වර්තමානයේ අධිකරණයෙන් අසන්නට ලැබෙන ආණ්ඩු විරෝධී තීන්දු ආණ්ඩු විරෝධී මහජනයාගේ ආශ්වාදයට හේතුවී තිබේ. කලක් කොන්දේසි විරහිතව විධායකය ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළ අධිකරණය ඒ මග වෙනස් කොට දැන් විධායකයට එරෙහිව දැඩි තීන්දු දෙන ආයතනයක් බවට පත්වී ඇත. එහෙත් මතුපිටින් පෙනෙන ආශ්වාදජනක දේවල් යට ඉතා බරපතළ වැරදිද සිදුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
වැලිගොඩ දැමීමේ බලපත්‍ර අත්හිටුවීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය දැදුරුඔය හා මාඔය අසබඩ යන්ත්‍රානුසාරයෙන් වැලි ගොඩ දැමීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය නොතකා යන්ත්‍රානුසාරයෙන් වැලිගොඩ දමා ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකුට එම පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය එක් පුද්ගලයෙකුට බරපතළ වැඩ ඇතිව එක් වසරක සිරදඬුවමක් ද තවත් දෙදෙනෙකුට බරපතළ වැඩ ඇතිව මාස 6ක සිරදඬුවම් ද නියම කරන ලද බව පුවත්පත් වාර්තා කර තිබුණි.
මූලික අයිතිවාසිකම් පෙත්සමක් යනු සිය අයිතිවාසිකම් කඩවීමකදී යුක්තිය ඉටු කරගැනීම සඳහා තිබෙන සරල මාර්ගයකි. එය සාමාන්‍ය නඩු විභාගයකට සමාන නැත. එහි සිදුවනුයේ අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇත්ද යන්න සලකා බැලීමය. එහෙත් නීතියෙන් නියම කළ කිසියම් වරදකට පුද්ගලයකුට සිරදඬුවම් පැමිණවිය හැක්කේ සාධාරණ නඩු විභාගයකින් පසුව පමණය. එහෙත් වැලි ගොඩ දැමීමේ වරද මත මෙම පුද්ගලයන්ට සිරදඬුවම් පමුණුවා ඇත්තේ සාධාරණ නඩු විභාගයකින් තොරවය. ඔවුන්ට ඔවුන් කළ වරද පිළිබඳව චෝදනා පත්‍රයක් දිය යුතුව තිබුණු අතර, ඊට අතිරේකව සාධාරණ නඩු විභාගයක් ද ලබාදිය යුතුව තිබුණි. එහෙත් ඒ දෙදෙනා සිරගෙට යවා තිබෙන්නේ ඒ කිසිවක් නැතිවය. බලය තිබූ පමණකින් බලය නීතියට පටහැනිව පාවිච්චි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ න්‍යාය ධර්මය ශ්‍රේෂ්ඨාධිකරණයට ද අදාළය.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණය අතින් මෙවැනි වැරදි සිදුවූ පළමු අවස්ථාව නොවේ. මීට පෙර අගවිනිසුරු ද වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු නමැති පුද්ගලයා සාධාරණ නඩු විභාගයකින් තොරව එක් වසරක කාලයක් සඳහා හිරේ යැව්වේය. ඔහු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය නීතියට පටහැනි බව හා ඒ මගින් ශ්‍රී ලංකා රාජ්‍යය ඔහුගේ මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් කර ඇති බව ජිනීවාහි මානව හිමිකම් කමිටුව තීරණය කර ඇතත්, ඔහුට යුක්තිය ඉටු කිරීමට අද දක්වා ශ්‍රී ලංකාව ආණ්ඩුව සමත් වී නැත.