දේශපාලනය හා ධර්මය

May 22, 2005
Publication:
Ranil Wickremesinghe's 54-page booklet on politics and the Dhamma was launched with great ceremony. The note compares the thin record of books by Sri Lankan leaders, J.R. Jayewardene's included, with India's tradition from Gandhi onwards, and links that emptiness to the emptiness of the country's politics.

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය හා ධර්මය අළලා ලියන කෘතියක් දේශපාලන හා ධර්ම දේශනා මැද මහත් උත්සවශ්‍රීයෙන් එළිදක්වන ලදි. එය පිටු 54ක පොත් පිංචකි. ජේ.ආර්. ජයවර්ධන ද බුද්ධාගම ගැන පොතක් ලියා පළ කළේය. ඔහු 77 මැතිවරණයේදි රටට කීවේ තමන් ධර්මිෂ්ට රාජ්‍යයක් ඇති කරන බවය. රනිල් වික්‍රමසිංහ මහතා ද තමාට ධාර්මික පාලකයකු වීමට තිබෙන හැකියාව සනාථ කරනු පිණිස මෙම පොත ලීවා විය හැකිය.

දේශපාලකයින් විසින් ලියන ලද පොත් ගැන කතා කරන විට ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිටින්නේ නිසරු කාන්තාරයකය. මහත්මා ගාන්ධිගේ සිට වත්මන් අගමැති හා ජනාධිපති දක්වා වන ඉන්දියාවේ හැම රාජ්‍ය නායකයකු විසින්ම අඩුම වශයෙන් හොඳයැයි කිවහැකි තත්ත්වයේ එක් පොතක් හෝ ඊට වැඩි ගණනක් ලියා තිබේ. එහෙත් ඩී.ඇස්. සේනානායකගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග දක්වා වන කිසිදු නායකයෙකු හොඳ පොතක් ලෙස සැලකිය හැකි එකම පොතක්වත් ලියා නැත. ගාන්ධි, නේරු, ලික්වාන් යූ, මහතිර් මොහොමඩ් වැනි නායකයින් තමන්ගේ රටවල් ගැන ද එම රටවල් මුහණ දී තිබෙන ගැටලු ගැන ද ලියා තිබෙන පොත්පත් මගින් සිය රටවලට ආවේණික සංකීර්ණ ප්‍රශ්න පිළිබඳව තමන්ට තිබුණු ගැඹුරු වැටහීම හා දැක්ම පෙන්නුම් කළහ. එහෙත් අපේ රටේ නායකයින් පොත් වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් වේදිකාවල කර ඇති නිසරු කතාය.

විකල්ප නායකයින් ලෙස සැලකිය හැකි අය අතින් ද පොත් ලෙස සැලකිය හැකි පොත් ලියා ඇත්තේ ඇන්.ඇම්. පෙරේරා හා කොල්වින් ආර්. ද සිල්වා පමණය. ඒවා ද ඔවුන් අතින් ලියැවී ඇත්තේ දේශපාලන ජීවිතයේදි නොව ශිෂ්‍ය ජීවිතයේදිය. විජේවීර හා ප්‍රභාකරන් අතින් ද ගැඹුරක් ඇති සැලකිය යුතු කිසිවක් ලියැවී නැත.

ශ්‍රී ලංකාවේ ජන නායකයින්ට ආවේණික මෙම හිස් බව හා ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පවතින හිස් බව අතර සේ ම, නැවත දේශපාලනයේ පවතින හිස් බව හා රටේ පවතින හිස්බව අතර ද පරස්පර සම්බන්ධයක් පවතී. ගැඹුරක් හා දැක්මක් ඇති නායකයින් රටේ ඇතිවන තෙක් රටේ පවතින අඳුර දුරු කිරීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.