දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීමේ ඉලක්කය සපුරාගත හැකිවනු ඇත්තේ ඒ අරමුණ සඳහා විරුද්ධ පක්ෂවල පමණක් නොව, ආණ්ඩු පක්ෂයේ ද සහාය ඇතිව ඒ සියලුදෙනා පොදු එකඟතාවකින් ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවේ නම් පමණය. දේශපාලන ක්‍රමයක් ප්‍රතිසංවිධානය කෙරෙන වැඩසටහනක් මගින් ආණ්ඩු පක්ෂය බලයෙන් පහකිරීමට විරුද්ධ පක්ෂය බලාපොරොත්තු වේ නම් එවැනි වැඩසටහනකට ආණ්ඩු පක්ෂයේ සහාය ලබාගැනීමේ හැකියාව තිබිය නොහැකිවා සේ ම ආණ්ඩු පක්ෂයක් ඉදිරියට ගන්නා වැඩසටහනක් මගින් විරුද්ධ පක්ෂ බෙලහීන කිරීමට අපේක්ෂා කරයි නම් එවැනි වැඩසටහනකට විරුද්ධ පක්ෂවල සහාය ලබාගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය. අවසාන විග්‍රහයේදී දේශපාලන ක්‍රමයේ වෙනසක් හෝ ප්‍රතිසංවිධානයක් ඇති කළ හැකිවනු ඇත්තේ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කරගත හැකිනම් පමණය. දේශපාලන ක්‍රමයේ බලවත් ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තුළ වෙන් වෙන්ව හෝ එකඟතාවක් ඇතිව තිබීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
එහෙත් ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය බලයෙන් පහකිරීම නම් එවැනි ප්‍රතිසංවිධානයක් සඳහා පාලන පක්ෂයේ සහාය ලබාගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය.
ජේවීපී එකඟතාව
දෙවැනි ජනාධිපතිවරණයකට යන්නට පෙර විධායක ජනාධිපති ක්‍රමයේ ඇති කරන වෙනසක් සඳහා මහින්ද රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ අතර එකඟතාවක් තිබුණේය. එම එකඟතාවට පටහැනිව ක්‍රියාකිරීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දොස් තැබීමේ අයිතියක් ජවිපෙරමුණට තිබෙනවා විය හැකි වුවත්, දෙවැනි ජනාධිපතිවරණයක් නොපෙන්වාම දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාකරනු ඇතැ”යි සිතිය නොහැකිය. ජවිපෙ එවැනි එකඟතාවක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගද ඇති කරගෙන තිබුණේය. එයද දෙපක්ෂය විසින් බැ?රුම්ව කරුණු සලකා බලා ඇතිකර ගන්නා ලද එකඟතාවක් නොවීය. ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයා ඉවත් කරගැනීමේ මගක් අවශ්‍ය වී තිබුණු අතර, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද එම අපේක්ෂකයා තරග බිමෙන් ඉවත් කරවාගෙන ජවිපෙ අනුගාමිකයන්ගේ ඡන්ද තමන් වෙත හිමිකර ගැනීමේ අවශ්‍යතාවක් තිබුණි.
එහිදී ඇති කරගත් එකඟතාව එම සීමිත අරමුණු ජයගැනීම සඳහා ඇති කරගත් එකඟතාවක් වූවා මිස, දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීම සඳහා මෙම දෙපක්ෂයට තිබුණු ගැඹුරු වුවමනාව නිසා ඇතිකර ගන්නා ලද එකඟතාවක් නොවීය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එම එකඟතාව මත පිහිටා ජනාධිපති ක්‍රමය වෙනස් කළේ නැත. අනෙක් අතට ජනාධිපතිනිය එම පොරොන්දුව මත පිහිටා ක්‍රියා නොකරන විට ජවිපෙ එම පොරොන්දුව ඉටුකරවා ගැනීම පිණිස බලවත් ලෙස නැගී සිටින පිළිවෙතක් අනුගමනය කළේ ද නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ සමග ඇති කරගන්නා ලද එකඟතාවද ගැඹුරු අවබෝධයකින් යුතුව ඇති කරගත් එකඟතාවක් ලෙස සැලකිය නොහැකිය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන වැඩපිළිවෙළ යුක්තිසහගත කරගැනීම සඳහා දේශපාලන වැඩසටහනක් ජවිපෙට අවශ්‍ය වූ අතර, මහින්ද රාජපක්ෂ මහතාටද එම ජනාධිපතිවරණයේදී ජවිපෙ සහාය අවශ්‍ය වීම නිසා ජවිපෙ ඉදිරිපත් කළ වැඩසටහනට ඔහු ද එකඟ වූයේය.
මෙම දේශපාලන ක්‍රමය පිළිබඳව තමන්ගේම විවේචනයක් සමග ඇති කරන්නට අපේක්ෂා කරන දේශපාලන ක්‍රමය පිළිබඳව විධිමත් ලියවිල්ලක් මේ එකම පක්ෂයක්වත් (ජවිපෙ, එජාප හෝ මංගල ප්‍රවණතාව) සතු නොවීමෙන් පෙනීයන්නේ එම සියලු ප්‍රවණතා මේ විෂයේදී බැ?රුම් ලෙස කල්පනා කරන තැනක නොසිටින බවය.
ආණ්ඩුව ස්ථාවරය වෙනස් කිරීම
ආණ්ඩුවට ද ඒ ගැන බැ?රුම් ලෙස කරුණු හැදෑරීමකින් ඇතිකර ගන්නා ලද මතයක් තිබුණේයැ”යි කිව නොහැකිය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන අදහසක් ජනාධිපතිවරයා තුළ තිබුණු බව පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන බව හා ඒ බව තමන් සමග ප්‍රකාශ කරන ලද බව සර්වපාක්ෂික සමුළුවේ මහාචාර්ය තිස්ස විතාරණ අවස්ථා ගණනාවකදීම ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණි. සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා සකස් කිරීමේදීද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව ද සැලකිල්ලට ගෙන තිබුණි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් සඳහා එජාප හා ජවිපෙ කරගෙන යන කෑගැසීම් ඉදිරියේ ජනාධිපතිවරයා ද සිය ස්ථාවරයේ මූලික වෙනසක් ඇති කරගෙන තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. දැන් ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයන් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොතිබුණේ නම්, යුද්ධය ජයගැනීමට හැකි නොවන්නට ඉඩ තිබුණු බවයි.
එයින් පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගත යුතු දෙයක් ලෙස සලකන තැනකට ආණ්ඩුව ගමන් ගනිමින් සිටින බවය. එම තර්කය මීට පෙරද සාකච්ඡාවට ලක්වෙමින් තිබූ තර්කයකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවෙන් අගමැති තෝරාගන්නා පැරණි පාර්ලිමේන්තු ක්‍රමයට නැවත යායුතුයැ”යි එක ගුරු කුලයක් කියා සිටින විට තවත් ගුරු කුලයක මතය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට විධායක ජනාධිපති නීතියට යටත් පාර්ලිමේන්තුවට වගකියන ආකාරයට ක්‍රමය ප්‍රතිශෝධනය කළ යුතු බවය. අවසාන විග්‍රහයේදී විධායක ජනාධිපති ක්‍රමයකට පක්ෂ හා විපක්ෂ හැම ප්‍රවණතාවක්ම ක්‍රමයේ වෙනසක් නොවේ නම්, ක්‍රමයේ බලවත් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව පිළිගෙන තිබුණි. ඇමරිකා එක්සත් ජනපදයේ ද පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමයකි. ලෝකයේ බලවත්ම ජනාධිපති ලෙස සැලකෙන්නේද ඇමරිකානු ජනාධිපතිය.
අපේ ක්‍රමය හා ඇමරිකානු ක්‍රමය
එහෙත් ඇමරිකාවේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමයට වඩා මුළුමනින්ම වෙනස්ය. ඇමරිකානු ජනාධිපති ඉතා බලවත් වුවත්, ඊට වඩා ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලවත්ය. ඇමරිකානු ජනාධිපතිට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නොහැකිය. ඇමරිකානු ජනාධිපතිගේ ඕනෑම ක්‍රියාවක් හෝ නියෝගයක් ව්‍යවස්ථාවට අදාළදැ”යි විමසා බැලීමේ බලය සේ ම එම ක්‍රියාව හෝ නියෝගය ව්‍යවස්ථාවට පටහැනි නම් එය අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. එහෙත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට එසේ ක්‍රියා කළ නොහැකිය. ඇමරිකානු ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවකදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයකින්ද ඔහු පහ කළ හැකිය. දෝෂාභියෝගයක් මගින් ඇමරිකානු ජනාධිපතිවරයකු පහකිරීම සරල හෝ පහසු ක්‍රියාවක් නොවෙතත් ඒ සඳහා ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන විධිමත්ය.
ශ්‍රී ලංකාවේද ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා විධි විධාන ඇතත්, එම විධි විධාන සකස් කර ඇත්තේ ජනාධිපතිවරයකු තනතුරෙන් පහ කළ නොහැකි ආකාරයටය. ශ්‍රී ලංකාවේ මෙන් ඇමරිකානු ජනාධිපති ඍජු මහජන ඡන්දයකින් තේරී පත්වන්නේ නැත. ඇමරිකානු ජනාධිපති තෝරාගන්නේ ඡන්ද මණ්ඩල ක්‍රමයකිනි. ඡන්ද මණ්ඩලයේ නියෝජිතයන් පමණක් මහජන ඡන්දයෙන් තෝරාගනු ලැබේ. ජනාධිපතිවරණයකට තරග කරන අපේක්ෂකයන් තෝරාගනු ලබන්නේ ද ශ්‍රී ලංකාවේ මෙන් නොව රට පුරා පැවැත්වෙන පක්ෂ සමුළුවල පැවැත්වෙන තරගවලිනි. ඇමරිකානු ජනාධිපතිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිට මෙන් ධුර කාලයේ කිසියම් කාලයක් ගෙවීමෙන් පසු තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණයක් ලබාගැනීමේ බලය නැත. ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු ස්ථිර දිනයක් පවතී. ශ්‍රී ලංකාවේ ජනාධිපතිට නිල කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇතත්, ඇමරිකානු ජනාධිපතිට පාර්ලිමේන්තුව හෝ සෙනෙට් මණ්ඩලය විසුරුවා හැරීමේ බලයක් නැත.
අපේ රටේ මෙන් නොව, ඇමරිකානු ජනාධිපති බලයට පත්වන්නේ ඉහළ තලයේ නිලධාරීන් 2000ක් පමණ පිරිසක් සමගය. ඊට තානාපතිවරු ද ඇතුළත්ය. මේ සියලුදෙනා ජනාධිපති සමග බලයට පත්ව ඔහු බලයෙන් ඉවත් වන විට ඔවුන් ද බලයෙන් ඉවත්ව යති. එහෙත් ජනාධිපති එසේ පත්කරනු ලබන සියලුදෙනා සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලැබිය යුතුය. ඇමරිකාවේ කැබිනට් මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. එහි ඇත්තේ විෂය භාර හෝ දෙපාර්තමේන්තු භාර ඔහු පත් කරන නිලධාරීන් පමණය. ඔවුන් ද ජනාධිපති සමග බලයට විත් ඔහු යනවිට ආපසු යායුතුය. මෙම නිලධරයන්ට සාමූහික වගකීමක් නැති අතර, ව්‍යවස්ථාදායකයට හෝ මහජනයාට ද වගකියන්නේ නැත. එහෙත් මේ සියලු පත්කිරීම් සඳහා සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුය. නිලධාරීන් වශයෙන් පත් කරන මේ පිරිසෙන් වැඩිදෙනකු පාක්ෂිකයන් ලෙස සැලකිය හැකි වුවත්, එම නිලතලවලට පත් කළ හැක්කේ අවශ්‍ය සුදුසුකම් ඇති අය පමණය.
කොංග්‍රසය සම්මත කරන පනත් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග තුනක් පවතී. 1. අත්සන යොදා අනුමත කිරීම, 2. අත්සන යොදා අනුමැතිය දීමෙන් වැළකී සිටීම, එවිට දින 10කින් ජනාධිපති අත්සන් නොකළ කෙටුම්පත නීතිගත වේ. 3. කෙටුම්පත අත්සන් කිරීම ප්‍රතික්ෂේප කොට නැවත කොංග්‍රසය වෙත යැවීම. එවිට කෙටුම්පත නීතිගත වන්නේ කොංග්‍රසයේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වන්නේ නම් පමණය. ඇමරිකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය සමග ගත් විට අපේ රටේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය ඉතාමත් අක්‍රමවත් තත්ත්වයක පවතින බව ඉන් පෙනීයයි.
තෝරාගැනීමට තිබෙන විකල්ප
අපට තෝරාගැනීමට ප්‍රධාන මාවත් තුනක් තිබේ. 1. තිබෙන විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමවත් කිරීම. 2. ප්‍රතිසංවිධානයකට ලක් කිරීමකින් තොරව තිබෙන අක්‍රමවත් විධායක ජනාධිපති ක්‍රමය එලෙසම තබාගෙන ඉදිරියට යෑම. 3. විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත් වී සුදුසු වෙනත් දේශපාලන ක්‍රමයකට මාරුවීම. තිබෙන මෙම විකල්ප තුනෙන් දෙවැන්න හැර අන් විකල්ප දෙකම ඵලදායකය. එහෙත් දෙවැනි විකල්පය විනාශකාරීය.
නීතියේ පාලනය
නීතියේ පාලනය රටේ පාලකයාට ද අදාළ විය යුතුය. පාලකයා පමණක් නීතියට ඉහළින් සිටින තත්ත්වයක් ශිෂ්ටසම්පන්න විය නොහැකිය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමවත් කිරීමට නම් ජනාධිපතිගේ නියෝග හා ක්‍රියාකාරකම් සමාලෝචනයට ලක්කිරීමේ බලය හා එම නියෝග හා ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අවස්ථාවලදී ඒවා අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය යුතුය. දෝෂාභියෝගයක් සඳහා තිබෙන විධි විධානද විධිමත් වන ආකාරයට සංශෝධනය කළ යුතුය. නිල කාලය වසර හතරක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමට තිබෙන බලය සේ ම නිල කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබාදී තිබෙන බලයද ඉවත් කළ යුතුය. ජනාධිපති රාජ්‍ය නායකයාද, රටේ ප්‍රධාන පරිපාලන නිලධාරියාද, ත්‍රිවිධ හමුදාවට අණදෙන ප්‍රධාන අණදෙන නිලධාරියා ද වනවාට අමතරව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද වන නිසා ජනාධිපති වෙනත් කැබිනට් ඇමති ධුර දැරිය යුතුද යන ප්‍රශ්නය ද මෙම විෂය ගැන උනන්දුවක් දක්වන්නන් අතර විවාදයට හේතුවී තිබෙන තවත් මාතෘකාවකි.
ජනාධිපති එක් පක්ෂයකින් තේරී පත්වන විට කලාතුරකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතර බලය වෙනත් පක්ෂයකට යාහැකි අවස්ථා තිබිය හැකිය. එවැනි අවස්ථාවකදී ප්‍රතිපක්ෂ දෙකට සහයෝගයෙන් වැඩ කිරීමට අවශ්‍ය රාමුවක් පවතින ක්‍රමය තුළ නැත. ඒ සඳහා ද නව විධි විධාන ඇති කළ යුතුය. නැවත සෙනෙට් සභාවක් ඇති කිරීම මගින් ව්‍යවස්ථාදායකය ද්වි මණ්ඩල ක්‍රමයකට පත් කළ හැකිය. ඒ මගින් ව්‍යවස්ථාදායකයට උගතුන් එකතු කරගන්නා ක්‍රමයක් ඇති කරගත හැකිය. විධායක ජනාධිපති ධුරයට හා ව්‍යවස්ථාදායකයට සාමාජිකයන් තෝරා පත්කර ගන්නා මැතිවරණ ක්‍රමයේද වෙනසක් ඇති කරගත යුතුය. මැතිවරණ අරමුදල් හා මැතිවරණ වියදම් පාලනය කරන නව නීති ඇති කරගත හැකිය. ඒ මගින් මහජනයා තෝරාපත් කරගන්නා නියෝජිතයන් කළු සල්ලිකාරයන් සුළු පිරිසකට මිලදී ගැනීමට තිබෙන හැකියාව නැති කළ හැකිය. අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, ගමනාගමනය, බලශක්තිය, ස්වාභාවික සම්පත් වැනි අංශ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීම මගින් විටින් විට බලයට පත්වන ආණ්ඩුවලට රටේ පොදු යහපතට හානිවන ලෙස හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට තිබෙන හැකියාව සීමා කළ හැකිය.
• දේශපාලන ක්‍රමයේ වෙනසක් මගින් එජාප හා ජවිපෙ බලාපොරොත්තුවන්නේ රාජපක්ෂ පාලනය බලයෙන් පහකිරීම නම් එවැනි වැඩසටහනක් සඳහා ආණ්ඩු පක්ෂයේ සහාය ලබාගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය. • විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන බව හා ඒ බව තමන් සමග ප්‍රකාශ කරන ලද බව සර්ව පාක්ෂික සමුළුවේ මහචාර්ය තිස්ස විතාරණ අවස්ථා ගණනාවකදීම ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණි. • විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් සඳහා එජාපයේ ජවිපෙ කෑගැසීම් ඉදිරියේ ජනාධිපතිවරයා සිය ස්ථාවරයේ මූලික වෙනසක් ඇති කරගෙන තිබෙන බව පෙනේ. • විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා නම් පවත්වාගෙන යායුත්තේ මේ තිබෙන විධියට නොව, එය බලවත් ප්‍රතිශෝධනයකට ලක්කරමිනි. • ඇමරිකානු ජනාධිපතිගේ ඕනෑම ක්‍රියාවක් හෝ නියෝගයක් ව්‍යවස්ථාවට අනුකූලදැ”යි විමසා බැලීමේ බලය සේ ම එම ක්‍රියාව හෝ නියෝගය ව්‍යවස්ථාවට පටහැනි නම් එය අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.
• ඇමරිකානු ජනාධිපතිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිට මෙන් ධුර කාලයේ කිසියම් කාලයක් ගෙවීමෙන් පසු තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණයක් ලබාගැනීමේ බලය නැත. • පාර්ලිමේන්තුව හෝ සෙනට් මණ්ඩලයට තමන් කැමති අවස්ථාවක විසුරුවා හැරීමේ බලය නැත. • නීතියේ පාලනය රටේ පාලකයාටද අදාළ විය යුතුය. • නිල කාලය වසර හතරක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් ලබාගැනීමට ජනාධිපතිට තිබෙන බලය සේ ම නිල කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලය ද නැති කළ යුතුය.