ශ්රී ලංකාව නිදහස දිනාගත්තේ 1948දිය. එතැන් සිට අද දක්වා දශක පණහකටත් වැඩි කාලයක් ගතවී ඇතත්, ලබාගත් නිදහස පූර්ණ කරගැනීමට අසමත් වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ අපට එළඹෙන නිදහසේ 54 වැනි සංවත්සරය සමරන්නට සිදුවී තිබෙන්නේ සොම්නසින් නොවන දොම්නසිනි.
වෙනත් බොහෝ රටවල් නිදහස දිනා ගැනීම සඳහා ලේ වැගුරුවේය. නිදහස පිණිස එසේ ගලා ගිය ලේ, ලබාගන්නා නිදහසට වටිනාකමක් හා අර්ථයක් ලබාදෙමින් ලේ වැගිරිමෙන් තොරව එක්ව ජීවත්විය හැකි සමාජ ආකල්ප සමුදායක් ද දේශපාලන ක්රමයක් ද ඔවුන්ට ලබා දුන්නේය. එහෙත් ශ්රී ලංකාව නිදහස දිනාගත්තේ එක ලේ බිඳකුදු නොසෙල්වාය. අපට නිදහස පූර්ණ කරගැනීමට අවශ්ය සමාජ ආකල්ප සමුදායක් හා දේශපාලන ක්රමයක් ද ඇති කරගැනීමට නොහැකි වී කෙළවරක් නැති තරමට ලේ වගුරු වන රටක් බවට පත්වීමට සිදුවූයේය.
අපට ඉංග්රීසීන්ගෙන් නිදහස පමණක් නොව, ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ද තෑගි ලැබුණේය. එහෙත් ශ්රී ලංකාවට ලිඛිත ආණ්ඩුක්රම ව්යවස්ථාවක් තෑගි දුන් බ්රිතාන්යයට ලිඛිත ආණ්ඩු ක්රම ව්යවස්ථාවක් නොතිබුණේය. අපට ඉංග්රීසීන්ගෙන් ලැබුණු ආණ්ඩු ක්රම ව්යවස්ථාව තුළ ආණ්ඩු ක්රම ව්යවස්ථාවක් තුළ තිබිය යුතු ඉතාමත් නවීන අදහස් ඇතුළත්ව තිබුණත් භේද බින්න වී සිටි වාර්ගික ජනයා එකට ඒකරාශි කිරීමට හේතුවන රාමුවක් ඊට ඇතුළත් විය. එහෙත් ඉන්දියානු ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ මුල් සැකිල්ල නිර්මාණය වූයේ සිරගෙවල් තුළදිය. එය නවීන ආණ්ඩු ක්රම සැලකිල්ලට ගනිමින් නිෂ්පාදිත ව්යවස්ථාවක් වූවා පමණක් නොව, සිය දේශය තුළ තිබෙන ගැටලු පමණක් නොව, අනාගතයේ ඇතිවිය හැකි ගැටලු ද සැලකිල්ලට ගනිමින් සකස් කෙරුණු ව්යවස්ථාවක් විය. ඉන්දියාව තමන් ඉදිරියට යන්නේ ඒ ව්යවස්ථාවත් සමගය. එහෙත් අපි සුද්දන්ගෙන් ලැබුණු සෝල්බරි ව්යවස්ථාව අත්හැරිමෙන් නොනැවතී කොල්වින් ආර්. ද සිල්වා 72 ඇති කළ ජනරජ ව්යවස්ථාව ද අහෝසි කොට 78දි ඇති කරගත් තුන්වැනි ව්යවස්ථාව ද වෙනුවට නව ව්යවස්ථාවක් ගැන කල්පනා කරන තැනකට අපි පැමිණ සිටිමු. රටක් වශයෙන් අප තවමත් ගමන් කරමින් සිටින්නේ අඳුරේය.
නිදහස ලැබෙන අවස්ථාව වනවිට සංවර්ධනයේ සියලු පිළිගත් විධි අනුව ශ්රී ලංකාව දකුණු ආසියාවේ අන් සියලු රටවලට වඩා ඉදිරියෙන් සිටියේය. එහෙත් මේ වනවිට ඒ සියලු රටවල් අපට වඩා ගව් ගණනක් ඉදිරියට ගොස් සිටින්නේය.
2001 වසර සඳහා ශ්රී ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික ආදායම ඩොලර් 2500කි. සිංගප්පූරුව සඳහා එය ඩොලර් 26,300කි. තායිලන්තය සඳහා 16,500කි. මැලේසියාව සඳහා 10,300කි. 60 දශකයේ ආරම්භයේදි සිංගප්පූරුවේ ලික්වාන් යූ සිංගප්පූරුව ශ්රී ලංකාවක් කිරීමට සිහින මැව්වේය. එහෙත් අද ශ්රී ලාංකික නායකයින්ට ශ්රී ලංකාව සිංගප්පූරුවක් කරන්නේ කෙසේදැයි සිහින මැවීමට සිදුවී තිබේ.
අද ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණ 0.6කි. 2001 වසර සඳහා මුළු කලාපයේම වැඩිම උද්ධමනයක් වාර්තා වුණ රට බවට පත්ව ඇත්තේ ද ශ්රී ලංකාවය. ශ්රී ලංකාව සඳහා එය 15%කි. ඉන්දියාව සඳහා 4.3%කි. සිංගප්පූරුව සඳහා 1.2%කි. තායිලන්තය සඳහා 1.7%කි. දැන් ශ්රී ලංකාව විදේශ මාර්ගවලින් ලබා ගත් ණය වෙනුවෙන් වසරකට ගෙවන පොලියේ ප්රමාණය වසරකට විදේශ මාර්ගවලින් ලබාගන්නා ණය හා ආධාර වශයෙන් ලැබෙන ප්රමාණය ඉක්මවන තත්ත්වයකට පත්ව සිටී.
යුද්ධය වෙනුවෙන් ලංකා ආණ්ඩුවේ පැත්තෙන් පමණක් මෙතෙක් කර තිබෙන වියදම කෝටි 50,000ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ. පසුගිය වසර සඳහා පමණක් ඒ වෙනුවෙන් කර තිබෙන වියදම කෝටි 10000කි. රටේ ජනගහනයේ ප්රමාණය දශ ලක්ෂ 20කටත් අඩුය. උතුරේ යුද්ධය හා දකුණේ කැරලි දෙකක් වෙනුවෙන් මරණයට පත්වූ අයගේ සංඛ්යාව 100,000ක් පමණ විය හැකිය. අනාථභාවයට පත්වූවන්ගේ සංඛ්යාව දශ ලක්ෂයකටත් වඩා වැඩිය.
ශ්රී ලාංකික අපි අකුරු උගත්කමේදි ඉතාමත් දියුණු රටවල් සමග පවා කරට කර සිටින තත්ත්වයක සිටින බව කියා පාරම්බෑමට කැමැත්තෙමු. එහෙත් අපගේ සමාජ ආකල්ප හා හැසිරිම සමාජ උගත්කමේ මට්ටමට ගැලපෙන්නේ නැත. පහසුවෙන් ජයගත නොහැකි ස්වාභාවික විපත් වැනි හේතු නිසා නැගී සිටීමට අමාරු රටවල් ඇතත් අපි විශාල ප්රශ්න බවට පත් කරගෙන තිබෙන්නේ පහසුවෙන් විසඳ ගත හැකි දේවල්ය.
ශ්රී ලංකාවේදි, ශ්රී ලංකාවේ ජනයා ආර්ථික වශයෙන් ඵලදායක කාර්යයක යෙදෙනවාට වඩා සිය කාලය විනෝදයෙන් ගතකිරීමට කැමතිය. ක්රිකට් තරග තිබෙන කාලවලදි කාර්යාල ජීවිතවල රටාව ද වෙනස් වන්නේය. නිවාඩු දින වැඩිම ගණනක් තිබෙන රට වන්නේ ද ශ්රී ලංකාවය. ලැබෙන නිල නිවාඩුවලට අතිරේකව සේවකයන් පඩි රහිතව වැඩිම නිවාඩු ලබාගන්නා රට ද ශ්රී ලංකාව විය හැකිය. සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සති ගණනක් යන තෙක් කොළඹ නගරයේ කඩ සාප්පු වැසී යන්නේය.
එහෙත් මේ ශ්රී ලාංකිකයාට එතෙර රටකට ගිය විට ඔහුගේ ජීවත්වීම හා හැසිරිම විප්ලවකාරි ලෙස වෙනස් වන්නේය. ඔහු අන්යයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන, වෙහෙස නොබලා වැඩ කරන, හොඳින් නීති රිති පිළිපදින කාර්යක්ෂම හා ඵලදායී පුද්ගලයෙකු බවට පත්වන්නේය. නිපුණත්වයේ දි ද ඔහු කිසිවකුටත් දෙවැනි නොවන තත්ත්වයකින් හැකියාවන් පෙන්නුම් කරන්නේය.
මෙවැනි පරස්පරතාවන් දේශපාලනයේදි ද දෑකිය හැකිය. ශ්රී ලංකාවේ තරම් දේශපාලනයේදි සංවේදි මිනිසුන් සහිත සමාජයක් ලෝකයේ වෙනත් කවර රටකවත් නැති තරම්ය. එහෙත් රටේ පවතින්නේ ඒ දෑනුමේ මට්ටමට නොගැලපෙන නොදියුණු හා පහත් දේශපාලන සංස්කෘතියකි. ලික්වාන් යූ කලක් සිංගප්පූරුව ශ්රී ලංකාව වැනි රටක් බවට පත්කිරීමට සිහින මැව්වේය. අද ඔහු අසාර්ථක රටක් සඳහා දක්වන ජනප්රියම ආදර්ශය වී ඇත්තේ ද ශ්රී ලංකාවය. වාර්ගික ආවේගයන් කළමනාකරණය කිරීමට නොදන්නාකම ඒ අසාර්ථකභාවය කෙරෙහි බලපා ඇති කේන්ද්රීය හේතුව ලෙස ද ඔහු විශ්වාස කරයි.
ශ්රී ලංකාවේ අපි වැඩවසම්භාවය අත්හැරියේ අපට අවශ්ය වූ නිසා නොව, සුද්දන්ට අවශ්ය වු නිසාය. නිදහස ලැබුණේද අපට අවශ්ය වූ නිසා නොව, නිදහස ප්රදානය කිරීමට සුද්දන්ට අවශ්ය වූ නිසාය. ඒ සියල්ල සිදුවූයේ ජාතික නිදහස් අරගලයක තුරුල්ලේ සිදුවිය යුතු මොළ සෝදා හැරිමකින් තොරවය. ඒ නිසා ධනවාදි හා ප්රජාතන්ත්රවාදි ලෙස පෙනී සිටීමට අපට අවශ්ය වුවත් අපේ ලේ නහරවල ගමන් කරන්නේ වැඩවසම් ලේ ය. තමන්ගේ වර්ගයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් අන්ය වර්ගයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට අවශ්ය හික්මීමක් තවමත් අපට ලැබී නැත. නිදහස ලබා දශක පහකට වැඩි කාලයක් ගෙවී ඇතත්, පටු වාර්ගික සීමාව ඉක්මවා සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ආකාරයේ දේශපාලන නායකයන් පිරිසක් ඇති කරගැනීමට තවමත් රට සමත්ව නැත. ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්රේමදාස වැනි නායකයන් සිංහල ජනයාගේ ගෞරවයට හේතුවූ නායකයින් ලෙස මිස දෙමළ හෝ මුස්ලිම් ජනයාගේ ගෞරවයට හේතු වූ නායකයින් ලෙස සැලකිය නොහැකිය. දෙමළ සමාජය බිහිකළ ජී.ජී. පොන්නම්බලම්, එස්.ජේ.වී. චෙල්වනායගම්, ඒ. අමිර්තලිංගම් වැනි නායකයන් දෙමළ ජනයාගේ ගෞරවයට හේතුවූ නායකයන් ලෙස සැලකිය හැකි වුවත් සිංහල හෝ මුස්ලිම් ජනයාගේ ගෞරවයට හේතුවූ නායකයන් ලෙස සැලකිය නොහැකිය. ප්රචණ්ඩ හා විප්ලවකාරි මාර්ග වෙත යොමුවූ විජේවීර හා ප්රභාකරන් වැනි අයට පවා සිංහල හෝ දෙමළ තරුණයන්ගේ මිස සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ විශ්වාසයට හේතුවූ නායකයින් වූයේ නැත.
ශ්රී ලංකාවේ අනාගතය රඳ පවතින්නේ මනුෂ්ය සම්බන්ධකම්වලට අදාළ මේ මූලික ගැටලුව ජයගැනීමට අපට තිබෙන හැකියාව හෝ නොහැකියාව මතය. මෙතෙක් ඒ ගැන ලැබී තිබෙන අභාවවාචික අත්දෑකීම් හොඳ නුවණ ඇති කරගැනීමට ප්රමාණවත් නොවේ නම්, අපට හොඳ නුවණ පහළ වනු ඇත්තේ නැත්තටම නැතිවූ තත්ත්වයකට පත්වූ විටය. ඒ තැන ද බොහෝ ඈත නැත.