ජනාධිපතිනිය අගමැති වෙත එවා තිබෙන පිළිතුරු ලිපියෙන් ලබා දි තිබෙන සංඥාව වී ඇත්තේ සිය විරුද්ධවාදි පක්ෂෂයට ලැබී තිබෙන ජනවරම තුට්ටුවකටවත් මායිම් කිරීමට තමා සූදානම් නැති බවය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය පමණක් නොව අවශ්ය නම් ඇමති මණ්ඩලය ද තමාට අවශ්ය ලෙස වෙනස් කළ හැකි බව ද ඇය ඉන් කියයි.
ජනාධිපතිනිය විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවරා ගැනීමට දරන ලද ප්රයත්නයට ආණ්ඩුව එකග නොවීම නිවැරදි වුවත් එය වැළකීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ රස්තියාදුකාර පිළිවෙත අපිදු අනුමත නොකරමු. එහෙත් ජනාධිපතිනිය යන්න හදන දිසාව කිසිසේත්ම ප්රජාතන්ත්රවාදි මූලධර්ම වලට අනුකූල නොවන බවත් ඒ ගමන් මග ඉතාමත් විනාශකාරි ප්රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බවත් කිව යුතුය.
ජනාධිපති අරමුදලේ පැවැත්ම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි කියන කතාවේ කිසිම සත්යයක් නොපවතී. ආණ්ඩු වෙනසින් පසුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ඇගේ අරමුදලට ලැබෙන මුදල් වැඩි වූවා මිස අඩු වූයේ නැත. වරදක් සිදුවී ඇත්නම් සිදුවී ඇත්තේ ජනාධිපති අරමුදලිනි. ඇය, විශ්ව විද්යාල ශිෂ්යයන් සඳහා පවත්වාගෙන යන මහපොළ ශිෂ්යත්ව අරමුදලට ලබා දිය යුතු මුදල් ලබා දිම පැහැර හරිමින් ඒවා ද සිය මහේශාඛ්යභාවය ප්රදර්ශනය කිරීම සඳහා පවත්වාගෙන යන ජනාධිපති අරමුදලට ම දිය කර තිබේ.
ජනාධිපති අරමුදල සමාජ උන්නතිය පිණිස අති විශාල සේවාවක් කරමින් තිබෙන ආයතනයක් වේ යයි අපි විශ්වාස නොකරමු. බාහිර වශයෙන් පෙනෙන්නට බොහෝ හොඳ දේවල් ඇතත් ඒ ලස්සන සැරසිලි යටින් ඇති යථාර්ථය අවලස්සන වන බව ද කිව යුතුය.
ජනාධිපති ජයවර්ධන 78 ව්යවස්ථාව නිර්මාණය කර ඇත්තේ ජනාධිපති බලය හා පාර්ලිමේන්තු බලය පක්ෂෂ දෙකකට යාමේ ඉඩ නොසලකාය. ඩිගොල් ප්රංශ ව්යවස්ථාව සකස් කර තිබුණේ ද ඊට සමාන ආකාරයටය. එහෙත් මේ බල ආයතන දෙක එක පක්ෂෂයක් අතට නොගොස් ප්රතිවිරුද්ධ පක්ෂෂ දෙකක් අතට යන තත්ත්වයක් ප්රංශයේ ද ඇති විය. ප්රථම වරට එවැනි අවස්ථාවකට මුහුණ දුන් ප්රංශයේ මිතරොන්, අපේ ජනාධිපති මෙන් ව්යවස්ථා සභාවෙන් තමන්ට ඇති බලය පිළිබඳව බොරු කයිවාරු ගසන්නට ගියේ නැත. රාජ්ය නායකයා වශයෙන් විදේශ ප්රතිපත්ති තීන්දු කිරිමේ බලය හා යුද්ධ ප්රකාශ කිරීමේ බලය තමන් අත තබා ගනිමින් අභ්යන්තර පාලන බලය බලයට පත්වූ ප්රතිපක්ෂෂයට ලබා දුන්නේය.
ජනාධිපති ඩී.බී. විජේතුංග 1994 දි කළේ ද ඒ ටික ය. එහෙත් ජේ.ආර් ගේ ව්යවස්ථාව බහුබූත ව්යවස්ථාවක් බව කියා එය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණ චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය උපරීම ලෙස එහි රස උරා බී, දෑන් ඒ ව්යවස්ථාවේ එන බලය, ලැබී තිබෙන මහජන වරමක් යටපත් කිරීම සඳහා යොදා ගන්නට යන්නේ නම් එය මුළු රටට ම ඇති කරන ප්රතිවිපාක ඉතා විනාශකාරි විය හැකිය.
මෙය එ.ජා පෙරමුණු ආණ්ඩුව ද හොඳ පාඩමකි. ආණ්ඩුව උත්සාහ කළේ අත්යවශ්ය මූලික ප්රතිසංස්කරණ පවා නොසලකා ඉදිරියට යන්නට ය. ජනාධිපතිනිය ද රටේ ව්යවස්ථාව එක් වරක් නොව සිය වරක් උල්ලංඝනය කළා ය. එහෙත් ඒ සියල්ල ඉදිරියේ ආණ්ඩුව ක්රියා කළේ නිහඬව ඉවසා සිටින ප්රතිපත්තියකි. විරුද්ධ පක්ෂෂයේ සිටියදි අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත් බලයට පැමිණ පසුව ඔහුගේ වැඩිදුර පැවැත්මට ඉඩ හැර බලා සිටියේය. ඒ නිසා දෑන් අවසාන වශයෙන් සියල්ල තීන්දු කිරිමේ බලය ලැබී ඇත්තේ ද ඒ පුද්ගලයාට ම ය.