ජනවාර්ගික අර්බුදයේ බාහිර හැඩතල අලුත් ස්වරූපයක් ගනිමින් තිබෙන බව පෙනේ. සටන් විරාම ගිවිසුමේ වලංගුභාවය දියවීයමින් පවතී. ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කොට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදය මර්දනය කිරීම යළි පණගැන්වීමේ අවශ්‍යතාව හා එල්ටීටීඊය යළි තහනම් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක්වෙමින් පවතී.
එල්ටීටීඊය ජනාධිපතිවරණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේ ය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කොට ප්‍රශ්න විසඳීමට වසරක කාලයක් ලබාදෙන බව ප්‍රකාශ කළේ ය. එහෙත් ඒ සමග උතුරේ හමුදාවට ක්ලේමෝ ප්‍රහාර එල්ල කරන ප්‍රතිපත්තියක් මගින් අනියම් ලෙස යුද්ධ කරන තත්ත්වයක් ඇති කළේ ය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව ද එකට එක කරන ප්රතිපත්තියකට තල්ලුවීම ය. එම අවිනිශ්චිත වටාපිටව රටේ අන්තවාදී බලවේගයන්ගේ පැවැත්ම ශක්තිමත් කළේ ය.
උත්සන්න වී තිබෙන මෙම ආරාවුල විසඳීමට තිබෙන හොඳම මාර්ගය යුද්ධය ද? එල්ටීටීඊය සාමකාමී විසඳුමට ඉඩ නොදී ප්රචණ්ඩ ලෙස ක්‍රියා කරයි නම් එල්ටීටීඊය යුදමය වශයෙන් මර්දනය කළ යුතුයි කියන තැනකට තල්ලුවන්නට ඕනෑම ආණ්ඩුවකට සිදුවන්නේ ය. එහෙත් එවැනි මාවතක් තෝරාගත යුත්තේ ප්‍රශ්න විසඳා ගැනීමට වෙනත් මාර්ගයක් ඇත්තේ ම නැත්නම් පමණ ය. යුද්ධයේ මාවත ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන නරක මාවතක් බව ද ආණ්ඩුව අමතක නො කළ යුතු ය.
මේ අර්බුදය තුළ ජනවාර්ගික අර්බුදය සමග ප්රචණ්ඩත්වය පහසුවෙන් වෙන් නොකළ හැකි තරමට එයට පැටලී ඇති බව අපි අමතක නො කළ යුතු ය.
යුද්ධයේ මාවත තෝරා ගතහොත් සියලු දෙමළ ජනයා ත්‍රස්තයින් ලෙස සලකා ඔවුන් කෙරෙහි සැකයෙන් බලන්නට අපට සිදුවනු ඇත්තේ ය. එවැනි ප්‍රවේශයක් එල්ටීටීඊයේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතු වේ.
අනෙක් අතට එල්ටීටීඊයට එරෙහිව කෙරෙන මහා පරිමාණයේ යුද්ධයක් තමිල්නාඩුව කෙරෙහි ද, තමිල්නාඩුවේ ඇතිවන ආවේගයන් ඉන්දියාව කෙරෙහි ද බලපායි. යුද්ධ කරන තැනකට යන්නට පෙර ප්රචණ්ඩ ක්‍රියාකාරකම් පාලනය කොට අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාගත හැකි වෙනත් මාර්ග තිබේ ද යන්න සන්සුන්ව සොයා බැලීම වැදගත් ය.
දෙපාර්ශ්වය ම ඉදිරිපත් කරන කරුණු සලකා බලා මෙම අර්බුදයට විසඳුමක් නිර්දේශ කිරීමේ වගකීම ජාත්‍යන්තර කොමිෂන් සභාවක් වෙත භාර කළ හැකි ය.
එවැන්නකට දෙපාර්ශ්වයට ම එකඟ විය හැකි නම් කොමිෂන් සභාවේ කටයුතු අවසන් වන තෙක් ප්රචණ්ඩ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීමට දෙපාර්ශ්වයට ම එකඟත්වයක් ඇති කරගත හැකි නම් ඒ මගින් මේ අර්බුදය වෙනත් තලයකට ගත හැකි ය. කොමිෂන් සභාව ඉදිරියේ දෙපාර්ශ්වයට ම සාක්ෂි දිය හැකි ය. සිංහල, දෙමළ, මුස්ලිම් මහජනතාවට ද සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදිය හැකි ය. ඉන්පසු කොමිෂන් සභාව විසඳුමක් සඳහා ඉදිරිපත් කරන ඔවුන්ගේ ස්වාධීන නිර්දේශ මොනවාදැයි සලකා බැලිය හැකි ය.
එවැනි ක්‍රියාමාර්ගයක් මැදිහත් විග්රහයට හා විසඳුමක් සඳහා නිර්දේශයන්ට අවශ්‍ය ඉඩකඩ ලබාදෙයි. මෙම අවුලට ආත්මීය වශයෙන් සම්බන්ධ පාර්ශ්ව දෙකට වඩා පිටස්තර පිරිසකට දේවල් වඩා සන්සුන්ව දැකීමේ හා විග්රහ කිරීමේ හැකියාව පවතී.
එවිට දෙපාර්ශ්වයට ම තම තමන්ට තිබෙන චෝදනා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන අතර, දිනපතා එහි කියැවෙන දේවල්වලට ඇහුම්කන්දීමේ හැකියාව මහජනතාවට ද ලැබෙන්නේ ය. ඒ මගින් තිබෙන ආවේග ප්රචණ්ඩ ලෙස නො ව, වෙනත් ආකාරයකින් මුදාහැරීමේ අවස්ථාව දෙපාර්ශ්වයට ම ලබා දෙයි.