දැන් රටේ පවතින දේශපාලන අර්බුදය තිබෙන්නේ පාලනය කිරීමට අමාරු විශ්මයජනක ආකාරයකින් වර්ධනය වන තත්ත්වයකය. ආණ්ඩුව හා අධිකරණය අතර මතුවී තිබෙන ගැටුම අර්බුදයට එකතු වී තිබෙන අලුත්ම සාධකය ලෙස සැලකිය හැකිය.
ආණ්ඩුව සිය ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කරන අධිකරණ තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත්විය.
මහේස්ත්‍රාත් අධිකරණය ටිරාන් අලස්ට ඇප දුන්නේය. ත්‍රස්තවාදී මර්දන නීතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇපදීමේ හැකියාවක් මහේස්ත්‍රාත් අධිකරණයට නැතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ටිරාන් අලස්ට ඇප දුන්නාය. කොළඹ ලොජ්වල ජීවත් වන දෙමළ ජනයා බලහත්කාරයෙන් පිටමං කිරීමට ආණ්ඩුව විසින් දරන ලද ප්රයත්නයට එරෙහිව ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පැනවීය. ඒ නිසා ආණ්ඩුවට ඒ ක්‍රියාව ගැන කණගාටුව පළකරන්නට සිදුවූවා පමණක් නොව, බලහත්කාරයෙන් රැගෙන ගිය පිරිස් ආපසු කොළඹට ගෙන ඒමට ද සිදුවිය. ටිරාන් අලස්ගේ පළමු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ දෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත්තා පමණක් නො ව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ලබාගන්නා අවසරයකින් තොරව ඔහුගෙන් ප්‍රශ්න කිරීම වළකන නියෝගයක් ද පැනවීය.
අධිකරණය විසින් දෙනු ලැබූ මේ හැම තීන්දුවක්ම ආණ්ඩුව මුහුණ දී තිබෙන අර්බුදය උග්රකරමින් ආණ්ඩුව සිය ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතුවී තිබේ.
අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලනය තුළ අධිකරණය මීට පෙර ක්‍රියාකර ඇත්තේ හරි වරද නොසලකා විධායකය හා එහි ක්‍රියාකාරකම් කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතකිනි. ඔහු කලක් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රැකවල් දූතයා ලෙස ක්‍රියා කළේය. ජනාධිපතිනිය අත්තනෝමතිකව ක්‍රියාකරන අවස්ථාවලදී ඒ නිසා බැටකන මිනිසුන්ට දේශීය වශයෙන් යුක්තිය ඉටුකරවා ගන්නට තැනක් නොතිබුණි. එහෙත් අවසානයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවලංගු කාසියක් බවට පත් කරන ලද්දේ ද එම රැකවල් දූතයා විසින්මය.
මේ මෑතක් වන තෙක්ම අගවිනිසුරුගේ ක්‍රියාකලාපය මහජනයාට දෘශ්‍යමාන වූයේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන රැකවල් දූතයකුගේ ස්වරූපයෙන් නොව, ජනාධිපති ආරක්ෂා කරන රැකවල් දූතයකුගේ ස්වරූපයෙනි. එම භූමිකාව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න මතු කිරීමට හේතුවී තිබුණු අතර, එම ප්‍රශ්න ජාත්‍යන්තර අවධානයට ද හේතුවී තිබුණි.
අගවිනිසුරුගේ අලුත්ම භූමිකාව පැරණි භූමිකාවට වඩා වෙනස්ය. මීට පෙර මන්ත්රීකම් අහිමිවීමේ බියකින් තොරව පක්ෂ මාරු කළේ විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන් පමණය. අධිකරණය රඟපාමින් තිබෙන නව භූමිකාව තුළ දැන් ආණ්ඩු පක්ෂයේ පිරිස් ද මන්ත්රීකම් අහිමිවීමේ බියකින් තොරව විරුද්ධ පක්ෂයට එකතු වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මංගලගේ හා ශ්‍රීපතිගේ අත්හදා බැලීම සාර්ථක වුවහොත් එනම් විරුද්ධ පක්ෂයට එකතුවීම නිසා ඔවුන්ගේ මන්ත්රීකම් අහිමි නොවන බව ඔප්පු කිරීමට ඔවුන් සමත් වෙතොත්, ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට එකතු වන පෝලිම ද දිග පෝලිමක් බවට පත්වීමේ හැකියාවක් පවතී. අගවිනිසුරුගේ මෙම අලුත් භූමිකාව ගැන අසන්නට ලැබුණු පරස්පර විරෝධී නිරීක්ෂණ කිහිපයක් මෙසේය.
““මේ මොහොතේ අගවිනිසුරුගේ අතීත ක්‍රියාකාරකම් අමතක කළ යුතුයි. ආණ්ඩුව ඒකාධිපතිත්වයක් කරා ගමන් ගනිමින් සිටී. අගවිනිසුරු ඒ ගමනට සහාය දෙනවා වෙනුවට ඊට එරෙහිව ක්‍රියාකරන තැනක සිටී නම්, එය රටේ ආරක්ෂාවට හේතුවන බැවින් මේ මොහොතේදී ඔහු ආරක්ෂා කරනවා මිස ඔහුට පහරදෙන තැනකට නොයා යුතුය.””
““චන්ද්‍රිකා අවලංගු කොට මහින්ද බලයට ගැනීම සඳහා සී.ජේ. තීරණාත්මක කාර්යයක් ඉටු කළා. ඒ වෙනුවෙන් සී.ජේ.ට ලබාදීමට පොරොන්දු වූ දේවල් ලබාදීමට මහින්ද අසමත්වීම නිසා සී.ජේ. දැන් ආපසු හැරී මහින්දටම පහර දෙන තැනකට පැමිණ තිබෙනවා.””
““ලබ්බට තිබ්බ අත පුහුලට ද තබන බව මහින්ද කල්තියා දැනගත යුතුව තිබුණා.””
““සී.ජේ. හොඳ දේශපාලන ඉවක් තිබෙන පුද්ගලයෙක්. හුළං හමන අත කල්තියා දැනීමේ හැකියාවක් ඔහුට තිබෙනවා. චන්ද්‍රිකා තවදුරටත් විකිණීමේ හැකියාවක් නැති බව තේරුම් ගත් ඔහු චන්ද්‍රිකා අවලංගු කොට මහින්ද ඒ තැනට ගෙනාවා. මහින්දට තවදුරටත් ඉදිරියට යෑමේ හැකියාවක් නැති බව තේරුම් ගනිමින් දැන් ඔහු මහින්ද ද අවලංගු කරමින් සිටිනවා.””
““ජනාධිපතිට තමන්ට වඩා හිතවත් පුද්ගලයෙකු අගවිනිසුරු කමට ගේන්න අවශ්‍ය වී තිබෙනවා. එම තත්ත්වය සී.ජේ.ගේ කෝපයට හේතුවී තිබෙනවා.””
““විශ්‍රාම යන්නට පෙර දැන්වත් ගෞරවයට හේතුවන කාර්ය භාරයක් ඉටුකළ යුතු වේ යැයි අගවිනිසුරු සිතනවා විය හැකිය.””
අධිකරණයේ නව පෙළගැස්ම තේරුම් ගැනීමට මෙම විවිධ නිරීක්ෂණ ද ප්‍රයෝජනවත් විය හැකිය.
මහජනයා තෝරාපත් කළ ආණ්ඩුවක් කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම අධිකරණයක වගකීම නොවන්නා සේ ම ආණ්ඩු පෙරළන ආයතනයක් ලෙස ක්‍රියාකිරීම ද අධිකරණයක වගකීම වන්නේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවල් දූතයා ලෙස ක්‍රියාකළ යුත්තේ අධිකරණයයි. ආණ්ඩුව හා පුරවැසියන් අතර ආරාවුල්වලදී යුක්තිය ඉටුකරදීමේ වගකීම පැවරී ඇත්තේ ද අධිකරණයටය.
රට අවුල් ජාලාවක් බවට පත්ව ඇත්තේ වෙනත් ආයතන සේම අධිකරණය ද තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම හරියාකාරව ඉටු කිරීමට අසමත්වීම නිසාය.
දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඉඩ නොතබා ක්‍රියාත්මක කළ සිංහල පමණක් ප්‍රතිපත්තියේදී හා පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා යොදාගත් ජනමතවිචාරණ වැඩපිළිවෙළේදී අධිකරණය බලයේ සිටින ආණ්ඩුවට පක්ෂපාතව ක්‍රියාකරනවා වෙනුවට යුක්තිය ඉටු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ශ්‍රී ලංකාව මෙවැනි කාලකණ්ණි තත්ත්වයකට පත්නොවන්නට ඉඩ තිබුණේය.
99න් පසු එළඹෙන යුගය තුළ අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කළේය. එම ක්‍රියාපිළිවෙත ශ්‍රී ලංකා රාජ්‍යයේ ගරා වැටීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට දායකවිය.
17 වැනි සංශෝධනය යටතේ ඇති කරන ලද ව්‍යවස්ථා සභාව හා ඒ යටතේ පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය මරා දැමීමට අධිකරණය ද ක්‍රියාකාරී ලෙස දායක විය. දේශපාලන නායකයන් කුමන තීන්දුවක් ගත්තත්, ඒ වරද නිවැරදි කිරීමේ හැකියාව අධිකරණයට තිබුණි. අධිකරණය ඒ වරද නිවැරදි කරනවා වෙනුවට සිදුවූ වරද තහවුරු කළේය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මන්ත්රීකම් අහිමි කරගැනීමෙන් තොරව පක්ෂ මාරු කිරීමේ හැකියාවක් නොතිබුණ ද මන්ත්රීකම් අහිමි කරගැනීමකින් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු විය හැකි ක්‍රමයක් අධිකරණයේ ද අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක විය. එම තත්ත්වය සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවී තිබුණි. දැන් ඒ වෙනුවට අවශ්‍ය නම් අධිකරණයට, මන්ත්රීකම් අහිමි කරගැනීමකින් තොරව ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එකතුවිය හැකි ක්‍රමයක් ඇතිකර දිය හැකිය. එහෙත් ඒ හැම දෙයකින්ම සිදුවන්නේ දේශපාලන ක්‍රමය ජරාජීර්ණ බවට පත්වීමය.
අධිකරණයේ මෙම විෂම හැසිරීම දේශපාලන ක්‍රමයට ආවේණික විෂම බවේම ප්රතිඵලයකි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් හැම ජනාධිපතිවරයෙකු විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණය සිය ග්‍රහණයට ගතයුතු තත්ත්වයක් ඇති කර තිබේ. ජනාධිපතිට ලැබී තිබෙන මුක්තිය යටතේ ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි වුවත් ඡන්ද පෙත්සම් කෙරෙහි හා දෝෂාභියෝගයක් කෙරෙහි එම මුක්තිය බලනොපායි. ඒ අවස්ථා දෙකම ජනාධිපතිවරයෙකුට තීරණාත්මකය. ඒ අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයෙකු බලරහිත කිරීමේ බලය අධිකරණය සතුය. මේ නිසා ඍජු ලෙස හෝ අනියම් ලෙස අධිකරණ නායකයා සිය ග්‍රහණයේ තබා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ජනාධිපතිවරු සලකති.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තමන්ට සමීප පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයට ගෙන ඒමට අවශ්‍ය වූයේ ද මේ හේතු නිසාය. එහෙත් නෙවිල් සමරකෝන් මහතා ඒ ධුරයට පත් වහාම ජනාධිපතිට තිබූ සමීප බව අමතක කොට ස්වාධීනව ක්‍රියාකරන තැනකට ගියේය. ඔහුගේ එම හැසිරීම අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයක් ද ගෞරවයක් ද ඇති කිරීමට හේතුවිය. නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාගේ එම උරුමය ඉන්පසු ද අඩු වැඩි වශයෙන් ඉදිරියට යමින් තිබුණේය. මෙම ප්රවණතාවයේ ආපසු හැරවීමක් ඇතිවූයේ අගවිනිසුරු ධුරයට සරත් නන්ද සිල්වා මහතා පත්වීමෙන් පසුවය. කලක් විධායකයේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ආරක්ෂා කළ අධිකරණය දැන් විධායකය සමග ගැටුම් ඇති කරගන්නා තැනකට තල්ලු වී සිටී. එහි අවසානය කුමක් විය හැකිද?
අගවිනිසුරු අතින් ජනාධිපති චෙක්මේට් වීමේ හැකියාවක් තිබෙනවා සේ ම, ජනාධිපති අතින් අගවිනිසුරු චෙක්මේට් වීමේ හැකියාවක් ද පවතී. ඒ දෙකින් එකක්වත් නොවී දෙදෙනාටම තුවාල වී දේශපාලන ක්‍රමය චප්ප වන තත්ත්වයක් ද ඇතිවිය හැකිය. •