් බලාගැනීමේ ප්‍රශ්නය දියුණු රටවලට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකු සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අතර ඒ විෂයය සඳහාම වෙන්වුණු විශේෂ හෙද සේවාවක් යුරෝපා රටවල ක්‍රියාත්මක වේ. ඒ සේවාවේ යෙදෙන්නන්ට ලොකු වැටුපක් සමග ඉඳුම් හිටුම් හා නවාතැන් පහසුකම් ද ලබාදේ. සමහර මහලු අය මැරෙන විට තමන්ගේ දේපළ අයිතිය පවරන්නේද එවැනි අයටය. ලෝක හෙද සේවය සඳහා වන ඉල්ලුමෙන් කිසියම් පංගුවක් අප රට වෙත හිමිකර ගැනීමේ ඇත්ත හැකියාව ශ්‍රී ලංකාවට ඇතත් ශ්‍රී ලංකාව අද දක්වා ඒ සඳහා වන බැරෑරුම් අවධානය යොමු කිරීමට අසමත්ව තිබෙන මෝඩ රටක් ලෙස සැලකිය හැකිය.

හෙදියන් පුහුණු කිරීමේ ඒකාධිකාරී අයිතිය රජය තමන් වෙත තබාගෙන සිටී. පුද්ගලික රෝහල් පවත්වාගෙන යෑමට ඉඩදී ඇතත් ඒ රෝහල්වලට අවශ්‍ය හෙදියන් පුහුණු කරගැනීමේ අයිතිය පුද්ගලික රෝහල්වලට ලබාදී නැති අතර ඒවාට අවශ්‍ය හෙදියන් ලබාදෙන වැඩපිළිවෙළක් රාජ්‍ය අංශයටද නැත.

පරිපූරක සෞඛ්‍ය සේවාවන් සඳහා අවුරුදු හතරක උපාධි පාඨමාලාවක් ස්ථාපිත කරන ලදි. වෛද්‍යවරුන්ගෙන් එල්ලවූවේයැ”යි කියන විරෝධය නිසා පාඨමාලාවේ කාලය අවුරුදු 3 දක්වා පසුව අඩු කරන ලදි. රටේ මොනවා ඇති කළද කෑගසන සුළු පිරිසකට ඒවා හොඳට හෝ නරකට වෙනස් කළ හැකිය.

හෙදියන් පුහුණුකරන හෙදි අභ්‍යාස විද්‍යාල සැලකියයුතු ගණනක් ඇතත්, තවමත් ඒවායේ භාවිත කරන්නේ 1935දී ඇති කරගත් පාඨමාලාය. එම පාඨමාලා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයකට ගෙන ඒමේ අවශ්‍යතාව තාමත් සලකා බලා නැත. පාඨමාලා සඳහා බඳවාගන්නේ උසස් පෙළ සමතුන් වුවත් පාඨමාලා උගන්වනු ලබන්නේ සිංහල භාෂාවෙනි. පුහුණු කිරීම සඳහා යොදාගන්නා පාඨමාලා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයක නොපවතී නම් හා ඔවුන්ට වැඩකළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් නම් එම විෂයයේදී ඔවුන් කිසිවකුට විදේශීය රැකියා බලාපොරොත්තු විය නොහැකිය. මේ විෂයයේදී එකවිට හොඳ විධිමත් පුහුණුවක් ලබාදීමට පුළුවන්කම තිබියදී එය නොසලකා සිටීමෙන් සිදුවන්නේ කිසියම් විශාල ප්‍රමාණයකට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කිරීම නොවේද?

ආණ්ඩුවට ඇත්ත අවශ්‍යතාවක් ඇත්නම් ලංකාවේ සියලු හෙද විද්‍යාල ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තිබෙන හෙද විශ්වවිද්‍යාලයට බද්ධ කොට ඒ සියලු හෙද විද්‍යාල ජාත්‍යන්තර වශයෙන් හෙද උපාධි පාඨමාලා උගන්වන ආයතන බවට පත්කළ හැකිය. එවිට ඒවායෙන් උසස් අධ්‍යාපනයක් ලබාගන්නා කෙනකුට දේශීය රැකියා වෙළෙඳපොළ හෝ විදේශ රැකියා වෙළෙඳපොළ යන දෙකින් කැමති එකක් තෝරාගැනීමේ හැකියාව ලැබෙන්නේය. දැනට හෙද හෝ හෙදි සේවාවල යෙදී සිටින අයටද ඔවුන්ගේ පුහුණුව ලබාගෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිති තත්ත්වයකට පත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදිය හැකිය. අතුරු සෞඛ්‍ය සේවයට ඇතුළත් අන් සියලුදෙනා සම්බන්ධයෙන්ද එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිය.

බිත්තරය සහ ගොළුබෙල්ලා

ලෝකයේ දැන් ඇතිවෙමින් තිබෙන වෙනස්කම් තුළ ඉදිරියේ රටේ ශ්‍රම බලකායෙන් වැඩි පංගුවක් රැකියා කරනු ඇත්තේ විදේශ රටවලය. දෙමාපියන් ලංකාවේ ජීවත් වන විට ඔවුන්ගේ බොහෝ දරුවන් රක්ෂා කරනු ඇත්තේ විදේශ රටවලය. එසේ විදේශ රටවල සේවය කරන දරුවන් සමහරවිට අවාහ විවාහ වනු ඇත්තේ විදේශ තරුණයන් හෝ තරුණියන් සමගය. සමහරවිට අපේ රටේ ශ්‍රම බලකායෙන් ලොකු පංගුවක් සමන්විත වනු ඇත්තේද විදේශිකයන්ගෙනි.

මෙය ඉදිරියේ ඇතිවන්නට යන නොවැළැක්විය හැකි තත්ත්වයක් නම් ඉන් ලැබෙන්න යන අලාභ තුනී කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහා ශක්තිමත් ඉදිරි දැක්මක් රටට තිබේද? බොහොමයක් බුද්ධිමත් රටවලටද ඒ නිසා ඇතිවන්නට යන වෙනස්කම් පිළිබඳ සකස් කරගත් ප්‍රක්ෂේපණයන් තිබේ. ඉන්දියාවටද ඒ ගැන ඇති කරගත් තක්සේරුවක් තිබේ. රටේ ශ්‍රම බලකාය නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස විධිමත් කරගැනීම සඳහා ඉන්දියාවට විසි අවුරුදු සැලැස්මක් ඇත්තේය. ජනගහනයේදී චීනයට තිබෙන පළමු තැන අහිමි වී ඉන්දියාව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වන්නට නියමිතය. ඒ සමග චීනය මහලු වයසේ වැඩිම ජනගහනයක් සිටින රට බවටත්, ඉන්දියාව තරුණ වයසේ වැඩිම ජනගහනයක් සිටින රට බවටත් පත්වීමට නියමිතය. කැනඩාව සිය ජනගහනයෙන් ස්වභාවයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව සකස් කර තිබෙන ප්‍රක්ෂේපණයට අනුව 2020 වනවිට කැනඩාවේ සුදු ජාතිකයන් සුළුතරය බවට පත්වී අග්නිදිග ආසියානුවන් එහි ජනගහනයේ බහුතරය බවට පත්වන්නේය.

අප රටක් වශයෙන් ඉදිරියට යන්න යන්නේ රටේ ඉදිරියේ ඇතිවන්නට යන වෙනස්කම් ගැනවත් ලෝකයේ ඇතිවන්නට යන වෙනස්කම් ගැනවත් හරි තක්සේරුවක් නැතිවය. එවැනි වැදගත් දේවල් සොයා බලනවා වෙනුවට ශ්‍රී ලංකාව සිය සම්පූර්ණ කාලය ගතකරමින් තිබෙන්නේ කිසිදු වටිනාකමක් නැති ප්‍රතිගාමී හා පසුගාමී දේවලටය. ඊළඟ දශක දෙකේදී ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් විශාල පංගුවක් විදේශ රටවල සේවය කරන තත්ත්වයක් ඇතිවේ නම් හා ඉන් ලබාගත හැකි ප්‍රතිඵල ප්‍රශස්ත තත්ත්වයක තබාගැනීමට නම් ඒ සඳහා වන ශක්තිමත් දැක්මක් දැන් සිටම රටට තිබිය යුතුය.

ඔවුන්ගේ කටයුතු පහසු කරනු පිණිස ඔවුන්ට ලබාදෙන පාසල් අධ්‍යාපනයත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් වෙනත් ආකාරවලින් ලබාදෙන පුහුණුත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවන ප්‍රමිති තත්ත්වයකට ගෙනා යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන නව ආයෝජන නිර්ලෝභීව අධ්‍යාපනය වෙත යොමු කළ යුතුය. උප්පැන්න සහතිකයේ සිට නිකුත් කරනු ලබන හැම සහතික පත්‍රයක්මත් ජාත්‍යන්තර වශයෙන්ද පරිහරණය කළ හැකි තත්ත්වයකට ගෙනා යුතුය. ගුරුවරුන් නැතිනම් විදේශීය රටවලින් හෝ ගුරුවරුන් ලබාගනිමින් ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය උසස් තත්ත්වයකට ගෙනා යුතුය. සමාජ ආකල්පද ඊට ගැළපෙන පරිවර්තනයකට බඳුන් කළ යුතුය.

දැන් අපට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ ජාතීන් හතරකට හා ආගම් හතරකටද භාෂා තුනකටද සීමාවූ සරල සංස්කෘතික ලෝකයකය. එහෙත් විදේශ රටවල දැනටමත් රක්ෂාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට සේ ම අනාගතයේ රක්ෂාවලට යන ශ්‍රී ලාංකිකයන්ටද ගනුදෙනු කරන්නට සිදුවනු ඇත්තේ රටේ තිබෙන සරල පසුබිමට වඩා වෙනස් විස්තීරණ හා සංකීර්ණ ලෝකයකය. ඔවුන්ට ආගම් හතරක් වෙනුවට වඩා විශාල ආගම් සංඛ්‍යාවක් සමගත්, ජනවර්ග හතරක් සමග වෙනුවට ජනවර්ග විශාල ගණනක් සමගත් භාෂා තුනක් වෙනුවට භාෂා විශාල ගණනක් සමගත් ගනුදෙනු කරන්නට සිදුවේ. එහිදී ඔවුහු අන්‍යයන් කෙරෙහි සමාන ගෞරවයකින් ක්‍රියාකරන්නට අසමත් වෙතොත්, අන්‍යයන්ගෙන්ද ඔවුන්ට සමාන ගෞරවයක් හිමි නොවනු ඇත්තේය. තමන් පමණක් උසස් කොට සලකන ප්‍රතිපත්තියක් එම සංකීර්ණ ලෝකයට වලංගුවන්නේ නැත. දැන් අප කැමති නැති සමහර හුරුපුරුදු ඉවසන්නටද ඔවුන්ට සිදුවන්නේය. ලෝකයේ ආහාර හුරුපුරුදුද ඉතාමත්ම සංකීර්ණ හා විවිධ වේ. අමුවෙන් මස් කන ජාතීන් සිටිති. බලු මස් කන සේ ම, සර්පයන්, පණුවන් හා කෘමීන් ආහාරයට ගන්නා ජාතීන්ද සිටිති. ඒ සියල්ල ඉවසීමේ හැකියාව තිබිය යුතුය. කිසියම් රටක සේවයට ගිය ශ්‍රී ලාංකික තරුණයකු උදේ ආහාර ගැනීම සඳහා අවන්හලකට ගිය අවස්ථාවකදී ඊළඟ මේසයේ ආහාර ගන්නා කිහිපදෙනකු අප තම්බන ලද බිත්තරයක පොතු අරින ආකාරයට තම්බන ලද ගොළුබෙල්ලන්ගේ පොතු හරිමින් සිටින අවස්ථාවක් දකින්නට ලැබී ඔවුන්ගේ එම ක්‍රියාව අපේ තරුණයාගේ කෝපයට හෝ වහාම වමනය ඇති කිරීමට හේතුවන තරම් ප්‍රබල අප්‍රියාවක් ඔහු තුළ ඇති කිරීමට හේතු වුවහොත් ඔහුගේ විදේශ රැකියා ජීවිතය දුක්ප්‍රාප්තියක් බවට පත්විය හැකිය. වෙනස් ආහාර හුරු පුරුදු පමණක් නොව, වෙනත් සංස්කෘතික වෙනස්කම් ද ඉවසීමට සේ ම ඒ සියලු වෙනස්කම් නොසලකා ඒ සියලුදෙනා සමග සමාන ගෞරවයකින් ජීවත්වීමේ හැකියාවද ඔවුන්ට තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන හික්මීම දැන් සිටම ඇති කරගත යුතුය. ඒ හික්මීම ලබාගත හැකිවනු ඇත්තේ වර්ගවාදී ආගම්වාදී හා කුලවාදී ආකල්පවලින් බැහැර වී බහුත්වවාදී ආකල්ප වර්ධනය කරගැනීමෙන් පමණය.

එහෙත් අපේ රටේ තිබෙන්නේ බහුත්වවාදී ආකල්ප වර්ධනයට පොළඹවන පරිසරයක් නොව වර්ගවාදී හා ආගම්වාදී ආකල්ප වර්ධනයට පොළඹවන පරිසරයකි. ඒ මගින් අන්තවාදී බලවේගයන් කරන්නේ නූතන ලෝකයට අනුගතවෙමින් ජයග්‍රාහීවීමට සිංහල තරුණ තරුණියන්ට තිබෙන හැකියාව නැති කිරීමය.

නූතන ලෝකය මානව අයිතිවාසිකම්වලට ලබාදී තිබෙන විශාල වැදගත්කම ගැන මානවයන් වශයෙන් අප සතුටු විය යුතුවා මිස දුක්විය යුතු නැත. මුළු ලෝකයම මානව අයිතිවාසිකම්වලට උපරිම ලෙස ගරුකරන තත්ත්වයක් ඇතිවේ නම් එය සැලකිය යුත්තේ යහපත් දෙයක් ලෙස මිස අයහපත් දෙයක් ලෙස නොවේ.

රටේ ප්‍රතිරූපය

විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් කෙරෙහි රටක් වශයෙන් ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබෙන ප්‍රතිරූපයේ හොඳ නරකද බලපායි. ලෝක ජනතාවගේ ගෞරවයට හේතුවන ප්‍රතිරූපයක් ඇතිවිට එය ඔවුන්ට ගෞරවය ලබාදීමටද සැකයට හෝ අවමානයකට හේතුවන ප්‍රතිරූපයක් ඇතිවිට එය ඔවුන් කෙරෙහි සැකයෙන් හා අවමන්සහගත ආකල්පවලින් බලන තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන වැරදි සිදුකිරීමෙන් වැළකී සිටීම විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක් වන විට විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් කෙරෙහි නරක බලපෑමක් ඇති කිරීමට හේතුවන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම රටේ පාලකයන්ගේ සේ ම සමාජයේද වගකීමක් කොට සැලකිය හැකිය.

වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තිබෙන්නේ යහපත් තත්ත්වයක නොව අයහපත් තත්ත්වයකය. ඒ තත්ත්වය විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් කෙරෙහිද අයහපත් ලෙස බලපා තිබේ.

ලෝක ක්‍රිකට් කුසලානය සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කාඩිෆ්වල පැවති තරගයේදී දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළෝය. ඒ සිද්ධිය ශ්‍රී ලංකා කණ්ඩායමේ චිත්ත ධෛර්යය කිසියම් ප්‍රමාණයකට හෝ අවුල් කිරීමට හේතුවූවා විය හැකිය. දෙමළ ඩයස්පෝරාවේ අනුගාමිකයන් එහිදී කළ දේ අනුමත කළ නොහැකි වුවත් ඔවුන් අතර පවතින වෛරසහගත ආකල්පය තුරන් කිරීමට රටක් වශයෙන් අප අසමත් වී තිබීම ගැන අප කනගාටු විය යුතුය. අප යුද්ධය ජයගැනීමට සමත්ව ඇතත් සාමය ජයගැනීමට තවමත් සමත් වී නැත. ඒ මොහොතේ රටක් වශයෙන් එල්ටීටීඊයෙන් එල්ල වූ අභියෝගය පරාජය කළ යුතුව තිබුණි. එහෙත් ජයග්‍රාහකයා නිහතමානී විය යුතුව තිබුණි. ආරක්ෂක හමුදා අතින් පරාජය වූයේ විදේශ ආක්‍රමණිකයකු නොව අභ්‍යන්තර කැරලිකාර ව්‍යාපාරයකි. ඔවුහු කල්පනා කළ ආකාරය අන්තවාදී වුවත් ඔවුන් එවැනි තත්ත්වයකට තල්ලුවීම කෙරෙහි බලපෑ සාධාරණ හේතු තිබුණි. ඒ ගැනද ජයග්‍රාහකයාගේ අවධානය යොමුවිය යුතුව තිබුණි. යුද්ධය කිළිනොච්චියට පැමිණ තිබුණ අවස්ථාවේදී දෙමළ සන්ධානයේ නායක පිරිසක් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව මට ලැබුණි. මෙම අදහස් හුවමාරුවට දෙමළ සන්ධානයේ නායක සම්බන්දන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා මාවේයි සේනාධිරාජා යන අය සහභාගි වූහ. යුද්ධය දෙමළ ජනසංහාරයක් ලෙස සැලකිය හැකිදැ”යි මම සම්බන්දන්ගෙන් අසා සිටියෙමි. එය දෙමළ සංහාරයක් ලෙස හැඳින්විය නොහැකි බව කියමින් ඔහු කීවේ, එහෙත් දැන් තිබෙන්නේ උද්වේගකර අවස්ථාවක් වන නිසා එම ප්‍රකාශය තමාට ප්‍රසිද්ධියේ කිව නොහැකි බවය. එල්ටීටීඊය සාම්ප්‍රදායික දෙමළ නායකයන් වැනසීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය ගැනද ඔහු එහිදී කතා කළේය.

සාම්ප්‍රදායික දෙමළ නායකයන් වැඩි පිරිසක් එල්ටීටීඊය විසින් මරා දැමුවේය. අවසානයේ ඉතිරි වූ කිහිපදෙනා ජීවිත බේරාගත්තේ ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ ජීවත් වන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. අවසානයේ එල්ටීටීඊය ඉතා බලවත් තත්ත්වයක් හිමිකර ගැනීමෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා යටහපත් පහත්ව ක්‍රියාකරන තත්ත්වයකට තල්ලුවීමට ජීවතුන් අතර සිටින නායකයන් කිහිපදෙනාට සිදුවිය. එහෙත් ඔවුහු යටත් වූයේ කැමැත්ත නිසා නොව බිය නිසාය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ජයග්‍රාහී සිංහල නායකයා සමග එකතු වී දෙමළ ප්‍රශ්නය සාධාරණ ලෙස විසඳා ගැනීමට හැකිවනු ඇතැ”යි දෙමළ සන්ධානයේ නායකයෝ බලාපොරොත්තු ඇති කරගෙන සිටියෝය. අපට එකතු වී සාධාරණව ප්‍රශ්නය විසඳාගත හැකි නම් අපේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබී ඇති බව ප්‍රකාශ කළ හැකි තත්ත්වයක් පවතී නම් ඩයස්පෝරාවට කළ හැකි දෙයක් නැති බව දෙමළ සන්ධානයේ නායකයා තවත් වරක් මා සමග කියා සිටියේය. ඔහු යුද්ධය අවසන් වූ වහාම සිය පක්ෂයේ උත්සව සභාවක් ආරම්භ කළේ ජාතික ගීය ගායනා කිරීමෙනි. එය ඔහු විසින් සිංහල නායකයන්ට දෙන ලද ප්‍රබල සංඥාවක් වුවත් ඊට සුදුසු ප්‍රතිචාරයක් ලබාදීමට ජයග්‍රාහී සිංහල නායකයන් සමත් නොවූ බව ද කිව යුතුය.

සියලු ආකාරයේ අන්තවාදී ආකල්ප ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන ජීවිතය තව තව අවුල් කිරීමට හා රටේ ප්‍රතිරූපය තව තව අවලස්සණ කිරීමට මිස රටේ ඇතිවී තිබෙන අවුල් නිරාකරණය කිරීමට හෝ රටේ ප්‍රතිරූපය ලස්සණ කිරීමට හේතුවන්නේ නැත. මේ රටේ අවුල් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇත්තේ මොන පැත්තකටවත් අන්තවාදී හා ආත්මාර්ථකාමී නොවී සියලුදෙනාගේ ගෞරවය හා ආරක්ෂාව මුල් කොටගෙන කරුණු සාධාරණව හා වැදගත්ව සලකා බලන තැනකට යොමුවීමෙන් පමණය.