නැගෙනහිර සිංහලයන් ප්‍රාණ ඇපයට තබනු එපා!

November 1, 1987
Publication:

තිබෙන ප්‍රශ්න වැරදි ක්‍රම වලින් විසඳීමට දරණ මෝඩ උත්සාහයන් තුළ සිදුවිය හැකි එකම දේ මේ රටේ ජනතාව වඩ වඩාත් අසරණ තත්ත්වයනට ඇද වැටීමයි. ඉංදියාව සමග සාම ගිවිසුමක් ඇති කර ගත්තේ වර්ගාන්තර ගැටුම අවසන් කොට රටේ සාමය, ආරක්ෂාව හා ස්ථාවර භාවය ඇති කරනු පිණිසය. එහෙත් එයින් රටට සාමය ලැබී නැත. ස්ථාවර භාවය ලැබී නැත. ඒ වෙනුවට ලැබී ඇත්තේ තිබෙන ගැටුම් උග්‍රවීමයි. අනාරක්ෂක භාවය හා අස්ථිර භාවය වර්ධනය වීමය.

දැනටමත් නැගෙනහිර පළාතේ ජීවත් වූ සිංහලයන්ගේ ජීවිත විශාල ගණනාවක් නැතිවී ඇත්තේය. උන්හිටි තැන් අහිමිවී සිටින සිංහලයන්ගේ ගණන දස දහස් ගණනකි. මේ විෂම චක්‍රය දැන් උතුරෙහිද කැරකෙමින් තිබෙන බව පෙනේ. එල්.ටී.ටී. විරෝධී යුද්ධය අවසන් වන විට දහස් ගණනක් මිය යනු ඇත. තවත් දස දහස් ගණනකට උන් හිටි තැන් අහිමි වනු ඇත. පසුව එම විෂම චක්‍රය දකුණෙහි ද කැරකීමට නියමිතය. ලැබෙන ප්‍රතිඵලය වනු ඇත්තේ මුළු රටම අනාථ කඳවුරක් බවට පත්වීමය.

නැගෙනහිර අනාථයන්ගේ ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කිරීමට වගකිව යුත්තන් ට අවශ්‍ය වී තිබෙන බවක් නොපෙනේ. ඔවුන්ගේ ගැටළු විසඳනවාට වඩා ඔවුන් නගරයට ඇදී ඒමෙන් ඇතිවිය හැකි නරක දේශපාලන ප්‍රතිවිපාක වළක්වා ගැනීමට ආංඩුව උනන්දුවක් දක්වන බවක් පෙනේ. ලාබ ලැබීම අරමුණින් කරන ගනුදෙනු වල දී විදින්ට සිදුවන පාඩුද බාර ගැනීමට ආංඩුව සූදානම් විය යුතුය.

ආරක්ෂාව සහතික නොකොටම නැගෙනහිරින් පැමිණි සිංහල අනාථයන් ආපසු නැගෙනහිර යැවීමට වගකිවයුත්තන් කැමැත්තක් දක්වන බව පෙනේ. එය ඔවුන් කබලෙන් ලිපට දැමීමක් මිස ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. ආංඩුව දේශපාලන හොඳ නම රැකගැනීම සඳහා අනාථයන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකළ යුතු අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නිසි විධිවිධාන යෙදීමට ආංඩුව බල රහිත වේ නම් ආංඩුව කළ යුතුව ඇත්තේ බලවන්ත දේශපාලන ආයතනයක් ගොඩනගා ගැන්මට අවශ්‍ය අවස්ථාවක් මහජනතාවට ලබා දීමය. ආංඩුව එසේ නොකොට අන් සියලු ප්‍රශ්නවලට වඩා තමන්ගේ පැවැත්ම වැදගත් කොට සලකයි නම් මුළු රටම අනාථ කඳවුරක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.