පුදුම රටක්

June 2, 2002
Publication:
A multi-part column. Ivan contrasts a poor country with rulers who bought 44 bulletproof cars at Rs 40 million each, many now missing, and spent Rs 600 million on the Sarasavi studio. Under 'Sadism' he reports confessions that Sanath Gunathilake ordered the bombing and burning of Anoja Weerasinghe's house and the attack on Rookantha and Chandraleka, and describes the cover stories spread over the Rohana Kumara murder. Further sections discuss PA divisions over toppling the government and argue the domestic LTTE ban is pointless.

ලංකාව තරම් අරුම පුදුම රටක් ලෝකයේ තවත් නැති තරම්ය. රට ඉතාමත් දුප්පත් වුවත්, පාලකයන් ජීවත්වන්නට කල්පනා කරන්නේ ඇමරිකාවේ පාලකයින් ජීවත් වන තත්ත්වයටත් වඩා ඉහළිනි. අපේ පාලකයන්ට ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථ අවශ්‍ය වී, ඒ සඳහා රටට ඔරොත්තු දෙන මිලකට ලබාගත හැකි වෙඩි නොවදින වාහන මිලදි නොගෙන, එකක් රුපියල් ලක්ෂ 400 බැගින් වෙඩි නොවදින රථ හතළිස් හතරක් මිලදි ගත්තේය. රේගු බද්දෙන් නිදහස්ව ආනයනය කළ එම වාහනවලට රේගු බද්ද ඇතුළත් කළේ නම්, එක් වාහනයක මිල රුපියල් ලක්ෂ 700ක් 800ක් අතර වන්නට ඉඩ තිබුණි. එම වාහන කන්දරාව සඳහා රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 32කි. 2002 වසර සඳහා මුළු වසරක කාලයක් සඳහා පඩි නඩි ගෙවීම ඇතුළු සියලු දේ කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයට ලබාදි ඇත්තේත් රුපියල් කෝටි 24ක් පමණය.

වැදගත්ම දේ දැන් ඒ අපූරු වෙඩි නොවදින රථවලින් වැඩි කොටසක් අතුරුදහන්වී තිබීමය.

පසුගිය 23 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදි තවත් වැදගත් දෙයක් හෙළිදරව් විය. සරසවි චිත්‍රාගාරය වෙනුවෙන් කර තිබෙන වියදමයි. එය රුපියල් කෝටි 60කි.

රටේ චිත්‍රපටි කර්මාන්තයක් ඇත්තේම නැති තරම්ය. රූපවාහිනිය නිසා බයිස්කෝප්වලට තිබුණු ඉල්ලුම බිඳ වැටී තිබේ. බයිස්කෝප් කර්මාන්තයක් නැති රටක චිත්‍රාගාරයක් සඳහා කර තිබෙන වියදම රුපියල් කෝටි 60කි. සනත් ගුණතිලකලාට පොදු පෙරමුණු ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට තිබුණු කැක්කුමේ රහස කුමක්දෑයි තේරුම් ගැනීම අමාරු නැත.

පරපීඩකතාව

අපරාධ පරිධිකරණ ස්වාධීනත්වයත්, විනිශ්චයකාර ක්ෂණ දෙපාර්තමේන්තුව පොදු පෙරමුණු ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන ජගත් පුෂ්පකුමාරගේ ආරක්ෂක නිලධාරීයෙකු, රීයදුරකු හා ආධාරකරුවකු චිත්‍රපටි නිළි අනෝජා වීරසිංහ මහත්මියගේ නිවස ගිනි තබා විනාශ කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අනෝජා වීරසිංහ මහත්මියගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳව ඔවුන් කර තිබෙන පාපොච්චාරණයෙන් කියවෙන කතාව ඉතාමත් අපූරුය.

අනෝජා වීරසිංහගේ නිවසට පහරදිමට ඔවුන්ට අණ ලැබී ඇත්තේ තවත් චිත්‍රපටි නළුවෙකු හා ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකයා වූ සනත් ගුණතිලකගෙනි. සනත් ගුණතිලකගේ නියෝග මත 1999 දෙසැම්බර් 25 වැනිදා ඔවුන් එම නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තිබෙන අතර, එම බෝම්බ ප්‍රහාරයෙන් අනෝජාගේ නිවසට සාමාන්‍ය හානියක් මිස බරපතල හානියක් සිදුවී නැත. බරපතල හානියක් නොකොට සුළු හානියක් පමණක් කිරීම ගැන උරණ වූ ජනාධිපතිනි උපදේශක නළුවා ඔවුන්ට ඒ ගැන දොස් පවරා නිවස මුළුමණන් විනාශ වන ලෙස ඊට ගිනි තබන ලෙස නියෝග කර තිබේ. ඉන්පසු 2000 ජනවාරී මස 3 වැනිදා (ජනාධිපතිනියගේ වියරු රූපවාහිනී සාකච්ඡාව විකාශය කෙරුණු දින) අනෝජාගේ නිවස මුළුමණන් ගිනිබත් කොට ඇත්තේ එම නියෝගයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මේ සිද්ධිය ගැන අනෝජා කියන කතාවක් ද ඇත්තේය. සේකරට එය අනෝජාගෙන් අසන්නට ලැබුණේ ආණ්ඩු පෙරළියට පෙරාතුවය.

අනෝජා ජනාධිපතිනියට බැණ වදින බව පෙනෙන ලෙස නිර්මාණය කළ හඬ පටියක් මාධ්‍ය උපදේශක නළුවා ජනාධිපතිනියට අසන්නට සලස්වා තිබේ. ගිනි තැබීම සිදුවී ඇත්තේ ඉන්පසුවය.

තමන්ගේ විරුද්ධවාදින් දරුණු වධ හිංසාවන්ට භාජනය කොට ඉන් මානසික වින්දනයක් ලැබීම විස්තර කළ හැක්කේ පරපීඩකතාව වශයෙනි. රටේ රාජ්‍ය නායිකාව පමණක් නොව, ඈ වටා කල්ලි ගැසී සිටි කුස්සි කැබිනට්ටුවේ වැඩි පිරිසක් ද පරපීඩකතාවයෙන් පෙළුණ සාහසික රෝගීන් පිරිසක් බව පෙනී යයි.

රූකාන්ත-චන්ද්‍රලේඛා ගායක යුවළට හිංසා කිරීමට අණ ලැබී ඇත්තේ ද මේ නළු උපදේශකයාගෙනි. ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් සිය නිවසට එමින් සිටින බව රූකාන්ත කල්තියා දෑන සිටියේය. ඒ ගැන කියවෙන දුරකතන පණවුඩය ලැබෙන විට රූකාන්ත සිටියේ අධික ලෙස බීමත්ව පියානෝව වාදනය කරමිනි. ඔහුගේ මනස ඒ මොහොතේ බියෙන් ඇලලී ගියත්, ක්ෂණක තීන්දුවක් ගැනීමට අවශ්‍ය මානසික තත්ත්වයක් ඔහුට නොතිබුණ. දෙවැනි දුරකතන පණවුඩයත් සමග වහා එම ස්ථානයෙන් ඉවත් වීමට ඔහුට අවශ්‍ය වුවත්, ඒ වනවිට ජනාධිපතිනියගේ මාර සේනාව ඔහුගේ නිවස ආක්‍රමණය කර තිබුණේය.

රූකාන්ත-චන්ද්‍රලේඛා සිද්ධියේ දි ජනාධිපතිනියත්, ඇමති මංගල සමරවීරත් ඒ ගැන විශේෂ විශ්ලේෂණයක් රටට ඉදිරිපත් කළේය. එය චන්ද්‍රලේඛාගේ පෙර සැමියා හා රූකාන්ත අතර තිබෙන ආරාවුලක ප්‍රතිඵලයක් විය හැකි බවය. අනෝජාගේ ගෙට ගිනි තැබීමේ සිද්ධිය හා රටට ඊසොප්ගේ භාෂාවෙන් අගවන්නට උත්සාහ කළේ ද විවිධ කාලවල පිරීමි ඒ නිවසට එන බවත්, එසේ එන විරසක වූ කණ්ඩායමක් අතින් එසේ සිදුවන්නට ඉඩ තිබෙන බවය. රෝහණ කුමාර ඝාතනය ගැන කෙරුණු විශ්ලේෂණය ද ඊට සමානය. එයින් කියවුණේ රෝහණ කුමාරගේ බිරීඳට පුවත්පතේ වැඩ කළ තවත් කෙනෙකු සමග අනියම් සම්බන්ධකමක් තිබුණු බවත්, සමහරවිට එම ඝාතනය එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නට ඇති බවත්ය. ඒ කතාවට තර්කානුකූල පදනමක් ලබාදිම සඳහා මංගල සමරවීර රෝහණ කුමාරගේ මව ලවා ලේලියට එරෙහිව ඊට ගැලපෙන කතාවක් ද කියවා ගත්තේය. ඒ සඳහා රෝහණ කුමාරගේ මවට ආණ්ඩුවෙන් ලොකු මුදලක් ද ලැබුණේය. රෝහණ කුමාරගේ මරණයෙන් පසුව යටියන්තොට තිබෙන ඔහුගේ මහගෙදර ලහි ලහියේ අලුත්වැඩියා කෙරුණේ ඒ මුදල්වලිනි. රෝහණ කුමාරගේ මවගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ කාලයේ කටඋත්තර ගන්නා අවස්ථාවේදි ඒ ඇත්තෙන් බිඳක් ඇගේ කටින් එළියට ආවේය. පත්තර කන්තෝරුවේ තවත් කෙනෙකු සමග ලේලියට සම්බන්ධයක් ඇති බව තමන්ට පළමුවෙන්ම දෑනගන්නට ලැබුණේ මංගල සමරවීර ඇමතිවරයාගෙන් බව ඇය කියා තිබුණ. මවගෙන් කටඋත්තර ගන්නට ගිය ගමනට අභිරහස් ආකාරයකින් ලේක්හවුසියේ වැඩ කරන කාන්තාවක් ද එකතු වී සිටියාය.

රෝහණ කුමාරට සනත් ගුණතිලකගේ වෛරයට හේතුවූ පුද්ගලයෙකු ලෙස මිය යන්නට සිදුවුව ද ඔවුන් දෙදෙනා කලක් ඇසුරු කළේ කිරී පැණ ලෙසය. සනත් සිය ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා රෝහණ කුමාරගේ පෑනෙන් උපරීම ලෙස ප්‍රයෝජන ගත්තේය. අවසානයේදි රෝහණට තමන් විසින් ම පුම්බනු ලැබූ පුද්ගලයාගේ වෛරයට හේතුවී මියයන්ට සිදුවූයේය.

කඩි කුලප්පුව

පොදු පෙරමුණ තුළ, මේ ආණ්ඩුව වහාම පෙරළා දැමිය යුතු ද? තවත් කලක් බලා සිටිය යුතුද යන ප්‍රශ්නය මත බෙදිමක් පවතී. ආණ්ඩුව නොපමාව පෙරළා දෑමිය යුතුයයි සිතන හා ඒ වෙනුවෙන් අමුඩ ගසන පිරිස විශාල නැත. අනෙක් පිරිස සිතන ආකාරය ඊට වෙනස්ය. ඔවුන් සිතන්නේ මහජනතාව බලයට පත් කළ ආණ්ඩුවක් වහා පෙරළා දැමීමේ හැකියාවක් නැති බවය. ඒ සඳහා ඉවසීමකින් යුතුව අවශ්‍ය තත්ත්වයන් මෝරන තෙක් බලා සිටිය යුතු බවය.

ආණ්ඩුව වහා පෙරළා දෑමීමේ කඩි කුලප්පුවක් ඇති අයට එසේ සිතන්නට සිදුවී ඇත්තේ ද විශේෂ හේතු නිසාය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ අත්වල ලේ තැවරි ඇති අතර, ඔවුන් ජීවත්වන්නේ තමන් කළ අපරාධ ගැන ඇති කරගත් බියෙනි. තමන් කොයි මොහොතක හෝ තමන් විසින් කරන ලද අපරාධ වෙනුවෙන් ප්‍රශ්න කරන තත්ත්වයකට ලක්වනු ඇතැයි ඔවුහු කල්පනා කරති. ජනාධිපතිනිය සිටින්නේ ද මේ කඩි කුලප්පු සංගමයේය. අනෙක් පිරිස ජීවත්වන්නේ සැහැල්ලූවෙනි. තමන්ට බියවීමට දෙයක් නැතැයි සිතන ඔවුන් ඒ නිසාම අනවශ්‍ය ලෙස ඉක්මන්වීමේ අවශ්‍යතාවක් නැතැයි ද කල්පනා කරති.

කොටි තහනම

එල්ටීටිඊ සංවිධානය සඳහා පනවාතිබෙන තහනම ඉවත් කරනවාට බොහෝ අය විරුද්ධය. එහෙත් තහනම ඉවත් නොකරන්නේ නම් සාකච්ඡාවලට එන්නට කොටි සූදානම් නැත. ආණ්ඩුවට ඒ ගැන ස්ථිරසාර මතයක් තිබෙන බව පෙනෙන්නට නැත.

ආණ්ඩුව කොටි සංවිධානය තහනම් කළේ ඒ නිසා කොටි සංවිධානයේ ශක්තිය දුර්වල වනු ඇතැයි කල්පනා කොට නොව, ශ්‍රී දළදා මාළිගාවට පහර දෙන තත්ත්වයක් තුළ මහජනයා සංතෝෂ කිරීම සඳහාය. ඔවුන් තහනම් නොකර තිබියදි සේ ම තහනම් කර තිබියදිත් තමන්ට අවශ්‍ය පහරදිම්වල නිරත වූයේය. දේශීය වශයෙන් පනවන ලද තහනම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට හේතුවූයේ නැත. දේශීය වශයෙන් පනවන ලද තහනම විදේශ රටවල් කෙරෙහි ද බලනොපෑවේය.

ජනතා විමුක්ති පෙරමුණ ආයුධ සන්නද්ධව නැගී සිටියේ ද එය තහනම් කර තිබියදිය. නැවත ජවිපෙ තහනම ඉවත් කිරීම ඔවුන් ආයුධ බිම තබන තත්ත්වයක් ඇති කිරීමට හේතුවූයේ නැත.

ආණ්ඩුවට ඕනෑම මොහොතක පක්ෂයක් තහනම් කළ හැකි අතර, අවශ්‍ය අවස්ථාවක තහනම් කර තිබෙන පක්ෂයක තහනම ඉවත් කළ හැකිය. කොටි සංවිධානයේ තහනම ද ඕනෑම මොහොතක ඉවත් කළ හැකිවා සේ ම, අවශ්‍ය නම් ඕනෑම මොහොතක නැවත පැනවිය හැකිය.

කොටි සංවිධානයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපා ඇත්තේ දේශීය වශයෙන් පනවා තිබෙන තහනම නොව, ජාත්‍යන්තර වශයෙන් පනවා තිබෙන තහනමයි. ඒ නිසා බැංකු ගිණුම්වල ඇති මුදල් ආපසු ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන අතර, ප්‍රසිද්ධියේ අරමුදල් රැස් කළ නොහැකි තත්ත්වයක් ද ඇතිවී තිබේ.

දේශීය වශයෙන් කෙරෙන තහනම ඉවත් කිරිමෙන් ජාත්‍යන්තර වශයෙන් පනවා තිබෙන තහනම කෙරෙහි එය බලපෑමක් නොකරයි නම්, දේශීය වශයෙන් පනවා තිබෙන තහනම සාකච්ඡාවලට බාධාවක් කරගැනීම මෝඩකමකි.

තහනම ඉවත් කිරිමෙන් පසුව ඔවුන් ඇති කරගෙන තිබෙන එකගතාවන්ට පටහැනිව ක්‍රියාකරයි නම් නැවත ඔවුන් තහනම් කළ හැකිය.