අධිකරණයට අපහාස කළේය යන පදනම මත පිහිටා අගවිනිසුරු ප්රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් එක් අවුරුදු සිරදඬුවමක් පමණුවනු ලැබූ ටෝනි එම සිරදඬුවම සම්පූර්ණ කොට නිදහස ලැබුවේ පසුගිය සිකුරාදා (17දා) ය. ටෝනිට සිරදඬුවම් පමුණුවා ලීමේ සිද්ධිය මෑත කාලයේ ශ්රී ලංකාවට අදාළව ජාත්යන්තර මානව හිමිකම් සංවිධානවල වැඩිම කතාබහට හේතුවූ සිද්ධිය විය.
කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් නිදහස ලබා එළියට එන ටෝනි පිළිගන්නට විශාල පිරිසක් රැස්ව සිටියේය.
තමා පිළිගැනීමට පැමිණි ඒ අය අමතා ටෝනි කියා සිටියේ, තමා කිසිම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, එක් අවුරුදු සිරදඬුවමක් ලැබීමට තමා කළ එකම වරද තම නඩුවේදි ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අදාළ ඡේදයක් අධිකරණය ඉදිරියේ කියවීම පමණක් බවත්ය.
තමා අධිකරණය ඉදිරියට ආවේ පැමිණිලිකරුවකු ලෙස වුවත්, එම පැමිණිල්ලේ සඳහන් චූදිතයින්ම නඩුව අසා පැමිණලිකරුට දඬුවම් පැමිණ වූ බව ද ඔහු එහිදි ප්රකාශ කර සිටියේය.
පැමිණිල්ලේ සඳහන් වගඋත්තරකරුවන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ටෝනිගේ නඩුව අසා ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් නියම කිරිමෙන් නොනැවතී ඔහු සිරගත කිරිමෙන් පසුව බන්ධනාගාරයේදි ඔහු දරුණු පහරදිමකට ද ලක්විය.
මේ ප්රශ්නයේදි අගවිනිසුරුවරයා තමන්ට හිමි අධිකරණ බලය අයථා ලෙස යොදා ගනිමින් මෙම පුද්ගලයාට දඬුවම් කිරිමෙන් නොනැවතී තමන්ට එරෙහිව නැගී සිටින්නන්ට පාඩමක් ඉගැන්වීම සඳහා බන්ධනාගාරයට තිබෙන සම්බන්ධකම් ඔස්සේ මෙම පහරදිම මෙහෙයවා ඇති බවට ද සැකයක් තිබිය නො හැකිය.
සාමාන්යයෙන් බන්ධනාගාරයේ කොමසාරිස් ධුරයට තෝරා ගැනෙන්නේ ද අධිකරණ නිලධාරින්ය. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් නඩු පවරන ලද විනිශ්චයකාරවරුන් දෙදෙනාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ භූමියේදි ක්රියාත්මක වූ පෝස්ටර් ව්යාපාරය මෙහෙයවූ කණ්ඩායමට ඊට දින කිහිපයකට ප්රථම බන්ධනාගාර කොමසාරිස් ධුරයෙන් ඉවත් වූ හිටපු අධිකරණ නිලධාරීයා ද ඇතුළත්ව සිටියේ ය. බන්ධනාගාරයේදි ටෝනිට එල්ල කෙරුණු අමානුෂික ප්රහාරය කෙසේ සිදුවන්න ඇද්ද යන්න ඒ අනුව සිතාගත හැකිය.
පුදුමයකට මෙන් ටෝනිට තමන්ට එල්ල කරන ලද මෙම පහරදිමට එරෙහිව නඩු කියන්නට සිදුවී ඇත්තේ ද ටෝනි සිරගෙට යැවූ අගවිනිසුරුගේ පාලනයට යටත් ශ්රේෂ්ඨාධිකරණයක් ඉදිරියේය.
අයථා ලෙස බලය පාවිච්චි කිරීම හිරදඬුවම් ලැබිය හැකි වරදකි. අයථා ලෙස බලය පාවිච්චි කොට පුද්ගලයෙකු සිරගෙට යැවීම ඉතාමත් බරපතළ වරදක් වන අතර, එසේ සිරගෙට යවනු ලැබූ පුද්ගලයෙකු අමානුෂික පහරදිමකට ලක් කිරීම ද බරපතළ අපරාධයකි. මේ සිද්ධියේ හරි වරද සොයා බලා යුක්තිය ඉටු කරන ක්රමයක් රටේ පවතී නම් අගවිනිසුරුට යන්නට වන්නේ ද ටෝනි හිටපු තැනටය. සමහරවිට එවැනි අපරාධකාරි වරදකට ලැබෙන දඬුවම එක් අවුරුදු සිරදඬුවමක් නොව, පස් අවුරුදු හෝ ඊටත් වැඩි සිරදඬුවමක් විය හැකිය.
රටේ තිබෙන සියලුම ආයතන අතරින් ඉහළින්ම තිබෙන ආයතනය ලෙස සැලකෙනුයේ අධිකරණයයි. එහෙත් රටේ අවාසනාවට අධිකරණයේ මුල් පුටුව හොබවන පුද්ගලයා රගපාමින් සිටිනුයේ පෝරිසාද චරිතයකි. මෙම පෝඑිසාද අගවිනිසුරුවරයා තමන්ට එරෙහිව ඉදිරිපත් වන නඩු තමන්ම අසා පැමිණිලිකරුවන්ට එරෙහිව දඬුවම් පමුණුවයි. ඉන් නොනැවතී පාතාල ලෝකයේ කුලී මිනීමරුවන් යොදා තමන්ට එරෙහිව නැගී සිටින්නන්ට එරෙහිව මරණ තර්ජන එල්ල කරයි. ආසියානු මානව හිමිකම් කොමිසම මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව ප්රදානය කරන සම්මානයෙන් මෙවර පුදනු ලැබුවේ අගවිනිසුරු විසින් හිරේ යවනු ලැබූ ටෝනිය. එය ජාත්යන්තර මානව හිමිකම් සමාජය විසින් අගවිනිසුරුට එරෙහිව සංකේතාත්මක අර්ථයෙන් එල්ල කරන ලද හොඳ අතුල් පහරකි.
නීතිඥ සංගමය ගැන පරම් කුමාරස්වාමි
මැලේසියානු ජාතිකයෙකු වූ පරම් කුමාරස්වාමි මහතා මැලේසියාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නිර්භීත හා කීර්තිමත් අරගලයක යෙදුණ පුද්ගලයෙකි. මහතීර් මොහොමඩ් අධිකරණයට අනිසි ලෙස ඇගිලි ගසන්ට දරන ලද උත්සාහයකදි ඔහු රටේ නායකයාට එරෙහිව ද නිර්භීතව නැගී සිටියේය. ඔහුට ඩාටෝ යන ගරු නාමය පුදනු ලැබුවේ ද ඔහු අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන ලද කීර්තිමත් කාර්යභාරය සලකාය. අවසානයේදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩාටෝ පරම් කුමාරස්වාමි මහතා අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්රධාන නිලධාරියා බවට පත් කරගන්නා ලද්දේ ඔහුගේ එම සටන්කාමී ඉතිහාසය සලකාය.
පරම් කුමාරස්වාමි මහතා පසුගිය සිකුරාදා කොළඹ ජනවාර්ගික අධ්යයන කේන්ද්රයේදි ද, සෙනසුරාදා ශ්රී ලංකා පදනම් ආයතනයේදි ද වැදගත් දේශන දෙකක් පවත්වනු ලැබීය. දේශන දෙකේදිම කතා කළේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නොමනා පාලනය තුළ අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය ගැනය. ශ්රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය සඳහා අගවිනිසුරු ධුරයේ සිටින සරත් නන්ද සිල්වා එම ධුරයෙන් ඉවත් කිරිම අත්යවශ්ය කොන්දේසියක් බව ප්රකාශ කරමින් ඒ සඳහා නැගී සිටින ලෙස ඔහු ශ්රී ලංකාවේ නීතිඥ සංගමයෙන් ද, සිවිල් සංවිධානවලින් ද ඉල්ලා සිටියේය.
දෙවැනි දේශනයේදි ඔහු ප්රධාන කොට කතා කළේ අගවිනිසුරු මුල් කොටගෙන අධිකරණයේ ඇතිවී තිබෙන අර්බුදයේදි ශ්රී ලංකා නීතිඥ සංගමය රගපාමින් තිබෙන අවස්ථාවාදි භූමිකාව ගැනය. ඔහු ශ්රී ලංකාවේ නීතිඥ සංගමය ගැන වන එම බරපතළ විවේචනය කළේ ද නීතිඥ සංගමයේ සභාපති (ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර) තමන් ඉදිරියේ තබාගෙනය.
සරත් නන්ද සිල්වා නමැති බිහිසුණු පිළිකාව සමස්ත අධිකරණ දේහය පුරා ඔඩු දුවන තත්ත්වයක් ඇතිවීමට අවශ්ය පරිසරය සකස් කරදිමේ ප්රධාන චෝදනාව එල්ල විය යුතුව තිබෙන්නේ අන් කාටවත් නොව, ශ්රී ලංකා නීතිඥ සංගමයටය. අගවිනිසුරු නටමින් සිටින පිස්සු නැටිල්ල ඔවුන්ට නොපෙනුණා නොවේ. එය ඇති කරමින් තිබෙන විනාශකාරි බලපෑම ද ඔවුන්ට පෙනුණේය. එහෙත් ඔවුන් එහිදි කළේ මජර ගලන තුවාලයකින් රස මජර උරාබොන ඉහඳ පණුවන් රැලක් ලෙස පවතින අර්බුදය තම තමන්ට පෞද්ගලික වාසි ලබාගත හැකි දෙයක් බවට හරවා ගැනීමය.
ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර මහතා තමන්ගේ ප්රධාන ප්රතිවාදියාව සිටි නීතිඥ හේමන්ත වර්ණකුලසූරීය මහතා පරාජය කිරීම සඳහා හොර රහසේ පාවිච්චි කළ ප්රධාන තුරුම්පුව වූයේ ද තමන් මේ තනතුරට තෝරාපත් කරගන්නේ නම් අගවිනිසුරු ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදයට තමන් ක්රියාකාරි ලෙස මැදිහත් වී නැවත අධිකරණයෙහි ස්වාධීන හා මහජනයාගේ ගෞරවයට හේතුවන තත්ත්වයක් ඇති කිරීම සඳහා ක්රියාකරන බවය.
එහෙත් තනතුරට පත්වීමෙන් පසුව ඔහු ඒ සියල්ල අමතක කොට අගවිනිසුරු සමග අවිවේචනාත්මක සහයෝගයකින් ක්රියාකරන තැනකට තල්ලු විය. අගවිනිසුරු වැනි දැවැන්තයකු සමග සටන් කරන්නට යනවාට වඩා පෙනෙන්නට තිබෙන බරපතළ වැරදි නොසලකා ඒ දැවැන්තයා සමග සහයෝගයෙන් ක්රියාකිරීම වාසිදායක වේ යැයි ඔහු ද සිතුවා විය හැකිය.
දි කිරට “දිනකර” සාක්කි කීම
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත ලෙස ක්රියාකරන “දිනකර” පුවත්පත පසුගිය සතියේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ ආරක්ෂාව සඳහා සම්පූර්ණ පිටුවක් වෙන් කොට තිබුණේය.
ලිපිය ලියා තිබුණේ නෙල්සන් පෙරේරාය. එය බැලු බැල්මට දේශපාලන පදනමක් මත පිහිටා අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ ආරක්ෂාව සඳහා ලියන ලද පල්හෑල්ලක් ලෙස පෙනෙනු ඇතත්, ඒ තුළ සැගවුණු ගනුදෙනුවක් ද ඇති බව පෙනී යයි. නෙල්සන් පෙරේරා වන්දි නඩුවක් පවරා ඇති මාධ්යවේදියෙකි. එවැනි ආරාවුල් ඇති අය අගවිනිසුරුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්රසිද්ධියේ පෙනී සිටින ක්රියාමාර්ගයක් මගින් වාසි ලබාගන්නා ක්රමයක් රටේ ක්රියාත්මක වේ. අධිකරණයේ ප්රධානියා වන්නේ අගවිනිසුරුය. ලේඛකයා අගවිනිසුරු හමුවී බොහෝ පසුබිම් විස්තර ලබාගෙන ඇති බව ලිපියට ඇතුළත් කරුණු අනුව පෙනී යයි. එය නඩු කියන්නෙකුට වාසි ලැබිය හැකි කදිම මාර්ගයකි. අගවිනිසුරු අධිකරණයට සර්ව බලධාරීය. අධිකරණයේ ඔහුට කළ නොහැකි දෙයක් නැති තරම්ය. අගවිනිසුරු පසසන එක ලිපියකින් තමන්ගේ නඩුව ජයගත හැකි නම් එය නෙල්සන් පෙරේරාට ස්වීප් ටිකට් එකක් ඇදුනා හා සමානය. ඔහු තීක්ෂණය. කන්ද වෙත ළගාවිය හැකි හොඳම මාර්ගය ඔහු තෝරාගෙන තිබේ. සිය අරමුණ හිතේ හැටියට ජයගැනීමට ඔහු සමත් වනු නොඅනුමානය.
මෙය නෙල්සන් පෙරේරා වැනි ජනමාධ්යවේදින් පමණක් නොව, සමහර ජනමාධ්ය ආයතන ද අනුගමනය කරන ප්රතිපත්තියකි. ඌරන් කැකුණ තලන විට එවැනි හබන් කුකුළන්ට මගුල් ය.
නෙල්සන් පෙරේරා එම ලිපියෙන් කියන්නට උත්සාහ දරා ඇත්තේ ජේයෂ්ඨයා නොසලකා අගවිනිසුරු ධුරයට පුද්ගලයන් පත් කළ ප්රථම අවස්ථාව මෙය නොවන බවය. එහෙත් අපට අගවිනිසුරු පිළිබඳව ඇත්තේ එවැනි ප්රශ්නයක් නොවේ.
ජනාධිපතිනිය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ විෂමාචාර චෝදනා මත ඔහුට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ පරික්ෂණ දෙකක් ආරම්භ කර තිබූ අවස්ථාවකදිය. එවැනි නොමනා පත් කිරීමක් ලෝකයේ වෙනත් කිසිම රටක සිදුවී නැත. මේ පරික්ෂණ දෙක අවසන් වන තෙක් සරත් නන්ද සිල්වා මෙම තනතුරට පත් නොකරන ලෙස ඒ අවස්ථාවේදි පරම් කුමාරස්වාමි මහතා ඉල්ලා සිටියේ ඒ නිසාය.
ඉන්පසු තනතුරට පත්වීමෙන් පසු ඔහු අනුගමනය කළ නින්දා සහගත ක්රියාකලාපයට සමාන ක්රියාකලාපයක් රටේ මෙතෙක් එම තනතුරට පත් කිසිම අගවිනිසුරුවරයෙකු කෙරෙන් ප්රකාශ වී නැත. නෙල්සන් පෙරේරා දි කිරට සාක්කි කියන්න උත්සාහ දරා ඇත්තේ මෝඩ ආකාරයකටය. ඔහුගේ ලිපිය දුර්වල වුවත් ඔහු අපේක්ෂා කරන දේ ලබාගැනීමට එය ප්රමාණවත්ය.
තිලංග හා ලසන්ත
ක්රිකට් පාලක මණ්ඩලයේ හා ටෙලිකොම් සමාගමේ සභාපති තිලංග සුමතිපාල හා පාතාල ලෝකයේ පළමු පෙළේ කුලී මිනීමරුවකු ලෙස සැලකිය හැකි ධම්මික අමරසිංහ අතර ඉතාමත් සමීප සම්බන්ධයක් තිබී ඇති බවට ඉතාමත් ශක්තිමත් ලෙස තහවුරු කිරීමට අවශ්ය සාක්ෂි ඉදිරිපත් කිරීමට “සන්ඩේ ලීඩර්” පුවත්පතේ ලසන්ත වික්රමතුංග සමත් වී ඇතත්, තවමත් තිලංග තමන් හොබවන තනතුරු දෙකම හොබවයි. ඒ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන පරික්ෂණ ඉදිරියට යමින් තිබෙනවා යයි කියනවා හැරුණු විට තිලංගට එරෙහිව නීතිය බලවත් ලෙස ක්රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.
ධම්මිකගේ එංගලන්ත සවාරියට අවශ්ය විදේශ විනිමය නිදහස් කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව වෙත යවා තිබෙන රෙකමදාරු ලිපියට අත්සන් තබා ඇත්තේ ද තිලංගය. මේ කුලී මිනීමරුවා එංගලන්ත සංචාරය සඳහා ගුවන් තොටුපළට ඇතුළු වී ඇත්තේ ද සංචාරයෙන් පසුව ගුවන් තොටුපළෙන් පිටවී ඇත්තේ ද ඪෂඡ දොරටුවෙනි. ගුවන් යානාවේ ගමන් කොට ඇත්තේ ද එහි යන ප්රභූන් සමග එකටය.
ඊටත් අතිරේකව මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් කොළඹ 10, මරදානේ විපුලසේන මාවතේ, අංක 51/27 දරන ස්ථානයේ පදිංචි ජූඩි වොෂින්ටන් ඉන්ද්රජිත් නමැති පුද්ගලයාගෙන් ලබාගෙන තිබෙන කටඋත්තරයක් ආශ්රයෙන් ධම්මික අමරසිංහ පළමුවෙන්ම තිලංග සුමතිපාලව හමුවී තිබෙන ආකාරයත්, තිලංග සුමතිපාලගේ ප්රතිවාදි බුකිකාරයෙකු වන ඊ.ඩබ්. බාලසූරියට අයත් නුවර ලේක් ක්ලබ් මුද්රණාලය ගිනි තැබීම සඳහා තිලංග සුමතිපාල ධම්මික අමරසිංහ හා ඔහුගේ ගෝලබාල පිරිසක් යොදාගත් ආකාරයත් විස්තර කෙරෙන කටඋත්තරයක් ද ප්රසිද්ධ කර තිබේ.
ඒ කටඋත්තරයට අනුව තිලංග සුමතිපාලට ධම්මික අමරසිංහ හඳුන්වාදි ඇත්තේ ජූඩ්ය. බාලසූරියගේ නුවර රේස් මුද්රණාලය ගිනි තැබීමට ගිය කණ්ඩායමට ධම්මික අමරසිංහ, ජූඩ් වොෂින්ටන්ට අතිරේකව මොරටු සමන් ද, බැද්දගානේ සංජීවට වෙඩි තැබුවේ යැයි කියන ගලා ද, සංජීව පෝල් ද සහභාගී වී තිබේ. මේ කටඋත්තර අනුව ද ධම්මික තිලංගට කතා කරන්නේ “තිලංග බොස්” කියාය.
ලසන්ත වික්රමතුංග වාර්තා කර තිබෙන ආකාරයට තිලංග සුමතිපාල මේ අර්බුදය පිළිබඳව අගමැති රනිල් වික්රමසිංහ අමතා ලියා යවන ලද ලිපියේ තමන් ගැන සඳහන් කොට ඇත්තේ “රනිල් වික්රමසිංහ මහතා බලයට පත්කිරීමට කේන්ද්රීය කාර්ය භාරයක් (Pivotal Role) ඉටු කළ පුද්ගලයෙක”ු වශයෙනි. ලසන්ත ලියා ඇති ආකාරයට තිලංග මේ අර්බුදය ගැන කතා කිරීම පිණිස 13 වැනි සඳුදා තනිව අගමැතිවරයා හමුවී තිබෙන අතර, ඉන්පසු 14 වැනි අගහරුවාදා ද අරලියගහ මන්දිරයේ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති ආර්ථික ප්රතිපත්ති කමිටු සාකච්ඡාවකට ද තිලංග සුමතිපාල සහභාගී වී තිබේ. ලසන්ත සිය කතුවැකියෙන් අගමැතිවරයා මේ අවස්ථාව මාලු නිහාල් වැනි අපරාධකාරයින්ට ද ලබාදෙන්නේ ද යන්න ප්රශ්න කරයි.
මේ ආරාවුලේ කෙළවර කුමක්ද යන්න පැහැදිලි නැත. ලසන්ත අතරමැදි සමාදානයකට සූදානම් නැත. අනෙක් අතට ලසන්ත සතුටු කිරීම සඳහා තිලංග බිල්ලට දිම ද ලේසි නැත. තිලංග හෝ ධම්මික අමරසිංහ කතා කරන තැනකට ගියහොත් ප්රධාන පක්ෂ දෙකම මහා අවුලකට පවා තල්ලු වී යා හැකි තත්ත්වයක් පවතී.
තිලංග හිතන්නේ ආණ්ඩුව එස්.බී. දිසානායක ඇමතිවරයා පාලනය කිරීම සඳහා තමාගේ බෙල්ලෙන් අල්ලාගෙන සිටින බවය. එහෙත් තිලංගට තමා වැනසෙන්න යන බව පෙනුණ හොත් කතා නොකොට නිහඬව බිලිවන තැනකට යනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට අර්බුදයක් ඇතිවීම වළකා ගැනීම සඳහා තිලංග ආරක්ෂා කරන තැනකට ආණ්ඩුව ගියහොත් ලසන්ත මුළු වැර යොදා ආණ්ඩුවට පහර දෙන තැනකට යොමුවනු නොවැළැක්විය හැකිය. මේ තත්ත්වය “ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” කියන තත්ත්වයට සමානය.