ජවිපෙ අනුර දිසානායක මන්ත්‍රීවරයා හෙජින් ගෙවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්නට ගිය අවස්ථාවේදී ආණ්ඩුපක්ෂයේ සංවිධායකයාගෙන් එල්ලවූ විරෝධය නිසා එය පාර්ලිමේන්තු කතානායකයා විසින් තීන්දුවක් දියයුතු රීති ප්‍රශ්නයක් බවට පත්වූයේය.
අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කරුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සබ්ජුඩිෂේ රීතියත්, මහජන මුදල් පිළිබඳව මන්ත්‍රී වරයෙකුට කතා කිරීමට තියෙන අයිතියත් යන කාරණා දෙක තුලනය කැරෙන තීන්දුවක් කතානායකවරයා දුන්නේය. ඒ අනුව මන්ත්‍රීවරයා විසින් කියවන්නට සූදානම් කර තිබූ ප්‍රකාශය කතානායකවරයා විසින් සංශෝධනය කර එම සංශෝධිත පිටපත කියවීමට අවසර දෙන ලදී.
සාමාන්‍යයෙන් අධිකරණයක් ඉදිරියේ විභාගවන නඩුවකට බලපෑමක් ඇතිකරන පාර්ලිමේන්තු විවාදයක් කරගෙන යාම සුදුසු නැතත් මහජන වැදගත්කමක් ඇති වැදගත්ම ප්‍රශ්නයකදී එය විවාදයට ලක්කිරීම අත්‍යවශ්‍ය වේනම් ඊට අදාළව විභාගවෙමින් තිබෙන නඩුවක නඩු කටයුතු තාවකාලිකව අත්හිටවන ලෙස අධිකරණයට දැනුම්දී එම කාරණය විවාදයට ලක්කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට ඇත්තේය.
ඒ සඳහා දැක්විය හැකි හොඳම විසඳුම වනුයේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණසභා කාලයේදී (1938 අවසානයේ හෝ 1939 මුලදී) හේවාහැට මුල්ඔය වත්තේ සිදුවූ වැඩ වර්ජනයකදී පොලිස් වෙඩි තැබීමකින් ගෝවින්ද නමැති කම්කරුවා මරණයට පත්වීමේ සිද්ධිය ආශ්‍රයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇතිවූ විවාදය යි. විවාදය කැරෙන අවස්ථාවේ ඒ ගැන නඩුවක් ඇසෙමින් තිබුණු අතර එය හේතුවක් කර ගනිමින් රජ්‍ය මන්ත්‍රණ සභාව එම ප්‍රශ්නය විවාදයට ලක්කිරීමෙන් වැලකී සිටියේ නැත. ඒ වෙනුවට අධිකරණයේ කැරෙන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඒ සිද්ධිය ගැන සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට රාජ්‍ය මන්ත්‍රණසභාව තීරණය කළේය. රාජ්‍ය මන්ත්‍රණසභාව එහිදී ගනු ලැබූ තීරණයන් පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහා සමස්ථ ඇමති මණ්ඩලයම තනතුරුවලින් ඉල්ලා අස්වීම නිසා විශාල ව්‍යවස්ථා අර්බුධයක්ද ඇතිවිය.
විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමට පෙර රටේ උත්තරීතරම ආයතනය වී තිබුණේ පාර්ලිමේන්තුව ය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ඊට හිමිවී තිබූ පළමු තැන අහිමි වී විධායක ජනාධිපති පළමු තැනට ආවේය. ඉන් පසු පාර්ලිමේන්තුවට හිමිවූයේ දෙවැනි තැන ය. එහෙත් පාර්ලිමේන්තුව තාමත් දෙවැනි වනුයේ විධායක ජනාධිපතිට පමණි. අන් සියලුම ආයතන තිබෙනුයේ පාර්ලිමේන්තුවට පහළිනි. විධායක ජනාධිපතික්‍රමයක් තිබියදීත් රාජ්‍යයේ ඕනෑම ආයතනයක් හෝ ගනුදෙනුවක් පරීක්ෂා කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුය.
එහෙත් තිබෙන ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තමන් වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් හරි ආකාරව ඉටු කරන්නේද යන ප්‍රශ්නය යි. රටේ පවතින දූෂණවලට වැඩි වශයෙන්ම වගකිව යුත්තේ පාර්ලිමේන්තුවයි. රටේ සිදුවන ලොකු ගනුදෙනු ගැන සොයාබැලීමේ බලයක් පාර්ලිමේන්තුවට ඇතත් ඒ බලය පාර්ලිමේන්තුව ප්‍රශස්ථ ලෙස පාවිච්චි කරන බවක් පෙනෙන්නට නැත. ගනුදෙනු සිදුවූ පසුව නොව ගිවිසුම් ඇතිකරගන්නා අවස්ථාවේදී පවා ඒ ගැන සොයා බැලීමේ බලයක් පාර්ලිමේන්තුවට තිබේ. 1977 සිට අද දක්වා රටේ සිදුවූ මහා පරිමාණ සැක කටයුතු ගනුදෙනු ගැන කරුණු සොයා බලන ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුව අනුගමනය කර නැත.
හෙජින් ගිවිසුම ගැන සොයාබලන්නට උනන්දුවක් පළවී තිබීම යහපත් දෙයක් ලෙස සැලකිය හැක. එහෙත් මෙතරම් ප්‍රමාද නොවී එය ආරම්භයේම සිදුකළේ නම් රටට සිදුවන්නට යන අලාභය අවම කරගන්නට ඉඩ තිබිණි. ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කිරීම සඳහා මුදලින් ඇස්තමේන්තු කළ වියදම රුපියල් මිලියන 1000ක් බවත් එහෙත් වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන 4200ක් බවත් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණි. එය සත්‍යයක් නම් පාර්ලිමේන්තුව ඒ ගැන සොයා බැලිය යුතුය. චීනයෙන් ලබාගන්නා ණය හා ඒ සඳහා ගෙවන්නට වී තිබෙන පොළිය ගැනද වේදිකාවල පමණක් කතා කිරීම ප්‍රමාණවත් නැත. ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවන්ට හා විවාදයන්ට ලක් විය යුතුය. පාර්ලිමේන්තුවක් තිබෙන්නේ ඒ සඳහාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් මගුල් ගෙවල් හා මරණගෙවල් වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපත්තියක් වෙනුවට පාර්ලිමේන්තු කටයුතු සඳහා වැදගත්වන දේවල් සොයාබලන හා කරුණු හැදෑරීම්වලට වෙන් කළ යුතුය. පාර්ලිමේන්තුව පලදායි හා මහජනයාගේ විශ්වාසයට හේතුවන ආයතන ක්‍රමයක් බවට පත්වනු ඇත්තේ එවිටය.