වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක කිරීම

October 23, 2011
Publication:
The policy the elections commissioner followed on the assets and liabilities law at the last provincial council election was excellent. What would have been better still was an order that every candidate file a declaration with the nomination papers — and to get round the defect of not doing so he required all the winners to file by 15 October and the defeated candidates by 30 October.

මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය පළාත් සභා මැතිවරණයේදී වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය ප්‍රශස්තය. විය යුතුව තිබුණු වඩා හොඳ දේ වනුයේ සියලු අපේක්ෂකයන්ට නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බවට නියෝග කිරීමය. එහෙත් එසේ නොකිරීමෙන් සිදුවූ දෝෂය මගහරවා ගැනීම සඳහා ඔහු ඔක්තෝබර් 15 වැනිදාට පෙර ජයග්‍රාහී සියලු නියෝජිතයන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව දැනුම් දුන්නේය. ඉන් නොනැවතී පරාජිත අපේක්ෂකයන්ද ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට නියෝග කළේය. ඉදිරි මැතිවරණවලදී මැතිවරණ කොමසාරිස්වරයා, තරග කරන අපේක්ෂකයන්ට නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට බලකැරෙන පිළිවෙතක් අනුගමනය කිරීමට සමත් වෙතොත් මැතිවරණ විෂයයේදී වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහු අතින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුවූවා ලෙස සැලකිය හැකිය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගෙන තිබෙන තීරණයද ප්‍රශස්තය. වත්කම් බැරකම් නීතිය යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තිබෙන බලය ලත් ආයතනය වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමය. ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති පළාත් පාලන මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් පිළිබඳ විස්තර කොමිසමට මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය හැකිය. ඒ මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති ජයග්‍රාහී හා පරාජිත සියලු අපේක්ෂකයන්ට එරෙහිව නඩු පවරන ප්‍රතිපත්තියකට යා හැකිය.

වත්කම් බැරකම් නීතියේ බලවත්ම අංශය ලෙස සැලකිය හැක්කේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ලබාදීමේ අයිතිය මහජනයාට ලබාදී තිබීමය. එම නීතියෙන් අපේක්ෂා කරන දර්ශනය වන්නේ වත්කම් බැරකම් නීතිය අර්ථවත් වීමට නම් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ, මහජනයාගෙන් නිරන්තර සෝදිසියට ලක්විය යුතුය යන්නය. නීතිය නීතිගත කළ අවස්ථාවේදී ඒ අරමුණ සඳහා ලබාදිය හැකිව තිබුණු සරලම විසඳුම වන්නේද නියමිත ගාස්තුවක් ලබාගෙන වත්කම් බැරකම් ප්‍රකාශනවල සහතික කළ ඡායා පිටපත් ඉල්ලුම්කරුවන්ට ලබාදීමය. ඒ කාලයේ ඒ සඳහා අන්තර්ජාලය යොදාගැනීමේ හැකියාවක් නොතිබුණි. එහෙත් වර්තමානයේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඒ සඳහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවත්වාගෙන යන වෙබ් අඩවියකට යොමු කළ හැකිය. ඒ මගින් කිසිදු මිල ගෙවීමකින් තොරව ඒවා මහජනයාගේ නිරන්තර සෝදිසියට ලක්වන තත්ත්වයකට ඇති කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සතුය. ඒ සඳහා දියුණු වැඩසටහන් නොමිලේම කරවා ගැනීමට අවශ්‍ය නම් එවැනි වැඩසටහනක් නිර්මාණය කරදීමේ හැකියාව ඇති දක්ෂ හා සත්ගුණවත් ෂඔ විශේෂඥයෝද මේ රටේ සිටින්නෝය. ඒ මගින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්නකුගේ වර්තමාන තොරතුරු අතීත තොරතුරු සමග සංසන්දනය කොට විස්මයට හෝ සැකයට හේතුවන තත්ත්වයක් ඇතොත්, ඒ ගැන ස්වයංක්‍රියව කරුණු ලබාදෙන ක්‍රමයක් වුවද ඇති කළ හැකිය. ඊට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින එහෙත් වත්කම් බැරකම් ලබාදී නැති අය ගැන ස්වයංක්‍රියව විස්තර ලබාගත හැකි ක්‍රමයක් පවා ඇති කළ හැකිය. තොරතුරු පරිගණක ගත කිරීමට අමතර වියදමක් හෝ ශ්‍රමයක් නැතිවම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින අයට විද්‍යුත් පෝරමයක තොරතුරු පුරවා ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ මගින් විද්‍යුත් තාක්ෂණය විශාල වියදමකින් තොරව දූෂණ මර්දනය සඳහා යොදාගත හැකිය.

එවැනි ක්‍රමයක් විධිමත් ලෙස ඇතිකර ගැනීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම ක්‍රියාකරන්නේ නම් එය දූෂණ මර්දනයෙහිලා ශ්‍රී ලංකා ෂඔ තාක්ෂණය යොදා ගැනෙන පුරෝගාමී උත්සාහයක් වනු නොවැළැක්විය හැකිය. අයථා ලෙස ධනය උපයා ගන්නවාට වඩා එසේ උපයාගත් ධනය සඟවාගෙන සිටීම අමාරුය. වත්කම් බැරකම් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් අයථා ලෙස ධනය උපයා ගැනීමට තිබෙන, “බය නැතිකම” විශාල ප්‍රමාණයකට නැති කළ හැකිය.