පරිවාස වැඩපිළිවෙළ කෝකටත් තෛලයක් නොවේ

September 9, 2001
Publication:
The editorial says the country now has a People's Alliance government steered by the JVP: the bottle is Chandrika's but the wine is the JVP's. If the JVP's probation programme at least secures the five independent commissions, an idea that came from civil society, that is a gain. But as a pact between only two parties, it cannot resolve the economic collapse, the war, political instability or the politics of hatred, and its benefits will be temporary.

දැන් රටේ පවතින්නේ පිරිසිදු අර්ථයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන පොදු පෙරමුණු ආණ්ඩුවකි. එය අලුත් ආකාරයක දේශපාලන සභාගයකි. ආණ්ඩුව මෙහෙයවීමේ වගකීම පැවරි ඇත්තේ පොදු පෙරමුණට වුවත්, ආණ්ඩුව ක්‍රියාකළ යුතු දේශපාලන වැඩසටහන ජනතා විමුක්ති පෙරමුණේ ය. එය පොදු පෙරමුණේ පක්ෂ සමග සාකච්ඡා කොට ඇති කරගන්නා ලද වැඩපිළිවෙළක් නොව, තනිකරම ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කරන ලද වැඩපිළිවෙළකි. බෝතලේ චන්ද්‍රිකාගේ වුවත්, එය තුළ තිබෙන වයින් ජනතා විමුක්ති පෙරමුණේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩසටහනට ඇතුළත් සියලු කරුණු කෙසේ වෙතත්, අඩුම වශයෙන් ස්වාධීන කොමිෂන් සභා පහ හෝ මේ වැඩපිළිවෙළ යටතේ දිනාගත හැකි වේ නම්, එය ඒ නිසා රටට ලැබෙන යහපත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමේ අදහස දේශපාලන පක්ෂවල අදහසක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන උනන්දුවක් දක්වන සිවිල් ව්‍යාපාරවල අදහසකි.

ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙළ පොදු පෙරමුණ මුහුණ දී තිබුණු දේශපාලන අර්බුදයට යම් පමණක පිළියමක් විය හැකි වුවත්, එය රටේ පවතින දේශපාලන, ආර්ථික හෝ වාර්ගික අර්බුදවලට පිළියමක් වනු ඇතැයි සිතිය නොහැකි ය. රටේ ඇතිවී තිබෙන ආර්ථික කඩා වැටීමටවත්, ජනවාර්ගික අර්බුදය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන යුද්ධයටවත් එයින් කිසිම විසඳුමක්ලැබෙන්නේ නැත.

එය රටේ සියලු දේශපාලන බලවේගයන් අතර ඇති කරගන්නා ලද පොදු සම්මුතියක් නොවන නිසා හා දේශපාලන ව්‍යාපාර දෙකක් අතර පමණක් ඇති කරගන්නා ලද සම්මුතියක් වන නිසාත්, රටේ පවතින දේශපාලන අස්ථාවරභාවයට ද එය පිළියමක් වනු ඇතැයි සිතිය නොහැකි ය. එය පක්ෂ අතර පවත්නා වෛර දේශපාලනය අවසන් කිරීමට හේතුවන වැඩපිළිවෙළක් ලෙස ද සැලකිය නොහැකි ය.

ඒ නිසා පරිවාස වැඩපිළිවෙළින් රටට ලැබෙන්නට නියමිත සියලු හොඳ නරක ඉතාමත් තාවකාලික ය. ඒ නිසා පරිවාස වැඩපිළිවෙළ තුළ පමණක් හිර නොවී ඉන් ඔබ්බට කරුණු සලකා බැලීමේ වගකීමක් රට ගැන උනන්දුවක් දක්වන මහජනතාවට ඇත්තේ ය.