පැවති පාර්ලිමේන්තු මැතිවරණය ශ්රී ලංකාවේ ක්රියාත්මක වන ප්රජාතන්ත්රවාදයේ තරම මනා ලෙස කියාපාන්නකි.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ පාලක පක්ෂයක් තෝරාපත් කරගැනෙන්නේ මහජන ඡන්දයෙනි. ඒ සඳහා පැවැත්වෙන මැතිවරණ නිදහස් හා සාධාරණ වීම අත්යවශ්ය ය.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු එතෙක් බලයේ සිටි කැබිනට් මණ්ඩලය ඊළග පාර්ලිමේන්තුව තෝරා පත් කරගන්නා තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස ක්රියා කරයි. භාරකාර ආණ්ඩුව එදිනෙදා කටයුතු කරගෙන යනවා හැර මැතිවරණයට බලපාන කිසිවක් නොකිරිමේ පිළිගත් සම්ප්රදායයක් ද පවතී. එහෙත් අපේ රටේ භාරකාර රජයක් වැඩියෙන්ම සංවර්ධන කටයුතු කරන්නේ මැතිවරණ කාලයේදි ය. ආණ්ඩුව මේ මැතිවරණය සඳහා සියලුම ආකාරයෙන් රාජ්ය සම්පත් සිය මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තේ ය. මැතිවරණ කාලය තුළ අලුත් රක්ෂා දස දහස් ගණනක් ලබා දුන්නේ ය. ආණ්ඩුවේ ඉඩම් බෙදුවේ ය. රාජ්ය ආයතනවල අරමුදල් රුපියල් කෝටි ගණනක් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගත්තේ ය. මේ සියල්ල ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් ක්රියාත්මක වන රටක ඉතාමත් බලවත් නීති විරෝධී ක්රියා ලෙස සැලකෙතත්, ශ්රී ලංකාවේ එවැනි වැරදිවලට එරෙහිව නීතිය ක්රියාත්මක වීමක් සිදුවන්නේ නැත.
මැතිවරණයක් පැවැත්වෙන කාලයේදි ඒ ක්රියාවලිය දේශපාලන බලපෑම්වලින් තොරව අපක්ෂපාතව හා සාධාරණව ක්රියාත්මක කරන ආයතනයක් රටකට තිබිය යුතු ය. අපේ රටේ මැතිවරණ කොමසාරිස්වරයකු හා මැතිවරණ දෙපාර්තමේන්තුවක් තිබුණත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්ය තරම් බලයක් එම ආයතනයට ලබාදි නැත.
ආණ්ඩුවෙන් එල්ලවෙමින් තිබුණු තර්ජන, ගර්ජන නොසලකා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විශාල උත්සාහයක් දැරුවත් ඒ වැඩපිළිවෙළ සාර්ථක වූයේ ප්රචණ්ඩ වාතාවරණයක් නොපැවති පළාත්වල පමණ ය.
මැතිවරණ ප්රචණ්ඩ ක්රියා නිරික්ෂණ ආයතනය ප්රකාශ කර ඇති පරිදි මැතිවරණ කොට්ඨාශ 17හි පැවති මැතිවරණය ඉතාමත් දූෂිත ය. එම මැතිවරණ කොට්ඨාශ 17ක ප්රතිඵල අවලංගු නොකිරීම ගැන එම ආයතනයට මැතිවරණ කොමසාරිස්වරයා වෙත සිය අප්රසාදය පවා පළකිරීමට සිදුවී තිබේ. කොතරම් මැතිවරණ දූෂණ සිදුවුවත්, මැතිවරණයක් අවලංගු කොට ඒ වෙනුවෙන් තවත් මැතිවරණයක් පැවැත්වීමේ බලයක් තමන්ට නැති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්රකාශ කරයි. සාධාරණත්වය ඉටු කිරීම සඳහා ඔහුට කළහැක්කේ බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවා ඇති බවට වාර්තා වන ඡන්ද පොළවල් අවලංගු කිරීම හෝ බලහත්කාරයෙන් පුරවන ලද ඡන්ද පෙට්ටිවලින් එසේ පුරවන ලද බවට හඳුනාගත හැකි ඡන්ද ඉවත් කිරීම පමණ ය.
එහෙත් ඉතාමත් බලවත් ආකාරයක ප්රචණ්ඩත්වයක් පැවති ප්රදේශවල ඡන්ද පොළ මධ්යස්ථානවලින් විරුද්ධ පක්ෂවල ඡන්ද පොළ නියෝජිතයන් පළවා හැර තිබුණි. එවැනි ඡන්ද මධ්යස්ථානවල සේවය කළ ඡන්ද පොළ නිලධාරිහු ද සිය ජීවිතවලට ඇති බිය නිසා සිදුවූ සාහසිකකම් වාර්තා කිරිමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් අනුගමනය කළහ. එවැනි අවස්ථාවලදි සිදුවී ඇත්තේ බලහත්කාරයෙන් පුරවන ලද ඡන්ද ද වලංගු ඡන්ද ලෙස ගණන් ගැනීම ය.
බලහත්කාරයෙන් හෝ ඡන්දයක් ජයගත හැකි නම්, එවැනි ඡන්දයක් නීත්යනුකූල වේය යන ධර්මතාවක් රට තුළ පැළපදියම් වෙමින් පවතී. මේ විශේෂ ක්රමය තහවුරුවීම ආරම්භ වූයේ පළාත් සභා ඡන්දයෙනි. දැන් එය මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද තවදුරටත් තහවුරු වී තිබේ. බරපතල වරදක් සිදුවූ විට එය නිවැරදි කරන ක්රමයක් නැති රටකට තිබිය හැක්කේ අඳුරු අනාගතයක් පමණ ය.