ජනාධිපතිවරණය, මැතිවරණ කොමසාරීස්වරයා හා වත්කම් බැරකම් නීතිය

November 13, 2005
Publication:
The Declaration of Assets and Liabilities Law of 1975, amended in 1988, is the only strong law for scrutinising the wealth of politicians and officials, yet until 1999 it was applied almost only to officials. Ivan recounts how, as Ravaya's editor, he asked the Elections Commissioner for the declarations filed by Chandrika Kumaratunga and Ranil Wickremesinghe with their 1999 nominations.

1988 අංක 74 දරන පනතින් සංශෝධිත, 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරින් උපයන වත්කම් පරික්ෂාවට ලක්කිරීමට තිබෙන එකම හා බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. මෙම නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින සියලු දෙනා තමන්ගේ ද තම බිරිඳ හෝ ස්වාමි පුරුෂයාගේ ද සිය පවුලේ අවුරුදු 18ට අඩු සියලු දරුවන්ගේ ද වත්කම් හා බැරකම් හෙළි කළ යුතුය. වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා සේ ම, නිවැරදි තොරතුරු ප්‍රකාශ නොකිරීම හෝ වැරදි තොරතුරු ඇතුළත් කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙවැනි නීතියක් තිබුණ ද, 1999 වසර තෙක්ම මෙම නීතිය බොහෝ දුරට ක්‍රියාත්මක වූයේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පමණය. ජනාධිපති, මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එය පැවතියේ කොරගසන තත්ත්වයකය. ජනාධිපතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටියත්, දේශපාලකයන් එම නීතිය නොපිළිපදින හා බලධාරින් එම නීතිය නොපිළිපදින අයට එරෙහිව නීතිය බලාත්මක කිරිමෙන් වැළකී සිටින තත්ත්වයක් තුළ මෙම නීතිය ද ක්‍රියාවිරහිත තත්ත්වයකට පත්ව තිබුණි.

1999 ජනාධිපතිවරණයේදි මා විශේෂිත ආකාරයක විරෝධතාවක් නාමයෝජනා වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළෙමි. මීට පෙර ජනාධිපතිවරණවලට තරග කළ එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශ කර නැති අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාර ගැනීමෙන් වැළකී සිටින ලෙසත්, ප්‍රථම වරට තරග කරන සියලු දෙනාගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගන්නා ලෙසත්, එම විරෝධය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින ලද අතර, එම විරෝධයට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය.

එම විරෝධය හේතු කොටගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා (චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා රනිල් වික්‍රමසිංහ මහතා) සිය නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දුන්නේය.

ඉන්පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදි ද වත්කම් බැරකම් නීතිය පිළිබඳව මම මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් කළෙමි. පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින බවට ඔවුන් දැනුවත් කරන ලෙසත්, එම නීතියට අවනත නොවන අයට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙසත්, ඒ මගින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින ලද අතර, මැතිවරණ කොමසාරිස්වරයා එසේ ක්‍රියා නොකරන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන බව ද එයින් දැනුම් දෙන ලදි.

එම මැතිවරණයේදි ඉතිහාසයේ ප්‍රථමවතාවට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින බව ඔවුන්ට දැනුම්දිම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ද ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරන ලදි.

එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර තිබුණේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව අළලා තමා සියලු අපේක්ෂකයන් දැනුවත් කළත්, වත්කම් බැරකම් ප්‍රකාශ කරන ලද්දේ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන්ගෙන් කිසියම් පිරිසක් පමණක් බවත්, වත්කම් බැරකම් ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින අය සම්බන්ධයෙන් තමා කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ද යන්න පනතේ විස්තර කර නැති බැවින් ඔවුන් සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නැති බවත්ය.

රටේ ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙකු වූ මැතිවරණ කොමසාරිස්වරයා එහිදි පළකර තිබු අදහස් පුදුමසහගතය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටීම නීති විරෝධි වී නම් හා ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත පනතේ පැහැදිලිව සඳහන් නොවී නම්, මැතිවරණ කොමසාරිස්වරයා කළ යුතුව තිබුණේ නිශ්ශබ්දව බලා ඉඳීම නොව, තමන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්දැයි නීතිපතිගෙන් විමසා දැනගැනීමය.

රාවය කතුවරයා වශයෙන් මම මැතිවරණ කොමසාරිස්වරයාගෙන් 99 ජනාධිපතිවරණ නාමයෝජනාවලදි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාර දෙන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ලිඛිතව ඉල්ලා සිටියෙමි. නියමිත ගාස්තු අයකර ගැනීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම පිටපත් මා වෙත ලබා දෙන ලදි. ඉන්පසු මෙවර ජනාධිපතිවරණ නාමයෝජනාවලින් පසුව ජනාධිපතිවරණ ඉතිහාසයෙන් දෙවැනි වතාවට ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා (රනිල් වික්‍රමසිංහ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා) සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදි ඇති බව දැනගන්නට ලැබී එම ප්‍රකාශනවල පිටපත් ලබාගැනීම සඳහා ඊට ගෙවිය යුතු ගාස්තුව වන රුපියල් 1500/-ක චෙක්පතත් සමග එම ප්‍රකාශන දෙක මැතිවරණ කොමසාරිස්වරයාගෙන් පිටපත් ලිඛිතව ඉල්ලා සිටියෙමි. පුදුමයකට මෙන් මැතිවරණ කොමසාරිස්වරයා, යවන ලද චෙක්පත ආපසු එවා එම ප්‍රකාශන දෙක ලබාදිම ප්‍රතික්ෂේප කරන ලිපියක් පසුගිය සතියේදි මා වෙත එවීය.

වත්කම් බැරකම් නීතියේ පස්වැනි වගන්තිය අනුව එම නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනයක් නියමිත ගාස්තු ගෙවීමෙන් පසුව ලබාගැනීමේ අයිතිය පුරවැසියන් සතුය. බලධාරියෙක් පුරවැසියකු කරන එවැනි ඉල්ලීමක් ඉටු කිරිමෙන් වැළකී සිටීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.

මැතිවරණ කොමසාරිස්වරයා මීට පෙර මා ඉල්ලා සිටි වත්කම් බැරකම් ප්‍රකාශ මට ලබා දුන්නේය. එහෙත් එම මැතිවරණ කොමසාරිස්වරයාම තවත් සති කිහිපයකට පසුව මෙම ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිම ප්‍රතික්ෂේප කළේය. මෙය ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මැතිවරණ වලට තරග කරන සියලු අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල ඇති තොරතුරු පමණක් නොව, ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් හා ඔවුන්ට අපරාධ නඩු ඇතොත්, ඒ පිළිබඳ විස්තර ද දැනගැනීමේ අයිතිය ඡන්දදායකයන් සතු බව තීරණය කරන නඩු තීන්දුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේය. ඡන්ද අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත ගාස්තු ගෙවීමෙන් පසු ඒ ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අවශ්‍ය නැත. එය නීතිමය බැඳීමක් ඇති වගකීමකි.

මෙය අලුත් දෙයක් නොවන බව ද කිවයුතුය. තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාදෙන ලෙස මා එවකට කතානායකවරයා වශයෙන් ක්‍රියා කළ කේ.බී. රත්නායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි විට නීතිය අනුව මගේ ඉල්ලීම සපුරාලීම සඳහා ඒ මහතා වහා ක්‍රියාත්මක වූ බව කිව යුතුය.

මා ඉල්ලා සිටි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිමෙන් වැළකී සිට ඇත්තේ ජනාධිපතිනියගේ හිටපු ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතා පමණය. හේතුව මා කැබිනට් ඇමතිවරුන්ට අතිරේකව ජනාධිපතිනියගේ ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටි නිසා විය හැකිය.

තමාගේ දේශපාලන ස්වාමිදුවගේ වත්කම් බැරකම් ප්‍රකාශවල ඇති තොරතුරු දැනගැනීමට මේ මිනිසාට තිබෙන අයිතිය කුමක්දැයි ඔහු කල්පනා කළා විය හැකිය.

දැන් බාලපටබැඳි මහතා ජනාධිපතිවරණ ප්‍රතිඵල එන තෙක් ශ්‍රී ලංකාවේ ගතකිරීමට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ සිටින අතර, අවස්ථා ගණනාවකදි මා ඉල්ලා සිටි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදිමෙන් ඔහු දූෂණ ගණයේ වරදක් කර ඇති බැවින්, ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට මම බලාපොරොත්තු වෙමි. ජනාධිපතිනියගේ වත්කම් බැරකම් පිළිබඳ විස්තර ලබාදිමෙන් වැළකී සිටීම ජනාධිපතිනියගේ ද වත්කම් හා බැරකම් පිළිබඳව මා තුළ සාධාරණ සැකයක් ඇති කිරීමට හේතුවී තිබෙන බැවින් ජනාධිපතිනියට එරෙහිව (ඊළග ජනාධිපතිවරයා දිවුරුම් දිමෙන් පසුව ජනාධිපතිනියට මුක්තිය නැති නිසා) අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මා අනුගමනය කළ යුත්තේ කුමන ප්‍රතිපත්තියක් ද යන්න මට පැහැදිලි නැත.