ජනමාධ්‍ය ගැන රනිල් වික්‍රමසිංහගේ විවේචනය

October 29, 2026
Publication:
At a press conference on 1 December the opposition leader turned the questions back on the questioner, and then criticised the Sri Lankan press at large. Ivan treats the complaint as the opening of a debate worth having: journalists may question politicians, but the complaint against the culture of the press is a strong one, and it points at the same system that everything else points at.

එජාපයේ හා විපක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අරබයා එල්ල කර තිබෙන විවේචනය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල භාවිතය පිළිබඳව ආරම්භ කර තිබෙන හොඳ කථිකාවක් ලෙස සැලකිය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 1 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී ඩේලි මිරර් පුවත්පතේ සඳුන් ජයසේකර සමග ප්‍රතිවාදයක් ඇති කරගෙන තිබේ. සඳුන් ජයසේකර විපක්ෂ නායකයාගෙන් කෙරෙන ප්‍රශ්න කිරීමකදී ඔහුට පිළිතුරුදීමෙන් නොනැවතී විපක්ෂ නායකයා ප්‍රශ්න කරන්නාගෙන් ප්‍රශ්න කිහිපයක් අසන තැනකට ගියේය. එය හැමවිටම සිදුවන දෙයක් නොවන නිසා, එය උණුසුම් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍යවේදීන්ට දේශපාලන නායකයන්ගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය තිබෙනවා සේ ම, අවශ්‍ය නම් ජනමාධ්‍යවේදීන්ගෙන් පෙරළා ප්‍රශ්න කිරීමේ අයිතිය දේශපාලනඥයන්ට ද ඇත්තේය. පෙරළා ප්‍රශ්න කිරීමක් තර්ජනය කිරීමක් දක්වා දුරදිග යා හැකි අවස්ථා තිබිය හැකි වුවත්, මේ අවස්ථාවේදී පෙරළා ප්‍රශ්න කිරීමක් මිස, තර්ජනය කිරීමක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන ආකාරයට, ඩේලි මිරර් කර්තෘවරිය සුනන්ද දේශප්‍රියට කරන ලද පැමිණිල්ලක් මත මාධ්‍ය සංවිධාන පහක්, රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි මිරර් පුවත්පතේ සඳුන් ජයසේකර මහතාට තර්ජනය කළේය යන පදනම මත ඒ ක්‍රියාව හෙළා දකින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ සුනන්ද දේශප්‍රිය එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට තර්ජනය කළේයැ”යි කියන ජනමාධ්‍යවේදීන්ගෙන් පවා කරුණු විමසීමක් කිරීමෙන් තොරව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇති බවය.

සංවිධාන පහේ ඒකාබද්ධ නිවේදනයට රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන්නේයැ”යි කියන තර්ජනය ගැන කරන හෙළා දැකීමෙන් නොනැවතී, ඩේලි මිරර් කතුවරිය හා එම පුවත්පතේ ක්‍රියාකාරීත්වය ගැන ද විවේචනයක් ඇතුළත්ව තිබුණි. ඩේලි මිරර් පුවත්පත හා එම නිවේදනය පළ කළ වෙනත් ජනමාධ්‍ය එය පළකර තිබුණේ හෙළා දැකීමේ නිවේදනයට ඇතුළත් එහි අග කොටස් (ඩේලි මිරර් පුවත්පත අරබයා පළ කරන ලද විවේචනය) ඇතුළත් නොවන ආකාරයටය. ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා වැදගත් ප්‍රශ්න දෙකක් මතු කරයි. පළමු ප්‍රශ්නය වනුයේ නිවේදනයේ එන තමාට අදාළ කොටස පමණක් පළකොට, ඊට ඇතුළත්ව තිබූ ඩේලි මිරර් කතුවරිය හා පුවත්පත පිළිබඳ විවේචනාත්මක සඳහන කපා හැරියේ ඇයිද යන්නයි. ඔහු නගන දෙවැනි ප්‍රශ්නය වනුයේ, ඒකාබද්ධ නිවේදනයට ඇතුළත් ඩේලි මිරර් කතුවරිය හා පුවත්පත පිළිබඳ මාධ්‍ය සංවිධාන පහ කර තිබෙන විවේචනය බොහෝදුරට ඒ ගැන තමන් කර තිබෙන විවේචනයට සමාන බවත්, ඩේලි මිරර් කතුවරිය හා පුවත්පත ගැන එවැනි විවේචනයක යෙදීමේ අයිතිය තමන්ට නැතැ”යි සිතන මාධ්‍ය සංවිධාන පහ ඒ අයිතිය තමන්ට අහිමි කිරීම” හරි දෙයක් වන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟට ජනමාධ්‍යවලට එල්ල කරන චෝදනාව වනුයේ යථා තත්ත්වය පැහැදිලි කරමින් පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා ඒ ගැන පුවත්පත් නිවේදනයක් නිකුත් කළ ද, එම නිවේදනය කිසිම පුවත්පතක පළ නොකරන ලද බවය.

ඒ අනුව මෙම තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 04 වැනිදා නැවත මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය. ජනමාධ්‍ය භාවිතය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා තමාට ඇති විවේචනය පරිපූර්ණ වශයෙන් එළිදක්වන ලද්දේ එහිදීය.

ඔහු එහිදී ඩේලි මිරර් පුවත්පතේ කතුවරිය හා එම පුවත්පත ද ඒකාබද්ධ නිවේදනය නිකුත් කළ ජනමාධ්‍ය සංවිධාන පහ විවේචනය කිරීමෙන් නොනැවතී ලක්බිම කර්තෘ ජටිල වැල්ලබඩ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය හා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය යන අය ද විවේචනයට ලක් කරයි.

පුවත්පත් සාකච්ඡාවේදී සිදුවූ දේවල් පිළිබඳව “දිනමිණ” පුවත්පතට වැරදි අදහසක් පළකිරීම මගින් ද සංවිධාන පහේ ඒකාබද්ධ නිවේදනයේ අග කොටස පළ නොකිරීමෙන් හා තිස්ස අත්තනායකගේ නිවේදනය පළ නොකිරීමෙන් ජටිල වරදක් කර තිබෙන බවට චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් ඉගෙන ගත් පුවත්පත් කලාව පාවා නොදෙන ලෙස ද ජටිලගෙන් ඉල්ලා සිටී.

සනත් බාලසූරිය මර්වින් සිල්වාට සමාන කරන රනිල් වික්‍රමසිංහ මහතා එක් අයෙක් පෙලපාලිවලදී කෑ ගසන බවත්, අනෙකා හැම තැනමත් කෑගසන බවත් ඇත්ත නැත්ත හා හොඳ නරක නොසලකා පාවිච්චි කරන්නේ බලය පමණක් නම් මේ දෙදෙනාට එකට එකතු වී කෑගැසිය හැකි බවත් ප්‍රකාශ කරයි.

උවිඳු කුරුකුලසූරිය සිය වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා උවිඳු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන නිසා සංවිධාන පහ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ කොටස් කපාහැර පළකිරීම හා තිස්ස අත්තනායකගේ නිවේදනය පළ නොකිරීම ගැන තමා විශ්වාසයකින් යුතුව පුවත්පත් කොමිසමට පැමිණිලි කරන්නේ කෙසේදැ”යි ප්‍රශ්න කරයි.

උවිඳු කුරුකුලසූරිය හෝ වෙනත් අයෙකු පුවත්පත් කොමිසම මෙහෙයවන පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ පමණකින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පැමිණිල්ලකට සාධාරණය ඉටුවීමට ඉඩක් නැතැ”යි එක එල්ලේ කිව නොහැකිය. රනිල් වික්‍රමසිංහ මහතා අත තිබෙන පැමිණිල්ල ඉතා බලවත්ය. එය සංකේතාත්මක අර්ථයෙන් පොදුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතියටම එරෙහිව ඉදිරිපත් කරන පැමිණිල්ලක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙහෙයවන ජනමාධ්‍යවල සේවය කරන සියලු දෙනා ඍජු ලෙස හෝ අනියම් ලෙස එම පැමිණිල්ලේ වගඋත්තරකරුවෝ වෙති.

ප්‍රසිද්ධියේ චෝදනා කරනවා හැරුණු විට සිය පැමිණිල්ල පුවත්පත් පැමිණිලි කොමිසමට ඉදිරිපත් කිරීමේ යුතුකමක් හා වගකීමක් වගකිවයුතු දේශපාලන නායකයකු වශයෙන් හා පුවත්පත් ආයතනය ඇති කිරීමට දායක වූ පුද්ගලයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේය. එසේ කළේ නම් හෝ කරන්නේ නම් එය පුවත්පත් පැමිණිලි කොමිසම තීරණාත්මක උරගා බැලීමකට ලක් කෙරෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුවත්පත් පැමිණිලි කොමිසම ක්‍රියාකරන්නේ කෙසේද යන්න රටට ඉතා වැදගත්ය. එම පැමිණිල්ලට සාධාරණය ඉටු කිරීමට පුවත්පත් පැමිණිලි කොමිසම අසමත් වී නම් පැමිණිලි කොමිසමට එරෙහිව හා එය පවත්වාගෙන යන පුවත්පත් ආයතනයට එරෙහිව ප්‍රසිද්ධ විවේචනයක යෙදීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවැනි ප්‍රකාශය ද වාරණයකින් තොරව පුවත්පත්වල පළ නොවීමේ ප්‍රශ්නය ද පැමිණිල්ලට එකතු කරමින් දැන් වුවත් එම පැමිණිල්ල පුවත්පත් පැමිණිලි කොමිසම වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කොමිසම අනුගමනය කරන පිළිවෙත රටට හඳුනාගත හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා අවසාන විග්‍රහයේදී කියන්නේ ජනමාධ්‍ය අනුන්ගේ වැරදි කතා කරන මුත් තමන්ගේ වැරදි සඟවන බවය. එවැනි අවස්ථාවලදී ඔවුන් එකට එකතු වී එක පොදියක් ලෙස ක්‍රියා කරන බවය. අප කැමති ඕනෑම දෙයක් කිරීමේ බලය ඇතැ”යි ඔවුන් සිතන බවය. එය ද ඒකාධිපතිවාදයක් බව රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී තිබේ.

ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා එජාප ඈඳා ගනිමින් ජනමාධ්‍ය නිදහස ගැන පළකර තිබෙන අදහස් වැදගත් වේයැ”යි මම නොසිතමි. කිසිදු ජනමාධ්‍ය සංවිධානයකට වඩා ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් එජාප සටන් කොට ඇති බවට හා ජනමාධ්‍ය සංවිධාන තිබුණත්, නැතත් එජාපය ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බව කියන කතාවලට එකඟවීමේ හැකියාවක් නැතත්, ජනමාධ්‍ය අනුන් විවේචනය කරනමුත් ජනමාධ්‍යවලට එරෙහිව එල්ල වන සාධාරණ විවේචනවලදී ඔවුන් ඒවා සඟවන්නේයැ”යි කියන කතාව සමග මම ද මුළුමනින් එකඟ වෙමි. එය ද එක්තරා ආකාරයක ඒකාධිපතිවාදයක් බව මම ද පිළිගනිමි.

එහෙත් එම විවේචනයේදී රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට වැඩ කරන්නට සිදුවී තිබෙන දේශපාලන ක්‍රමය නමැති වටාපිටාව අවශ්‍ය තරමට සලකා බලා නැත. මෙම විෂම දේශපාලන ක්‍රමය තුළ හැම පුද්ගලයෙකුටම රඟපාන්නට සිදුවී තිබෙන්නේ තමන්ට පැවරී තිබෙන භූමිකාව නොව, අනුන්ගේ භූමිකාය. අධිකරණය රට පාලනය කරයි. ජනමාධ්‍ය නඩු අසයි. පොලිසිය අපරාධ කරයි. අපරාධකරුවන් නීතිය ක්‍රියාත්මක කරයි. මෙම දේශපාලන ක්‍රමය තුළ වෘත්තීය දේශපාලනඥයන්ගේ මුළු අවධානය යොමුවී තිබෙන්නේ රටේ පොදු සම්පත් කොල්ලකෑම කෙරෙහිය. පාලක පක්ෂය උපරිම ලෙස පොදු සම්පත් කොල්ල කන විට විරුද්ධ පක්ෂයට සිදුවී තිබෙන්නේ ඒ අයිතිය හැකි ඉක්මණින් තමන් වෙත හිමිකර ගැනීම සඳහා උපරිම උත්සාහයක යෙදීමටය. මෙවැනි විෂම දේශපාලන ක්‍රමයක් තුළ සැබෑ ජනමාධ්‍ය නිදහසක් හෝ ජනමාධ්‍යවල යහපත් හැසිරීමක් තිබිය හැක්කේ කෙසේද?

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය දුෂ්ඨ අරමුණකින් යුතුවම ගොඩනැගුවේයැ”යි මම නොකියමි. තිබුණු හොඳ නරක අරමුණු මොනවා වුවත්, මෙම ක්‍රමය ගොඩනැගී තිබෙන්නේ පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයටය. පොදු වස්තුව කොල්ලකෑමෙන් තොරව දේශපාලන ක්‍රමය පවත්වාගෙන යා නොහැකි ආකාරයටය. එම වස්තු කොල්ලයට අධිකරණය ඇතුළු මුළු මහත් නිලධරතන්ත්‍රයම සම්බන්ධ කර ගැනෙන ආකාරයටය. එවැනි දේශපාලන ක්‍රමයක් තුළ ජනමාධ්‍යවේදීන්ට කළ හැක්කේ දැන් ලැබෙන වාසි සලකා වර්තමාන කොල්ලකරුවන්ට හෝ අනාගතයේ ලැබෙන වාසි සලකා අනාගත කොල්ලකරුවන්ට ආධාර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමය.

මෙම දේශපාලන ක්‍රමයේ ඇති විපරීත බව, දූෂිත බව, නාස්තිකාර බව, පරපීඩිත බව රනිල් වික්‍රමසිංහ මහතාට නොපෙනේද? පෙනෙන්නේ නම් ඇත්ත වෙනසක් සඳහා පෙනී නොසිට මෙම විෂම දේශපාලන ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මුළු බර යොදා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? මෙම විෂම දේශපාලන ක්‍රමය වෙනස් කොට, පොදු දේපළ කොල්ලකෑමට ඉඩක් නොලැබෙන, නීතියේ පාලනය රජයන, ප්‍රජාතන්ත්‍රවාදී හා භේදයකින් තොරව සියලු පුරවැසියන් ආදරයෙන් බලාගන්නා දේශපාලන ක්‍රමයක් ඇති කළ හැකි නම්, ජනමාධ්‍යවල හැසිරීම පමණක් නොව, රාජ්‍ය නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ හැසිරීම ද යහපත් අතට වෙනස් වනු නොඅනුමානය.