පාසල් ප්‍රශ්නය හා කූට ලේඛන

May 22, 2005
Publication:
A Royal College teacher's admission of her child on a false birth certificate has filled the papers. The editorial agrees that forgery is a serious offence but notes that it has become normal in the race for school places, and argues for reorganising the school system rather than hunting down parents.

ව්‍යාජ උප්පැන්න සහතිකයක් මත කොළඹ රාජකීය විදුහලේ ගුරුවරියක් සිය දරුවා එම විදුහලට ඇතුළත් කිරීම පිළිබඳ සිද්ධියක් පසුගිය කාලයේ පුවත්පත්වල දිගින් දිගටම පළවිය. සිය දරුවාට අදාළව සිය බිරිඳට එරෙහිව කෙරෙන මෙම පරික්ෂණය ගැන දැනගන්නට ලැබී එම දරුවාගේ පියා කම්පනයට පත්ව මිය ගියේ ය. ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කොට සිය දරුවා විද්‍යාලයට ඇතුළත් කිරීම පිළිබඳව දරුවාගේ මවට එරෙහිව විභාග වූ නඩුවේ දී නඩුව විමසූ මහේස්ත්‍රාත්වරිය විත්තිකාරිය “එම විත්තිකාරියට ස්වභාවය ධර්මයෙන් දඬුවම් ලැබී ඇති නිසා එක වරදකට දඬුවම් දෙකක් දිම යුක්තිසහගත නො වන බව ප්‍රකාශ කරමින්” ඇය චෝදනාවලින් මුදාහැර තිබේ. මෙම අනුවේදනීය සිද්ධියේ දී විනිශ්චයකාරවරිය විත්තිකාරියගේ ස්වාමි පුරුෂයා, සිද්ධිය අසා හෘදයාබාධයකින් මරණයට පත්වීම දැක ඇත්තේ ඔවුන් විසින් කරන ලද වරදට ස්වභාව ධර්මයා පමුණුවන ලද දඬුවමක් ලෙස ය.

කූට ලේඛන සකස් කිරීම බරපතළ වරදක් වන බවට සැකයක් තිබිය නො හැකි ය. එහෙත් සුදුසු පාසලක් තෝරාගැනීමේ තරගයේ දී ඒ අරමුණ ජයගැනීම සඳහා කූට ලේඛන සකස් කිරීම රටේ සාමාන්‍ය හා ජනප්‍රිය දෙයක් බවට පත්ව තිබුණේ ය. ජනප්‍රිය පාසල්වලට ඉල්ලුම් කරන ළමුන්ගෙන් කිසියම් විශාල පිරිසක් එම පාසල් තෝරාගැනීමට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් කූට ලේඛන ඉදිරිපත් කරන ලද අතර, කූට ලේඛන නිපදවීම සඳහා වන ව්‍යාජ කච්චේරී ක්‍රමයක් ද හැම නගරයක ම පාහේ ගොඩනැගී තිබුණි. රට පුරා පැවති මෙම තත්ත්වය විදුහල්පතිවරුන් පමණක් නො ව, අධ්‍යාපන ඇමතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීහු ද, දේශපාලකයෝ හා රාජ්‍ය පාලකයෝ ද දිර්ඝ කාලයක් තිස්සේ දැන සිටිය හ. ඒ වරද නිවැරදි කිරීම පිණිස කිසිවක් නො කරන ලද අතර, ඒ වෙනුවට සිදුවෙමින් තිබුණේ ඒ වැරදි ක්‍රමයට අනියම් ලෙස අනුබල දෙන වාතාවරණයකි. එය දැවැන්ත ප්‍රවාහයක් බවට පත්වන්නට ඉඩදි දැන් කූට ලේඛන මගින් පාසල්වලට දරුවන් ඇතුළත් කළ දෙමාපියන් සොයා ඔවුන්ට දඬුවම් කරන්නට යන්නේ නම්, ඒ වරදට හිරේ දැමිය යුතු දෙමාපියන්ගේ ගණන සිය ගණනක් නො ව ලක්ෂ ගණනක් විය හැකි ය.

තම දරුවාට හොඳ පාසලක් ලබාදිය යුතුයි සිතන අපේක්ෂාව අහිංසක අපේක්ෂාවකි. ජනප්‍රිය පාසල් සඳහා තිබුණු අධික තෙරපුම නිසා බොහෝ දෙමාපියන් එම අහිංසක අපේක්ෂාව ඉටුකර ගන්නට උත්සාහ කළේ එම අයිතිය තහවුරු කිරීම සඳහා කූට ලේඛන සකස් කරවා ඉදිරිපත් කිරිමෙනි. එය හැම තැනක ම සිදුවන පොදු දෙයක් වීම හේතු කොටගෙන එය දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් ලෙස ඔවුන්ට නො පෙනුණේ ය.

පාසල් අධ්‍යාපනයට ඇතුළු වන හැම දරුවකුට ම ඔවුන්ගේ ගෞරවයට හේතුවන පාසලක් ලැබෙන ආකාරයේ ප්‍රාථමික පාසල් ක්‍රමයක් පවත්වාගෙන යන්නට ආණ්ඩුව සමත් වී නම්, එම අරමුණ සඳහා කූට ලේඛන සකස් කිරීමේ අවශ්‍යතාවක් ද ඇති නො වන්නට තිබුණි. ඒ නිසා සිදුවී ඇති වැරැද්දේ වගකීම යා යුත්තේ ආණ්ඩුවට ය.

පාසල් සඳහා පවත්වාගෙන යන සැතපුම් දෙකේ දුර සීමාව පිළිගත් මානව හිමිකම් පිළිබඳ මූලධර්මවලට පටහැනි බව අධ්‍යාපන බලධාරින් හා ආණ්ඩුව අමතක නො කළ යුතු ය. සුදුසු පාසලක් ලබාගැනීම සඳහා දෙමාපියන් සුදුසු පාසල් අසළට පැමිණ දරුවන් බිහිකළ යුතු නැත. දෙමාපියන් පිරිසක් එකට එකතු වී මෙම නීතියට එරෙහිව නඩු කියන තැනකට ගියහොත් ආණ්ඩුව දුෂ්කර තත්ත්වයකට පත්වනු නො වැළැක්විය හැකි ය.

සිදුවිය යුතුව තිබෙන්නේ ව්‍යාජ ලේඛන සකස් කළ දෙමාපියන් සොය සොයා ඔවුන්ට දඬුවම් කරන ප්‍රතිපත්තියකට යෑම නො ව, මෙම අර්බුදයට විසඳුමක් සොයාගත හැකි ආකාරයට රටේ පාසල් ක්‍රමය නැවත ප්‍රතිසංවිධානය කරන තැනකට යෑම ය. ඒ සඳහා අවශ්‍ය තරම් පාසල් ගොඩනැගිලි රටේ තිබෙන අතර, ඒ සඳහා නැති බව පෙනෙන්නේ හරි දැක්මක් පමණ ය.