හරවත්, අර්ථවත් හා ශක්තිමත් සමාජ සංවාදයක් නැතිකම ශ්රී ලංකා සමාජය මුහුණ දි තිබෙන ප්රධාන සමාජ ගැටලුවකි. එය අවශ්යතරමින් සමාජ විද්යාඥයන්ගේ ද අවධානයට හසු නොවූ සමාජ ගැටලුවක් ලෙස ද සැලකිය හැකිය.
බාහිර පෙනුමෙන් ගත්විට ශ්රී ලංකා සමාජය උගත්ය. එහෙත් අභ්යන්තරික හරය අනුව ගත්විට ශ්රී ලංකා සමාජය නූගත්ය. ආකල්පමය වශයෙන් ගත්විට ශ්රී ලංකා සමාජය නොදියුණු සමාජයක් බව ඉන් අදහස් වේ. වඩා විස්තරාත්මකව නිර්වචනය කරන්නේ නම් තමන් ජීවත්වන ලෝකය තේරුම් ගනිමින් ඒ ලෝකය තුළ තමන්ට තිබෙන අයිතිවාසිකම් හා තමන් අතින් ඉටුවිය යුතු යුතුකම් ගැන මනා අවබෝධයකින් ක්රියාකරන දියුණු සමාජයක් ශ්රී ලංකාවේ නොපවත්නා බව ඉන් අදහස් වේ.
සමාජයක පවත්නා සවිඥානකත්වයේ දියුණු හෝ නොදියුණු බව කෙරෙහි ඒ සමාජයේ පවත්නා සමාජ සංවාදයේ දියුණු නොදියුණු බව බලපායි. සමාජයක පවත්නා දැනුම හා චින්තනය ඒ සමාජයේ පවත්නා සමාජ සංවාදයේ ඵලයකි. එය සමාජයේ පවත්නා කලාව, සාහිත්ය, දේශපාලනය, විද්යාව, තාක්ෂණය හා ආර්ථිකය යන හැම අංශයක් කෙරෙහිමත් බලපායි.
ශ්රී ලංකා සමාජය ඉදිරියට ගලායන බලවත් සමාජ සංවාදයකින් පෝෂණය නොවූ බාහිර වශයෙන් පමණක් නවීන වූ සමාජයක් ලෙස සැලකිය හැකිය. වැඩවසම් අර්ථක්රමය හා දේශපාලන ක්රමය අත්හරින ලද්දේ ද අභ්යන්තරික වුවමනාව මත නොව බාහිර බලපෑම නිසාය. ඉන්පසු ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයකට මාරුවූයේද එතෙක් පැවති වැඩවසම් දේශපාලන ක්රමය එපාවූ නිසා නොව යටත් විජිත ක්රමය තුළ එවැනි ක්රමයකට මාරුවීමට බාහිර වශයෙන් එල්ලවූ බලපෑම නිසාය. ආර්ථිකය ද බාහිර වශයෙන් බලනවිට නවීන වුවත්, අභ්යන්තරික හරය වැඩවසම්ය. දේශපාලන ක්රමය ද බාහිර පෙනුමෙන් නවීන වුවත් අභ්යන්තරික හරය වැඩවසම්ය. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නේ ද ප්රජාතන්ත්රවාදි රාජ්ය පාලකයකු නොව වැඩවසම් රජෙකි. බහු පක්ෂ ක්රමයක් රටේ ඇතත්, කිසිම දේශපාලන පක්ෂයක් තුළ අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නොපවතී. එහෙත් ඒ කිසිවක් ශ්රී ලංකා සමාජයේ විවේචනයට හෝ විරෝධයට හේතුවී නැත. දේශපාලන ක්රමය තුළ දක්නට ලැබෙන මෙම වැඩවසම් ලක්ෂණ අඩු වැඩි වශයෙන් පෞද්ගලික ව්යවසාය ක්රමය තුළ ද දැකිය හැකිය.
එහෙත් වෙනත් බොහෝ රටවල් එක් සමාජ ක්රමයක් අතහැර නව සමාජ ක්රමයකට මාරුවී ඇත්තේ ද නැවත නව සමාජයක් ලෙස ඉදිරියට ගමන් ගනිමින් තිබෙන්නේ ද බලවත් සමාජ සංවාදයක් තුරුලේ වෙනස්කම් වලට ගැලපෙන සමාජ දැක්මක් හා චින්තනයක් ද ඇති කරගනිමිනි.
පැවති වැඩවසම් ක්රමයෙන් අත්මිදි නවීන ධනේශ්වර ක්රමයට පරිවර්තනය වීමට අවශ්ය සංකල්පීය දැනුම හා ආකල්ප ඇතුළත් සමාජ චින්තනයක් යුරෝපීය සමාජයට ලබාදෙන ලද්දේ යුරෝපය පුරා හමාගිය දාර්ශනික නිදහස්වාදය පදනම් කොටගත් සමාජ සංවාදයයි. එය ආගමික යුද්ධ මෝඩකමක් ලෙස සලකා වෙනස් ආගම් සේම වෙනස් මතවාද ඉවසන්නට සමාජයට පුරුදු කළේය. උරුමය පදනම් කොට රාජ්ය බලය ප්රතික්ෂේප කරමින් රජය මහජනතාව අතර ඇති කරගන්නා සමාජ ගිවිසුමක ඵලයක් විය යුතු බව මහජනයාට ඒත්තු ගැන්වූයේය. රාජ්ය නිර්බාධ ක්රමයක අවශ්යතාව පිළිගනිමින් පෞද්ගලිකව දේපළවලට ඇති අයිතිය තහවුරු කළේය. ජෝන් ලෝක් (1632-1704) දාර්ශනික නිදහස්වාදයේ අග්ර ඵලය ලෙස සැලකිය හැකි අතර, ඔහුගේ අදහස් තමන් ජීවත් වූ සමකාලීන එංගලන්තය කෙරෙහිද, ඊටත් වැඩියෙන් ප්රංශ විප්ලවය හා ඇමරිකානු විප්ලවය කෙරෙහි ද බලපෑවේය.
මේ සමාජ සංවාද ක්රියාවලිය ඊට වෙනස් ආකාරයකින් වුවත් යටත් විජිත රටවල ද ක්රියාත්මක විය.
සාක්ෂරතා දැනුම මිනුම් දණ්ඩක් ලෙස ගත්විට ඉන්දියාව නූගත් රටක් ලෙස පෙනෙන මුත් සමාජ විචාර දැනුම මිනුම් දණ්ඩක් ලෙස සලකතොත් ඉන්දියාව උගත් රටක් ලෙස සලකන්නට සිදුවන බවට නේරු සිය The Discovery of India නමැති කෘතියෙහි තර්ක කරයි. නේරු එහිදි තර්ක කරන ආකාරය නිවැරදිය.
ඉන්දියාව බුදුන්වහන්සේ වැනි මහා ආගමික ශාස්තෘවරුන් බිහිකළ එම ශාස්තෘවරුන් ඉදිරියට ගෙනා මහා සංවාද තුළ පෝෂණය වූ සමාජයකි. ප්රජාතන්ත්රවාදය පිළිබඳ කතිකාව ඉන්දියාවට ගැලපෙන ඉන්දියානු ආකාරයකින් ඉදිරියට ගෙනා පුද්ගලයා වනුයේ මහත්මා ගාන්ධිය. ඒ වනවිට ඉන්දියාවේ සිටි අකුරු උගත් ජනගහනයේ අනුපාතිකය කුඩා වුවත්, ගාන්ධි ඉදිරියට ගෙනයමින් තිබුණු සංවාදයට ක්රියාකාරි ලෙස සම්බන්ධ වෙමින් ප්රජාතන්ත්රවාදි සමාජ ක්රමයක් සඳහා අවශ්ය දැනුම ලබාගත් ජනගහනය ඉතා විශාල විය. ඉන්දියාවේ වාර්ගික විවිධත්වයට ගැලපෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවක් හා ආණ්ඩු ක්රමයක් ඇතිකර ගැනීමට හැකිවීම, වාර්ගික විවිධත්වය තුළ ශක්තිමත් ඉන්දියානු ජාතිකත්වයක් ඇති කරගැනීම හැකිවීම යනාදිය මහත්මා ගාන්ධි ඉදිරියට ගෙනා එම සංවාදයේ ප්රතිඵල ලෙස සැලකිය හැකිය.
අපට ද රටක් වශයෙන් දෑන් සිටින නිද්රාශීලීත්වයෙන් හා පසුගාමී ආකල්ප වලින් අත්මිදි උද්යෝගයෙන් ක්රියාකරන තත්ත්වයකට පත්වීමට හැකිවනු ඇත්තේත් ජාතික දේහයේ හැම වැදගත් අංශයක්මත් පුබුදු කිරීමට හේතුවන ආකාරයේ බලවත් සමාජ සංවාදයක් මතු කරගැනීමට හැකිවේ නම් පමණය.
ඉන්දියාවේ ගාන්ධි මෙන් අනගාරික ධර්මපාල ද අපේ රටේ ශක්තිමත් සමාජ සංවාදයක් මතු කරගැනීමට බලවත් උත්සාහයක යෙදුණු ප්රථමයා ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවකට මෙන් අනගාරික ධර්මපාලට ගාන්ධිට මෙන් වර්ගය, ආගම, භාෂාව, කුලය, පන්තිය, ලිංගය වැනි භේද නොසලකා එක්සත් ජාතියක් අරමුණු කරගත් පුළුල් ඉලක්කයක් නොතිබුණ. අනගාරික ධර්මපාලගේ සංවාදය වර්ගය, ආගම අනුවත්, විටෙක කුලය අනුවත් ජනතාව බෙදා වෙන් කරන සමාජ සංවාදයක් විය. ඉන්පසු වාමාංශික ව්යාපාරය ඉදිරියට ගෙනා සමාජ සංවාදය ද යම් පමණකට බලවත් වුවත් එය ද ජනතාව, වර්ගය, ආගම, කුලය හෝ ලිංගය අනුව බෙදා වෙන් නොකළත් පන්තිය අනුව බෙදා වෙන් කරන සංවාදයක් විය. ඉන්පසු ඒ මට්ටමෙන් හෝ බලවත් වේ යැයි කිවහැකි සමාජ සංවාදයක් මතුවූයේ නැත.
රටේ මොනම සමාජ සංවාදයක්වත් නැති බවක් ඉන් අදහස්වන්නේ නැත. යම් පමණක සංවාදයක් ඇතත්, එය සැලකිය හැක්කේ අගුටුමිටි සංවාදයක් ලෙසය. අදහස් ප්රකාශ කිරීම ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබෙන බව, සංවාද රාමුව පටු බව හා ජාතික ජීවයට ඉන් ගතිකත්වයක් ලැබී නැති බව ඉන් අදහස් වේ.
ශ්රී ලංකාවේ ප්රසිද්ධියේ අදහස් පළ කරන උගතුන්ගේ සංඛ්යාව ඉතාමත් සීමිතය. අදහස් පළකිරිමෙන් වැළකී සිටීම ගෞරවයෙන් ආරක්ෂා කරගත යුතු සීලයක් ලෙස සලකන තත්ත්වයක් උගතුන් අතර පවතී. උගතුන් ලෙස සැලකිය හැකි දස දහස් ගණනක් රටේ සිටියත්, ප්රසිද්ධියේ අදහස් පළ කරන තත්ත්වයක සිටින්නේ සිය ගණනක් පමණය. අනවශ්ය වාද විවාදවල පැටලී තමන් දරන අදහස් නොපිළිගන්නන් අතර වෛරයට ලක්වන්නේ ඇයිදැයි ඔවුන් සිතනවා විය හැකිය. සම්මත මතවලට එරෙහිව අදහස් පළකරන අය ද්රෝහීන් ලෙස හංවඩු ගසන ප්රවනතාවක් ද මතවාදි තලයේ පවතී. පිළිගත් සිංහල අස්ථානයට එරෙහිව මත පළ කරන සිංහලයෙකු සැලකෙන්නේ සිංහල ජාතියේ ද්රෝහියෙකු ලෙසය. ඒ තත්ත්වය ඊට සමාන ආකාරයකින් දෙමළ හා මුස්ලිම් මතවාදි තලය තුළ ද ක්රියාත්මක වේ. එවැනි තත්ත්වයකට ගොදුරුවීමට ඇති බිය ද උගතුන් නිහඬ කිරීමට යම් පමණකට හේතුවී තිබෙනවා විය හැකිය. පක්ෂ දේශපාලනයට ඇති බැඳීම් ද නිදහස් අදහස් ප්රකාශනයට බාධාවක් ලෙස ක්රියා කරයි. පක්ෂයේ පිළිගත් මතයකට එරෙහිව අදහස් පළ කරන අය සැලකෙන්නේ ද්රෝහීන් ලෙසය. ජනමාධ්ය ද අදහස් පළකිරිමේදි තමන් කැමති සුළු පිරිසකට පමණක් ඉඩ දෙන ප්රතිපත්තියක් පවත්වාගෙන යාමද මේ තත්ත්වයට තවත් යම් පමණකට බලපා තිබෙනවා විය හැකිය. ඒ සියල්ලටම වඩා උගතුන්ගේ නිශ්ශබ්දතාව කෙරෙහි උගතුන් වශයෙන් අදහස් ප්රකාශ කිරිමේ සමාජ වගකීමක් තමන්ට ඇති බව ශ්රී ලාංකික උගතුන් තේරුම් නොගැනීම බලපා තිබෙනවා විය හැකිය.
සමාජ සංවාදයක් උගතුන්ට පමණක් සීමා විය යුතු නැත. එහෙත් ඕනෑම සමාජ සංවාදයක් බුද්ධිමත් හා අර්ථවත් වන්නේ උගතුන් හා බුද්ධිමතුන් අතින් ඒ ක්රියාවලිය පෝෂණය වන තරමටය. උගත් අය අදහස් පළකිරිමෙන් වැළකී, අඩු උගත්කමක් ඇති අය පමණක් අදහස් පළ කරන තත්ත්වයක් නිසා ඇතිවන සීමාසහිතකම් සමාජ චින්තනය කෙරෙහි ද බලපායි. උගතුන් අදහස් පළකිරිමෙන් වැළකී සිටිනවා පමණක් නොව, වැරදි අදහස් පළවන බව පෙනෙන්නට තිබෙන අවස්ථාවලදි පවා ඒවා නිවැරදි නොකරන තත්ත්වයක් තුළ ඒ වැරදි අදහස් බාධාවකින් තොරව සමාජ ගතවන තත්ත්වයක් පවතී. රටේ උගතුන් හා බුද්ධිමතුන් අදහස් ප්රකාශ කිරිමේ සමාජ වගකීමක් තමන්ට ඇති බව තේරුම් ගනිමින් තමන් වෙත පැවරෙන එම වගකීම ඉටුකරන තත්ත්වයකින් ක්රියාකළේ නම් සමහරවිට විජේවීර කෙනෙකු හා ප්රභාකරන් කෙනෙකු ඇති නොවන්නට පවා ඉඩ තිබුණි.
ශ්රී ලංකාවට නවීන හා නූතන සමාජයක් කරා යාම අවශ්ය නම්, උගතුන් හා බුද්ධිමතුන් අතර රජ කරන මේ කාලකණ්ණි නිශ්ශබ්දතාව අවසන් කළ යුතුය. සමාජ සංවාද ක්රියාවලියට සක්රීය ලෙස දායකවෙමින් සමාජ මානසික යාන්ත්රණයේ දැති රෝදවල ඇති මළකඩ ඉවත් කළ යුතුය. රටේ දැනට තිබෙන අගුටුමිටි සංවාදය පළල් අර්ථවත් හා උද්යෝගීමත් සමාජ සංවාදයක් බවට පත්වනු ඇත්තේ එවිටය. කලාව, සාහිත්ය, විද්යාව, තාක්ෂණය, ආර්ථිකය හා දේශපාලනය යන අංශවල නව පිබිදිමක් ඇතිවනු ඇත්තේ ද එවිටය.