ජනාධිපති අරමුදලට ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කිරීමක් සිදු නොවන නිසා එහි ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ අවශ්යතාවක් ද නොපවත්නා බව අගමැති රත්නසිරී වික්රමනායක මහතා පාර්ලිමේන්තුවට ප්රකාශ කර තිබුණි.
අගමැතිගේ මෙම ප්රකාශය පාර්ලිමේන්තුව පමණක් නොව, මහජනයා ද නොමග යවන්නකි. එය වැඩිදුරටත් ජනාධිපති අරමුදලේ ගනුදෙනු අරබයා මහජනයා තුළ පවත්නා කුකුස තීව්ර කිරීමට ද හේතුවනු නොවැළැක්විය හැකිය.
ජනාධිපති අරමුදල ඒකාබද්ධ අරමුදලෙන් බැහැරව රටේ තිබෙන විශාලතම අරමුදල ලෙස සැලකිය හැකි ය. එහෙත් එම අරමුදල 1995න් පසුව විගණනය කිරීමක් සිදුකර නැති බැවින්, වර්තමානයේ අරමුදලේ ප්රමාණය කොතරම් ද යන්න පැහැදිලි නැත. 1995 වසරේදි එහි ප්රමාණය රුපියල් බිලියන 3ක් හෙවත්, රුපියල් මිලියන 3000ක් විය. එහෙත් වර්තමානයේ එහි තරම එය විය නොහැක. ක්ෂණක ලොතරැයිවලින් ලැබෙන ආදායම් එම අරමුදලට ගලා එන ප්රධානම මාර්ගයයි. 1994 දි ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 3255ක් වුවද 1995 දි එය රුපියල් මිලියන 6376ක්ද, 1996 දි 8130ක් ද, 1997 දි 9593ක්ද, 1998 දි 13195ක් ද විය. සාමාන්යයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය උපයන ආදායමට වැඩි ආදායමක් සංවර්ධන ලොතරැයිය ඇතුළු වෙනත් ක්ෂණක ලොතරැයි උපයයි. ඒ අනුව ක්ෂණක ලොතරැයිවලින් වර්තමානයේ ජනාධිපති අරමුදලට වාර්ෂිකව ගලා යන ආදායම රුපියල් මිලියන 10000ක් ලෙස සැලකුවත්, ජනාධිපති අරමුදලේ ප්රමාණය කොතරම් විශාල ද යන්න තේරුම් ගත හැකිය.
රුපියල් මිලියන 10000කට රටේ ආර්ථිකයේ තරම හා ක්රියාකාරිත්වය අනුව ලැබෙන වැදගත්කමේ ප්රමාණය තේරුම් ගැනීම සඳහා යොදාගත හැකි සැසඳීම් කිහිපයක් මෙසේය. 1998 දි රටේ තේ අපනයන ආදායම රුපියල් මිලියන 50280කි. රබර් අපනයන ආදායම රුපියල් මිලියන 2808කි. රජයට අයත් වතු සමාගම් 20ක කොටස් අයිතියෙන් 83%ක් පුද්ගලික අංශයට විකුණා උපයන ලද මුළු ආදායම රුපියල් මිලියන 3777කි. සමෘද්ධිලාභී පවුල් 1973183ක් සඳහා 1998 වසරේදි ලබාදෙන ලද සහනාධාරවල මුළු වටිනාකම රුපියල් මිලියන 9652කි. අධ්යාපනය සඳහා එම වසරේ ප්රාග්ධන වියදම රුපියල් මිලියන 8198කි. සෞඛ්ය ප්රාග්ධන වියදම රුපියල් මිලියන 7109කි. යුද්ධය සඳහා ප්රාග්ධන වියදම රුපියල් මිලියන 9600කි. ඒ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපති අරමුදල එසේ මෙසේ අරමුලක් නොව, රටේ තිබෙන විශාලම අරමුදලක් බවයි.
එම අරමුදලට ආදායම් ගලාඑන්නේ ද ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයන්ගේ පුද්ගලික බූදල්වලින් නොව, රජය පවත්වාගෙන යන ක්ෂණික ලොතරැයි වලිනි. රටේ පවතින මුදල් නීතිය අනුව රජයේ සියලු ලොතරැයි තිබිය යුත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය යටතේය. ඒවා උපයන ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර විය යුතු අතර, ආණ්ඩුව සම්බන්ධ විශේෂ අරමුදල් ඇතොත්, ඒවාට අවශ්ය ප්රතිපාදන වෙන් කළ යුතු වන්නේ ද ඒකාබද්ධ අරමුදල යටතේය. එහෙත් මේ නීති නොසලකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තමාගේ මහේශාක්යභාවයට ගැලපෙන ජනාධිපති අරමුදලක් ඇති කොට සංවර්ධන ලොතරැයියෙන් ලැබෙන ආදායම් ඒකාබද්ධ අරමුදල මගහැර සිය අරමුදලට ගලා යන විශේෂ ක්රමයක් ඇතිකර ගත්තේය. රාජ්ය මූල්ය කළමනාකරණය අවුල් කිරීමට හේතුවන මෙම ක්රමය එකල විපක්ෂය දැඩි විවේචනයට හේතුවී තිබුණද, දැන් ආණ්ඩු පක්ෂයට බවට පත්ව තිබෙන ඒ විපක්ෂය එම වැරදි ක්රමයේ දැඩි ආරක්ෂකයින් බවට පත්ව තිබේ. ජනාධිපති අරමුදල් පනත අනුව අරමුදල විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වන අතර, එහි ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නීතියෙන් බැඳී සිටී. ඒ නිසා අගමැතිගේ ප්රකාශය ඇත්ත තත්ත්වය වසන් කොට පාර්ලිමේන්තුව නොමග යවන සුළු ප්රකාශයක් බවට සැලකිය හැකිය.
රටේ විධායක ජනාධිපතිට සම්බන්ධ ආයතන විධිමත් තත්ත්වයක නොපවතී නම්, ඊට පහළින් සිටින පුද්ගලයන් යටතේ පවතින ආයතනවල විධිමත් භාවය පිළිබඳ කතා කිරිමේ තේරුමක් තිබිය නොහැකිය. විධායක ජනාධිපති යටතේ පවතින ඒකාබද්ධ අරමුදලට පසුව රටේ තිබෙන ලොකුම අරමුදල ලෙස සැලකිය හැකි ජනාධිපති අරමුදල 1995න් පසුව විගණනය කර නැති නම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ රාජ්ය මූල්ය කළමනාකරණය ඇද වැටී තිබෙන ඛේදජනක ස්වභාවයේ තරමයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටියදි සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති අරමුදලට අදාළව මතුකර තිබුණ ප්රශ්නයකට පිළිතුරු වශයෙන් ආණ්ඩුවට ජනාධිපති අරමුදලේ ප්රධානලාභීන්ගේ නාම ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පුදුමයකට මෙන් එම ලැයිස්තුවට ඇතුළත් ප්රධාන ලාභීන් අරමුදලෙන් ලබාගෙන තිබූ ප්රධානයන්ගේ ප්රමාණයන් ඊට ඇතුළත් කර නොතිබුණි. එම අරමුදල 1995න් පසුව විගණනය කර නැති බව හෙළිදරව් වූයේ ඊටත් පසුවය. දැන් අගමැති කර තිබෙන ප්රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේ ද මොනයම් හේතුවක් නිසා හෝ අරමුදලේ සිදුවී ඇති ගනුදෙනු සගවා තබා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට ඇති බවය.