ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන හොඳම මග යුද්ධය ද?

October 29, 2026
Publication:
The country has gone back into a full-scale war, and while India and the international community are troubled by the choice, international opinion plainly does not matter to either of the two sides fighting. The displaced numbered twenty thousand when the war began and a hundred thousand now, and the end of the count may be hundreds of thousands, or everyone in the country.

නැවත මහා පරිමාණයේ යුද්ධයකට රට අවතීර්ණ වී සිටී. ශ්‍රී ලංකාව නැවත යුද්ධයේ මාවත තෝරා ගැනීම අසල්වැසි ඉන්දියාවේ සේ ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද කණස්සල්ලට හේතුවී ඇතත්, ජාත්‍යන්තර මතය යුද්ධ කරන දෙපාර්ශ්වයට ම වැදගත් වී තිබෙන බවක් පෙනෙන්නට නැත. මේ මොහොත වන විට යුද්ධයෙන් වඩාත් ම පීඩාවට පත්ව සිටින්නේ උතුරු නැගෙනහිර ජනයා ය. යුද්ධය ආරම්භයේ දී විසි දහසකින් ආරම්භ වූ අනාථභාවය මේ වන විට ලක්ෂයක් දක්වා වර්ධනය වී තිබෙන අතර, එහි කෙළවර සමහරවිට දශ ලක්ෂ ගණනක් හෝ තවත් සමහර විට මුළු රටේ ම ජනතාව ද විය හැකි ය.

එල්ටීටීඊය අනුකම්පා විරහිතව මර්දනය කළ යුතුය යන මතය සිංහල ජනතාව අතර පවතී. ඒ නිසාම මේ මොහොතේ සිංහල ජනතාවට යුද්ධය පෙනෙන්නේ ද රටේ ආරක්ෂාව හා ගෞරවය සඳහා නැතිව ම බැරි ක්‍රියාමාර්ගයක් ලෙස ය. යුද්ධයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට වෙර දරන ලද පළමු තැත මෙය නොවන බව හා එල්ටීටීඊය පරාජය කිරීම සඳහා මීට පෙර අවස්ථා ගණනාවකදී ම මුළු වැර යොදා යුද්ධ කරන පිළිවෙතක් අනුගමනය කළ බව හා ඒ පිළිවෙත නිසා සිදුවූ එක ම දේ තව තවත එල්ටීටීඊය යුදමය වශයෙන් ශක්තිමත් වීම බව ද මේ වන විට ජනතාවට මතක නැත. අනෙක් අතට එල්ටීටීඊය පිළිබඳ ගැටලුව හුදු ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බව හා ඒ තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් ද ඇති බව ද ජනතාවට අමතක ය.

යුද්ධය ආරම්භයේ දී එය උතුරු නැගෙනහිරට පමණක් සීමාවූ සිද්ධියක් වූයේ ය. එහෙත් යුද බිය ක්‍රමානුකූලව දකුණට ද පැතිරෙමින් පවතී. ආරක්ෂාව සඳහා අගෝස්තු පාසල් නිවාඩුව ඉදිරියට ගැනීමට රජයට සිදුවූයේ ය. ආණ්ඩුව මුළු වැර යොදා උතුරට පහර දෙන විට එල්ටීටීඊය යුද්ධය දකුණට ගෙන ඒමට වෙර දරමින් සිටින බව පෙනේ.

එල්ටීටීඊය සමඟ කරන යුද්ධය මෙතෙක් සාර්ථක නොවීම කෙරෙහි බලපෑ එක් වැදගත් සාධකයක් වනුයේ එල්ටීටීඊ දෙමළ හමුදාවලට එරෙහිව සිංහල හමුදා යොදාගන්නට වීම තුළ යුද්ධයට වාර්ගික ස්වරූපයක් ලැබී ම ය. යුද හමුදාවට ජේවීපීය පරාජය කිරීමට හැකිවූයේ සිංහල ජේවීපීයට එරෙහිව සිංහල හමුදාවක් යොදාගැනීමට හැකිවීම නිසා ය. ඉන්දියාවට සීක අන්තවාදීන් පරාජය කිරීමට හැකිවූයේ ද සීක අන්තවාදීන් හා සටන් කරන්නට ඉන්දියාවට සීක ජාතික හමුදාවක් සිටි නිසා ය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ද දෙමළ රෙජිමේන්තුවක් සිටියේ නම් යුද්ධය මීට වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණි. ආණ්ඩුවේ හමුදාව මිත්‍ර හමුදාවක් නොවීමෙන් පෙනෙන්නේ ද වර්ගභේද ප්‍රශ්නය යුද හමුදාව කෙරෙහි පවා බලපා තිබුණු බව ය.

වාර්ගික හා ආගමික සමඟිය දැනට ඉතිරි වී පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණ ය. ජයවර්ධනගේ මුරලිදරන්ගේ හා මහරූෆ්ගේ සමඟියෙන් අපි දකුණු අප්‍රිකාව ජය ගතිමු. ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙන වාර්ගික හා ආගමික සමඟිය අන් හැම තැනකම ඇති කළ හැකි නම්, ක්‍රිකට්වලදී මෙන් ශ්‍රී ලංකාව ජයග්‍රාහී රටක් වනු නො අනුමාන ය. යුද්ධයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට දරන උත්සාහය අතහැර, තිබෙන ගැටලු සාකච්ඡාවෙන් ශිෂ්ටසම්පන්න ලෙස විසඳා ගන්නා තැනකට එන ලෙස දෙපාර්ශ්වයට ම බලකිරීම මහජන වගකීමකි.