ජනාධිපතිනිය තමන් වැටුණු බොරු වළට විපක්ෂය කැඳවීම

September 9, 2001
Publication:
Ivan argues that President Kumaratunga, trapped in a pit of her own lies, wants to lure Ranil Wickremesinghe in with the premiership and a national government, climb out on his back, purge the rebels in her own camp and then discard him. He urges the opposition to build an all-party interim government for reform with the government rebels, predicts she will keep Parliament shut rather than face defeat on a policy statement, and says lasting stability needs a settlement with Prabhakaran that meets Tamil grievances.

ජනාධිපතිනිය තමන් වැටී සිටින බොරු වළෙන් ගොඩ ඒමට නොහැකිව ඒ තුළ හිරවී සිටින තත්ත්වයක් ඉදිරියේ එක්සත් ජාතික පක්ෂ නායකයා ද එම බොරු වළට ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බව පෙනේ.

ඇය කියන්නේ බලයේ සියලු උල්පත් තිබෙන්නේ තමන් සිටින බොරු වළ තුළ නිසා බලය අවශ්‍ය නම් එය ලබාගැනීමට වික්‍රමසිංහ මහතා එම බොරු වළ තුළට ආයුතු බවය. ඇගේ අරමුණ වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා තමන් වැටී සිටින බොරු වළට ගෙන ඔහුගේ පිට උඩ නැගී තමන් වැටී සිටින බොරු වළෙන් ගොඩ එන අතර, ඉන්පසු එක්සත් ජාතික පක්ෂ නායකයා එම බොරු වළ තුළ හිරකර තැබීමය.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබාදෙමින් හා ඔහු ඉල්ලා සිටින සමහර ප්‍රතිසංස්කරණ ලබාදෙමින් හෝ එජාප සමග ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමට ජනාධිපතිනිය සමත් වේ නම්, තමන්ට අවාසිදායක බල තුලනයක් ඇති කිරීමට තීරණාත්මක සාධකයක් වී තිබෙන ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින කැරළිකරුවන් පලවා හැර ඒ පිරිස වෙනුවට තමන්ට පක්ෂපාත අලුත් පිරිසකගෙන් එම පුරප්පාඩු පිරවිය හැකිය. ඒ සමග ගොඩ නගන ජාතික ආණ්ඩුවේ බහුතර බලයක් ඇති පක්ෂය බවට පත්වීමට නැවත පොදු පෙරමුණට හැකියාව ලැබෙන අතර, ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා පලවා හැරීමේ හෝ හිරකරුවකු ලෙස තබාගැනීමේ හැකියාව ජනාධිපතිනියට ලැබෙන්නේය.

අර්බුදයේ ඊළඟ ගමන් මග තීන්දු කරන ප්‍රධාන සාධකය වනු ඇත්තේ ජාතික ආණ්ඩුවක් සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් එජාපය අනුගමනය කරන්නට යන්නේ කුමන පිළිවෙතක් ද යන ප්‍රශ්නය යි.

ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් පවතින තත්ත්වයක් යටතේ එජාප ඉදිරියට යන්නට යන්නේ ජනාධිපතිනියගේ කණ්ඩායම සමග නම්, ආණ්ඩු පක්ෂය තුළ සිටින කැරලිකාර කණ්ඩායම විනාශ වී ඉන්පසු එජාපය ද විනාශ මුඛයට තල්ලුවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට එජාපය ඒ වෙනුවට ජනාධිපතිනිය හා ඇගේ කණ්ඩායම සමග එකඟත්වයකට නොගොස් ඒ වෙනුවට ඇයට එරෙහිව නැගී සිටින කණ්ඩායම සමග ඉදිරියට යයි නම් ජනාධිපතිනිය හා ඇගේ කණ්ඩායම තව තවත් දුෂ්කර තත්ත්වයකට තල්ලුවී යනු නොවැළැක්විය හැකිය.

ආණ්ඩුව අටවන බොරු වළවල් වලට නොවැටී අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ අරමුණු වෙනුවෙන් පමණක් සර්ව පාක්ෂික ස්වරූපයක තාවකාලික ආණ්ඩුවක් ඇති කරගන්නේ කෙසේද යන්න විපක්ෂ නායකයා හා විපක්ෂයේ පක්ෂ මුහුණ දී තිබෙන ප්‍රධාන අභියෝගයයි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින කැරලිකාර කණ්ඩායම ද බැහැර නොකරන ලෙස හා විරුද්ධ පක්ෂයේ සියලු ප්‍රවණතා ඇතුළත් වන ලෙස රටට අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ ඉලක්ක කොට ගත් තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපතිනිය එකඟ කරගත හැකි නම් ජනාධිපතිනියගේ කණ්ඩායම ද ඊට ඇතුළත් කරගෙන හෝ ඒ ගමන යාම රටට වාසිදායකය.

එහෙත් එවැනි වැඩපිළිවෙළකට එකඟවීමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. ඒ නිසාම ජනාධිපතිනිය නොසලකා ඒ අරමුණ සඳහා ඉදිරියට යාම සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙළක් විපක්ෂයට තිබිය යුතුය.

රටේ පොදු යහපතට හේතුවන වැඩපිළිවෙළකට ජනාධිපතිනිය එකඟ නූනහොත් ඉන්පසු ඇතිවන තත්ත්වයන්ට මුහුණ දෙන්න යන්නේ කෙසේද යන්න විපක්ෂය ඉදිරියේ තිබෙන අභියෝගයයි.

සැප්තැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය. විපක්ෂය කියන්නේ ජනාධිපතිනිය එදාට පාර්ලිමේන්තුවට එනවා නම් ආ යුත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සඳහා බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඡන්ද විමසීමකට යොමු කළ යුතු බවත්ය.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්ත්වයක් ඉදිරියේ තමන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පරාජය වන්නට ඉඩ ලැබෙන ලෙස ජනාධිපතිනිය පාර්ලිමේන්තුවේ සැසි වාරය විවෘත කරනු ඇතැයි සිතිය නොහැකිය.

මේ තත්ත්වය ඉදිරියේ විපක්ෂය සමඟ පිළිගත හැකි එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වෙතොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාවක් ලැබෙන තෙක් ව්‍යවස්ථාවට පටහැනිව වුවත් පාර්ලිමේන්තුව වසා තබන තත්ත්වයකට ජනාධිපතිනිය තල්ලුවී යනු ඇතැයි සිතිය හැකිය.

ඒ තත්ත්වය ජයගැනීමට විපක්ෂය කරන්නට යන්නේ කුමක්ද? සමාන්තර පාලන බලයක් පිළිබඳ අදහස ඉතාමත් විප්ලවකාරී හා මේ තත්ත්වයට තිබෙන විසඳුමක් නුවූවත්, ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට විපක්ෂය අසමත් වෙතොත්, සමස්ත විපක්ෂ ව්‍යාපාරයම මහජනයා ඉදිරියේ හාස්‍යජනක තත්ත්වයකට ඇද වැටීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට බහුතර බලයක් නොතිබියදීත් ජනාධිපතිනියට හිතුවක්කාර ලෙස ක්‍රියාකරන්ට ඉඩ හැර බලා සිටින පිළිවෙතක් ද විපක්ෂයේ වාසියට හේතු වන්නේ නැත.

විපක්ෂයේ සියලු දෙනා එකට තබා ගන්නා අතර, ආණ්ඩු පක්ෂය තුළ සිටින කැරලිකාර පිරිස්වල ද ආධාර ඇතිව ප්‍රතිසංස්කරණ සඳහා වන තාවකාලික ආණ්ඩුවක් ඇති කරගැනීම හැර මේ අර්බුදය ජයගැනීමට විපක්ෂයට අන් මගක් නැත. එහෙත් එය ඉතාමත් සරල හා පහසු ක්‍රියාවක් විය නොහැකිය. ඒ සඳහා අතිවිශාල ධෛර්යයක් හා කැපවීමක් අවශ්‍ය වන්නා සේ ම ශක්තිමත් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ද තිබිය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නීතිගත කිරීමෙන් පමණක් තිබෙන දේශපාලන අස්ථාවරභාවය ජයගත නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නීතිගත කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත් දේශපාලන ස්ථාවරභාවයක් සඳහා පදනමක් ඇති කරගත හැකිවනු ඇත්තේ ප්‍රභාකරන් සමග යම් සම්මුතියක් ඇති කරගැනීමට සමත් වේ නම් පමණය. තිබෙන ගැටලු අතර තිබෙන වඩාත්ම සංකීර්ණ හා දුෂ්කර ගැටලුව වනු ඇත්තේ ද එයයි.

නව ලෝක රටාව තුළ වෙනම රාජ්‍යයකට ඉඩක් නැති බව ප්‍රභාකරන් ද නොදන්නවා විය නොහැකිය. එහෙත් ඔහු සමඟ එකඟතාවකට ඒමට හැකිවනු ඇත්තේ දෙමළ ජාතික අභිලාෂයන් තේරුම් ගනිමින් ඔවුන්ගේ දුක් ගැනවිලිවලට හේතුවන විසඳුමක්ලබාදිය හැකිවේ නම් පමණය.

රටේ පවතින අස්ථාවරභාවය කෙරෙහි පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට අතිරේකව වඩාත්ම බලවත් සාධකය ලෙස බලපා ඇත්තේ කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වයයි. රටේ ආර්ථිකයේ මුළුමණන් බිඳ වැටීමක් සඳහා අවශ්‍ය වනු ඇත්තේ කටුනායක ප්‍රහාරය වැනි තවත් එක් ප්‍රහාරයක් පමණය. තවත් එවැන්නකට ඉඩ නොලැබෙන ලෙස ප්‍රභාකරන් සමග සම්මුතියකට යාම රටේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය. බහුතර සිංහල ජනතාවගේ ද විරෝධයට හේතු නොවන ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ඔවුන්ගේ ගෞරවයට හේතුවන විසඳුමක් ලබාදෙන්නේ කෙසේද යන්න අද රට ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගයයි. රට නැවත ස්ථාවර තැනකට ගෙන යා හැකිද නැද්ද යන්න තීරණය කරනු ඇත්තේ ද එම ප්‍රශ්නයයි.