පොදු පෙරමුණේ කොළඹ දිස්ත්රික්ක පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂෂ්මන් ප්රේමචන්ද්ර මහතා කොළඹ නාගරික සංවර්ධන පදනම සමග එකතු වී අංගොඩ මානසික රෝහල් භූමියේ පවත්වන්නට සූදානම් කර තිබුණු සංගීත සංදර්ශනයකට එරෙහිව රෝහලේ වෛද්ය අධිකාරිවරයා අධිකරණයෙන් ලබාගෙන තිබූ තහනම් නියෝගයක් නොසලකා එම මන්ත්රීවරයා සැලසුම් කරගෙන තිබූ සංගීත සංදර්ශනය පැවැත්වීමේ සිද්ධියක් පසුගිය සතියේ දි වාර්තා විය.
වයඹ පළාත් සභා මැතිවරණයේ දි කාන්තාවක් නිරුවත් කිරිමේ සිද්ධියේ ප්රධාන සැකකාර පොදු පෙරමුණේ ප්රාදේශීය සභා මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ අධිකරණ නියෝගය ක්රියාත්මක නොකිරිමේ හේතුවෙන් කටුපොත පොලිස් ස්ථානාධිපතිවරයාට කුරුණෑගල මහාධිකරණය නොතීසි නිකුත් කළේ ද පසුගිය සතියේ ය.
මෙම නිදර්ශන දෙක ආණ්ඩු පක්ෂෂය සම්බන්ධ සිද්ධිවල දි නීතිය ක්රියාත්මක වන්නේ කෙසේද යන්න මනා ලෙස පෙන්නුම් කරයි.
අංගොඩ මානසික රෝහලේ අධිකාරීවරයා එම රෝහල් භූමියේ පවත්වන්නට නියමිතව තිබුණු සංගීත සංදර්ශනයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත්තේ රෝහල් භූමියක එවැනි දෙයක් කිරිමෙන් රෝගීන්ට සිදුවන හානිය සලකා ය. එහෙත් ප්රදේශයේ ආණ්ඩු පක්ෂෂ මන්ත්රීවරයාට රෝගීන්ට එයින් සිදුවන හානියවත් අධිකරණ නියෝගයවත් වැදගත් නොවී ය.
වයඹ පළාත් සභා මැතිවරණයේ දි කාන්තාවක් නිරුවත් කිරිමේ සිද්ධිය ද රටතුළ විශාල වශයෙන් කතාබහට ලක්වූ විශේෂ සිද්ධියකි. එහෙත් මේ නඩුවේ දි ප්රධාන විත්තිකරු වූ පොදු පෙරමුණේ ප්රාදේශීය සභිකයා එම නඩුවට සහභාගී නොවී අධිකරණය මගහැර සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේ ය. ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස අධිකරණය වරෙන්තු නිකුත් කළත් ඔහු අත්අඩංගුවට ගැනීමක් ද සිදු නොවී ය. ඒ නිසා අවසානයේ ඔහු අත් අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින කටුපොත පොලිස් ස්ථානාධිපතිවරයාට ඊට හේතු දක්වන ලෙස නොතීසි නිකුත් කිරීමට අධිකරණයට සිදුවිය.
සියලු දෙනා සිටිය යුත්තේ නීතියට පහළිනි. පක්ෂෂ භේදය නොසලකා නීතිය සියලු දෙනා සඳහා සමාන ආකාරයකින් ක්රියාත්මක විය යුතු ය. එහෙත් ඊට වෙනස්ව දැන් රටේ දේශපාලකයන් නීතියට ඉහළින් සිටින තත්ත්වයක් ඇති වී තිබෙන බව පෙනී යයි.
මෙවැනි තත්ත්වයක් රටේ ඇතිවීම කෙරෙහි රාජ්ය නායිකාව ද වගකිව යුතු ය. ඇඹිලිපිටිය ශිෂ්ය ඝාතන නඩුවෙන් පැරි ලියනගේ නිදහස් වූ පසු නැවත හමුදා සේවය හා උසස්වීම් සඳහා ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය. ඇඹිලිපිටිය ශිෂ්ය ඝාතන නඩුවෙන් නිදහස් වී තිබුණු තත්ත්වයක් තුළ ඔහු නැවත හමුදා සේවයට බඳවාගත යුතු බවත් ඔහුට හිමි සියලු උසස්වීම් ලබාදිය යුතු බවත් අධිකරණය තීරණය කළේ ය. එම තීන්දුවෙන් පසුත් ඔහුට ඒ කිසිවක් නොලැබීම නිසා ඔහු නැවත අධිකරණයට ගිය විට තමන් දෙන ලද නියෝග ක්රියාත්මක කිරිමේ වගකීම ඇත්තේ ජනාධිපතිනියට බැවින් ඒ නියෝග ජනාධිපතිනිය ක්රියාත්මක කිරීම ප්රතික්ෂෙෂ්ප කරයි නම් තමන්ට කළහැකි දෙයක් නැති බව ප්රකාශ කිරීමට අධිකරණයට සිදුවිය.
පොදු පෙරමුණේ පහළ මට්ටමේ දේශපාලකයින් ක්රියාත්මක කරන්නේ එම ආදර්ශය විය හැකි ය.