තමන්ගේ බොඳවී යන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම සඳහා ජවි පෙරමුණට තමන් බලයට ගෙනා මහින්ද රාජපක්ෂට එරෙහිව අරගල කරන තැනකට යන්නට සිදුවී තිබෙන්නේය.
මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීමෙන් ජවිපෙ අපේක්ෂා කළේ තමන් අනියම් ලෙස පාලනය කරන ජනාධිපතිවරයෙකු මගින් රටේ අනියම් පාලනය තමන් අතට ගැනීමය. ඒ මගින් ශ්‍රීලනිප ද ක්‍රමානුකූලව සිය ග්‍රහණයට ගැනීමය.
චන්ද්‍රිකා යුගයේදී ශ්‍රීලනිප සමඟ ඇති කරගත් දේශපාලන සම්මුතිය මගින් ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු නියෝජනය දියකොට ජවි පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය කෘත්‍රිම ලෙස තරකොට ගත්තේය. පාර්ලිමේන්තු ආණ්ඩු බලය සඳහා තම ආධාර නැතිව ශ්‍රීලනිපයට තනිව පැවතිය නොහැකි තත්ත්වයක් ඇති කළේය. චන්ද්‍රිකා සමඟ ඇති කරගත් සම්මුතියෙන් දිනාගෙන සිටි ශක්තිය දෙගුණ තෙගුණ කරගැනීම මහින්ද රාජපක්ෂ සමග ඇති කරගත් දේශපාලන සම්මුතියේ අභිප්‍රාය විය.
එහෙත් මහින්ද, ජේවීපී සිහිනය බොරු කළේය. ජේවීපී සහාය නැතිව වුවත් පැවතිය හැකි තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා පළමු වටයේදී එජාපයේ මන්ත්‍රීන් කණ්ඩායමෙන් කිසියම් පිරිසක් ආණ්ඩුවට එකතු කරගත්තේය. ඒ මගින් ජවිපෙ විසින් ආණ්ඩුව අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව සීමා කොට එජාපයේ පාර්ලිමේන්තු ශක්තිය ද හීන කළේය. දෙවැනි වටයේදී ජවිපෙට පාර්ලිමේන්තුවේ තිබූ සංඛ්‍යාත්මක බලය හීන කිරීමට හේතුවන ලෙස එම පක්ෂය තුළ බෙදීමක් ඇති කළේය. දැන් ජවිපෙට තිබෙන පාර්ලිමේන්තු බලය තිබුණාට වඩා හුඟාක් පොඩිය.
දැන් ජවිපෙට දැඩි මහින්ද විරෝධී ප්රතිපත්තියකට යනවා හැර ගන්නට තුන්වෙනි මගක් ඉතිරි වී නැත. දැන් ජවිපෙ ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කරන්නට යන්නේ තමන් ළඟ තිබෙන ලොකුම හා එකම තුරුම්පුව වන වැඩවර්ජන තුරුම්පුවය.
තමන් ප්‍රකාශ කර තිබෙන සංකේත වැඩවර්ජනය අත්හරින්නට නම්, ආණ්ඩුව තුන් ගුණයකටත් වැඩි ප්‍රමාණයකින් කැබිනට් මණ්ඩලය කුඩා කළ යුතු බවත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක්‍රියාත්මක කරන තැනකට යායුතු බවත් ජවිපෙ කියා සිටී.
චන්ද්‍රිකාගේ ආණ්ඩුව අර්බුදයකට ගිය අවස්ථාවේදී ජවිපෙ ඉදිරිපත් කළ කොන්දේසි ද ඊට සමාන විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජවිපෙ සමග පරිවාස ආණ්ඩුවක් ඇති කරගනිමින් කැබිනට් මණ්ඩලය ඔවුන් ඉල්ලා සිටි තරමට කුඩා කරන ලද අතර, 17 වැනි සංශෝධනය නීතිගත කළේය. එහෙත් එම පරිවාස ආණ්ඩුවට වැඩි කලක් පැවතිය නොහැකි වූවා සේ ම එය ඇති කළ නව සම්ප්‍රදායන්ට ද දිගු කලක් පැවතිය නොහැකි විය.
ජවිපෙ භූමිකාව
ජවිපෙ දේශපාලන භූමිකාව මේ රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීමට හේතුවී නැත. දැන් ජවිපෙට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ තමන් විසින් ද කොන්ක්‍රීට් දමා ශක්තිමත් කරන ලද ඒකාධිපති දේශපාලන ක්‍රමයකට එරෙහිවය.
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අණ්ඩ දමා වෙනස් කළ හැකිද යන්න වෙනම ප්රශ්නයකි. අඩුම වශයෙන් තමන් මැදිහත්වී නීතිගත කරන ලද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීම වෙනුවෙන්වත් ජවිපෙ මීට පෙර බලවත් ලෙස පෙනී නොසිටියේය. චන්ද්‍රිකා සමග සභාග ආණ්ඩුවක් ඇති කරගැනීමෙන් පසු එම ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කිරීමට ඔවුහු ඇයට ඉඩ දුන්නෝය. ඉන්පසු ගෙවුණු දීර්ඝ කාලයක් තුළ ජවිපෙ සිටියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන තැනක නොව, එය උල්ලංඝනය කරන්නන්ට උඩගෙඩි දෙන තැනකය.
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට ඉඩක් නැත. එහෙත් ජවිපෙ ශ්රීලනිපය සමඟ සභාගයක් ඇති කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයට ගිය අවස්ථාවේදී බහුතර බලයක් සඳහා අවශ්‍ය අඩු සංඛ්‍යාව ලබාගැනීම සඳහා ජාතික හෙළ උරුමයෙන් මන්ත්‍රී හාමුදුරුවරුන් උස්සන වැඩපිළිවෙළකට ජවිපෙ ද ක්‍රියාකාරී ලෙස දායක විය.
එම මැතිවරණ ජයග්රහණයෙන් පසු ජවිපෙ ද දායකත්වය ඇතිව ඇති කරන ලද කැබිනට් මණ්ඩලය ජවිපෙ දැන් ඉල්ලා සිටින තරම් පුංචි කැබිනට් මණ්ඩලයක් නොවීය. එම ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සිටි තනතුරු දරන්නන්ගේ සංඛ්‍යාව ද පුංචි නොවීය.
වැඩ වර්ජන තුරුම්පුව
දැන් ජවිපෙ ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරන්නට යන්නේ ඔවුන් අත තිබෙන එකම හා ලොකුම තුරුම්පුවය. වැඩවර්ජන තුරුම්පුව ප්රශස්ත ලෙස පාවිච්චි කිරීමට සමත් වෙතොත්, බොඳවී යමින් තිබෙන දේශපාලන ප්‍රතිරූපය යම් තරමකට ප්‍රකෘතිමත් කරගැනීමට හැකිවනු ඇතත්, එම තුරුම්පුව ඵලදායී ලෙස පාවිච්චි කිරීමට අසමත් වෙතොත් එය ඔවුන් කෙරෙහි විනාශකාරී ලෙස බලපෑ හැකිය. බැලූ බැල්මට රටේ පවතින්නේ වැඩවර්ජනයකට වාසිදායක ආර්ථික හා සමාජ වටාපිටාවකි. වේගයෙන් ඉහළ යන උද්ධමනය, රුපියලේ වටිනාකම වාෂ්ප කරමින් වැටුප් ලබන්නන්ට ලැබෙන වැටුප් ආදායමෙන් ජීවත්වීම ඉතාමත් අමාරු තත්ත්වයක් ඇති කර තිබේ. මෙම තත්ත්වය වැඩ වර්ජනයක් කරළියට ගැනීමට වාසිදායක වටපිටාවක් ඇති කර ඇතත්, ““රටේ ආර්ථිකය තිබෙන්නේ සහන දිය හැකි තත්ත්වයක නොව, දී තිබෙන සහන ද තව තව උදුරා ගැනීමෙන් තොරව පැවතිය නොහැකි තත්ත්වයකය. වැටුප් ආදායම්වලින් ජීවත්වන මහජනයා සිටින්නේ එම ආදායම්වලින් ජීවත්විය නොහැකි අසරණ තත්ත්වයකය. එසේම රටේ ආර්ථිකය තිබෙන්නේ ද හැකිළුණු තත්ත්වයකය.
1980 ජූලි වර්ජනය ජේ.ආර්. ජයවර්ධන විසින් අනුකම්පා විරහිතව මර්දනය කරන ලද බව අමතක නොකළ යුතුය. අනෙක් අතට පවතින දේශපාලන ක්‍රමය තුළ වැඩවර්ජන අවිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා යොදාගැනීමට ඉඩක් ඇතත්, ආණ්ඩු පරාජය කරන දේශපාලන අවියක් ලෙස යොදාගැනීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය. වැඩවර්ජනයක් තමන්ගේ දේශපාලන පැවැත්මට අභියෝගයක් නොවන තාක්, ආණ්ඩුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතත්, වැඩවර්ජනයක් සිය පැවැත්මට අභියෝගයක් වෙන්නේ නම්, එය අනුකම්පා විරහිතව මර්දනය කරන තැනකට ආණ්ඩුව යොමුවනු නොවැළැක්විය හැකිය. 1980 වැඩවර්ජනය ජේ.ආර්. ජයවර්ධන අනුකම්පා විරහිතව මර්දනය කළේය. එහිදී රක්ෂා අහිමිවූ අයගේ සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන අනුව 40,000කි. එහෙත් රක්ෂා අහිමිවූවන්ගේ ඇත්ත ගණන ලක්ෂයකට වැඩිය. එහෙත් එම සිද්ධිය ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට බලවත් අභියෝගයක් වූයේ නැත. රක්ෂා අහිමිවූවන්ගේ දූ දරුවන්ගේ දුක් අඳෝනා මැද ජේ.ආර්. ජයවර්ධන සිය දේශපාලන තවලම ඉදිරියට ගෙන ගියේය.
වළල්ල පාරාවළල්ලක් වීම
ජවිපෙ හා එජාපය පමණක් නොව අන් ලොකු කුඩා සියලු විරුද්ධ පක්ෂ මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය වී ඇත්තේ ඒ සියලු දෙනාට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉක්මණින් ගෙදර යැවීමේ වුවමනාවක් ඇතත්, ඒ වුවමනාව සම්පූර්ණ කරගැනීමට මේ දේශපාලන ක්‍රමය තුළ ඉක්මන් ක්‍රමයක් නැතිකමේ ප්රශ්නයයි.
ජේ.ආර්. ජයවර්ධන මේ ක්‍රමය නිර්මාණය කළේ බලයේ සිටින තම පක්ෂයට මිස වෙනත් පක්ෂයට බලය ලබාගත නොහැකි ආකාරයටය. ප්රතිපක්ෂවලට බලය ලබාගැනීමට හෝ උදුරා ගැනීමට ඉඩක් නොලැබෙන ආකාරයටය. ඒ ක්‍රමය අවුරුදු 17ක් එක දිගට ක්‍රියාත්මක වූ අතර, මෙම දේශපාලන ක්රමයේ මූලික න්‍යායධර්ම පිළිබඳ අවබෝධයක් නැති ජනාධිපතිවරයෙකු අහම්බෙන් බලයට පත්වීම නිසා ආණ්ඩු බලය අමාරුවෙන් විරුද්ධ පක්ෂය අතට මාරුවිය. ඉන්පසු විරුද්ධ පක්ෂය ද ප්රතිපක්ෂය නිර්මාණය කර දුන් එම ක්‍රමය ආරක්ෂා කිරීම තුළ අද දක්වා අවුරුදු 15ක් තරම් කාලයක් එක දිගට බලයේ රැඳී සිටියේය. අපි අපේ ආණ්ඩුවක් සඳහා තවත් කොතරම් කලක් බලා සිටිමුද කියන හැඟීමක් එජාපය තුළ ඇතිවීම ස්වාභාවිකය. හොඳින් හෝ නරකින් හැකි ඉක්මණින් බලය උදුරාගත යුතුයි කියන බලවත් හැඟීමක් ඇතිවීම ද ස්වාභාවිකය.
එහෙත් ප්රශ්නය වන්නේ මෙම දේශපාලන ක්‍රමය තුළ කලාතුරකින් ජනාධිපතිවරණයකදී හැර අතරමැදි අවස්ථාවලදී බලය ලබාගන්නා ක්‍රමයක් නැතිවීමය. අවාසනාවකට දැන් එජාප පැටලී සිටින්නේ තමන් විසින් අනුන්ට අටවන්නට නිර්මාණය කළ උගුලේය. එය අහිංසක උගුලක් නොව සිත්පිත් නැති බිහිසුණු උගුලකි. ජේ.ආර්. ජයවර්ධන එජාපයට සදාකාලික බලයක් සඳහා ඇති කරන ලද දේශපාලන ක්‍රමය අවුරුදු 17කට පසුව වැරදීමකින් ප්රතිපක්ෂය අතට පත්වීම තුළ ප්රතිපක්ෂය අවුරුදු 17ක් ගත කළ කාලකණ්ණි ජීවිතයට සමාන කාලකණ්ණි ජීවිතයක් ගත කිරීමට එජාපයට සිදුවී තිබේ. ඔවුන්ට එම කාලකණ්ණිභාවයෙන් ගොඩ ඒමට ලැබෙන දිනය කවදාද යන්න පැහැදිලි නැත. අඩුම වශයෙන් ඔවුන් තව අවුරුදු තුනක් ඉවසාගෙන සිටිය යුතුය. මෙම දේශපාලන ක්‍රමය තුළ ඊළඟ ජනාධිපතිවරණය පවා සූදුවක් විය හැකිවා මිස, ස්ථිර ජයග්‍රහණයක් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති කරගැනීමේ හැකියාවක් නැත.
විසඳාගත යුතු ප්‍රශ්න දෙකක්
එජාප හා ජවිපෙ පමණක් නොව අන් සියලු දේශපාලන පක්ෂ සේ ම දේශපාලනය ගැන උනන්දුවක් ඇති ජනතාව ද තේරුම් ගත යුතුව තිබෙන වැදගත් සත්‍යයක් තිබේ.
ඉදිරි දර්ශනයක් නැතිව මොනම දේශපාල අරගලයක්වත් සාර්ථක කළ නොහැකිය. මේ මොහොතේ විසඳාගත යුතුව තිබෙන වැදගත්ම ප්රශ්නය වන්නේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පාලකයා වෙනස් කරන දේශපාලන අරගලයකට යනවාද නැතිනම් පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීම සඳහා වන අරගලයකට යනවාද යන්නයි.
අවශ්‍ය වන්නේ පාලකයා ඉවත් කරගැනීම පමණක් නම්, ඒ සඳහා වන බලවත් උත්සාහයකට ඉඩක් ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයේදීය. මෙම දේශපාලන ක්‍රමය තුළ ඒ හැර පාලකයා වෙනස් කිරීමට අතරමැදි අවස්ථා නැත. අතරමැද්දේ කරන අරගල රාජපක්ෂ ආණ්ඩුව බෙලහීන කිරීමට හෝ අපකීර්තිමත් කිරීමට හේතුවනු ඇතත්, වහා ආණ්ඩු වෙනසක් ඇති කිරීමට හේතුවන්නේ නැත.
අනෙක් අතට පවතින දූෂිත දේශපාලන ක්‍රමය පවත්වාගෙන යමින් පාලකයා වෙනස් කිරීම සඳහා කරන දේශපාලන අරගලයක් සාර්ථක කරගැනීමට හැකි වුවත් එයින් විරුද්ධ පක්ෂ දේශපාලන පක්ෂවලට යහපතක් වනු ඇතත්, පොදුවේ ඉන් රටට යහපතක් වන්නේ නැත. මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ බලයට පැමිණි හැම පාලකයකුගේම හැසිරීම බොහෝ දුරට එක සමානය.
ඒ හැම කෙනෙකුම තමන්ට ලැබී තිබෙන පරම බලය උපරිම ලෙස භුක්ති වින්දෝය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අවශ්‍ය වූ හැම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළෝය. විරුද්ධ පක්ෂය බෙලහීන කරන ප්‍රතිපත්තිය අනුගමනය කළෝය. තමන්ට එරෙහිව යන ජනමාධ්‍ය මර්දනය කළෝය. පොදු වස්තුව සොරකම් කරන්නට ඉඩ දුන්හ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 90%කට තනතුරු දුන්හ. අවශ්‍ය අවස්ථාවලදී එළිපිට හෝ රහසේ ඡන්ද කොල්ලකෑහ.
දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ නීතියේ පාලනයක් පවත්වාගෙන යා නොහැකි හා දූෂණය රජ කරන ආකාරයටය. මේ දේශපාලන ක්‍රමය මෙලෙස තබාගනිමින් පාලක පක්ෂය පමණක් වෙනස් කිරීමෙන් රටට විය හැකි යහපත කුමක්ද?
අවශ්‍ය වනුයේ පාලකයා හා පාලක පක්ෂය වෙනුවට රටට අවශ්‍ය දේශපාලන ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් නම්, රටට අවශ්‍ය වනුයේ කුමන දේශපාලන ක්‍රමයක් ද යන කථිකාව රටේ ප්‍රධාන දේශපාලන කථිකාව බවට පත්කර ගත යුතුය. දේශපාලන ක්‍රමය වෙනස් කරවා ගැනීම සඳහා අවශ්‍යවන්නේ කුමන ආකාරයක දේශපාලන අරගලයක් ද යන්න හඳුනාගත හැකිවනු ඇත්තේ එවිටය.