ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හා එහිම හිටපු මන්ත්‍රීවරයකු අතර මැතිවරණ දිනදී කොලොන්නාවේදී ඇතිවූ අශෝභන ගැටුම ආශ්‍රයෙන් ඇතිවූ ඛේදවාචකය, ලැබුණු අනතුරු ඇඟවීම් සංඥාවක් ලෙස සලකා ඉතාමත් අශීලාචාර තත්ත්වයක තිබෙන රටේ දේශපාලන සංස්කෘතිය, ශීලාචාර තැනකට ගැනීමට හේතුවන වෙනස්කම් අප්‍රමාදව ඇතිකර ගැනීමට අසමත්වේ නම් ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවන වන්දිය දැවැන්ත විය හැකිය. ත්‍රස්තවාදී ආධිපත්‍යය අබිබවා ලබන ජයග්‍රහණයන් රට පාතාල ආධිපත්‍යයකට තල්ලු කිරීමට හේතුවේ නම් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.
මන්ත්‍රීවරයා සමග ගිය මැර කණ්ඩායම අතින් ඝාතනයට ලක්වූයේ හිටපු මන්ත්‍රීවරයකු හා ප්‍රදේශයේ පිළිගැනීමට හේතුවී සිටි දේශපාලන නායකයකු පමණක් නොව, ජනාධිපතිගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකයාය. මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා ගමන් ගනිමින් සිටි වාහනය හරස් කොට හිටපු මන්ත්‍රීවරයා වාහනයෙන් එළියට පැමිණි විට ඔහුට පහර දුන්නේය. එම පහරදීමෙන් හිටපු මන්ත්‍රීවරයා බිම ඇද වැටුණු පසු මන්ත්‍රීවරයාගේ මැර කණ්ඩායමෙන් කෙනකු බිම ඇද වැටී සිටි මන්ත්‍රීවරයාගේ කකුලට වෙඩි තැබුවේය. ඒ සමග මන්ත්‍රීවරයා මූ ඉවරයක් කරමුයැ”යි කීවේය. ඒ සමග මන්ත්‍රීවරයාගේ මැර කණ්ඩායමේ කෙනකු හෝ දෙදෙනකු බිම ඇද වැටී සිටි හිටපු මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේය. ඒ සමග හිටපු මන්ත්‍රීවරයා සමග පැමිණි නිල ආරක්ෂක භටයෙක් මන්ත්‍රීවරයාටද වෙඩි තැබුවේය. මන්ත්‍රීවරයා එම වෙඩි පහරවල ගොදුරක් වීම, ඔහු මෙම සාහසික මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන වගඋත්තරකරුවා වීම වළකන්නේ නැත. සිද්ධිය මෙහි විස්තර කර ඇත්තේ සිද්ධිය වාර්තා කර තිබූ ජනමාධ්‍යවල එන තොරතුරු පදනම් කොටගෙනය.
මෙහිදී මැරවරයකුගේ භූමිකාව රඟපෑ මන්ත්‍රීවරයාද අවසානයේ ප්‍රචණ්ඩත්වයේ රුදුරු ගොදුරක් බවට පත්වීම ගැන සතුටුවීමේ හැකියාවක් නැතත්, මෙම සිද්ධිය ගැන කැරෙන සාධාරණ සාකච්ඡාවකට එය බාධාවක් කරගත යුතු නැත.
මෙම මන්ත්‍රීවරයා විශාල ධනවතෙකි. ඔහුගේ ධනවත්කමේ තරම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳින් පෙන්නුම් කළේය. රටේ සියලු අපේක්ෂකයන් අතුරින් ඒ මැතිවරණයේදී වාර්තාගත ධනයක් වැය කළ අපේක්ෂකයා ඔහු වීයැ”යි කිව හැකිය. ඔහු ධනවතකු වූයේ කෙසේද ඔහු ධනය උපයන මාර්ග මොනවාද යන්න පැහැදිලි නැත. ඒ ගැන මහජනයා කියන කතා යහපත් නැත. ඔහු අපරාධ නඩු ගණනාවකට පැටලුණු පුද්ගලයෙකි. එම නඩු හබවලින් ඔහු නිදහස් වූයේ නීතියට අනුව නොව අනීතිකවය. දේශපාලන බලපෑම මතය. එවැනි පුද්ගලයකු ධන බලයෙන් මන්ත්‍රීවරයකු වූ පමණකින් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරන තැනක තැබීම ආරක්ෂක අමාත්‍යාංශයේ ගෞරවයට හේතුවන්නේ නැත. මීට පෙර එජාප සේ ම මෙම ආණ්ඩුව ද එහිදී වැදගත් කොට සලකන ලද්දේ දක්ෂතා හෝ ගුණයහපත්කම් නොව ධන බලය හා මැර බලයයි. මෙය ඉතාමත් අශෝභන තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රටේ සමස්ත දේශපාලන සංස්කෘතියම තිබෙන්නේ කුණුවී ගඳ ගසන තත්්ත්වයකය. පාතාල ලෝකයේ අපරාධ කල්ලි හැම දේශපාලන පක්ෂයකම වැදගත්ම බලයක් බවට පත්ව තිබෙන්නේය. එය ගෞරවයට හේතුවන තත්ත්වයක් නොව, ලැජ්ජාවට පත්විය යුතු තත්ත්වයකි.
ඇතිවී තිබෙන මෙම ඛේදජනක සිද්ධියෙන් පසුවවත් ආණ්ඩුව පමණක් නොව අන් සියලු දේශපාලන පක්ෂද දේශපාලන සංස්කෘතියේ ඇතිවී තිබෙන මෙම විනාශකාරී හා අශීලාචාර තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත රටේ දේශපාලන සංස්කෘතිය ශීලාචාර තැනකට ගැනීමට හේතුවන නීති ප්‍රතිසංස්කරණ ඇතිකර ගන්නා තැනකට යායුතුය. එසේ කරන ලෙස මහජනයාද ආණ්ඩුවට සේ ම අන් සියලු දේශපාලන පක්ෂවලටද බල කළ යුතුය.
සමාජය නිරායුධ කළ යුතුව තිබෙනවා සේ ම දේශපාලනඥයන් නිරායුධ කිරීමටද මෙය අවස්ථාවක් කරගත යුතුය. නිල හා නිල නොවන ආරක්ෂක භට හමුදා නැතිව දේශපාලනඥයන් දේශපාලනය කරන තැනකට ගෙනා යුතුය. දේශපාලනඥයන් හා පාතාල ලෝකය අතර තිබෙන අන්තර් සම්බන්ධය බිඳ දැමිය යුතුය. අපරාධකාරී පසුබිමක් ඇති අයට මන්ත්‍රීවරුන් වීමට ඉඩ අසුරන නීති ඇති කළ යුතුය. මැතිවරණ නීතිද ප්‍රතිසංස්කරණය කරන තැනකට යා යුතුය. මැතිවරණයකදී අපේක්ෂකයකුට වැය කළ හැකි ධනය සඳහා සීමා ඇති කළ යුතුය. දේශපාලන පක්ෂ කළු සල්ලිවලින් යැපීම වළකන නීති ඇති කළ යුතුය. මනාප ඡන්ද ක්‍රමයද දැඩි ප්‍රතිශෝධනයකට ලක් කළ යුතුය. දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයට බලකැරෙන නීති ඇති කළ යුතුය. මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කරන නීති ඇති කළ යුතුය.