කුමන ආකාරයකින් හෝ ජයගැනීම පොදු පෙරමුණු ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම පිණිසත්, විශේෂ වශයෙන් ගත්විට ජනාධිපතිනියගේ හා ජනාධිපති ක්රමයේ පැවැත්ම පිණිසත් අත්යවශ්ය කොන්දේසියක් වී තිබුණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දේශීය වශයෙන් ද, ජාත්යන්තර වශයෙන් ද එල්ලවෙමින් තිබුණු බලපෑම වෙන කොයි කවර කලකවත් නොවූ තරම් අතිවිශාල වුවත්, ඒ බව නොසලකා හිතුවක්කාරි හා ප්රචණ්ඩ පිළිවෙතක් ඔස්සේ සිය අරමුණ ජයගැනීම කරා ඉදිරියට යන්නට පොදු පෙරමුණට සිදුවූයේ ය.
මැතිවරණය නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා උපරීම උත්සාහයක යෙදුණත්, ඒ සඳහා ඇති කරන ලද යාන්ත්රණය සාර්ථක ලෙස ක්රියාත්මක වූයේ සාමකාමී මැතිවරණයක් පැවති ප්රදේශවල පමණය. අතිවිශාල ප්රචණ්ඩත්වයක් පැවති ප්රදේශවල එම යාන්ත්රණයේ ක්රියාකාරිත්වය බෙලහීන තත්ත්වයකට පත්වූවා පමණක් නොව, බොහෝ ඡන්ද මධ්යස්ථානවල ස්ථානාධිපතිවරුන් සිය ජීවිතවලට තර්ජනයක් වනු ඇතැයි සලකා තමන් ඉදිරියේ සිදුවූ සාහසිකකම් සිය බලධාරින්ට වාර්තා කිරිමෙන් පවා වැළකී සිටින පිළිවෙතක් අනුගමනය කළහ.
මෙය පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ඇතිවූ ලොකුම ඡන්ද මංකොල්ලය ලෙස සැලකිය හැකි වුවත්, ආණ්ඩුවට එහිදී ජයග්රහණය සඳහා යාන්තම් හොම්බ පොවා ගැනීමට හැකිවූවා මිස ස්ථාවර පාලනයක් සඳහා අවශ්ය තරම් ජයග්රහණයක් ලබාගැනීමට හැකි නොවීය.
1994 මැතිවරණයේ දි පොදු පෙරමුණ හිමි කරගත් ආසන සංඛ්යාව 105කි. ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ 07 දෙනා හා චන්ද්රසේකරන්ගේ එක් ආසනය සමග ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ එක් ආසනයක වැඩි බලයක් ලබාගෙන තිබුණත්, ආණ්ඩුව සෘජු ලෙස සම්බන්ධ නොවී පිටස්තරව සිට ආණ්ඩුව ආරක්ෂා කරන පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියහ. ඊපීඩීපියෙන් තේරි පත්වී සිටි 9 දෙනා ද, ප්ලොට් සංවිධානයෙන් තේරි පත්වී සිටි 3 දෙනා හා එජාපය තුළ සිටි වතු කම්කරු කොංග්රස් සාමාජිකයන් 07 දෙනා ද බැහැරින් ඉඳිමින් ආණ්ඩුව ආරක්ෂා කරන බලවේගයක් වශයෙන් ක්රියා කළහ.
එහෙත් මෙවර පොදු පෙරමුණට සම්බන්ධ අලුතෙන් එකතු කරගත් පක්ෂ ද සමග පොදු පෙරමුණට ලැබී ඇත්තේ ආසන 107ක් පමණය. ඊපීඩීපියෙන් තේරි පත්වී සිටින 05 දෙනා ද ආණ්ඩුවට හවුල් කරගත්තද, පොදු පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිය. බහුතර බලයක් සඳහා තවත් කිහිපදෙනෙක් ද සොයා ගත යුතුය.
පොදු පෙරමුණ ලබාගත් ආසන 107 තුළ මුස්ලිම් කොංග්රසය සතු සංඛ්යාව 04කි. ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට ලැබිය යුතු ආසනය සමග එම සංඛ්යාව 05ක් වන අතර, අෂ්රොෆ් මහතා ඇති කළ ජාතික සහයෝගිතා පෙරමුණ වෙනම තරග කොට ලබාගෙන ඇති ආසන සංඛ්යාව 04කි.
අෂ්රොෆ් මහතා මිය යන අවස්ථාව වනවිට ඔහු පොදු පෙරමුණ සමගත්, ජනාධිපතිනිය සමගත් දැඩි කෝපයකින් පසුවූයේය. තමන් තුළ ඇති එම හැගීම පක්ෂයේ සෙසු නායකයන් වෙත ද ප්රකාශ කර තිබුණි. මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොංග්රසයේ නියෝජිතයන් අතර ද පොදු පෙරමුණ කෙරෙහි ඇති කරගත් කලකිරීමක් පවතී. යම් හෙයකින් හෝ ඔවුන් පොදු පෙරමුණට සහාය දිමෙන් වැළකී සිටියහොත් පොදු පෙරමුණට තමන්ට අවශ්ය බහුතරය කොහෙත්ම ලබාගත නොහැකි තැනකට පොදු පෙරමුණ ඇද වැටෙන්නේය. පොදු පෙරමුණ ඔවුන්ගේ සහාය ලබාගැනීමට සමත් වුවත්, අතිරේක පිරිසකගේ සහාය ලබාගත නොහැකි වෙතොත්, ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගැනීමේ හැකියාවක් නොපවතී.
ඉතාමත් අමාරුවෙන් හෝ ආණ්ඩුවක් ගැට ගසාගත්තද, පොදු පෙරමුණේ එම ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් ලෙස බටහිර ලෝකය නොපිළි ගැනීමේ අවදානම පොදු පෙරමුණට මුහුණ දෙන්නට සිදුවන ලොකුම අභියෝගය විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කරන ලෙසට යුරෝපා සංගමය ආණ්ඩුවෙන් කරන ලද ඉල්ලීම ආණ්ඩුව මුළුමණින් ම නොසලකා සිටියේය. ඉන්පසු මැතිවරණ නිරික්ෂණය කිරීම පිණිස යුරෝපා සංගමය නිරික්ෂණ කණ්ඩායමක් එවූ විට එය ද ආණ්ඩුවේ සංතෝෂයට හේතු නොවීය. අඩුම වශයෙන් තමන් මැතිවරණයක් කරන්නේ ශ්රී ලංකාවට ආධාර දෙන රටවල් ඒකාබද්ධව එවන ලද නිරික්ෂණ කණ්ඩායමක් ඉදිරියේය යන කාරණය පවා ආණ්ඩුව බරපතල ලෙස සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව කෙරෙන් පළවූයේ පළමු කොට කෙසේ හෝ මැතිවරණය ජය ගනිමු. ඉන්පසු අපි ඔවුන් සමග ගනුදෙනු බේරා ගනිමුයි කියන ආකල්පයකි. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රචණ්ඩ හා දූෂිත ස්වරූපය ගැන ආණ්ඩුව කොයි කාට බොරු කළ ද, යුරෝපා සංගමයේ නිරික්ෂණ කණ්ඩායමට බොරු කළ නොහැකිය. එහි තේරුම ඒ ගැන රටේ ජනතාවට බොරු කළ හැකි වුවත්, බටහිර ලෝකයට බොරු කිරීමට නොහැකි වනු ඇති බවය. ඒ තත්ත්වය පෙරළා ශ්රී ලංකාවට දෙන ආධාර කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු නොවැළැක්විය හැකිය.
ශ්රී ලංකාවට ආධාර දෙන ආධාර කණ්ඩායම දැන් වසර දෙකක් ම රැස් නොවූයේය. පළමු අවස්ථාවේදි රැස් නොවූයේ ජනාධිපතිවරණය සලකාය. දෙවැනි වසරේ රැස් නොවූයේ පාර්ලිමේන්තු මැතිවරණය සලකාය. දැන් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී ඇති බැවින් දෙසැම්බර්වලදි රැස්වීම පැවැත්වීමේ අවශ්යතාවක් ඇතත්, පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ස්වභාවය රටට ලැබෙන ආධාර කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට හේතුවනු නොඅනුමානය. ශ්රී ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් ලෙස නොසලකන තත්ත්වයක් ඇති වුවහොත්, ආධාර ලැබීම වැළකීමේ තර්ජනයක් ඇතිවා සේ ම සමහරවිට ශ්රී ලංකාව සඳහා සම්බාධක පවත්වන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. එම තත්ත්වය පොදු පෙරමුණු ආණ්ඩුවේ අස්ථාවරභාවය තීව්ර කිරීමට හේතුවිය හැකිය.
මේ මැතිවරණයේදි ශක්තිමත් ජයග්රහණයක් පෙන්නුම් කිරීමට සමත්වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණය. තමන් ඉතාමත් ශක්තිමත් පක්ෂයක් බව සේ ම අතීතයේ දි කරන ලද වැරදි නොසලකා ප්රජාතන්ත්රවාදී ප්රවාහයකට එකතුවීමට අවශ්ය කරන මනා විනයගරුක භාවයක් තමන් තුළ ඇති බව සිය භාවිතයෙන් ඔප්පු කිරීමට සමත් වූ අතර, ඒ නිසාම ඊට ගැලපෙන ශක්තිමත් මහජන ප්රසාදයක් ද ලබාගැනීමට සමත් විය. ප්රධාන විරුද්ධ පක්ෂය වන එජාපය තමන්ට ලැබෙන ජයග්රහණයන් ගැන අන්ධ විශ්වාසයකින් ක්රියා කළා විනා මතුවිය හැකි අභියෝග කල් තියා තේරුම් ගනිමින් ඊට ගැලපෙන සංවිධානාත්මක හා පරිණත ක්රියාකාරිත්වයක් ප්රදර්ශනය කිරීමට අසමත් විය.
තම පක්ෂය අතින් ද අතීතයේ දි බරපතල වැරදි සිදුවී ඇති බව තේරුම් ගනිමින්, ඒ වැරදි මහජනයා ඉදිරියේ පිළිගැනීමට තරම් නිහතමානී වෙමින්, ආණ්ඩුව කරන්නට යන දේ කල් තියා තේරුම් ගෙන ඊට මුහුණ දිම සඳහා සිය බලවේගයන් දැනුවත් කරන හා සංවිධානය කරන වැඩපිළිවෙළකට යොමුවීමට සමත් වී නම්, ආණ්ඩුවේ මේ සියලු ප්රජාතන්ත්ර විරෝධී ක්රියාකාරකම් තිබියදිත් ආණ්ඩුව පරාජය කිරීමට සමත් වන්නට ඉඩ තිබුණි.
මේ මැතිවරණයෙන් විශාලතම පරාජයක් හිමි කරගත් ව්යාපාරය වූයේ සිහළ උරුමය ව්යාපාරයයි. සිංහලකම ගැන සිංහල මිනිසුන්ට හැගීමක් ඇතත්, සිංහලකමට අනවශ්ය තරමට බර තබන ජාතිවාදි වැඩපිළිවෙළකට එකතුවීමට තරම් සිංහල ජනයා අන්තවාදි නොවන බව ඔවුහු ඔප්පු කළහ.