“රාවය” අධිකරණයට කරන අපහාසයට එරෙහිව නීතිඥ සංගමය දෑඩි පියවර ගැනීමට තීන්දු කර ඇති බව කියන පුවතක් අප්රේල් 30 වැනිදා “දිනමිණ” හා “ඩේලි නිව්ස්” යන පුවත්පත්වල පළ කොට තිබුණි.
එම පුවත්පත් ඒ ගැන වාර්තා කර තිබුණු ආකාරයට 22 වැනි දින පවත්වා ඇති නීතිඥ සංගම් රැස්වීමේදි “රාවය”ට එරෙහිව චෝදනා මුඛයෙන් කතා කර ඇත්තේ නීල් ඩයස් හා චන්ද්රපාල කුමාරගේ සහ සේන ලියනසූරිය යන නීතිඥ මහතුන් තිදෙනාය. පුවත්පත් දෙක වාර්තා කර තිබුණු ආකාරයට “රාවය” පුවත්පත, අධිකරණයේ අග්රස්ථානයේ සිට පහළම ස්ථානය තෙක් විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ට අපහාස කෙරෙන ප්රවෘත්ති වාර්තා කරන බව නීතිඥ නීල් ඩයස් මහතා ප්රකාශ කර තිබේ.
නීතිඥ නීල් ඩයස් මහතා අධිකරණයේ අග්රස්ථානය වශයෙන් අදහස් කරන්නට ඇත්තේ ඒ මහතාගේ මිතුරෙකු ලෙස සැලකිය හැකි සරත් එන්. සිල්වා මහතා විය යුතුය. පහළම ස්ථානය දක්වා වන විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් ලෙස සලකන්නට ඇත්තේ “රාවය” විසින් ස්ත්රී දූෂණ චෝදනා හා මුදල් වංචා චෝදනා එල්ල කළ මහේස්ත්රාත් ලෙනින් රත්නායක හා අගවිනිසුරුවරයාට එරෙහිව පවරන ලද අනාචාර නඩුවක් නීතියට පටහැනිව අගතිගාමී ලෙස විමසා ඇති බවට “රාවයෙන්” චෝදනා එල්ල වූ දිසා විනිසුරු උපාලි අබේරත්න මහතා විය යුතුය.
අධිකරණයේ ගෞරවය කෙළෙසීමට හේතුවී තිබෙන මේ ත්රිත්වය ගැන “රාවය” හඬනගන්නට වූයේ අද ඊයේ නොව, මීට බොහෝ පෙර කලක සිටය. “රාවය” දිගින් දිගටම මේ පුද්ගලයන් තිදෙනා ඉලක්ක කොට ගෙන චෝදනා කරමින් සිටින තත්ත්වයක් ඉදිරියේ නීතිඥ සංගමයේ එවකට සිටි සභාපතිවරයාට (ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා) “රාවය” මේ පුද්ගලයන් තිදෙනාට එරෙහිව එල්ල කරන චෝදනා ඉදිරියේ කුමක් කළයුතුද යන්න තීරණය කිරීම පිණිස නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ රැස්වීමක් පවා කැඳවීමට සිදුවූයේය. එවකට අගවිනිසුරුවරයා සිටියේ අගවිනිසුරු පුටුවේ නොව, නීතිපති පුටුවේය. “රාවය” නීතිපති සරත් එන්. සිල්වා මහතා මුල් කොටගෙන ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල කරන චෝදනා පිළිබඳවත්, උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එරෙහිව එල්ල කරන චෝදනා පිළිබඳවත් පරික්ෂණයකට යා යුතු බවට එවකට අගවිනිසුරු ධුරය ඉසිලු ජී.වී.එස්. ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටීමටත්, විනිසුරුවරුන් දෙදෙනාට අදාළව කෙරෙන පරික්ෂණවලින් විනිසුරුවරුන් දෙදෙනා නිදොස් වී, “රාවය” වරදකරු වුවහොත් “රාවය” ට එරෙහිව නීතිමය වශයෙන් දෑඩි ක්රියාමාර්ගයක් ගතයුතු බවටත්, එම පරික්ෂණවලින් විනිසුරුවරුන් දෙදෙනා වරදකරුවන් වුවහොත් ඔවුන්ට එරෙහිව දෑඩි ක්රියාමාර්ගයක් ගන්නා අතර, ඔවුන් සම්බන්ධ කොටගෙන නීතිපතිවරයාට එරෙහිව එල්ල කෙරෙන චෝදනා සොයා බැලීම සඳහා පරික්ෂණයකට යායුතු බවටත් එහිදී තීරණය විය.
ඒ අනුව අගවිනිසුරුවරයා විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව “රාවය” එල්ල කරන චෝදනා පරික්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල කමිටු දෙකක් පත් කළේය.
මේ පරික්ෂණ කමිටු දෙක “රාවය” වගකීමෙන් තොරව ක්රියාකර ඇති බව තීරණය කළේ නැත. ඒ වෙනුවට සිදුවූයේ “රාවය” එල්ල කර තිබුණු සියලු චෝදනාවලට විනිසුරුවරුන් දෙදෙනා වරදකරුවන් වීමය. මහේස්ත්රාත් ලෙනින් රත්නායකගේ වැඩ තහනම් කොට ඔහුට එරෙහිව අධි චෝදනා පත්රයක් ඉදිරිපත් කිරීමටත්, උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා සේවයෙන් විශ්රාම යැවීමටත් තීරණය විය.
එහෙත් අද දක්වා ලෙනින් රත්නායකට එරෙහිව අධි චෝදනා පත්රයක් ඉදිරිපත් කර නැත. ඔහු සේවයකින් තොරව වැටුප් ලබන තත්ත්වයක පසුවෙයි. සරත් සිල්වා මහතාගේ අනාචාර නඩුව අගතිගාමී ලෙස විමසූ උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට දෙන ලද දඬුවම ද ලිහිල් කළේය. මොණරාගල දිස්ත්රික්කයට දඬුවම් මාරුවක් ලබාදෙමින් වසර දෙකක කාලයක් සඳහා ක්රියාත්මක වන පරිදි උසස්වීම් අත්හිටුවූයේය. එහෙත් ඔහු මොණරාගල වැඩ කළේ නැත. දඬුවම් කාලය ඉකුත් වන්නට පෙර, මහාධිකරණයට උසස්වීමක් ලබාගැනීමට තරම් ඔහු වාසනාවන්ත වූ බව ද කිව යුතුය.
විනිසුරුවරුන් දෙදෙනාට අදාළව කෙරෙන පරික්ෂණවලදි ඔවුන් වැරදිකරුවන් වේ නම්, ඉන් අනතුරුව ඔවුන් සම්බන්ධ කොට නීතිපති සරත් එන්. සිල්වා මහතාට එරෙහිව එල්ල කරන චෝදනා පිළිබඳවත්, පරික්ෂා කළ යුතු බවට හිටපු සභාපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබුණත්, සරත් සිල්වා මහතාට අදාළව එවැනි පරික්ෂණයක් නොලැබුණු බව ද කිවයුතුය.
ඒ නිසා ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබුණු ස්ත්රී දූෂණ හා මුදල් වංචා චෝදනාවලදි ඔහු ඒ වැරදි සිදු කර තිබෙන බව පිළිගැනීමට තරම් කරුණු නීතිපති වශයෙන් තමන් ඉදිරියේ තිබියදි සත්ය වසන් කරමින් ලෙනින් රත්නායක ආරක්ෂා කරන වාර්තාවක් නීතිපති සරත් එන්. සිල්වා මහතා විසින් අධිකරණ ඇමතිවරයාට ලබාදිම මගින් දැන දැන ම වංචාවක් කර ඇත්තේය යන පදනම මත නීතිපති සරත් එන්. සිල්වා මහතාග් නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් කිරීමට මට සිදුවිය.
මගේ එම පැමිණිල්ල විභාගයට ගත යුතුද නැද්ද යන ප්රශ්නය ගැන හිටපු අගවිනිසුරුවරයා ශ්රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගෙන් කරුණු විමසීමක් කළේය. මාගේ පැමිණිල්ල විභාග කළ යුතු බව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත්දෙනෙකුගේ නිගමනය වු අතර, ඊට එරෙහි වූයේ විනිසුරුවරුන් තිදෙනෙකු පමණය. අවසානයේදි නීතිපති ධුරයේ සිටි සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් වූයේ ද මාගේ එම පැමිණිල්ල විභාග කෙරෙමින් තිබුණු අවස්ථාවකය. සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය පරික්ෂණයක් කරමින් සිටින අවස්ථාවක චෝදනාලාභී පුද්ගලයා ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා ලෙස අගවිනිසුරු ධුරයට නම් කර ඇති බව දැනගන්නට ලැබුණු විට එක්සත් ජාතීන්ගේ සංගමයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත පරම් කුමාරස්වාමි මහතා එම පත් කිරීම ප්රසිද්ධියේ හෙළා දක්නා ලද බව ද අමතක නොකළ යුතු ය. ඊට අතිරේකව එම පත්කිරීම සිදුකරන්නට පෙර සරත් එන්. සිල්වා මහතා එම තනතුරට පත් කරන්නට යන බව දැනගන්නට ලැබී ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා, ඊ.ඩී. වික්රමනායක, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර වැනි ප්රමුඛ ගණයේ නීතිඥ මහතුන් පිරිසක් වෙන් වෙන් ව ජනාධිපතිනිය හමුවී එවැනි වරදක් සිදු නොකරන ලෙස ජනාධිපතිනියගෙන් ඉල්ලා තිබුණු බව ද අමතක නොකළ යුතුය.
අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අරබයා රාවය එල්ල කරන චෝදනා පරික්ෂෂා කිරීමට නීතිඥ සංගමය පරික්ෂෂණයකට යනවා නම් ඊට අප මුළුමණින් ම එකග ය. එහෙත් අධිකරණ තලයේ ඉතාමත් බරපතල වැරදි සිදුවෙමින් තිබෙන බව පෙනි පෙනීත් නීතිඥ සංගමය වැනි ආයතනයක් මුනිවත රැකගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද යන්න අපට ප්රහේලිකාවකි. අප අසන පහත සඳහන් ප්රශ්න හයට හැකිනම් පිළිතුරු දෙන ලෙස නීතිඥ සංගමයටත්, රාවයට එරෙහිව නීතිඥ සංගමය ඉදිරියේ කථා කළ එම නීතිඥ මහතුන් තිදෙනාටත් අපි අභියෝග කරමු. එසේම නීතිඥ සංගමයට හෝ එම නීතිඥ මහතුන් තිදෙනාට අපගෙන් අසන්නට ප්රශ්න ඇතොත් ඒ සියලු ප්රශ්නවලට පිළිතුරු දිමට අප සූදානම් බව ද ප්රකාශ කරමු. දෙනු ලබන ඕනෑම පිළිතුරක් සංස්කරණයකින් තොරව පළකර දිමට ද අපි සහතික වෙමු.
1. විනිශ්චයකාරවරුන් සඳහා වන ආචාර ධර්මවලදි චරිත දූෂණ වැරදි, තනතුරෙන් ඉවත් කිරීමට තරම් බරපතල වැරදි ලෙස සැලකේ. ඒ ආශ්රයෙන් අනාචාරය හා අනියම් බිරියන් තබාගැනීම විනිශ්චයකාරවරයකු සේවයෙන් ඉවත් කිරීමට තරම් බරපතල වරදක් බව shimon shetreet විසින් රචිත Judges on Trial- A Study of the Appointment and Accountability of the English Judiciary නමැති කෘතියේ (පිටුව 309 හා 379) සඳහන් වේ. ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා හා ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතා ද ඒ හා සමාන මතයක් බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ පැවැති සම්මන්ත්රණයකදි ප්රකාශ කළහ.
සරත් එන්. සිල්වා මහතා මනෝරානි සිල්වා මහත්මිය සමග ඇති කරගෙන තිබෙන විවාහයෙන් තවමත් දික්කසාද වී නැත. ඒත් ඒ මහතා සිය නිවසේ ජීවත් වන්නේ දමයන්ති ශිරානි ජයසේකර මහත්මිය සමගය. අගවිනිසුරුවරයා වශයෙන් ඔහු ඇය සමග ප්රසිද්ධ උත්සවවලට ද සහභාගි වේ.
සමස්ත ලෝකයේම විනිශ්චයකාරවරුන් සඳහා බලපාන අනාචාරයට අදාළ ධර්මතාව අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සම්බන්ධයෙන් පමණක් අදාළ නොවන්නේ කෙසේද?
2. සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වන අවස්ථාව වනවිට දූෂණ චෝදනා මත ඒ මහතාගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා මා විසින් ද, වරලත් රසායන ඉංජිනේරු ඩබ්.බී.ඒ. ජයසේකර මහතා විසින් ද, ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක් විමර්ශණයට ගෙන තිබුණි. මා ඉදිරිපත් කරන ලද පෙත්සම විමර්ශණයට ගත යුතුද යන්න ගැන සියලුම ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් හිටපු අගවිනිසුරුවරයා අදහස් විමසීමක් ද කර තිබුණි. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත්දෙනෙකු එය විමර්ශණයට ගත යුතු බව පිළිගෙන තිබුණු අතර, විරුද්ධ වී තිබුණේ තිදෙනෙකු පමණය. එවැනි පරික්ෂණයක් සිදුවෙමින් තිබෙන අවස්ථාවක සරත් එන්. සිල්වා මහතා ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා ලෙස අගවිනිසුරු ධුරය භාර ගැනීම නිවැරදිද? අගවිනිසුරු ධුරයට පත් වීමෙන් පසු විමර්ශණය කෙරෙමින් තිබූ එම පෙත්සම් දෙකට කුමක් සිදුවූයේද යන්න නීතිඥ සංගමයට කිවහැකිද?
3. සරත් එන්. සිල්වා මහතාට එරෙහිව රසායන ඉංජිනේරු ඩබ්.බී.ඒ. ජයසේකර මහතා ගොනු කරන ලද අනාචාර නඩුවේදි එම නඩුව විභාග කළ දිසා විනිසුරු උපාලි අබේරත්න මහතා සරත් එන්. සිල්වා මහතාගේ බලපෑම මත, ඔහුගේ වාසියට හේතු වන ලෙස අගතිගාමී හා පීඩාකාරි ලෙස විනිශ්චය කොට ඇති බවට “රාවය” නගන ලද ප්රසිද්ධ චෝදනා පරික්ෂා කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම පත් කරන ලද ත්රිපුද්ගල විනිශ්චය මණ්ඩලය උපාලි අබේරත්න මහතා සියලු චෝදනාවලට වරදකරු ලෙස තීන්දු කළේය. ඒ අනුව අධිකරණ සේවා කොමිසම ඒ මහතා වහාම ක්රියාත්මක වන පරිදි සේවයෙන් විශ්රාම ගැන්වීය. ඉන්පසුව අගතියට පත් පාර්ශ්වයේ සහභාගීත්වයෙන් තොරව ඒ මහතා ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා 1999 ජූලි 19 වැනි දින සිට ක්රියාත්මක වන පරීදි වසර දෙකක කාලයක් සඳහා උසස්වීම් අත්හිටුවා මොණරාගලට දඬුවම් මාරුවක් ලබා දුන්නේය.
සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වී අධිකරණ සේවා කොමිසමේ සභාපතිවීමත් සමග ඒ මහතාගේ අනාචාර නඩුව අගතිගාමී ලෙස ඒ මහතාට පක්ෂපාතව විනිශ්චය කිරීම නිසා දඬුවම් මාරුවක් ලබා සිටි දිසා විනිසුරු උපාලි අබේරත්න මහතාගේ දඬුවම් මාරුව ලිහිල් කෙරුණා පමණක් නොව, උසස්වීම් අත්හිටවූ වසර දෙකක කාලය ඉකුත් වන්නට පෙරම අගවිනිසුරුවරයාගේ නිර්දේශය මත ඒ මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු බවට ද පත් කළේය. එවැනි ප්රතිපත්තියක් යුක්තිසහගත හා නීති විරෝධී නොවන්නේ යැයි කියන්නේ කෙසේද?
4. සරත් එන්. සිල්වා මහතා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ක්රියාකරමින් සිටින අවස්ථාවක විජය කුමාරතුංග කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස ද ක්රියා කළේය. විජය කුමාරතුංග ඝාතන කොමිෂමේ කොමසාරිස්වරයෙකු ලෙස ක්රියා කරන අතර, සිය භාරකාරත්වය යටතේ පැවති පුද්ගලික භාරයකට ජනාධිපතිනියගෙන් අක්කර 9යි රූඩ් 3යි පර්චස් 36ක ප්රමාණයේ ඉඩමක් එම භාරයට ලබා ගත්තේය. ජනාධිපතිනියගේ ස්වාමිපුරුෂයාගේ ඝාතනය පිළිබඳව ජනාධිපතිනිය විසින් පත් කරනු ලද කොමිෂමේ කොමසාරිස්වරයෙකු ලෙස ක්රියා කරන අතර, තම භාරකාරත්වය යටතේ ඇති භාරයක් සඳහා ජනාධිපතිනිය සමග එවැනි ඉඩම් ගනුදෙනුවක යෙදිම නිවැරදිද? සදාචාරසම්පන්නද? නීතියට එකග ද?
5. සරත් එන්. සිල්වා මහතා අග්රවිනිශ්චයකාර ධුරයට පත්වීමෙන් පසුද එම භාරයේ භාරකාරත්වය අත්හැර නැත. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 110 (2) යටතේ ශ්රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වැටුප් ලබන හා නොලබන වෙනත් ධුරයක් දැරිම නීති විරෝධීය. සරත් එන්. සිල්වා මහතාගේ මෙම තනතුරු දැරීම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි නොවන්නේ කෙසේද?
6. විනිශ්චයකරුවන්ගේ පුහුණු ආයතනයේ භාරකරු හා එහි පැවැත්වෙන උත්සවවලට ආහාර සපයන්නා ලෙස ක්රියාකළ ජේ.ඩබ්ලිව්. රෝහණ කුමාර අපරාධ නඩු ගණනාවකට චෝදනා ලබා සිටින පාතාල ලෝකයට සමීප සම්බන්ධකම් ඇති පුද්ගලයෙකි. ඔහු රු. 1122618.24ක මුදලක් වංචා කිරිමේ චෝදනා යටතේ මහාධිකරණය ඉදිරියේ පවරා තිබුණු නඩුවක (1218/97) 2000 මාර්තු 3 වැනි දින වරද පිළිගැනීම නිසා රුපියල් 1000ක දඩයක් නියම වී වසර 10කට අත්හිටවූ මාස 6ක සිරදඬුවම් ලබා සිටින පුද්ගලයෙකි. මේ පුද්ගලයාට එරෙහිව අධි චෝදනා පත්රය ඉදිරිපත් කර ඇත්තේ සරත් එන්. සිල්වා මහතා නීතිපති ධුරයේ සිටියදිය (CRI/4296). මෙම පුද්ගලයා මෙම තනතුරට තෝරාගෙන ඇත්තේ ද විශ්වාසය මත පිහිටා අයදුම්පත් කැඳවීමකින් හෝ සම්මුඛ පරික්ෂණයකින් තොරවය. ඔහු අගවිනිසුරුවරයාගේ සමීප ආධාරකරුවකු බව අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ දෙනෙක් දැනගෙන සිටි අතර, ඒ නිසා අධිකරණ විනිසුරුවරුන් සමීපව ඇසුරු කිරිමේ හැකියාවක් ද ඔහුට ලැබී තිබුණි. ඔහු බොහෝවිට ගමන් බිමන් ගියේ විනිශ්චයකාරවරුන් පුහුණු කිරිමේ ආයතනයේ නිල ලාංඡනය සහිත වාහන වලිනි. රෝහණ කුමාර විවිධ අවස්ථාවලදි අගවිනිසුරුවරයාට සිය ජංගම දුරකතනයෙන් කතා කර ඇති බව සේම, අගවිනිසුරුවරයා ද සිය දුරකතනයෙන් රෝහණ කුමාරගේ ජංගම දුරකතනයට කතා කර ඇති බව ද දෙදෙනාගේ දුරකතන බිල්පත්වලින් පෙනී යයි.
දැනට හෙළිදරව් වී තිබෙන තොරතුරු අනුව රෝහණ කුමාර පෙබරවාරි 05 වැනි දින පේරාදෙණියේ සිදුවූ රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනයට සම්බන්ධය. ඔහුගේ ජංගම දුරකතනයේ බිල්පත් අනුව එම ඝාතනයේ ඝාතකයා ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති නුපුල් කුමාරට රෝහණ කුමාර ඝාතනය සිදුවූ දින ඝාතනයට ස්වල්ප මොහොතකට පෙර සිව් වතාවක්ද, ඝාතනයට පෙර දින දහ වතාවක් ද කතා කර තිබේ. ඝාතකයා මීට පෙර මුදල් මංකොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි අවස්ථාවක එම පුද්ගලයා නිදහස් කරගැනීමට රෝහණ කුමාර උපරිම ලෙස උත්සාහ කොට ඇති අතර, පරික්ෂණය භාරව ක්රියාකළ උප පොලිස් පරික්ෂක කේ.එස්. දර්ශන මහතා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයට ගෙන්වා රුපියල් ලක්ෂ 05ක පගාවක් දෙන බවට පොරොන්දු වී පරික්ෂණය යටපත් කර දැමීමට උත්සාහ දරා ඇති බව ද හෙළිදරව් වී තිබේ. විජේකෝන් ඝාතනය ගැන පරික්ෂණ කරන පේරාදෙණිය පොලිසිය රෝහණ කුමාරගේ හොරණ නිවස පරික්ෂා කිරිමේදි අගවිනිසුරුවරයා සමග එක්ව ගන්නා ලද ඡායාරූපයක් ද අත් අඩංගුවට ගෙන තිබේ. ඉන්පසු රෝහණ කුමාර අධිකරණ උත්සව ඡායාරූප ගත කරන ඡායාරූප ශිල්පියා වශයෙන් ක්රියාකරන දෙහිවල කේ.පී. ප්රනාන්දු නමැති නීතිඥ මහතාගේ නිවසට ගොස් තමන් හා අගවිනිසුරුවරයා එකට සිට ගන්නා ලද ඡායාරූපවල දළ සේයාපට තමන් භාරයට ගෙන ඇති බව ද හෙළිදරව් වී තිබේ.
අගවිනිසුරුවරයා මේ පුද්ගලයා ඇසුරු කර ඇත්තේ ඔහුගේ අපරාධකාරි පසුබිම පිළිබඳව වන අවබෝධයකින්ය යන සැකය මතු කරන තවත් කරුණු කිහිපයක් මෙසේය.
විජේකෝන් ඝාතනයේ ප්රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින නුපුල් කුමාර මීට පෙර වෙනත් අපරාධයක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණු අවස්ථාවක ඔහු නිදහස් කරගැනීමට රෝහණ කුමාර දරන ලද ප්රයත්නයන් අසාර්ථක වීමෙන් පසුව නුපුල් කුමාර වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණය වෙත ගොණු කෙරිණ. මෙම පෙත්සම විභාගයට ගැනුණේ පෙබරවාරී 19 වැනි දින අගවිනිසුරුවරයා ප්රමුඛ ත්රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. පෙත්සමේ ලේඛනගත නීතිඥයා ලෙස එම්.බී.එස්. වීරකෝන් මහතාගේ නම සඳහන් කර තිබුණත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම්.බී.එස්. වීරකෝන් මහතා තමන් වෙත එවන ලද ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් ගොනු කළ නීතිඥයා වීරකෝන් මහතා නොවන බව, ප්රකාශ කර සිටියේය. එය බරපතල වංචාවක් වුවත්, එය නොසලකා හරින ප්රතිපත්තියක් අගවිනිසුරුවරයා අනුගමනය කළේ ඇයිද යන්න ප්රශ්නයකි. වංචාසහගත ලෙස ගොනු කර තිබුණු මෙම පෙත්සම වෙනුවෙන් උසාවි හා පෙරකලාසි ගාස්තු ගෙවා ඇත්තේ නීතිඥ ගැස්ටන් ජයකොඩි මහතාය. ඔහු අගවිනිසුරුවරයාගේ සමීප හිතවතෙකු වන අතර, රෝහණ කුමාරගේ ද හිතවතෙකි. මෙය වංචාසහගත ලෙස ගොනු කර තිබූ බවට මෙම නඩුව වෙනුවෙන් උසාවියේ පෙනී සිටියේ ද අගවිනිසුරුවරයාගේ සමීප හිතවතෙකු ලෙස සැලකෙන ජයම්පති වික්රමරත්න මහතාය. රෝහණ කුමාරගේ මුදල් වංචා නඩුව (1218/97) වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ලෙස ක්රියාකර ඇත්තේ ද ජයම්පති වික්රමරත්න මහතාය.
රෝහණ කුමාර අපරාධකාරි පසුබිමකින් පැවත එන පුද්ගලයෙකු බව ජයම්පති වික්රමරත්න මහතා දැන සිටියේ නම් එවැනි පුද්ගලයෙකු විනිශ්චයකරුවන් පුහුණු කරන ආයතනයේ භාරකරු ලෙස තබාගැනීමේ ඇති නොගැළපීම ජයම්පති වික්රමරත්න මහතා සරත් එන්. සිල්වා මහතාට දැනුම් නොදුන්නේ ඇයි ?
මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ අපරාධ නඩු ගණනාවකට සම්බන්ධ පාතාල ලෝකයට සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බව දැන දෑනම අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඔහු එම තනතුරට තෝරාගෙන ඇති බව පමණක් නොව, රෝහණ කුමාර වෙනුවෙන් කරන උදව්වක් ලෙස නුපුල් කුමාර නමැති ඝාතකයා ආරක්ෂෂා කිරීම සඳහා ද මේ සියලුදෙනා දැනුවත්ව ආධාර කරන පිළිවෙතක් අනුගමනය කර ඇති බවයි. සමහරවිට නුපුල් කුමාර වෙනුවෙන් ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද, රෝහණ කුමාරගේ ඉල්ලීමක් අනුව තමන් දන්නා හඳුනන පුද්ගලයන් අධිකරණයේ සිටින තත්ත්වයක් තුළ තමන්ට වාසිදායක තීන්දුවක් ලබාගත හැකිවේය යන විශ්වාසය මත පිහිටා ගොනු කරන ලද පෙත්සමක් වූ බව ද පෙනී යයි.
ඝාතනයට ලක් වූ රංජිත් බණ්ඩාරගේ පළමු බිරිඳ වන ලක්ෂෂ්මී කුසුමලතා ද ඝාතනයට සම්බන්ධ බවට තිබෙන සාක්කිවලින් තහවුරු වේ. රෝහණ කුමාරට ලක්ෂෂ්මී සමග සම්බන්ධයක් තිබුණේ ය. රෝහණ කුමාර කිංග්ස්පාක් හෝටලයේ ලක්ෂෂ්මී සමග ඇතිකරගත් සම්බන්ධයට ද අගවිනිසුරුවරයාගේ සම්බන්ධයක් ඇති බවට අපට ඔප්පු කළ හැකි ය.
මේ පසුබිම තුළ අගවිනිසුරුවරයා ක්රියාකර ඇති ආකාරය යුක්තිසහගත කරන්නේ කෙසේද?
අගවිනිසුරුවරයාට අදාළ නීතිඥ සංගමයෙන් හා අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා පෙනී සිටින සමහර නීතිඥ මහතුන්ගෙන් අසන්නට තවත් වැදගත් ප්රශ්න ඇතත්, අඩුම වශයෙන් මෙම මූලික ප්රශ්න හයටවත් හැකිනම් පිළිතුරු දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.